උද්ඝෝෂණයක්, විරෝධතාවක් ප්‍රචණ්ඩකාරී හැසිරීමක් කොතැනක හෝ නොපැවැත්වෙන දිනයක් අද සොයාගත නොහැකි තරම්ය. ඒ තරමට පිකටිං, උද්ඝෝෂණ, විරෝධතා රට පුරා පැවැත්වෙයි. වෘත්තීය සමිති ව්‍යාපාරවලට සීමාවූ මේ විරෝධතා අද නොපැවැත්වෙන කරුණක් නොමැති තරම්ය.


සියලු තරාතිරම්වල බොහොමයක් ජනතාව විරෝධතා පවත්වති. එයින් පාසල්වල සම්බන්ධව කෙරෙන විරෝධතා හා ප්‍රචණ්ඩ ක්‍රියා බහුලය.


මේ මෑතකදී පාසල්වලට අදාළ සිදුවීම් ගණනාවක් වාර්තා විය. කොට්ටාව ධර්මපාල විද්‍යාලයට අලුතින් පත් කළ විදුහල්පතිවරයාට විරුද්ධව දෙමාපිය උද්ඝෝෂණයක් පාසල ඉදිරිපිට පැවැත්වුණි.


මතුගම, බදුරලිය කනිටු විදුහලේ හිටපු විදුහල්පතිවරයා යළි පත් කරන ලෙසට ඉල්ලා දෙමාපියන්ගේ උද්ඝෝෂණයක් දින කීපයක් පැවැත්වුණි.


නිවාසාන්තර ක්‍රීඩා උත්සවයක් අවලංගු කිරීම පිළිබඳව විරෝධය දක්වා නාවලපිටිය දෙකිඳ ධම්මරතන විද්‍යාලයේ මව්පියන් පිරිසක් උද්ඝෝෂණය කරනු ලැබ තිබිණි.


මීගහතැන්න කනිටු විද්‍යාලයට දරුවන් 10 දෙනෙක් බලෙන් ඇතුළත් කළේ යැයි කියනු ලබන සිද්ධියක් මහත් ආන්දෝලනයකට හේතුවිය.


පාලනය කළ නොහැකි දරුවන් 10 දෙනෙක් සම්බන්ධයෙන් නිසි පියවර නොගත්තේ යැයි කියන සිද්ධියක් මත වර්ෂ 2015 දී බලපිටියේ විද්‍යාලයක් දින කීපයක් වසා දැමීමට සිදුවී තිබිණි.


මීට අමතරව පසුගිය සතියේදි කොළඹ මහානාම විද්‍යාලයේ යැයි කියනු ලබන සිසුන් විශාල පිරිසක් කොළඹ යශෝධරා බාලිකා විද්‍යාලයට කඩා වැදී ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරී තිබිණි.


මෙම සිද්ධියට සම්බන්ධ වූ බව කියන මහානාම විද්‍යාලයේ 12 වැනි ශ්‍රේණියේ ශිෂ්‍යයෙක් මේ වනවිට පරිවාස භාරයට පත්කර සිටී.
පොලිසිය තවත් ළමුන් 6 දෙනෙක් පිළිබඳව පාසලෙන් විමසා ඇත. ඊට අමතරව අදාළ දිනයේ පාසලට නොපැමිණි සිසුන් පිළිබඳවද විමසා ඇත. සිවිල් ඇඳුමෙන් සැරසුණ පිරිස ප්‍රචණ්ඩව හැසිරී ඇති බවට චෝදනා ඇත. බොහොමයක් පාසල් සිසුන් අතර බිහි වෙමින් පවතින මේ බිග් මැච් උද්දාමය අමුතු සංස්කෘතියක් වෙමින් පවතී. බොහෝ විට ඉහළ පෙළේ නිලධාරින්ගේ දේශපාලනඥයන්ගේ දරුවන් සිය දෙමාපියන්ගේ බලය අතට ගනිමින් බිග් මැච් සමයේ නගරය වටා විනෝද චාරිකා යමින් ශිෂ්‍යාවන්ට හිරිහැර කරන අවස්ථා ඇත.


ඇතැම් දේශපාලනඥයන් තම ආරක්ෂක නිලධාරින්ගේ ඇස් බැල්ම ඇතිව දරුවන්ට මෙවැනි ක්‍රියාවන්ට යෙදීමට අවස්ථාව දී ඇත. කාන්තා විද්‍යාලවලට බලහත්කාරයෙන් ඇතුළු වී තම පාසලේ නම කියමින් කෑ කෝ ගැසීම සම්ප්‍රදායක් කර ගෙන සිටී.
මේ හැසිරීම් පාලනය කළ හැකි අයෙක්ද නැතුවා සේය. වැරැද්දකට දඬුවම් කිරීමට අද ගුරුවරයෙකුට හැකියාවක් නැත. ඇතැම් අවස්ථාවල ගුරුවරුන්ද සිසුන්ට දෙන දඬුවම් බෙහෙවින් බරපතළ වූ අවස්ථාද නැතුවා නොවේ.


පාසල් පරිපාලනය තුළ සිදුවන වෙනස්කම්වලට මව්පියන් විරෝධය දක්වන අවස්ථාද ඇත.


මේ තත්ත්වය පිළිබඳව කරනු ලැබූ අදහස් දැක්වීම මෙසේය.


මේ හැසිරුණු විදියට ළමයිද කියලා හිතාගන්නත් බෑ

අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් සුනිල් හෙට්ටිආරච්චි:- 


අධ්‍යාපනය දරුවන්ට බර වැඩි නිසා ඇතිවන අනිසි ප්‍රතිඵල වළක්වා ගැනීම සඳහා අධ්‍යාපනයේ ප්‍රතිසංස්කරණයක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇතැයි කී අධ්‍යාපන ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතා මෙසේද කීය.


මේ හැසිරෙන විදියට නම් ළමයිද කියල හිතන්නත් බැරි තරම්. අපි එකතුවී දරුවන්ගේ මේ හැසිරීම් වෙනස් කළ යුතුයි. මාධ්‍ය, දෙමාපියන්, මේ සියලු දෙනාම ඒ සඳහා ඒකරාශි විය යුතුයි. පාසල් ළමුන් මුවාවෙන් පාසලෙන් ඉවත්වූ ළමුන් වැඩි දෙනෙක් කාන්තා පාසලකට බලෙන් ඇතුළු වී මහා අවුලක් ඇති කළා. පාසල් ළමයින්ද මේ අතර ඉඳලා තියෙනවා. මේක සමාජයේම ප්‍රශ්නයක්. බිග් මැච් පටන් ගැනීමට පෙර පොලිසිය හා අදාළ සියලු අංශ කැඳවා සාකච්ඡාවක්ද පැවැත්වුණා.


මේ තත්ත්වයෙන් ගලවා ගැනීමට විශාල සමාජ ශක්තියක් අවශ්‍යයි. පීඩනය නිසා දරුවන් මේ තත්ත්වයට පත්වන බව කියනවා. කුඩා කාලයේ සිටම පාසල් අධ්‍යාපනය දරුවන්ට පීඩාවක් බවට චෝදනා තිබෙනවා. ප්‍රචණ්ඩත්වය එයට කොතරම්දුරට ඉවහල් වේ දැයි කිව නොහැකියි. ෆේස් බුක්, ඉන්ටර්නෙට් දරුවන්ට බොහෝ හානිකරයි. මේවායින් දරුවන් ඈත් කරන්න අපට අපහසුයි.

පාසලේදී ඒ සඳහා අවස්ථාව නොලැබුණත් නිවසේදී එය සිදුවෙනවා. පාසල අවසන්වී ගෙදරට එන දරුවා ඉන්ටර්නෙට් එකට ඇදෙනවා.


විෂය මාලාවේ බර වැඩි බව අපි පිළිගන්නවා. එය අඩු කිරීමට දැන් සාකච්ඡා පවත්වමින් සිටිනවා. සමාජයේ ප්‍රචණ්ඩත්වය වැළැක්වීම පාසලටම කළ නොහැකියි.


වෛද්‍යවරු, මනෝ වෛද්‍යවරු, ළමා විශේෂඥයන් මේ සඳහා යෝජනා ඉදිරිපත් කර තිබෙනවා. විෂය මාලාවේ බර අඩු කිරීම, දරුවන්ගේ ආතතිය ආදි කරුණු පිළිබඳව යෝජනා ඉදිරිපත්වී තිබෙනවා. ඒ පිළිබඳව දැන් සාකච්ඡා වෙනවා. ගොඩනැගිල්ලක් හදන්නා වගේ දරුවන් සම්බන්ධ කටයුතු කළ නොහැකියි. අධ්‍යාපනයේ නැවත සිදුකෙරෙන වෙනස්කම්වලින් යළි ගැටලු ඇති නොවන ආකාරයට සිදුකළ යුතුයි. ජාතික අධ්‍යාපන ආයතනයත් සමඟ දිගින් දිගටම සාකච්ඡා කරනවා. විභාග ඉලක්ක කරගත් අධ්‍යාපන ක්‍රමය දරුවන්ට පීඩාවක්. අවුරුද්ද පුරාම විභාග. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කඩිනම් කිරීමට අගමැතිවරයාත් නිතර උපදෙස් දෙනවා. සමාජයෙන් ඒ සඳහා සහාය අවශ්‍යයි. මහජනයා පෙළ ගැසිය යුතුයි.


දෙමාපියන් විශේෂයෙන් මෙහිදි අවබෝධයෙන් කටයුතු කළ යුතු කාලය එළඹී ඇත. තරගකාරිත්වය මවාගෙන සිටින්නේ දෙමාපියන් විසින්මයි. සියයට 100ක්ම විෂය මාලාව ආවරණය කළ නොහැකි විය හැකියි. එහෙත් අද පාසල් අධ්‍යාපනය ගැන සතුටුදායක විය හැකි තත්ත්වයක් පවතිනවා. 


අනවශ්‍ය තරගකාරිත්වයකට දරුවන් පෙළඹවිය යුතු නැහැ. ඒ වෙනුවට දරුවන් පාලනය කර ගන්නේ නම් මීට වඩා ප්‍රතිඵලය යහපත් වනු ඇත. පාසලේ පරිපාලන කටයුතු වෙනස් කිරීමට දෙමාපියන්ගේ බලපෑම් කිරීම යහපත් ක්‍රියාවක් නොවෙයි. එක් පාර්ශ්වයකට සම්බන්ධවී උද්ඝෝෂණ ව්‍යාපාර කරනවා වෙනුවට දරුවන්ගේ අනාගතය ගැන සිතා මව්පියන් තීන්දු තීරණ ගැනීම වඩාත් සුදුසුයි. 

 

අපේ අධ්‍යාපන ක්‍රමය වහා වෙනස් විය යුතුයි

කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාරිනී (අපරාධ විද්‍යාව) ආචාර්ය අනුෂා එදිරිසිංහ:- 


පවතින අධ්‍යාපන ක්‍රමය, අන්තර්ජාලය, රූපවාහිනිය, දුරකතනය යනාදී දේ දරුවන් ප්‍රචණ්ඩත්වයට යොමුකරනු ලබන බව කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාරිණී (අපරාධ විද්‍යාව) ආචාර්ය අනුෂා එදිරිසිංහ මහත්මිය ප්‍රකාශ කළාය.


දරුවන් ප්‍රචණ්ඩව හැසිරීම පිළිබඳව අදහස් දක්වමින් ආචාර්ය එදිරිසිංහ මෙසේද කීවාය. 


අද පාසල් සිසුන් මෙන්ම විශ්වවිද්‍යාල සිසුන්ගේ නවකවදය සිද්ධීන්වලට අධ්‍යාපන සංස්ථාව තුළ පවත්නා ප්‍රශ්නයක් හේතුවී ඇති බව පෙන්නුම් කරයි. මේ ක්‍රමය තුළ දරුවන් සමාජයට හැඩගැස්වීමේ ක්‍රමය නොගැළපෙන්නක් බව කිව යුතුය. 


අපේ අධ්‍යාපන ක්‍රමයේ කිසියම් අඩු පාඩුවක් ඇති බව පැහැදිලියි. කුඩා කාලයේ තුන්වැනි වසරේ සිටම දරුවා ශිෂ්‍යත්ව විභාගයට පුරුදු පුහුණු කිරීම ආරම්භ කරයි. එදා අප කුඩා කාලයේ ටියුෂන් පන්තියකට වත් ගියේ නැත. පාසල් අවසන්වී තියෙන දෙයක් කා බී පරිසරය සමඟ සිටි පිරිසකි. නමුත් අද දරුවකු හැදෙන වැඩෙන ආකාරය ගැන අපට දෙවරක් සිතන්නට සිදුවී ඇත.


මේ තත්ත්වය තනි තනියෙන් සිතා වෙනස් කළ හැකි දෙයක්ද නොවේ. අධ්‍යාපන ක්‍රමය තුළින්ම වෙනසක් සිදුවිය යුතුව ඇත. මේ තරගකාරී අධ්‍යාපන රටාව තුළ දරුවන් තුන වසරේ සිටම තරගයකට සූදානම් කරති. ශිෂ්‍යත්වයට සූදානම් කිරීමේදී දරුවා දැඩි මානසික ආතතියකට ගොදුරු වෙනවා. දරුවන් ව්‍යාකූලතාවයට පත්වී සිටී. 


උදාහරණයකින් සඳහන් කළ හැකි මගේ දරුවා දැන් පළමුවැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබයි. මේ දරුවා නිතරම කේන්ති ගනී. දැන් පාසලට ගොස් මාස දෙකක් ගත වනවිට සිංහල හෝඩියත්, ඉංග්‍රීසි හෝඩියත් අවසන් කර ඇත. අධ්‍යාපනයේ මේ තෙරපීම දරා ගැනීමට නොහැකි දරුවා නිතර කේන්තියෙන් පසුවෙයි. දරුවාට පැවරෙන වැඩ ප්‍රමාණය වැඩිවෙන විට ඔහුට එය දරාගැනීමට නොහැකි වෙයි.


ළමා මනස තුළ පීඩාව අද බොහොම බරපතළය. වැඩ රාශියක් දරුවාට පැවරිය යුත්තේ ඔහු පන්තියෙන් ඉහළ යාමත් සමඟය. කුඩා කාලයේ සිට ඇතිවන පීඩාව තරුණ වියට පත්වන විටත් එලෙසින්ම පවතින අවස්ථා අප දැක ඇත.


අපේ රටේ විභාග ක්‍රමය තුළ දෙමාපියන් උත්සාහ කරන්නේ තමන්ට වඩා හොඳ අධ්‍යාපනයක් දරුවාට ලබාදීමටය. “අම්මලගෙ විභාගය” යනුවෙන් පහ වසර ශිෂ්‍යත්ව විභාගය හැඳින්වුවත් දෙමාපියන්ට අවශ්‍ය දරුවාට හොඳ අධ්‍යාපනයක් ලබාදීමටයි.


දරුවන්ට පාසල එපා වෙන තත්ත්වයට පත් වෙන්නේ මෙවැනි තරගකාරි විභාග හේතුවෙනි. අපි අද පරාර්ථකාමී දරුවකු බිහි කිරීමට උත්සාහ නොගනී. දැඩි පීඩාකාරී වටපිටාව තුළ දරුවන් මානසිකව වැටීම වැළැක්විය නොහැකිය. අද පාසල් තුළ පීඩාකාරි වටපිටාව තුළ ඒ පීඩාව පිටකර ගැනීමට දරුවන් විවිධ අනවශ්‍ය ක්‍රියාවල යෙදීම සිදුවෙයි.


පාසල්වල තරුණ ළමයි කිසියම් දේකට අවුස්සා ගැනීම යොදවා ගැනීම ඉතාම පහසුය. තරුණ කාලේ හැඟීම් හා පෞරුෂත්වය කැපී පෙනීමට ඇති කැමැත්ත තරුණියකගෙ ආකර්ශනය එඩිතර බව පෙන්වීම කෑගහන්න මේ සියල්ල ඒකරාශි වී තරුණ කොටස් බොහෝ විට වැරැද්දට පොළඹවා ගැනීම පහසුය. දුරදිග බැලීමක් නැත. ඵල විපාක ගැන අවබෝධයක් නැත.


විශ්වවිද්‍යාලයක එක දෙපාර්තමේන්තුවකට විරුද්ධව නැගී සිටීමට ආයුධයක් ලෙස දරුවන් යොදවා ගැනීමට උත්සාහ දැරීමේ සිද්ධියක් පෙන්නුම් කළ හැකිය. කැපී පෙනීමට ගන්නා උත්සාහය තරුණ ශක්තිය පිකට් කිරීමට ඇති කැමැත්ත එහිදී විශේෂය.

විශ්වවිද්‍යාලවලින් පාසල් දරුවන් ආදර්ශ ගනු ලබන අවස්ථා ඇත. පිකටිං, විරෝධතා, උද්ඝෝෂණ ඒ ප්‍රතිඵලයන්ය. විශ්වවිද්‍යාලය තුළ අයියලා අක්කලා කරන දේ අපිත් කළාට කමක් නැහැ යන මතයේ සිටින පාසල් සිසුන්ද සිටිති.


අපි පාසල් යන කාලේ දෙමාපියන් පාසල් කටයුතුවලට මැදිහත් වූයේ නැත. අද සැබෑ වෙනසක් පවතී. මෑත කාලයේ ඇතැම් ජනප්‍රිය පාසල්වල ආදි ශිෂ්‍ය සංගම් පාසල් සංවර්ධන සමිති විසින් විදුහල්පතිවරුනට දැඩි ලෙස බලපෑම් කරන අවස්ථා ඇත. පාසල්වලට ආධාර කිරීම තුළින් ඒ බලපෑම කරන අවස්ථා ඇත. මේ සමාජය තුළ අයිතිවාසිකම් මුල්කරගෙන ගොඩනැගුන සමාජ ක්‍රමයක් පවතී. මේ අයිතිවාසිකම් මුල්කරගෙන දරුවන්ගේ අධ්‍යාපනයට සම්බන්ධ කටයුතුවලට දෙමාපියන් ඉදිරිපත්වීම බහුලව සිදුවන බව පෙනෙන්නට ඇත. අපි පාසල් යන කාලයේ ගුරුවරයෙක් හෝ විදුහල්පතිවරයෙක් ශිෂ්‍යයකුට දඬුවමක් දුන් විට ඒ ගැන ප්‍රශ්න කිරීමට මව්පියන් පැමිණෙන්නේ නැත. අද පොඩි දෙයටත් ගුරුවරුන්ට එරෙහිව දෙමාපියන් පියවර ගන්නා තත්ත්වයක් පවතී.


අන්තර්ජාලය පාවිච්චි කරන ක්‍රමය පිළිබඳව අපේ දරුවන්ගේ දැනුවත් බවක් නැත. ළමයා නරඹන චිත්‍රපටය පවා ඔහු ප්‍රචණ්ඩත්වයට නැඹුරු කරවයි. ත්‍රාසජනක ලෙස හැසිරෙන චිත්‍රපට ලිංගික දර්ශන ගැහැනු පිරිමි දරුවන්ගේ මනස වෙනස් කරවයි.


හොඳ උදාහරණයක් කියන්නම්. විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක් ලාබාල පිරිමි දරුවකු සමඟ සම්බන්ධතාවයක් පවත්වා ඇත. මෙම ශිෂ්‍යාව දරුවාට ටියුෂන් දීම සඳහා යොදවා සිටි අතරතුරදී නිල් චිත්‍රපට නරඹා ඇත. දැන් මේ දරුවා ශිෂ්‍යාව ඉල්ලමින් ප්‍රචණ්ඩකාරිව නිවසේ කරදර කරන්නට පටන් ගෙන ඇත. අපේ දරුවන් තුළ ධර්මතාවයක් නැත. පොතේ අධ්‍යාපනයට මුල්තැන ලබාදී ඇතත් යහගුණ වර්ධනය වීමක් නැත. අද බොහොමයක් දරුවන් පාසලට යනවිට දෙමාපියන්ට අත්තම්මට වඳින පුරුද්දක් නැහැ. ඒ වෙනුවට “කිස්” එකක් දීමට පුරුදුවී සිටී. එදා ආත්තම්මලා දරුවන් සමාජගත කිරීම් කළත් අද දිවා සුරැකුම් මධ්‍යස්ථාන ක්‍රමය ආරම්භවී ඇත. අන්තර්ජාලය, රූපවාහිනිය, ජංගම දුරකථන  ීඵී මේවායින් දරුවාගේ මනස විකෘතිවී ඇත. 


බාලිකා පාසල්වල තත්ත්වයත් මෙයයි. බාලිකාවන් පාලනය කර ගැනීමට නොහැකි අවස්ථා ඇත. විදුහල්පතිනියකගේ දියණියගේ පිංතූර වෙනස් කර මුහුණු පොතට යොදා ඇති ශිෂ්‍යාවක් පිළිබඳව වාර්තා වෙයි. එසේ කිරීමට හේතුව විදුහල්පතිනිය වැරැද්දක් පෙන්වාදීම නිසා එයින් පළි ගැනීමට මෙම ක්‍රියාව කර ඇත. දරුවන් ගුරුවරුන්ගෙන් පළි ගැනීමට ඔහුගේ වාහනයට හානි කරන අවස්ථා ඇත. වාහනයේ රෝද හතරෙම හුළං යවා ඇති අවස්ථාවන් ඇත.


අපේ අධ්‍යාපන ක්‍රමයේ හැම අංශයකම වෙනසක් වහාම අවශ්‍යව ඇත. ප්‍රචණ්ඩත්වයෙන් තොර දරුවකු බිහි කිරීමට වට පිටාව සැළසිය යුතුව ඇත. පෙර පාසලේ සිටම මේ වෙනස අවශ්‍යය. තමන් සමඟ සිටින යහළුවන්ට ආදරය සෙනෙහස දක්වන පරිසරයක් සැකසිය යුතුවෙයි. පුංචි පන්ති කාමරය තුළත් ප්‍රචණ්ඩත්වය පවති. නිහඬව සිටින දරුවන්ට පහරදීම හිරිහැර කිරිම ඒ ප්‍රචණ්ඩත්වයයි. මේ තත්ත්වය ඉතා පරිස්සමින් මෙහෙයවිය යුතුව ඇත. 

 


මේ හැසිරීම් අනුමත කළ නොහැකියි

මහානාම විද්‍යාලයේ විදුහල්පති එල්.එම්.ඩී. ධර්මසේන:-
කොලුකමට, වයසේ වැරැද්දට කරනු ලබන සියලු ක්‍රියා අනුමත කිරීමට නොහැකි බවත් විනය විරෝධි ක්‍රියාවලට දැඩි පියවර ගත යුතු බවත් කී කොළඹ මහානාම විදුහලේ විදුහල්පති එල්.එම්.ඩී. ධර්මසේන මහතා මෙසේද කීය. 


ජංගම දුරකථනවල එස්.එම්.එස්. පණිවිඩ යවා පා ගමනකට සහභාගි වන ලෙස දන්වා තරුණ පිරිස් ඒකරාශි කරගෙන තිබෙනවා. මේ ක්‍රියාවට පාසල් නිල ඇඳුමෙන් සහභාගි වෙලත් නැහැ. නමුත් පාසල අසල මාර්ගයක සිසුන් පිරිසක් රොක්වී සිටින බවට ලැබුණ තොරතුරක් මත එතැනට ගොස් රැස්වී සිටි පිරිස විසිරුවා හැරියා. 


යශෝධරා බාලිකා විද්‍යාලයට සිසුන් පැන ඇත්තේ එයින් පසුවයි. මේ සියලු සිසුන් මහානාම විද්‍යාලයේ කියා මා පිළිගන්නේ නැහැ. සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාගවලට දෙවැනිවර පෙනී සිටින සිසුන් පිරිසක් මෙන්ම පාසලෙන් ඉවත්වූ සිසුන් පිරිසක්ද ඇතුළුව තවත් පාසල් කීපයක සිසුන් මේ කලබගෑනියට සහභාගිවී තිබෙන බව ආරංචියි. මේ අය ටියුෂන් පන්තියකට සහභාගිවෙන සිසුන් බවටත් තොරතුරු ලැබී තිබෙනවා.


මේ හැසිරීම අනුමත කළ නොහැකියි. තරුණකමට, කොලුකමට, වීරත්වය පෙන්වන්න මේ වගේ හැසිරීම් දක්වනවා. පාසල සම්බන්ධ නැති උනත්, මේ හැසිරීම් අනුමත නොකළත් සමාජ රටාවත් එක්ක මේවා සිදු වෙනවා. කාලයක් තිස්සෙ මේ වගේ ක්‍රියා සිදුවෙමින් ආවා. සිදු වෙච්ච දේට මම සුදු හුණු ගානවා නෙවෙයි. අලුත් සංස්කෘතින් එක්ක බිහි වෙන දේවල් බිග් මැච් කාලෙට කොල්ලො කැපී පෙනෙන්න යනවා. තරුණ ගෑනු ළමයි ඉදිරියෙ වීරයො වෙන්න යනවා. වයසෙ වැරැද්ද. මේවා පහසුවෙන් නතර කරන්න පුළුවන්ද කියන ප්‍රශ්නය තියෙනවා. නමුත් ඉදිරියේදී දරුවන්ට ආදර්ශයක් ලෙස මෙවැනි සිදුවීම්වලට සම්බන්ධ අයට දඬුවම් දිය යුතුයි.


මම අවුරුදු 22ක් විදුහල්පතිවරයෙක් ලෙස සේවය කර තිබෙනවා. ඒ කාල සීමාව තුළ තරුණ වයසෙ දරුවන්ගෙ මෙවැනි හැසිරීම් අනන්තවත් දැකල තියෙනවා. තරුණකමට සිදුකරන වැරැද්දට මුළු ජීවිත කාලයටම දඬුවම් විඳින්නත් සිදුවෙනවා.


වැරැද්ද වැරැද්දමයි. ඒ වැරැද්ද නිවැරැදි කරන්නත් බැහැ. අප ඒ ගැනත් සිතිය යුතුයි. දඬුවම් ලබාදීමෙන් අනාගත දරු පරපුරට ආදර්ශයක් ඇති වෙනවා. මේ සිදුවීමට රටේ නීතිය ක්‍රියාත්මක වේවි. තරුණකම සමාජයට රටට හානිකර නොවන ලෙසට යොදවා ගැනීමට අනාගත පරපුරට ආදර්ශයක් ලෙස වැරැද්දට දඬුවම් දිය යුතුයි. 

 


මෙහෙම ගියොත් අපේ රටේ කාපිරි සංස්කෘතියක් බිහිවේවි

කොළඹ යශෝධරා බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනි
නිලුකා සමන් කුමාරි:-


යශෝධරා බාලිකාවට බලහත්කාරයෙන් ඇතුළත්වූ සිසුන්ට මෙන්ම මෙවැනි ප්‍රචණ්ඩ ක්‍රියාවල යෙදෙන සියලු දෙනාට එරෙහිව රටේ නීතිය තදින් ක්‍රියාත්මක විය යුතු බව කොළඹ යශෝධරා බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනි නිලුකා සමන් කුමාරි මහත්මිය ප්‍රකාශ කළාය.


සිසුන් පිරිසක් පසුගිය අඟහරුවාදා සිය විද්‍යාලයට බලහත්කාරයෙන් ඇතුල්වී පීඩාකාරී ලෙස හැසිරුණ බව “ඉරිදා ලංකාදීප කළ විමසුමට පිළිතුරු දෙමින් විදුහල්පතිනිය මෙසේද කීවාය.


අපේ පාසලේ ඉන්නෙ ගැහැනු ළමයි. මේ ගැහැනු ළමයි සියලුම දෙනාගෙ ආරක්ෂාව සැලසීම මගෙත් ගුරු මණ්ඩලයෙත් වගකීම. එක දැරියකටවත් කිසිදු පීඩාවක් නොවිය යුතුයි. මේ සිදුවීම ඉතාම තදින් හෙළා දකිනවා. අනපේක්ෂිත වෙලාවක 500ක විතර තරුණ පිරිසක් පාසලට බලහත්කාරයෙන් ඇතුල් වුණා. ආරක්ෂක නිලධාරීන්ටත් ඔවුන් පාලනය කිරීමට නොහැකි වුණා. වැඩි දෙනා මත්පැන් හෝ මත් ද්‍රව්‍ය පාවිච්චි කර තිබූ ආකාරය පෙන්නුම් කළා. රාජ්‍ය දේපළවලට හානි කළා. මහා කලබගෑනියක් කළා.


මේක අපේ පාසලට පළමු අත්දැකීමක්. වෙනත් කාන්තා පාසල්වල මෙවැනි දේවල් වෙන්න ඇති. නමුත් යශෝධරා බාලිකා විද්‍යාලයට මීට පෙර මෙවැනි සිදුවීමක් වෙලා නැහැ.


මේ ළමයි කවුද කියලවත් අපි දන්නෙ නැහැ. අල්ලා ගත් තරුණයා ප්‍රකාශ කර තිබුණේ මහානාම විද්‍යාලයේ කියලයි. කවුරු කළත් මේ සිදුවීම බොහොම අශෝභනයි. මේ විනාශ වෙන්නෙ අපේ සමාජය. මෙහෙම ගියොත් අපේ රටේ වැඩි කලක් යාමට පෙර කාපිරි සංස්කෘතියක් බිහි වෙවි. මේවා නතර කිරීමට වහාම තදබල ලෙසින් නීතිමය පියවර ගත යුතුයි. එසේ නොවුණොත් මීළඟ සිදුවීම බොහොම බරපතළ වේවි. 

දයාසීලි ලියනගේ