IMG-LOGO

2025 ජනවාරි මස 24 වන සිකුරාදා


අපේ හමුදාව විශිෂ්ටයි

(ඉන්දිකා රාමනායක ත්‍රිකුණාමලය කුච්චවේලි සිට)

මෙරට හමුදාවන් සඳහා තිබෙන්නා වූ ගෞරවය ප්‍රධාන වශයෙන් ආරක්ෂා වී ඇත්තේ ඒවා ඉතාමත් හොඳ විනයක් ඇති හමුදාවන්වීම නිසා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

එම විනය  ජාතික වශයෙන්  මෙන්ම අන්තර්ජාතික වශයෙන්  පිළිගෙන ඇති කරුණක් බවද ජනාධිපතිවරයා කීය.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ යුද හමුදාව ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් වාර්ෂිකව සංවිධානය කරන  8 වැනි දියකාවා යුද අභ්‍යාසයේ ප්‍රධාන අභ්‍යාසය අවසානයේ එහි සිටි රණවිරුවන්ට  සුබ පතමින් චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ ඔවුන් අමතමිනි.

මෙම අභ්‍යාසය ඉකුත්දා (14)  පෙරවරුවේ ත්‍රිකුණාමලය කුච්චිවේලි හෙරක්කන්ඩි මුහුදු ප්‍රදේශයේ දී පැවැත්විණි.
එම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තන් වශයෙන්  ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන, ආරක්ෂක ලේකම් ආචාර්ය කපිල වෛද්‍යරත්න යන මහත්වරු සහභාගි වූහ.

දියකාවා යුද අභ්‍යාසය 2010 වසරේ ආරම්භ වූ අතර එය මෙවර පැවැත්වූයේ 8 වැනි වරටය.
ත්‍රිවිධ හමුදාව ත්‍රස්තවාදය පරාජය කිරීම සඳහා සිදුකළ ක්‍රියාන්විත නැවත නැවතත් පුහුණු වෙමින් ඉදිරියේ රට තුළ එවැන්නක් ඇති වීම   වළක්වා ගැනීමට  ක්‍රියා කිරීම සහ ත්‍රිවිධ හමුදාව ලබා ගත් එම අත්දැකීම් නවකයින්ටත් ලබාදීම එම අත්දැකීම් හුවමාරු කිරීම මෙම දියකාවා අභ්‍යාසයේ අරමුණ බව හමුදාව කියයි.

කඳවුරු පරිශ්‍රයට පහරදීමේ අවසන් යුද අභ්‍යාසය කමාන්ඩෝ සහ විශේෂ බළකා භට පිරිස්හි මූලිකත්වයෙන් ඇරඹුණු අතර පසුව එම්අයි 24 හෙලිකොප්ටර් යානා, මිග් ප්‍රහාරක යානා සහ නාවික ප්‍රහාරක යාත්‍රාද එක්වී මෙවර අභ්‍යාසයේ ප්‍රධාන අභ්‍යාසය වූයේ ත්‍රිවිධ හමුදා භට පිරිස් මුහුදින්, ගොඩබිමින් හා ගුවනින් ගොස් වෙරළ තීරයේ තිබූ සතුරු කඳවුරකට ප්‍රහාරයක් එල්ල කරමින් එය විනාශ කිරීමයි.

නාවික හමුදා නෞකා, ඩෝරා යාත්‍රා, කුඩා යාත්‍රා 33 ට අධික ප්‍රමාණයක් අභ්‍යාස සඳහා යොදවා තිබූ අතර ගුවන් හමුදාවේ බෙල් 212 හෙලිකොප්ටර් යානා, ඵෂ 24 හෙලිකොප්ටර් යානා, මිග් 17 වර්ගයේ යානා 130 යානා, එෆ්. 7 වර්ගයේ ප්‍රහාරක යානා ඇතුළු යානා 13 ක් යොදවා තිබුණි. යුද හමුදාවේ සන්නද්ධ රථ 20 කට ආසන්න ප්‍රමාණයක් ද යොදවා තිබුණි.

මෙවර අභ්‍යාසය සඳහා ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් හා සෙසු නිලධාරිහු 2744 ක් සහභාගි වී සිටියහ. ත්‍රිවිධ හමුදාවේ මෙම පුහුණු අභ්‍යාස දැක බලා ගැනීමට රටවල් 13 ක් නියෝජනය කරමින් නිලධාරීන් 69 කට ආසන්න පිරිසක් සහභාගි වී සිටියහ.

 පුහුණු අභ්‍යාසය නිමවීමෙන් පසු ජනාධිපතිවරයා එයට සහභාගි වූ සියලු රණවිරුවන්ට සුබ පතමින්  චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ ඔවුන් ඇමතීම සිදුවිය.

එහිදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මෙසේ ද පැවසීය.

දියකාවා අභ්‍යාසයේ 8 වැනි  අභ්‍යාසය සාර්ථකව නිමකිරීමට එයට දායක වූ සියලු  ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට සුබ පතමින්  ඔවුන් ඇමතීමට ලැබීම පිළිබඳව මම සතුටට පත්වෙනවා. දියකාවා යුද අභ්‍යාසය 8 වැනි වරටත් පැවැත්වීම, මා දකින්නේ අපේ ආරක්ෂක හමුදාවල මෙන්ම ඊට සහභාගිවූ සියලුම විදේශීය මිත්‍ර රටවල්වල ආරක්ෂක හමුදාවල කාර්ය මණ්ඩල ප්‍රධානීන් ඇතු`එ සියලුම නිලයන් ලැබූ විශිෂ්ට ජයග්‍රහණයක් ලෙසයි.
 මෙම යුද අභ්‍යාසයේදී මීට සහභාගිවූ නිලයන් දැක්වූ කැපවීම, එඩිතරකම, වීරත්වය, කාර්යක්ෂමතාව, විනය මා ඉතාමත්ම අගය කරනවා.

ශ්‍රී ලංකාවේ හමුදාවන් සඳහා තිබෙන්නාවූ ගෞරවය ප්‍රධාන වශයෙන්ම ආරක්ෂාවී ඇත්තේ ඉතාමත් හොඳ විනයක් ඇති හමුදාවක් වීම හේතුවෙනි. එය ජාතික වශයෙන් මෙන්ම අන්තර්ජාතික වශයෙන් ද පිළිගෙන ඇති කරුණක්. අපේ රටේ ත්‍රස්තවාදයට විරුද්ධව දීර්ඝ කාලයක් තිබූ යුද්ධයේදී යුද, නාවික, ගුවන්, පොලිස්, සිවිල් ආරක්ෂක ඇතුළු  සේවා සියල්ලම දැක්වූ කැපවීම සහ සහයෝගිතාව තුළ එම ජයග්‍රහණ ලබාගැනීමට හැකි වූ බව අපි දන්නවා.

අද යුද අභ්‍යාසවල තිබෙන්නාවූ වැදගත්කම පිළිබඳව කතා කළහොත් අධිතාක්ෂණික ලෝකයේ නවීන විද්‍යාවත් සමග සියලු ක්ෂේත්‍රයන්හි දැනුම දවසින් දවස වර්ධනය වෙනවා. වෛද්‍ය විද්‍යාව, ඉංජිනේරු විද්‍යාව, තාක්ෂණය දවසින් දවස වෙනස්වන්නා සේම ඕනෑම රටක ආරක්ෂක හමුදාවල දැනුම වර්ධනය වෙනවා.

නව තාක්ෂණික යුද උපකරණ, ශිල්පීය දැනුම, තාක්ෂණික දැනුම යුද අභ්‍යාස තුළ ඉතාමත් වැදගත් වෙනවා. අපේ මාතෘ භූමියේ ආරක්ෂාව සඳහා මෙන්ම කලාපීය ආරක්ෂාව, අන්තර්ජාතික ආරක්ෂක සේවාවන්වල සබඳතා, මිත්‍රශීලිභාවය අපේ හමුදාවන්වලට අවශ්‍ය වෙනවා. අන්තර්ජාතික වශයෙන් පිළිගත් ඉතාම දක්ෂ හමුදාවන් විදියට මේ යුද අභ්‍යාස තුළින් ලබා ගන්නාවූ දැනුම, අවබෝධය, අත්දැකීිම අපි ඉතාමත් වැදගත් කොට සලකනවා.

2017 වර්ෂයේ දියකාවා යුද අභ්‍යාස 8 වැනි වරටත් පවත්වා අවසන් වන අවස්ථාවේ ඔබට සුබපතා ආශිර්වාද කිරීමට ලැබීම පිළිබඳව මා ඉතාමත් සතුටු වෙනවා. නැවත නැවතත් මා මෙහිදී සඳහන් කරන්නේ ඔබේ කැපවීම, එඩිතරබව, වීරත්වය, දක්ෂතාව, සටන්කාමීත්වය ඔබ තුළ තිබූ විනය මෙහිදී ඉතාමත් වැදගත් බවයි.

මේ යුද අභ්‍යාසය තුළ ඔබ සෑම කෙනෙක්ම එක්වී ඉතාමත් සුහදතාවයෙන් අපේ මිත්‍ර රටවල් සමග, ආරක්ෂක ප්‍රධානීන්, ආරක්ෂක හමුදා සමග මේ යුද අභ්‍යාසය සාර්ථක ලෙස අවසන් කිරීමට ලැබීම පිළිබඳවත් මා ඉතාමත් සතුටු වෙනවා.

අවසාන වශයෙන් යුද අභ්‍යාස තුළ අපේ යුද, නාවික, ගුවන්, ත්‍රිවිධ හමුදා ලැබූ අත්දැකීම, අවබෝධය, දැනුම මෙන්ම මේ සඳහා සහභාගිවූ අනෙකුත් මිත්‍ර රටවල්වල ආරක්ෂක ප්‍රධානීන් ආරක්ෂක සාමාජිකයින් සියලු නිලයන්, මේ සඳහා සහයෝගය දුන් සෑම රටකම රජයන්ටත්, රාජ්‍ය නායකයින්ටත් මේ කටයුතු ඉහළ කැපවීමකින් කළමනාකරණය කිරීමට මූලිකත්වය ගත් ශ්‍රී ලංකා යුද හමුදාවේ යුද හමුදාපති මහේෂ් සේනානායක මහතා, නාවික හමුදාපති, ගුවන් හමුදාපති, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීන් ආරක්ෂක ලේකම් ඇතු`එ සියලු කාර්යය මණ්ඩලවලටත් මගේ ගෞරවනීය ස්තූතිය පුදකරනවා.

ඔබේත් මගෙත් ආදරණීය මාතෘ භූමිය වෙනුවෙන් යහපත් මානව සමාජයක් වෙනුවෙන් ජාතික වශයෙන් මෙන්ම අන්තර්ජාතික වශයෙන් ආරක්ෂක සේවා විදියට අපේ කැපවීම තව තවත් ඉදිරියට ධෛර්යවන්තව ආත්ම ශක්තියෙන් ආත්මාභිමානයෙන් එඩිතරව ඉලක්ක සහගතව සියලු කාර්යයන් සාර්ථකව කිරීමට සියලු දෙනාට ධෛර්ය ශක්තිය වාසනාව ලැබේවා කියා මා ආශිර්වාද කරනවා, සුබපතනවා යැයි ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

එහිදී ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා  මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙසේ පැවසීය.
“දියකාවා අභ්‍යාසය” නැරඹීමට මෙම අවස්ථාවට සහභාගි වීමට ලැබීම පිළිබඳ ආඩම්බර වෙනවා. අපේ ත්‍රිවිධ හමුදාව මේ රටට විශාල සේවයක් ඉටුකර  තිබෙනවා.  වසර 30 තිස්සේ  මේ රටේ තිබුණ යුද්ධය ත්‍රිවිධ හමුදාව එක්වී අවසන් කළා.  නමුත්  යුද්ධය නිමකළ ද අපි මේ වගේ අභ්‍යාස සිදුකරමින් අපේ අවධානය  ඒ දෙසට යොමුකරන්න අවශ්‍ය වෙනවා.

මේ අභ්‍යාසය ඉදිරියට සිදුකිරීම අවශ්‍යයි. තරුණ පිරිස ඒ  ඔවුන්ගේ අවධානය මේ අභ්‍යාස වෙත යොමුකර ඒ තුළින් අත්දැකීම් ලබාගන්නවා. ඉදිරියේ දී මේ රටේ යම් අනතුරක් සිදු වුවහොත් ඔවුන්ට එයට සාර්ථකව මුහුණ දීමට හැකියාව ලැබෙනවා. ඒ සඳහා ඔවුන්ට අවශ්‍ය අත්දැකීම් තිබෙනවා. එම නිසා මෙම අභ්‍යාස ඉතාමත් වැදගත් වෙනවා.  මෙවැනි අභ්‍යාසයක් පැවැත්වීමට කටයුතු කළ ත්‍රිවිධ හමුදාපතිවරුන්ට මගේ ස්තූතිය පුදකරනවා යැයිද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා එහිදී මෙසේ පැවසීය.

 ශ්‍රි ලංකා යුද හමුදාව කියන්නේ වසර 30 ක්  යුද්ධ කර ජයග්‍රහණය කළ හමුදාවක්. හමුදාවේ  තිබිය යුතු දක්ෂකම්, අත්දැකීම් ඒ සියලු දෙයක්ම  නැවත වතාවක් මතක් කිරීමක් සහ  අප වෙත බැඳී සිටින නවකයන්ට එම අද්දැකීම් ලබාදීම සඳහා   අපි මෙවැනි අභ්‍යාස පවත්වන්නේ.

එම අවස්ථාවේ යුද හමුදාව ප්‍රමුඛ ගුවන්, නාවික යන ත්‍රිවිධ හමුදා සාමාජිකයින් 3000 කට ආසන්න පිරිසක් මේ සඳහා  සහභාගි වී සිටිනවා.

එම අභ්‍යාසය මාසයක් පුරා තිබෙනවා. අද පෙන්නුම් කළේ එහි ප්‍රධාන අභ්‍යාසයක් සඳහා පමණයි. එයින් පැහැදිලි වෙනවා මේ හමුදාවන් කොයිතරම් සූදානමින් ඉන්නවාද කියලා. රටේ ජනතාවට මේ අවස්ථාවේ කියන්න තියෙන්නේ ඔබගේ ත්‍රිවිධ හමුදාව, ඔබගේ මුරදේවතාව, රටට ඇතිවෙන ඕනෑම තර්ජනයකට ඔබ වෙනුවෙන්   මුහුණ දෙන්න ඉදිරිපත් වෙන්න  සුදානම් වෙලා පුහුණු වෙලා ඉන්නේ.

එම නිසා  හමුදාවන්  ගැන විශ්වාස ඇති කරගන්න. මේ හමුදා තුනම මේ රටේ  ඇතිවෙන ඕනෑම අවස්ථාවකට මුහුණ දෙන්න සුදානමිකින්  සිටින්නේ. ඒ තමයි අපේ ශක්තිය එම ශක්තියේ කොටසක්  තමයි අද   දිනයේ අපි පෙන්නුම් කළේ.

විදේශ රටවල හමුදා සාමාජිකයින් අද මෙම අවස්ථාවට සහභාගි වී  සිටිනවා.  එමගින් අපිට පෙනෙන්නේ  විදෙස් රටවල හමුදා සාමාජිකයින්  අපිව කොයිතරම්  පිළිගෙන තිබෙනවාද කියා, අපේ ආවේනික සටන් ක්‍රම ඔවුන් මොනතරම් පිළිගෙන තිබෙනවා ද කියලා. අපේ ඉගෙන ගන්න ඒ  රටවල පිරිස මෙහි පැමිණීම ගැන  අපි ඒ ගැන සතුටු වෙනවා මෙන්ම ආඩම්බර වෙනවා. යැයිද හමුදාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

ත්‍රිකුණාමල 22 සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජනරාල් අරුණ ජයසේකර මහතා එහිදී මෙසේ පැවසීය.
යුද හමුදාපතිවරයා විසින් මෙම දියකාවා යුද අභ්‍යාසයේ  අධ්‍යක්ෂවරයා වශයෙන්  පත්කර තිබෙනවා.  මේ දියකාවා යුද අභ්‍යාසය අපි පටන් ගත්තේ 2010 වසරේ.  මෙවර අපි සිදුකළේ 8 වැනි වරට.  දියකාවා යුද අභ්‍යාසය ජාත්‍යන්තර වශයෙන් පිළිගත් යුද අභ්‍යාසයක්. යුද හමුදාවේ විශේෂ බළකාය, කමාන්ඩෝ බළකාය  සහ නාවික හා ගුවන්  හමුදාවන්වල ඔවුන්ගේ විශේෂ බළකා මේ සඳහා සහභාගි කර තිබෙනවා.

මේ වසරේ අභ්‍යාසයට අපි උත්සහ කළා මෙයට අලුත් දේවල් කිහිපයක් එකතු කිරීමට. යුද හමුදාවේ යාන්ත්‍රික, පාබල රෙජිමේන්තුවට අයත් ඒකක අපි මේ සඳහා සහභාගි කරගත්තා.  බලවේගය  ක්‍රියාන්විතයෙන් පසු පළමු වතාවට නාවික හමුදාවේ එල් සී එම්, එල් සී යූ  යන්ත්‍ර පාවිච්චි කළා.   අපි පටන්ගත්තේ  සැප්තැම්බර් 03 වැනිදා. මෙය අවසන් වෙන්නේ සැප්තැම්බර් 23 වැනි දා.  

මේ යුද අභ්‍යාසය මුලතිව් සිට හම්බන්තොට දක්වා සිදුකරනවා. ඒ අතරේ තිබෙන  ත්‍රිකුණාමලය, මඩකළපුව, අම්පාර,  පොළොන්නරුව, හම්බන්තොට යන ප්‍රදේශවල ද ක්‍රියාන්විත සිදුකිරීමට නියමිත බවද අරුණ ජයසේකර මහතා වැඩිදුරටත් පැවසීය.

මෙම අවස්ථාවට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න, නාවික හමුදාපති වයිස් අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා, ගුවන් හමුදාපති එයාර් මාෂල් කපිල ජයම්පති යන මහත්වරුන් ඇතුළු ත්‍රිවිධ හමුදා උසස් නිලධාරීහු රැසක්ම සහභාගි වූහ.

 අවස්ථාව නැරඹීමට සාමාන්‍ය ජනතාවට විවෘත වූ අතර ඒ සඳහා සාමාන්‍ය වැසියන් රැසක්ම සහභාගි වී සිටියහ.

 



අදහස් (0)

අපේ හමුදාව විශිෂ්ටයි

ඔබේ අදහස් එවන්න

 

 

දේශපාලන

‘‘හිටපු ජනපති නිවාස තක්සේරු කරනවා‘‘
2025 ජනවාරි මස 19 3351 23

අප රටේ ජනතාව මේ රටේ විශාලතම දේශපාලන හැරවුම ඇති කිරීමට දායක වුණා. ඒ වගේම පසුගිය මාස දෙකක කාලය තුල මේ රටේ දේශපාලන සංස්කෘතියේ සුවිශාල පරිවර්තනය ඇති කිරීමට


දුන් ප්‍රතිඥා එලෙසම ඉටු කරනවා
2025 ජනවාරි මස 13 2960 19

රටත්, ජනතාවත් වෙනුවෙන් බොහෝ යහපත් දේ ඉටු කිරීමට දුන් ප්‍රතිඥා එලෙසම ඉටු කිරීමට පසු නොබස්නා වීර්යෙන් කැප වී සිටින බව ජනාධිපති අනුර දිසානායක මහතා තෛපොංග


‘එකිනෙකා අගය කිරීම සහ කෘතගුණ සැලකීමේ උතුම් ගුණාංයක්‘
2025 ජනවාරි මස 13 671 8

එකිනෙකා අගය කිරීම සහ කෘතගුණ සැලකීමේ උතුම් ගුණාංග උදෙසා දමිළ ජනප්‍රජාව විසින් සෑම වසරකම ජනවාරි මාසයේ සැමරෙන තෛපොංගල් උත්සවය සැබෑ සංස්කෘතික වටිනාකම් ක



සෞඛ්‍ය දියුණුවට පංචවිධ වැඩපිළිවෙලක්
2025 ජනවාරි මස 09 966 5

ගුණාත්මක, ප්‍රශස්ථ සහ විධිමත් නිදහස් සෞඛ්‍ය සේවාවක් මෙරට ජීවත්වන ජනතාවට අඛණ්ඩව ලබා දීම සඳහා ඉදිරි වසර තුන තුළදී ප්‍රධාන ධාරාවන් පහක් ඔස්සේ මෙරට සෞඛ්‍


ආණ්ඩුවේ නව බදු ක්‍රමය ජනතාවට විශාල බරක්
2025 ජනවාරි මස 02 2913 21

ආණ්ඩුවේ නව බදු ක්‍රමය ජනතාවට විශාල බරක් මෙන්ම රටේ ආර්ථිකයට ද අහිතකර බලපෑමක් ඇති කළ හැකි බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහ


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 13 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 518 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 636 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site