අභියෝග ජයගත් මිනිස්සු  

 

 

වත්මනෙහි ලොව අංක එකේ ධනවතා ලෙස සැලකෙන්නේ ලෝ ප්‍රකට ඇමසෝන් ආයතනයේ නිර්මාතෘවරයා වන ජෙෆ් බේසොස්ය. පසුගියදා ඔහු හරි අපූරු හෙළිදරව්වක් කළේය. එනම් තමාගේ ජීවිත ගමනේ මේ වෙනසට පාර කැපුණු මොහොත ගැනය.  


එවකට ඔහු සරසවි අධ්‍යාපනය ලැබුවේ ඇමරිකාවේ නිව් ජර්සිහි ප්‍රින්ස්ටන් සරසවියෙනි. එකළ ඔහු සමඟ එහි අධ්‍යාපනය හැදෑරූ දීප්තිමත් ශිෂ්‍යයකු ගැන බේසෝස් විශේෂිත සඳහනක් කරයි.  


“ සෑම ලෙසකින්ම දක්ෂ දීප්තිමත් සිසුන් තොනැනත් සිටිනවා. මට මේ දීප්තිමත් චරිතය හමුවුණේ එදා ප්‍රින්ස්ටන් සරසවියෙ සිටියදීයි. එදා විසඳාගත නොහැකිවූ ගණිත ගැටලුවක් නිසා අතිශය බැරෑරුම් අවස්ථාවකට මුහුණ දෙමින් සිටි අවස්ථාවකදී එය සැණෙකින් විසඳා දීමට ඔහුට හැකිවුණා. ඔහු යසන්ත රාජකරුණානායකයි.”  


ඇමසෝන්හි නිර්මාතෘවරයා වන ජෙෆ් බේසෝස් මෙලෙසින් අතීතය ආවර්ජනය කරන අතර මේ අපූරු මිනිසා ගැනත් සඳහන් කරයි.   


කවුද මේ කියන යසන්ත රාජකරුණානායක?  


අද ඔහු ලෝකෙටම ගණන් කියා දෙන මහ මොළකාරයෙකි. නිව් ජර්සි හි විදුලි ඉංජිනේරු හා පරිගණක විද්‍යාව සම්බන්ධ උපාධිධරයකු වන අතර කැලි​ෆෝනියා උසස් තාක්ෂණික ආයතනය වෙතින් ව්‍යවහාරික ගණිතය සම්බන්ධයෙන් වූ ආචාර්ය උපාධිය ලබාගෙන තිබේ. මේ වනවිට විවිධ නව සොයාගැනීම් 94කට පමණ පේටන්ට් බලපත්‍ර ඔහුගේ නාමය ඉදිරියෙන් තිබේ.   


වත්මනෙහි ලොව සිටින උසස් තාක්ෂණික අංශයේ නවෝත්පාදක සොයා ගැනීම් ප්‍රමුඛයකු මෙන්ම විද්‍යාඥයකු වන ආචාර්ය යසන්ත රාජකරුණානායකගේ මෙතෙක් ගෙවූ ජීවන කතාව ඔබ කියවිය යුතුම වූ එකකි.   


ජීවිතය හමුවේ වූ අභියෝග අසිරිමත් ලෙස ජයගත් අපූරු චරිතයක් ලෙස ඔහු නම් කළ හැකිය. අභියෝග ජයගත් මිනිසුන්ගේ කතා පෙළට අද ඇතුළත් වන්නේ ඒ අර්ථාන්විති මිනිසා ගැන වූ කතාවය.  


යසන්ත රාජකරුණානායක උපත ලැබුවේ 1962 දී රත්මලාන ප්‍රදේශයේදීය. මධ්‍යම පාංතික පවුලකට අයත් වැඩිමහල් දරුවකු ලෙස උපන්න ඔහුට නැගණියන් දෙදෙනෙකි. මව උපාධිධාරී ගුරුවරියක වූවාය. පියා ගණකාධිකාරිවරයකු විය.  


”අපට තිබුණෙ හොඳ ගෙයක්. මම හිතන්නෙ ඒක සීයාගෙන් අම්මට දෑවැද්දට ලැබුණු ගෙදර වෙන්නැති. අපේ ඒ නිවස තිබුණෙ ක්‍රිකට් ක්‍රීඩාංගණයක් අසළ. ඒ පළාත ඇත්තටම ඒ කාලයේ හරිම සුන්දරයි”  
එසේ යට ගියාවේ මතකය අවදි කළ යසන්ත තමා කුඩා කාලයේ සිටම ඇදුම රෝගී තත්ත්වයෙන් පීඩා විඳි අයෙකු බව කීවේය.  

 


එවැනි දරුවකු ඉගෙනීමෙන් දීප්තිමත් චරිතයක් වූයේ කෙසේද? එය ආශ්චර්යවත් දෙයක්ද?   


මා ඇදුම රෝගයට දිගටම ප්‍රතිකාර ගත්තා. එහෙත් අද කාලයේ වගේ නෙවෙයි. එදා තිබුණු බෙහෙත් හරිම සැරයි. බිව්වාම මුළු ඇඟම රිදෙනවා. සමහරදාට ඇඟ ගැහෙනවා. හැබැයි, මම එය අභියෝගයක් කර ගත්තා. අම්මා ගුරුවරියකවීම මට ගෙන දුන්නෙ වාසනාවක්. ඒ මුළු පළාතෙම වගේ ළමුන් ගෙදරට ඇවිත් අම්මගෙන් ඉගෙන ගන්න හැටි නිතර මා දුටු දෙයක්. ගුරුවරුන්ගේ ළමුනට ඒ වාසිය ලැබෙනවා. පාසල් ජීවිතයේ පළමු පන්තියට යාමට පෙර සිටම අම්මා මාව පාසලට රැගෙන ගියා.   


පෙර පාසලක් වගේ තැනක මාව තියලා අම්මා අම්මගෙ පාසලට ගියා. ආපසු එන ගමන් මාව එක්කගෙන ගෙදර ආවා. අපිව බලාගන්න, ගෙදර උයන්න පින්න සහායට ඇය හිටියත්, අම්මා මාව ගෙදර දාලා ආවේ නැහැ. මේ නිසා පාසල් ජීවිතය අරඹන්නටත් පෙර එක වසරේ දැනුම මම ලැබුවා.  


සාමාන්‍යයෙන් ළමයකුගේ මනස වර්ධනය වන්නෙ අවුරුදු පහකට පෙරදීයි. ඒ අනුව තමයි ඒ දරුවාගේ අනාගත චර්යාව තීරණය වන්නෙ. ඔහු සමාජයේ චරිතයක් වන්නේ ඒ වර්ධනයට සමගාමීවයි. අම්මා උපාධිධාරි ගුරුවරියක වූ නිසා ඒ සංසිද්ධීන් ගැන දැන සිටින්නට ඇති.  


එදා මට ඒ වර්ධනය සඳහා වූ අත්තිවාරම ඇය ලබා දුන්නා. ඇදුම රෝගී තත්ත්වයෙන් පීඩා වින්දත් ඒ ගැන සිතනවාට වඩා ලෝකය ගැන සෙවුම්-බැලුම් කරන දරුවකු ලෙස තමයි මම හැදී වැඩුණෙ. මට මතකයි එදා මම අම්මාගෙන් ප්‍රශ්න වැලක් ඇහුවා. අම්මා ඒවාට පැකිළීමකින් තොරව උත්තර දුන්නා. කිසිම විටෙක මාව අහන ප්‍රශ්නය ප්‍රතික්ෂේප කෙළේ නැහැ.”  


යසන්ත එලෙසින් පවසන්නේ සමාජයට ලොකු පණිවුඩයක් දීම සඳහාය. අද සමහර මව්පියන් බොහෝ විට දරුවනට බොහෝ තහංචි දමන අතර ප්‍රශ්නයක් ඇසූ විට ඕවා ‘මහ ගොන් ප්‍රශ්න’ කියා ප්‍රති උත්තර දෙන අයුරු නිරන්තරයෙන් දැකගත හැකිය. එහෙත් ළමා කාලයේදී ළමයකුට සියල්ල ගැන කුතුහලයක් තිබිය යුතු බව මේ යසන්තගේ හැඟීමය.  


“මට සෑම දෙයක් ගැනම නිරන්තරයෙන්ම තිබුණෙ කුතුහලයක්. ඉගෙන ගන්න ළමුනට එය තිබිය යුතුම දෙයක්. ඒ අනුව තමයි ඔවුන් අලුත්-අලුත් දේ ගැන සෙවීමට පෙළැඹෙන්නෙ.”  


යසන්ත එදා තම පාසල් ගමන ආරම්භ කළේ කොළඹ ශාන්ත පීතර විද්‍යාලයෙනි. එවකට එය පුද්ගලික පාසලක් වූ බවත් පළමු වසර සඳහා පංති දෙකකට පමණක් සීමාව තිබූ බවත් සඳහන් කරයි. රත්මලාන සිට බම්බලපිටිය දක්වා මේ පාසල් ගමන සඳහා ඔහුට ඒමට සිදුවිණි. වසරක් වෙනුවෙන් දින 200ක් පමණ පාසල පැවැත්වෙන්නේ නම්, ඔහුට ඒමට හැකි වූයේ දින පනහක් හෝ හැටක් පමණි. ඇදුම රෝගයෙන් පීඩා විඳීම ඊට හේතුව විය.   
එසේ වුවද ත්‍යාග ප්‍රදානෝත්සවයේදී නිරන්තරයෙන් ඔහු ඇගැයීමට ලක්විණි. ශිෂ්‍ය දක්ෂතා මැන බලන ත්‍යාග ප්‍රදානෝත්සවයේදී ත්‍යාග වශයෙන් මට පොත් ලැබුණා. එය මට ගෙන දුන්නෙ පුදුමාකාර වූ සතුටක්. නමුත් ළමයින් අගැයීම වෙනුවෙන් එක් එක් මිණුම් දඬු තිබිය යුතු නැහැ. ඒක මගේ පුද්ගලික හැඟීමක්. අද මම හිතන්නෙ එහෙමයි. මොකද කිව්වොත් ළමුන් හැමෝම දක්ෂයි. ස්වභාවය වෙනස්.”  


එනයින් මධ්‍යම පාංතික පවුලකට අයත් දරුවකු ලෙස එදා කටයුතු කළ යසන්ත දුෂ්කරතා මෙන්ම අගහිඟකම්වලටද මුහුණ දුන් බව සඳහන් කරයි. 

 
“හැමදාම සෑම දෙයක්ම පහසුවට තිබුණෙ නැහැ. සමහර දිනවල දුෂ්කරතාවලටත් මුහුණ දුන්නා.  


දුක-සැප සමසේ විඳ දරා ගනිමින් ළමා කාලය ගෙවමින් සිටි යසන්තගේ ජීවිතයේ නව පිටුවක් පෙරළුණේ එදා අගැයීමේදී ත්‍යාග ලෙස ලද පොත නිසාය. ඒ වනවිට ඔහු දෙවැනි වසරේ ඉගෙනුම ලබමින් සිටියේය. එය 1969 වසර විය.  


“එදා මට ලැබුණෙ ග්‍රහලෝක ගැන බොහෝ දේ ඇතුළත් පොතක්. මේ කාලයේදී තමයි නීල් ආම්ස්ට්‍රෝං හඳට යන්න සූදානම් වෙච්ච කාලය. ලෝකයම එදා කතා කළේ ඒ ගැනයි. පුංචියට හිටියට, පුංචිකමට මාත් කල්පනා කළේ හඳට යන්නයි. මම හිතුවෙ මටත් හඳට යන්න පුළුවන් කියලයි.  


එතකොට මගේ වයස අවුරුදු 7යි. හඳට යන පුවත ලොව පුරා ප්‍රචාරය වෙලා තිබුණු නිසා එදා එහෙම හිතුවට ඊට පෙර මොනවටද පුතා ඔයා කැමැති කියලා මගෙන් කවුරු හරි ඇහුවාම මම කිව්වෙ කුණු කාරයෙක් වෙන්න කියලයි. කුණු ගෙනියන ට්‍රැක්ටර් එක ගෙදර අසලට ඒම ඊට හේතුවයි. ඒක නොදන්නා කමට කිව්ව දෙයක්. ඒ වගේම පොලිස්කාරයෙක් වෙන්න ආසයි කියලත් මම උත්තර දීලා තියෙනවා. ඒත් මම හිතන විදියට මගේ හිත තදින්ම වෙනස් වුණේ එදා අර ග්‍රහලෝක ගැන බොහෝ දේ සඳහන්වෙලා තිබුණු පොත නිසයි. මටත් හඳට යන්න පුළුවන්, කියන හැඟීම මම හිත්නනෙ ළමයකුගෙ හිතට ආව ලොකු අදහසක්.”  


විශ්වය ගැන වූ බොහෝ දේ ගැන එලෙසින් කුතුහලයෙන් පසුවූ යසන්ත ශිෂ්‍යත්ව විභාගය සමත්වීය. ඉනික්බිතිව කොළඹ රාජකීය විද්‍යාලයට ඇතුළත් විණි. විද්‍යාඥයකුවීමේ සිහිනය මේ වනවිට ඔහුගේ ඇතුළාන්තයෙහි නිදන්ගතව තිබිණි. පොත්-පත් පරිශීලනයට හේ බෙහෙවින් උනන්දු වූ බව කියයි.  


“මට තාත්තා ඒ වෙනුවෙන් බොහෝ උදව් කළා. මම ඉල්ලන පොත මොකක්ද? එහි ගණන කීය වුණත්, ඒ පොත අරන් දීමට තරම්, තාත්තා නිර්ලෝභී වුණා.”  


“කියවීම මිනිසා සම්පූර්ණ කරයි නම්” යසන්ත කියවීම ඔහුගේ ප්‍රියතම විනෝදාංශයක් කරගෙන සිටියේය. එමෙන්ම පුස්තකාලයට ගොස් පොත පත පරිශීලනය කිරීමේ උනන්දුවද ඔහුට තිබිණි.  


“ඒ අතින් මම හරි වාසනාවන්තයි, අපේ අම්මයි-තාත්තයි මට ඒ පරිසරය හදලා දුන්නා” ඒ දෙදෙනාගෙ අදහස් දෙවිදියක්. ඒත් ප්‍රායෝගිකව බොහෝ දේ ඉගෙන ගනිමින් ජීවිතය අත්දැකීම් ලබා ගත්තෙ තාත්තා නිසා. න්‍යායාත්මකව බොහෝ දේ ඉගෙන ගත්තෙ අම්මා නිසා.”  


එකී සංලනය ඇතිව පාසල් අධ්‍යාපනය ලබමින් සිටි යසන්ත කොළඹ රාජකීය වෙත ඇතුළත්වීම නිසා ලෝකයට යන ගමන සාර්ථක වූ බව හඟියි.  


“සමහර විටෙක රාජකීයයට නොගියේ නම්, මම ඇ​ෙමරිකාවට ගිහිල්ලා ඉගෙන ගන්න විදිය ගැන හිතන එකක් නැහැ. ශිෂ්‍යත්වය සමත්ව රාජකීයයට ගියාම එතැන හිටියෙ ඔක්කෝම අති දක්ෂයින්. ඒ අතරින් තව තවත් දක්ෂ වෙන්න මට පුළුවන් වුණා.”  

 

.ගරු ජනාධිපතිතුමා සමඟ

ගරු අගමැතිතුමා සමඟ

 


යසන්ත දක්ෂයින් අතර එලෙසින් අති දක්ෂයකු වූයේ ඇදුම රෝගියකු ලෙස ප්‍රතිකාර ලබමිනි. එය සුවකර ගැනීම වෙනුවෙන් සිංහල බෙහෙත් මෙන්ම ඉංග්‍රීසි බෙහෙත්ද නොයෙක් විදියට කළ බව පවසයි.  
මම හිතන්නෙ ඒ වෙනුවෙන් වෛද්‍යවරු සියයකට වඩා වැඩි පිරිසක් වෙත අම්මයි-තාත්තයි මාව ගෙන යන්න ඇති.”  


යසන්ත ආශ්චර්යවත් චරිතයක් වන්නේ මෙකී ස්වභා


වය නිසාය. එනම් රෝගී තත්ත්වය හමුවේ කිසි විටෙකත් අධ්‍යාපනය අත් නොහැරීය. මෙය අධ්‍යාපනය ලබන දරුවන් වෙත සදාකාලිකව ඔහුගෙන් ගත හැකි අපූර්ව පණිවුඩයකි.  


“ඒ විදියට මට ඇදුම රෝගය සැරට තිබුණෙ නැත්නම් අද මම වේ විදියට වෙන්නෙ නැහැ. ඒකට හේතුව කියන්නත් මම කැමතියි. මොකද ඇදුම​ රෝගියකුට හරියට නින්ද යන්නෙ නැහැ. නිදා ගන්න ගියාම එක පාරටම අවදිවෙනවා. එතකොට මේසයක් ළඟට ගිහින් හිස මේසයේ තබාගෙන සිටීම කළා. ඒ වෙලාවට මම කළේ පොතක් කියවීමයි. ඇඟේ වේදනාව අඩුවන තෙක් එහෙම කළා. හුස්ම ගැනීම අපහසු වූ විට මම කළේ ඉතා අසීරු දෙයක් ගැන සිතිවිලි යොමු කිරීමයි.  


ඒ ඉලක්කය සපුරා ගන්න නම් මොකක්ද කළ යුත්​තේ? යන්න දැන ගැනීම වෙනුවෙන් මම විද්‍යා නිබන්ධනයක් හෝ ගණිත නිබන්ධනයක් පරිශීලනයට පෙළැඹුණා. අසීරු ගණනක් හදන්නෙ කොහොමද? පරීක්ෂණයක් නිගමනයක් කරන්නෙ කොහොමද? මේ විදියට මනස වෙනතකට හැරෙව්වා.”  


යසන්ත විස්මිත චරිතයක් බවට පසුකාලෙක පත්වූයේ මෙකී ස්වභාවයෙන් එදා කටයුතු කළ නිසාමය.  


“ඇදුම නිසා හුස්ම ගැනීම අපහසු වූ නිසා, හුස්ම ගන්න එක අමතක වෙන්න මම මනස වෙනතකට යෙදෙව්වෙ එහෙමයි” එලෙසිනි, ඔහු ඒ පණිවුඩය සමාජයට ලබාදෙන්නේ.  


මිනිසකුට මනස ශක්තිමත් කරගත් පසු කළ හැකි දේ බොහෝය යන්න සපථ කිරීමට නොවේද? විටෙක ඔහු එදා ප්‍රායෝගිකව අත්විඳි දේ අද දකින්නේ. භාවනාවක් ලෙසය.   


“යමක් ගැන ඉතා ගැඹුරින් සිතිවිලි මුදා හැරියාම ගත සහ සිත වැඩ කරන්නෙ ඒ කෙරෙහි විතරයි”  


එදා ඔහු ප්‍රායෝගික කළේ ඒ සත්‍යයයි.  


රාජකීයයේ දීප්තිමත් සිසුවකු වූ යසන්ත ඊට සමු දුන්නේ දිවයිනේම කප් ගහපු උසස් පෙළ සිසුවකු ලෙසි සරසවි ප්‍රවේශය ලබමිනි. ලංකාවෙන්ම ප්‍රමුඛයකු ලෙස උසස් පෙළ සමත්වී මහපොළ ශිෂ්‍යත්වයක්ද ලැබ මොරටුව සරසවියට ඇතුළත් වීය.  


“පුතා සිවිල් ඉංජිනේරුවරයකු වුණොත් ඔයාට පරිසරයේ ඇවිදිමින් දුෂ්කර ලෙස ගත කරන්න වෙනවා. ඒ නිසා ඔයාගේ ඇදුම රෝගී තත්ත්වය අනුව හිතලා ඒකට හැඩ ගැසෙන්න පුළුවන් අංශයක් තෝරාගන්න.”  
තාත්තාගෙන් යසන්තට ලැබුණු අගනා පණිවුඩය එය වීය. යසන්ත අද මේ තරම් දුර ගමනක් ඒමට ඒ ඔවදන් මිල කළ නොහැකි තරම් අගනේ විය. විදුලි හා විද්‍යුත් අංශයේ ශිෂ්‍යයකු ලෙස මොරටුව සරසවියෙන් ඔහු ඔහුගේ සරසවි ජීවිතය ඇරැඹීය. පරිගණක ක්ෂේත්‍රයට ශ්‍රී ලංකාව අවතීර්ණ වෙමින් සිටියේ මුලාරම්භය එකී සමය වූ අතර විද්‍යුත් ක්ෂේත්‍රයේදී පරිගණක විද්‍යාව ඔහුගේ එක් අංශයක් විණි.   


එදා එලෙසින් ඇරැඹි පරිගණක විද්‍යාවේ පරිණත ඥානයක් හා දැනුමක් ලබමින් අද දක්වා බොහෝ දුර ගමනක් ඔහු ගොසින් සිටී. කෙසේ වුවද එදා මොරටුව සරසවියට ඇතුළත් වී සිටියද ඉනික්බිතිව ඇ​ෙමරිකාව බලා යාමට අරමුණු කරගත් බව ඔහු පවසයි.  


“සරසවි ප්‍රවේශය සඳහා වසරක් විතර බලා සිටීමට සිදුවුණා. මෙකී කාලයේදී මගේ හොඳම මිතුරෙක් මාව උනන්දු කළා ඇ​ෙමරිකාවට ගිහින් ඉගෙන ගනිමු කියලා. එයාලගෙ අම්මා-තාත්තා පවා මාව උනන්දු කළා. මේ ගැන අපේ තාත්තාට කිව්වාම තාත්තා කැමැති වුණත්, අම්මා කිව්වෙ මෙහිදී සරසවියේ ප්‍රථම පංතියේ උපාධියක් ලබාගෙන ඒක අහවර කරලා රට යන්න කියලයි. ඒත් ප්‍රවේශ විභාගය ලිව්වාම, ඇ​ෙමරිකාවේ නිව්ජර්සිහි-ප්‍රින්ස්ටන් සරසවිය වෙත යාමට ශිෂ්‍යත්වයක් ලබාගත්තා.  


ඒ අනුව එදා ඇ​ෙමරිකාව බලා ගිය යසන්ත එරටදි සරසවි අධ්‍යාපනයට ප්‍රවිශ්ට වූවේ මහා දාර්ශනික ඇල්බට් අයින්ස්ටයින් උගත් නිව්ජර්සිහි ප්‍රින්ස්ටන් සරසවි භූමියෙනි. එදා ප්‍රින්ස්ටන් සරසවි ශිෂ්‍යත්වය ඔහු ලබාගත්තේ ප්‍රවේශ විභාගය (තෝරා ගැනීමේ) සඳහා ඉදිරිපත් කළ නව ගණිතමය සංකල්පයක් නිසාය. එකළ හැටියට එය ඉතා විශිෂ්ට දෙයක් ලෙස ඔහු සඳහන් කරයි.  

 

සිය බිරිඳ සමඟ

බිරිඳ පුතා සහ දියණිය සමඟ

 


ප්‍රින්ස්ටන් සරසවියේදී ඉලෙක්ට්‍රොනික හා පරිගණක විද්‍යාව සම්බන්ධයෙන් උපාධිය ලබාගත් යසන්ත ඔහුගේ ආචාර්ය උපාධිය ලබාගත්තේ ව්‍යවහාරික ගණිත අංශයෙනි. ගණිතඥයෙකු ලෙස එලෙසින් ආචාර්ය උපාධිය ලැබුවේ කැලි​​ෆෝර්නියාවේ උසස් තාක්ෂණ ආයතනය වෙතිනි. සරසවි අධ්‍යාපනය ලැබීමේදී මුල් වතාවේදී ඔහු ශිෂ්‍යයකුව සිටියදී ‘ආරක්ෂක නිලධාරියකු’ ලෙසද සේවය කර ඇත.  


එදා මම ආරක්ෂක නිලධාරියකු ලෙස කටයුතු කළෙත් සරසවි පරිශ්‍රයකදීයි. දවසක් හිමපතනය තදින් පැවැති දිනෙක රථයක් පදවාගෙන යාමට සිදුවුණා. එදා මුල් වතාවට ඇ​ෙමරිකාවේදී රථයක් පැදවීම නිසා මට නුහුරු ගතියක් දැනුණා. මගේ රථය සරසවියේ ප්‍රධානියකුගෙ රථයෙ ගැටුණා. ටිකක් විතර බැණුම් ඇහුවා. ඒත් එයාලා සරසවියෙම නිසාත් හිම පතනය වූ දිනක් නිසාත් මට අවවාද කර මුදාහැරියා.  තවත් දිනෙක ආරක්ෂක කටයුතු කරමින් සිටියදී අපේ සරසවියෙ සභාපති පැමිණියා. මගේ වගකීම වුණේ හැඳුනුම්පත පරීක්ෂා කිරීම. එහෙම නැති අයට එන්න අවසර නැහැ. ඔහුව එදා මම දැනගෙන හිටියෙ නැහැ. හැඳුනුම්පත නැති නිසා යන්න දුන්නෙ නැහැ. එයා ආපහු ගිහින් එය අරගෙන ආවා. එයාලගෙ හැටි එහෙමයි. නීතියට ගරු කරනවා.  


සරසවි ජීවිතයෙන් අනතුරුව කැලිෆෝර්නියාහි උසස් තාක්ෂණ ආයතනයෙන් (Caltech) වෙතින් ආචාර්ය උපාධිය ලැබූ යසන්ත සරසවි ආචාර්යවරයකු ලෙස වෘත්තිය ජීවිතය ඇරැඹීය.  


එදා මෙරටදී ආගම-දහම ගැන ඔහුගේ අනෙක් මිතුරන් සමඟ බොහෝ වාද විවාද කරගත් නමුත් පසුව ඔහු තේරුම් ගත්තේ ලෝකය එකම ගම්මානයක් සහ ජාති-ආගම් භේදවලින් තොර එකම ජාතියක් බවය.  
“ලෝකය යනු එකම ආගමක්. එකම දර්ශනයක්. එහි ඇති ඉහළම දේ විද්‍යාවයි.” ඔහු විශ්වාස කරන්නේ එලෙසිනි. ආචාර්ය උපාධිය දක්වා ගමනක් යාමට ඒ මාවත ශ්‍රී ලංකාවේදී කියා දුන් සහ ගුරු හරුකම් ලබාදුන් එවකට සරසවි ආචාර්යවරයකු වූ (ව්‍යවහාරික ගණිත අංශයේ) දයාවංශ ආචාර්යතුමා ගැනද යසන්ත විශේෂිත සඳහනක් කරයි.  


“එදා එතුමා මට බොහෝ දේ ගැන කියා දුන්නා. මෙම අංශයේ විද්‍යාඥයින් ගැනත් එතුමා මට පහදා දුන්නා. ඇ​ෙමරිකාවේ සරසවි අධ්‍යාපනය ලබද්දි නොබෙල් ත්‍යාගලාභී රිචඩ් සයිමන් නමැති මම වඩාත් ගරු කරන විද්‍යාඥයකු සමගත් මට කටයුතු කරන්න ලැබුණා. ඇත්තටම මම ඇ​මෙරිකාවට ගියේ මුදල් හම්බකරලා ඒවා පොදි ගහගන්න නෙවෙයි. ලෝකයේ හොඳම සරසවි වෙති ගොස් දැනුම ලබාගන්නයි.”  


ආචාර්ය යසන්ත ලබාදෙන ඒ පණිවුඩය අපේ රටට ඉතා වැදගත්ය. මුදල් මුල් කරගෙන බොහෝ දේ සොයා යාම වෙනුවට ඔහු කෙළේ දැනුම සොයා යාමය. මෙහි ඉම හෙට දවසේ නොබෙල් පැසසීමට ලක් වේ නම් එය අරුමයක් නොවේ.  “මුදල් අවශ්‍ය වන්නේ ජීවත්වීම සඳහා අපට වියදම් කිරීමට විතරයි, එහෙම නැතුව මුදල් යනු පළමුව වැදගත් වන දේ නොවෙයි.”  


එදා සිට ආචාර්ය යසන්තගේ ජීවිතයේ වීරයන් වූයේ තෝමස් අල්වා එඩිසන් (විදුලි බල්බය සොයාගත්) මහා විද්‍යාඥයා වැනි චරිත විය.  


විද්‍යා නිබන්ධන සහ අනෙකුත් පොත් කියවන්න පටන් ගත්තාම මගේ වීරයින් වුණේ එතුමා වගේ මහා චරිතයි. මම හිතන්නේ අපේ ලංකාවේ ඉගෙන ගන්න ළමුන් තුළ එවැනි පිපාසයක් තිබිය යුතුයි. නව නිර්මාණ සහ නවෝත්පාදක දේ සොයා යාමේ පිපාසයෙන්, කුතුහලයෙන් පසුවන දරුවා හට හෙට දින ලෝකයට අලුත් යමක් දායාද කළ හැකි වෙනවා.”  


ලෝකයට අලුත් යමක් සොයා නව්‍යකරණයේ යෙදී සහ නවෝත්පාදන රැසක් සොයා ගනිමින්, එලෙසින් ගමනක් යමින් සිටියදී මවගේ සොයාදීම මත යසන්තට අපූරු සහකාරියක හමුවුණි. ඒ අනූව දශකයේ මුල් භාගයේදීය. ඇය නමින් ඉන්දුය. ඇය සහ ඇයගේ පවුලේ උදවියද ඇ​ෙමරිකාවේ සිට කටයුතු කර ඇත. ඉන්දු ජීව විද්‍යා අංශයේ උපාධිධාරිනියකි.   

 


අද මේ දෙපළට දියණියක් සහ පුතෙක් සිටිති. ඒ දෙදෙනාම තාත්තාගේ අඩිපාරේ ගිය දරු දෙදෙනෙකි. දරුවන් දෙදෙනාම උපාධිධරයින් ලෙස රැකියාවල නිරත වෙති.  තම බිරිඳ වන ඉන්දු හමුවීමට පෙර එකල සරසවි-අධ්‍යාපනය ලබද්දී මිතුරියන් සිටියද ආදරය ප්‍රකාශ වූ අවස්ථා නොතිබිණි. ඔහු සෙවූයේ ලාංකිකත්වයට සහ සරල බවට ළැදි සහකාරියකි. ඉන්දු ගැන ඔහු අද ආඩම්බර වන්නේ ඇය වචනයේ පරිසමාප්ත අයුරින්ම අර්ථාන්විත බිරිඳක වන බැවිනි. ආචාර්ය යසන්ත මෙලෙසින් ඇමරිකාවේ සිට අප සමඟ දුරකථනය ඔස්සේ බොහෝ දේ ගැන කතා කළේය. ඔහු කතා කළ සියල්ල අර්ථාන්විත දේය. පොතක් ලිවීමට තරම් කරුණු එහි ඇතුළත්ය. මෙහිදී එක් දෙයක් ගැන සඳහනක් කළ යුතුමය. ඒ ඔහු එදා ජෙෆ් බේසෝස්ගේ ගමන වෙනස් කිරීමට පුරෝගාමී වූ චරිතය වීමය.  


එදා ජෙෆ් ව්‍යවහාරික ගණිත අංශයේ සිසුවකු විය. නමුත් යසන්ත හමුවූ පසු ඔහු විදුලි ඉංජිනේරු අංශයේ ගමනක මුල පිරිය. පසුකලෙක එම අංශයේ සොයා ගැනීම් වෙතින් ඔහු ‘ඇමසෝන්’ ආයතනය බිහිකළේය. ජෙෆ් බේසෝස් යසන්ත ගැන අදද පසසන්නේ එහෙයිනි. අපේ මේ හමුවට සමුදීමට පෙර ආචාර්ය යසන්තගෙන් ඇසිය යුතුම වූ දෙයක් ගැන අපි විමසීමු. 


ගණිතය හැමෝටම බැරිද?  


“ඒක හොඳ ප්‍රශ්නයක්. ඇත්තටම කාටද ගණන් බැරි? දැන් බලන්න අපි ගණිතය මුල්වූ දේ තමයි බොහා් විට කරන්නෙ. එනිසා එය ස්වභාවයෙන්ම අපේ ජීවිත එක්ක බැඳී තිබෙන දෙයක්. විභාගය ලියද්දි ගණන් අමාරුයි කියලා කවුරු හරි කියනවා නම්, එතැන තියෙන්නෙ වටහා ගැනීමේ ප්‍රශ්නයක්. ඒත් නැතිනම් ප්‍රායෝගික නොවූ ප්‍රශ්නයක්. උපතින්ම ශාරීරිකව ආබාධයකට ලක් වූ කෙනෙකුට හැර ගණන් බැරි කිසිවෙක් නැහැ”  
ආචාර්ය යසන්ත රාජකරුණානායක පවසන ඒ රුවන් වැකිය හෙට අනිද්දා සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දරුවනට ලොකු ශක්තියක් ගැම්මක් වේවි. ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන වැඩ පිළිවෙළකට අත්තිවාරම දැමීම උදෙසා හෙට දින ඔහු ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවීමටද නියමිතය.  

 

 

සටහන - සඳුන් ගමගේ