විදුලිය නිපදවීමට මෙරට ප්‍රධාන වශයෙන් භාවිත​ ​ෙවන්නේ ගල් අඟුරු, ඩීසල්, දැවිතෙල් ආදී ඉන්ධන සහ ජල විදුලියයි. ද්‍රවීකෘත ස්වාභාවික වායු (Liquefied Natural Gas) ඉන්ධනය ද භාවිතයට ගැනීමට සැලසුම් ඇතත් තවමත් එය ක්‍රියාවට නැංවීමේ නිසි ක්‍රියාදාමයක් සකස් වී නොමැත. මේ දිනවල විදුලිබල ක්‍ෂේත්‍රයේ ප්‍රධානතම මාතෘකාව වී ඇත්තේ ද ද්‍රවීකෘත ස්වාභාවික වායු නැතිනම් LNG බලාගාර සහ පර්යන්තයි. සාමාන්‍ය ජනතාවට පමණක් නොව ශ්‍රී ලාංකික ඉංජිනේරුවන්ට ද ආගන්තුක ඉන්ධනයක් වන ස්වාභාවික වායු බලාගාර හා ඒ වෙත යොමු විය යුතු නිවැරදි මාර්ග පිළිබඳ අවබෝධය ලබාගැනීම කාලෝචිතය. 


මොකක්ද මේ LNG ඉන්ධනය කියන්නේ? 


ඇතැම් අය ‘ස්වාභාවික වායු’ බලාගාර යනු පුත්තලම ආදී ප්‍රදේශවල දැනට දකින්නට ලැබෙන සුළං බලාගාර යැයි වරදවා වටහාගෙන ඇති බව පෙනී යයි. ස්වාභාවික වායුව (Natural Gas) යනු මීතේන් වායුවයි. එය ඩීසල්, පෙට්‍රල් හෝ ගෘහස්ථ භාවිතයට ගන්නා අපි කවුරුත් දන්නා සිලින්ඩර තුළ එන ගෑස් මෙන්ම පොළොවෙන් ලබාගන්නා (ඛනිජ) ඉන්ධනයකි. ගෘහස්ථ භාවිතයට ගන්නා ද්‍රවීකෘත පෙට්‍රෝලියම් ගෑස් හෙවත් LP ගෑස් (LPG), මීතේන් වායුවට වඩා රසායනික සංයුතියෙන් වෙනස්, ඛනිජ තෙල් පිරිපහදුවල බොරතෙල් මගින් ‘කෘත්‍රිමව’ නිපදවන්නකි. නමුත් ‘ස්වාභාවික වායු’ ඉන්ධනය පොළොවේ ස්වාභාවිකවම වායුවක් ලෙස ගබඩා වී ඇති ඉන්ධනයකි. ඒ අනුව ‘ස්වාභාවික’ යන වචනයත් සමඟම අපේ හිතේ මැවෙන ‘පරිසර හිතකාමී’ පින්තූරය 100% ක් නිවැරදි නොවන නමුත් දහනයේදී පරිසරයට අහිතකර වායු විමෝචනය අඩු නිසා මෙය ගල් අඟුරු සහ ඩීසල් ඉන්ධනවලට සාපේක්‍ෂව පරිසර හිතකාමී ඉන්ධනයකි. එහෙත් මෙය නිෂ්පාදනයේදී හෝ ගබඩා පර්යන්තයක කාන්දුවකින් පරිසරයට මුදා හැරියහොත් ගෝලීය උණුසුම ඉහළ යෑමේ ප්‍රවණතාවට වන දායකත්වය කාබන්ඩයොක්සයිඩ් මෙන් 30 ගුණයක් පමණ වේ. තව ද 2016 වසරේ සිට ඇ​ෙමරිකාව පොළොව අභ්‍යන්තරයට විශාල ප්‍රමාණයේ රසායන ද්‍රව්‍ය මුදාහරිමින් නවතම ක්‍රම මගින් විශාල ප්‍රමාණයක් LNG නිපදවීම නිසා මිල පහත වැටීමක් දක්නට ඇතත්, එමගින් සිදු​ෙවන පරිසර හානිය නිසා සමහර ප්‍රාන්තවල එම රසායනික ක්‍රම තහනම් කර ඇත. 


ඒ අනුව ගෝලීය පරිසරය පිළිබඳ සැලකීමේදී LNG අප සිතන තරම් පරිසර හිතකාමී ඉන්ධනයක් නොවේය. මෙම සම්පත හිමිකම් ඇති රටවල් පොළොව සිදුරුකර ලබාගන්නා මෙම වායුව නළ මාර්ගයෙන් විදුලිබලාගාර සහ අධික වශයෙන් තාපය අවශ්‍ය වෙනත් කර්මාන්ත සඳහා භාවිතයට ගැනෙයි. ලංකාවේ ද මන්නාරම් මුහුදු ප්‍රදේශයේ, කි.මී. 4ක් පමණ පොළොව අභ්‍යන්තරයේ මෙම ඉන්ධනය ඇති බවට සොයාගෙන ඇත. මේ ගෑස් ලබාගැනීමට ඒ සඳහා තාක්‍ෂණය, දැනුම හා පළපුරුද්ද ඇති ආයෝජකයෙකු සමඟ සම්බන්ධ විය යුතුය. නමුත් ලෝක වෙ​ෙළඳපොළේ මේ දිනවල පවතින මිල ගණන් අනුව සැසඳීමේ දී විශාල මුදලක් වැයකර මෙය ලබාගැනීම මූල්‍යමය වශයෙන් තවමත් ලාභදායී නොවන නිසා ආයෝජකයින්ගේ උනන්දුව අඩුය. 


ලෝකයේ විදුලි අවශ්‍යතාවෙන් 40%ක් පමණ ලබාගන්නේ ගල්අඟුරු මගින් වන අතර දැනට ස්වාභාවික වායු භාවිතය 23%ක පමණ ප්‍රමාණයකි. ස්වාභාවික වායු බොහෝවිට භාවිතයට ගන්නේ නිපදවන රට තුළම හෝ නළ මාර්ගයෙන් යාබඳ රටවලයි. ලෝකයේ නිපදවන ස්වාභාවික වායු ප්‍රමාණයෙන් LNG බවට පත්කර නැව් මගින් ප්‍රවාහනය කරන්නේ සම්පූර්ණ නිෂ්පාදිත ප්‍රමාණයෙන් 10%ක් පමණ කුඩා ප්‍රමාණයකි. ලෝකයේ ප්‍රධාන LNG සැපයුම්කරුවන් වන කටාරය, ඕස්ට්‍රේලියාව, මැලේසියාව සහ ඉන්දුනීසියාව වැනි රටවල් මගින් ලෝක LNG සැපයුමෙන් 64%ක ප්‍රමාණයක් සපයනු ලබයි. මෙහි ඇති විශේෂිත වූ තත්ත්වයක් වන්නේ තම රට තුළ ස්වාභාවික වායු නිෂ්පාදනය කළත් ඕස්ට්‍රේලියාව 63%, මැලේසියාව 41%, ඉන්දුනීසියාව 55% ප්‍රමාණයක් තම විදුලිය නිපදවන්නේ ගල් අඟුරු මගින් වීමයි. 


නැව් මගින් LNG ප්‍රවාහනය කර විදුලිය නිපදවීම කරන්නේ ලෝකයේම රටවල් 20ක් පමණය. එයින් අතිශය බහුතරයක් ධනවත් රටවල්ය. ලෝකයේ ප්‍රධාන LNG ගැණුම්කරුවන් වන්නේ ජපානය (32%), දකුණු කොරියාව (13%), චීනය (11%) සහ ඉන්දියාව (8%) වන අතර ඔවුන් මිලදී ගන්නා ප්‍රමාණය සම්පූර්ණ ලෝක LNG ඉල්ලුම් ප්‍රමාණයෙන් 64%කි. ස්වාභාවික වායු නැව් මගින් ප්‍රවාහනයට පෙර සෙන්ටිග්‍රේට් ඍණ 160 (-160C)ට ශීතකර එය ද්‍රවයක් බවට පත්කරනු ලබයි. නැව් මගින් ප්‍රවාහනයේදී මෙන්ම, ආනයනය කරන ලද රට තුළ ද මෙම අධිශීත උෂ්ණත්වයේ ඇති පර්යන්තයක මෙම වායුව ද්‍රව්‍යක් ලෙස ගබඩා කර ගැනීමට සිදුවේ. භාවිත කරන රටේදී යන්ත්‍ර මගින් නැවතත් වායුවක් බවට පත්කරන LNG ඉන්ධනය නළ මාර්ගයෙන් විදුලිබලාගාර, වාහන ඉන්ධන සඳහා හෝ පිඟන්, වීදුරු, ලෝහ කර්මාන්තය වැනි අධික වශයෙන් තාපය අවශ්‍ය කර්මාන්ත සඳහා ලබාදෙයි. 

 


 

ලංකාවට LNG අවශ්‍යද? 


කොළඹ අවට ඩීසල් සහ දැවිතෙල් මගින් දැනට ක්‍රියාකරන තාප බලාගාර සහ 2021 පමණ ​ෙවනවිට එකතු​ෙවන බලාගාරත් ඇතුළුව මෙගා වොට් 1000 පමණ ප්‍රමාණයක් ඇත. ඉදිරි අවුරුදු 20 ඇතුළත සම්පූර්ණ වශයෙන් ඉදිවෙන බලාගාර සහ දැනට ඇති බලාගාර සැලකීමේදී අනාගතයේදී මෙගා වොට් 2000 ප්‍රමාණයක LNG බලාගාර පවතිනු ඇත. LNG මගින් ක්‍රියාකරන තාප බලාගාරයක් හා දැනට ඩීසල් මගින් ක්‍රියාකරන බලාගාරයක් අතර විශාල වෙනසක් නොමැත. යන්ත්‍රයට ඉන්ධන සපයන පද්ධතියේ වෙනස් කිරීමකින් පසු ඩීසල් මගින් ක්‍රියාකරන තාප බලාගාරයක් පහසුවෙන් LNG මගින් ක්‍රියාකරවිය හැක. ඩීසල් සඳහා වන බදු අමතක කළහොත් ඩීසල් හා LNG අතර ඇත්තේ කුඩා මිල වෙනසකි. නමුත් ඩීසල් දහනයෙන් වාතයට එකතුවන සල්ෆර්ඩයොක්සයිඩ් වැනි අහිතකර වායුන් LNG දහනයෙන් නිකුත් නොවන නිසා රථවාහන නිසා දූෂණය වෙමින් තිබෙන කොළඹ අවට පරිසර තත්ත්වය පාලනය කරගැනීමට මෙය රුකුලක් වනු ඇත. ඒ නිසා රටට ආගන්තුක මෙම ඉන්ධනය සඳහා අවශ්‍ය පර්යන්තය ප්‍රථමයෙන් මෙම බලාගාරවල අවශ්‍යතාව අනුව කොළඹට කිට්ටු ප්‍රදේශයකින් ඉදිකිරීම වඩාත් යෝග්‍ය වේ. 


ඉන්ධන විවිධාංගීකරණය මගින් ලැබෙන බලශක්ති සුරක්‍ෂිතතාව සැලකීමේදී ද විදුලි උත්පාදන ඉන්ධන ප්‍රභවයන් ලෙස LNG ද ජනන සංයුතියට ඇතුළත් වීම කාලෝචිතය. LNG ඉන්ධනය වෙත අප යොමුවිය යුත්තේ මනා අධ්‍යයනයකින් පසුව සකස්කරගන්නා බුද්ධිමත් සැලැස්මකට අනුව පමණි. නමුත් රටට එවැනි සැලැස්මක් නොමැති තත්ත්වයක් යටතේ නොයෙකුත් ව්‍යාපාරිකයින් ගෙන එන යෝජනා වැලක් පමණක් කරළියට පැමිණ ඇත. විශේෂයෙන් LNG මිලදී ගැනීමේ හා භාවිත සැලැස්ම අමාත්‍යංශ හා ආයතන කීපයක් අතර මනා සම්බන්ධීකරණයකින් යුතුව සකස්විය යුත්තක් වන නමුත් එවැනි තත්ත්වයක් දක්නට නොමැත. බලසම්පන්න ව්‍යාපාරිකයින්ගේ අවශ්‍යතා අනුව බලශක්ති විෂයන්ට අදාළ නොමැති අමාත්‍යංශ හරහා පවා LNG සැපයුම් හා පර්යන්ත සඳහා යෝජනා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වී ඇති අතර සමහර යෝජනා කැබිනට්ටුවේ ද සම්මත වී ඇත. 


LNG පර්යන්ත සහ සැපයුම් කොන්ත්‍රාත්තු 


LNG පර්යන්ත හා සැපයුම් ජාල මෙරටට තවමත් ආගන්තුක ක්‍ෂේත්‍රයක් නිසා මෙහිදී අප ඉතා සැලකිලිමත් විය යුතුය. අධිශීත තත්ත්වයේ තැබිය යුතු LNG ඉන්ධනය ඩීසල්, පෙට්‍රල් හෝ ගල් අඟුරු මෙන් භාවිත වෙන ප්‍රමාණය අනුව පහසුවෙන් වෙනස් කිරීමට හෝ පහසුවෙන් විශාල ප්‍රමාණයක් ගබඩා කිරීමට හැකි ඉන්ධනයක් නොවේ. එනිසාම LNG සැපයුම් ජාලය ඉතා සංකීර්ණ තාක්‍ෂණික හා වෙ​ෙළඳ නිර්ණායක මත රඳා පවතින්නකි. බොහෝ විට LNG සඳහා දිගුකාලීන ගිවිසුම්වලින් බැඳීමට සිදු​ෙවන අතර එහිදී LNG යම් ප්‍රමාණයක් අවුරුද්දකට අනිවාර්යයෙන්ම මිලදී ගැනීමට සිදුවනු ඇත. (එම ප්‍රමාණයට භාවිත කළත් නැතත් මුදල් ගෙවීමට සිදුවේ). 


මේ වනවිට වෙනත් කිසිඳු ක්‍ෂේත්‍රයකට වඩා තරගකාරී ලෙස LNG ගබඩා පර්යන්ත සැපයුම් කොන්ත්‍රාත්තු සහ බලාගාර සඳහා ආයෝජකයින් ඉදිරිපත්ව ඇති බව පෙනෙන්නට තිබේ. LNG සඳහා ව්‍යාපාරික යෝජනා ගලා එමින් පවතින අතර ඒ අතරින් වඩාත් ප්‍රබල ලෙස කරළියට පැමිණ ඇත්තේ ජපාන - ඉන්දීය ඒකාබද්ධ යෝජනාව, චීනය සහ කොරියානු රටවලින් කර ඇති ව්‍යාපාරික යෝජනාය. මේ යෝජනා තුනටම කැබිනට් අනුමැතිය ලැබී ඇති අතර දැනට එක් LNG පර්යන්තයක් අවශ්‍ය ලංකාවට පර්යන්ත තුනක්ම එකවර ඉදි​ෙවන තත්ත්වයක් ද නිර්මාණය වී ඇත. 


මේ යෝජනාවල අප දකිනා සමානාත්මතාවයන් වන්නේ, 


තරගකාරී ටෙන්ඩර් සඳහා ඇති දැඩි අකමැත්ත. 


ලංකාවට උචිත ප්‍රමාණයෙන් හා ආකාරයෙන් නොව ඔවුන්ට වැඩි වාසි අත්​ෙවන යෝජනා ඉදිරිපත් කිරීම. 


රජයකින් රජයකට ලැබෙන සහන යෝජනා ක්‍රමයක් ලෙස පෙන්වා යෝජනාව පිටුපස සමාගම් සිටීම. 


අණපනත්වලින් රිංගීම සඳහා සහ තරගකාරී ටෙන්ඩර් මඟහැරීම සඳහා ඒකාබද්ධ සමාගම් ස්ථාපනය කර එහි සුළු කොටස් ප්‍රමාණයෙක් ශ්‍රී ලංකාවටද ලබාදීම.  


මාධ්‍ය වාර්තා අනුව මින් එක් යෝජනාවක් වන්නේ 47.5% ඉන්දියාවට, 37.5% ජපානයට හා 15%ක් ලංකාවට අයිති ඒකාබද්ධ සමාගමක් මගින් කෙරවලපිටිය ප්‍රදේශයේ ඉදිකිරීමට යෝජිත වසරකට ටොන් මිලියන (MTPA) 2.7ක අති දැවැන්ත LNG සැපයුමක් සහිත පර්යන්තයකි. 


මෙහි සුවිශේෂම තත්ත්වය වන්නේ ප්‍රධාන LNG ගැණුම්කරුවා වීමට නියමිත විදුලිබල මණ්ඩලයේ හෝ විදුලිබල හා පුනර්ජනනීය අමාත්‍යාංශය හෝ ඉන්ධන සඳහා වගකිව යුතු ඛනිජතෙල් සම්පත් අමාත්‍යංශය පරයමින් වෙනත් අමාත්‍යංශ මගින් මෙම යෝජනා ඉදිරිපත්වීමයි. 

 

මෙම ජපන් ඉන්දීය යෝජනාව ඇතුළු බොහෝ යෝජනාවලදී දිගුකාලීන ගිවිසුමකට එකඟවීමට ද, අවුරුදු 20ක් වැනි දිගුකාලයකට ගිවිසුම් ගතවීමටත්, එක අවුරුද්දකට අනිවාර්යයෙන්ම මිලදී ගත යුතු අවම LNG ප්‍රමාණයකට එකඟවීමට ද නියමිතව ඇත. තව ද එම අවම ප්‍රමාණය භාවිත කළත් නොකළත් අනිවාර්යයෙන් ගෙවීමට සිදුවේ. අවුරුදු 20ක් වැනි දිගුකාලයකට අත්සන් තබන ගිවිසුමක අවාසි සහගත කොන්දේසි අන්තර්ගතව තිබුණහොත් රට ආර්ථික ආඝාදයකට තල්ලුවීම වැළැක්විය නොහැකිය. මෙවැනි රටට අවාසි සහගත ගිවිසුමකින් ඇතිවන පාඩුව ‘හෙජින් (Hedging)’ ගිවිසුමෙන් ලැබූ පාඩුවට වඩා දස දහස්වාරයක් වනු ඇත. 
දැනට කොළඹ ආසන්න ප්‍රදේශයේ ඩීසල් මගින් ක්‍රියාකරන තාප බලාගාර LNG මගින් ක්‍රියාකිරීමට හා අනාගත LNG බලාගාර ද සැලකීමේදී ඉදිරි අවුරුදු 10 ඇතුළත රටට අවශ්‍ය වන LNG ප්‍රමාණය අවුරුද්දකට ටොන් මිලියන (MTPA) 0.6 ක් පමණ වනු ඇත. මෙය හොඳ වර්ෂාවක් ලැබෙන වසරකට මෙට්‍රික් ටොන් 0.3ක් දක්වාත් වියළි කාලගුණයක් ඇති වසරක නම් වසරකට මෙට්‍රික් ටොන් 0.8ක් දක්වා ද වෙනස් විය හැක. තත්ත්වය මෙසේ තිබියදී අවුරුදු විස්සක් සඳහා මෙට්‍රික් ටොන් 2.7 ප්‍රමාණයේ දැවැන්ත සැපයුමක් ලංකාවට උචිත යැයි නිර්දේශ කළ විශේෂඥයන් කවුරුන්ද යන්න හෙළිකළ යුතුය. ලෝකයේ ප්‍රධාන LNG අපනයනයනකරුවන් වන්නේ කටාරය, ඕස්ට්‍රේලියාව සහ මැලේසියාව වැනි රටවල්ය. එසේ තිබියදී ජපානය, ඉන්දියාව වැනි ප්‍රධාන LNG මිලදී ගන්නා රටවලින් අප LNG ගෙන්වන්නේ ඇයි ද යන්නත් ප්‍රහේලිකාවකි. සමහරවිට මෙය එම රටවල් අතීතයේ අත්සන් කළ අවාසි සහගත දිගුකාලීන LNG මිලදීගැනීමේ ගිවිසුම්වලින් ලබාගැනීමට සිදුව ඇති LNG වැඩි මිලට ලංකාවට පැටවීමට කරන කුමන්ත්‍රණයක් ද විය හැක. 


තවද බොහෝ පරිසර හිතකාමීන් ඉහළ මිලක් ගෙවා හෝ සංවර්ධිත ධනවත් රටවල මෙන් අපද LNG භාවිතාවට ගත යුතු බවට විශ්වාස කරයි. නමුත් රටට අවාසි සහගත කොන්දේසි යටතේ අවශ්‍ය ප්‍රමාණයට වඩා LNG සැපයුම් ඇතිකරගැනීම හරහා (සීමාසහිත විදුලි ඉල්ලුමක් ඇති නිසා) LNG තාප බලාගාර පමණ ඉක්මවා ක්‍රියාකරවීමටත්, සූර්ය, සුළං වැනි පරිසර හිතකාමී බලාගාර පමණක් නොව වැසි සමයේ විශාල ජල විදුලි බලාගාර පවා නවතා දමන තත්ත්වයක් නිර්මාණය විය හැක. 


තවද ඉන්දියාව වැනි රටක මූලිකත්වයෙන් ඇති කරගන්නා සමාගමකට රටේ ප්‍රධාන විදුලි සැපයුමෙන් විශාල ප්‍රමාණයක් නිපදවීමට නියමිත LNG ඉන්ධනය හැසිරවීමට ඉඩදීම හරහා ජාතික ආරක්‍ෂාවට ඇති විය හැකි තර්ජන පිළිබඳව ද රජයේ අවධානය යොමුවිය යුතුය. 


ලංකාවට උචිත සැලැස්මක් ක්‍රියාත්මක කරමු. 


රටේ අනාගත පරම්පරා ගණනකට බෙහෙවින් බලපාන මෙවැනි ගිවිසුම් පිළිබඳව ජනතාවගේ අවධානය යොමුවිය යුතුය. මන්ද මේවා අපට අදාළ නොවේ යැයි බැලූ බැල්මට පෙනුනත් පරිසර ආරක්‍ෂාවට මුවාවී සිදුකෙරෙන ජාවාරම්වල පාඩුව අවසානයේ ගෙවීමට සිදුවන්නේ අල, පරිප්පු හා කුඩා දරුවාගේ කිරිපිටි පැකට්ටුවට ගෙවන බදු හරහා සාමාන්‍ය ජනතාවටය. මෙහිදී අප යෝජනා කරන්නේ ව්‍යාපාරික යෝජනා පසෙකලා ප්‍රථමයෙන් ශ්‍රී ලාංකික හා LNG පිළිබඳ පළපුරුදු විදේශීය බලශක්ති විශේෂඥයින්ගේ සහයෙන් ලංකාවට ගැළපෙන නිසි LNG භාවිත සහ සැපයුම් සැලැස්මක් සකස් කරන ලෙසයි. LNG සැපයුම්, ගබඩා පර්යන්ත හා බලාගාර යෝජනා එම සැලැස්මට අනුකූලව තරගකාරී මිල ගණන් කැඳවීම් හරහා පමණක් ක්‍රියාවට නැංවීම රජයේ වගකීමයි.