මේජර් ජෙනරාල් කමල් ගුණරත්න කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි සිසුවෙකි. කුඩා කල සිටම ලේඛනයට දස්කම් කී ඔහුගේ ලේඛනය ඔප මට්ටම් කරන ලද්දේ විදුහල්පතිවරයෙකු වූ ඔහුගේ පියාණන්ය. එසේම කත්‍රිණාආරච්චි ගුරු මාතාව ද ඒ භූමිකාවේ කොටස්කාරියක වන්නීය. 


පාසල් කාලයෙන් සමුගත් ගුණරත්න ගිනිඅවිය අතට ගන්නේ රට ජාතිය බේරා ගැනීම සඳහා වූ උදාරතර පරමාර්ථයෙනි. සැබැවින්ම ඔහුගේ ඒ යහ අධිෂ්ඨානය සඵල වෙන්නේය. ඒ ඔහු ඇතුළු සියලු පාර්ශ්වයන්ගේ කැපකිරීම් අනුව 2009 මැයි 19 වැනිදා ත්‍රස්තවාදය පරාජය කිරීමෙනි. 


යුද්ධය ජයග්‍රහණයෙන් පසු ගුණරත්න සිය කුඩා කල දක්ෂතාව උරගා බලන්නේය. ඒ තිස් වසරක යුද්ධයේ අත්දැකීම් ලේඛනය කරමිනි. රණ මඟ ඔස්සේ නන්දිකඩාල් එහි ප්‍රතිඵලයය. බිහිසුණු යුද්ධයේ මතකය එසේ ලේඛනය කළ ගුණරත්න සිය කුළුඳුල් නව කතාවද එළි දක්වන්නේය. එ් යුද්ධය නිසා ආබාධිත වූ රණවිරුවන් උදෙසාය. ඔවුනගේ ආදරණීය බිරින්දෑවරුන් උදෙසාය. ඔවුන්ගේ ආදරණීය මාපියන් උදෙසාය. තුවක්කුව අතට ගත් හමුදා සෙබළා තුළ ද ආදරය කරුණාව අපේක්ෂා කරන සරල මිනිසෙකු ජීවත් වන්නේය. එසේම හමුදා පුහුණුව තුළින් ලබා දෙන ආත්ම අභිමානය, එඩිතරකම, ඉවසීම, කැප කිරීම් සහිත අභීත මිනිසෙකු ද වන්නේය. 
කඩොල් ඇත්තු නමින් දොරට වැඩි එම කුළුඳුල් නවකතාවේ අන්තර්ගත වන්නේ කඩොල් ඇතු ලෙස යුද ජයග්‍රහණයට ගිය සෙබළුන්ගේ කතාන්දරයයි. එසේම ඒ බිහිසුණු යුද්ධය නිසා ආබාධ වී විෂම වූ සමාජය තුළ ජීවත්වන්නට සිදු වූ අාදරණීය සරල මිනිසාගේත් අභීත රණවිරුවාගේත් ජීවිතයේ දෝංකාරයයි. මේ ඒ පිළිබඳව වූ ගුණරත්නගේ 

ඔබගේ පළමු නවකතාව හඳුන්වා දෙන්නේ කෙසේද? 


ක​ඩොල් ඇත්තු මගේ පළවෙනි නවකතාව. මම ඉස්සෙල්ලා නවකතාවක් ලියන්න බලාපොරොත්තු වුණේ නෑ. ඒත් මගේ නන්දිකඩාල් පොත ලිව්වට පස්සේ ඒ ලිවීමේ හැකියාව භාවිත කරලා අපේ ආබාධිත සෙබළුන්ගේ අභ්‍යන්තරික ජීවිතය හා ඔවුන් මුහුණපාන ගැටලු පිළිබඳව පාඨකයාට අවබෝධයක් ලබා දෙන්නට හිතුවා. ඒ ව්‍යායාමයේ ප්‍රතිඵලය තමයි කඩොල් ඇත්තු. 


ෙමහි අන්තර්ගතය මොන වගේද? 


මෙය නාලක ජිනසේන කියන සොල්දාදුවෙක් වටේ ගෙතෙන කතාවක්. එයාට හමුදාවට බැඳෙන්න අදහස ආ හැටි, ඒ වගේම හමුදාවට බැඳුනට පසු මුහුණදෙන සිදුවීම් මොනවාද, තුවාල වෙලා යුද හමුදාවෙන් ඉවත් වෙලා සිවිල් සමාජයට ආවට පස්සේ එයා මූණදෙන ඇත්දැකීම් මොන වගේ ද කියන එක මින් කතා කරනවා. නාලක ජිනසේන සහ අනිකුත් චරිත මනඃකල්පිත චරිත වුවත් ඒ අය මුහුණ දෙන සිදුවීම් සියල්ලම කවදා හරි කොහේ හරි ආබාධිත සෙබළෙකුට මුහුණදෙන්නට වූ සිදුවීම්. 


ඒ කියන්නේ මේ පොතේ චරිත නාම මාත්‍රික වූවාට අන්තර්ගතය සත්‍යයි කියන එකද? 


ඔව්. මම සේවයේ නිතරව සිටියදීත් සේවයෙන් විශ්‍රාම ගත් පසුවත් ආබාධිත සෙබළුන් ඇවිල්ලා මාත් සමග ඔවුන්ගේ ජීවිත අත්දැකීම් බෙදා ගත්තා. ඒවාහි අන්තර්ගතයක් තමයි මේ තියෙන්නේ. කවුරු හරි මගෙන් ඇහුවොත් මේ සිද්ධිය වුණේ කාට ද කියලා එහෙම කියන්න මට මතකයක් නැ. එ්ත් ඒ සිද්ධිය මතකයි. ඒ සිදුවීම් තමයි මේ 


මෙය යුද සාහිත්‍යයට එකතු වූ යුදමය අත්දැකීම් රාශියක එකතුවක් කිව්වොත් මම නිවැරදිද? 


යුද සාහිත්‍ය කියනවාටත් වඩා යුද්ධයේ අත්දැකීම්වලටත් වඩා මේකේ තියෙන්නේ සෙබළෙක් ආබාධිත වුණාට පස්සේ සමාජය ඔහුට සලකන ආකාරය පිළිබඳ කතාවක්. ඒ කියන්නේ සෙබළාට හයිය හත්තිය බලය තියෙන කාලේ සලකපු විදියයි ආබාධිත වුණට පස්සේ සලකන ආකරය පිළිබඳව සමහරු සානුකම්පිතව බලන ආකාරයත්, සමහරු කෲර ලෙස සලකන ආකාරයත් මෙහි සඳහන් කරලා තියෙනවා. ඒ සියලු දේ ප්‍රායෝගික සමාජයේ අත්දැකීම්. 


මේ වගේ කතාවක් ලිව්වේ කුමන අරමුණකින්ද? 


මේ කතාවේ අරමුණ ආබාධිත සෙබළුන්ට අනුකම්පාව ලබා දීම නොවෙයි. ඒ සෙබළුන්ට අභිමානයක් සහිත ගෞරවයක් ලබා දීමයි මගේ අරමුණ. 


මෙය සමාජ දේශපාලනය කතා කරන කතාවක්ද?  


ඇත්තටම කිසිම දේශපාලනයක් මේ පොතේ නෑ. මෙහි අන්තර්ගත වෙන්නේ සාමාජීය ප්‍රශ්න පමණයි. 


ෙම් පෙතාට ඇයි කඩොල් ඇත්තු කියන නමම දැම්මේ. 


ඉතිහාසය පිළිබඳ දන්න හැමෝම දන්නවා කඩොල් ඇතා කියන්නේ කාගේ ඇතාද? ඔහු මොන වගේද? කුමක් ද කළේ කියන එක. 


දුටුගැමුණු මහ රජු සොලීන්ගෙන් රට බේරාගෙන එක්සේසත් කළා. ඔහුගේ ඇතායි ක​ෙඩාල් ඇතා. නැත්තම් කණ්ඩුල හස්තිරාජයා. මේ පොතේ නම කඩොල් ඇත්තු. මෙය ඇතෙක්ගේ කතාවක් නොවෙයි. ඒත් ඒ සතාගෙන් සිදු වූ සේවයම තවත් පිරිසක් සිදු කළා. ඒ නිසයි මේ පොතට කඩොල් ඇත්තු කියන නම දැම්මේ. 


අපි දන්නවා කඩොල් ඇතා කළේ රජු කරපිට තියාගෙන ගිය එකම නොවෙයි. විජිත පුර බළ කොටුවකට පහර දීමට යද්දී එළාර රජුගේ පිරිස බළකොටුවේ සියලු දොරටු වසා දැම්මා. යුද්ධය නිමා කරලීමට නම් අනිවාර්යයෙන්ම බළකොටුව අල්ලා ගත යුතුයි. ගැමුණු රජුගේ සෙබළුන්ට දොරටුව කඩාගෙන ඇතුළට යාම දුෂ්කර කටයුත්තක් වුණා. සතුරු ප්‍රහාරවලින් කොටු දොර ළඟ ගැමුණු රජුගේ සෙබළු මැරී වැටුණා. ඒ අවස්ථාවේ රජු සහ දස මහා යෝධයෝ දොර කැඩීම සඳහා කඩොල් ඇතු පෙරට යැව්වා. ඇතු ඉදිරියට ගියා. උඩ සිටි සොලී සෙබළු ඇතාගේ පිටට ලෝ දිය වැක්​ෙකරුවා. තුවාල ලැබූ ඇතා වේදනාවෙන් මර හඬ දීගෙන ආපසු දිව්වා. 
එ්ත් ආපසු යෝධයේ ඇතාගේ පිටේ මී හරක් හම් බැඳලා දොර කැඩීමට ඉදිරියට යැව්වා. ඒ ගැම්මට ඇතා දොර බිඳගෙන ඇතුළට ගියා. ගැමුණු රජුගේ සෙබළු කොටුවට ඇතුළු වුණා. සොලී හමුදාව පරාජය කර ජය ගැනීමට ගැමුණු රජුට හැකි වුණා.


අපේ සෙබළුත් එකාවන්ව සටන් කරලා බිඳගන්න බැරි හුඟාක් තැන් බිඳගෙන ඉදිරියට ගිහිල්ලා අපේ රට සම්පූර්ණයෙන්ම ත්‍රස්තවාදයෙන් මුදවා ගත්තා. ඒ සෙබළු කළෙත් එද​ ක​ෙඩාල් ඇතා කළ සේවයමයි. ඒ නිසයි මේ පොතට කඩොල් ඇත්තු කියන නම තිබ්බේ. 


මෙය තවත් විදියකට මම පැහැදිලි කළොත් ඇතා පසෙකට අරගෙන ගිහින් බෙහෙත් දාලා, විවේක සුවයෙන් ඉන්න දීලා සනීප වූවාට පස්සේ නැවත ඇවිත් සටන් කරලා ජය ගත්තේ නෑ. 


අපේ සෙබළුත් ඒ වගේමයි. යුද බිමේදී තුවාල ලැබූ සෙබළු පසෙකට අරගෙන බෙහෙත් දාලා ඉස්පිරිතාලෙට අරන් යන්න දොස්තර නියම කළත් ඔවුන් එය ප්‍රතික්ෂේප කරලා අපේ සගයෝ ඉස්සරහ ගහගන්නවා, මට ඉස්පිරිතාලේ යන්න බෑ, මට යුද්ධයේ අවාසානයක් දකින්න ඕනෑ කියලා ඉස්සරහට ගිය කොල්ලේ දස දහස් ගණනක් සිටියා. ඒ කොල්ලොයි මේ කඩොල් ඇත්තු. 


ඒ වගේම මේ යුද්ධය නිසා තුවාලයක්වත් වුණේ නැතිව හිටියා නම් ඒ කීප දෙනයි. මමත් දෙපාරක් යුද්ධයේදී තුවාල ලැබුව කෙනෙක්. සමහර නිලධාරී සහ සෙබළු ඉන්නවා හත් අට පාර තුවාල ලබපු අය. සමහර අය පහළොස් වතාවකට වැඩිය තුවාල වෙලා තිබුණා. 


ඒත් ඒ අය ඉස්පිරිතාලවලට ගිහින් වෛද්‍ය වාර්තා අරගෙන ඔෆිස්වල වැඩට නොගිහින් ආපසු ඇවිත් යුද්ධ කළා. ඒ අය තුවාල වෙච්ච පමණින් එළියට ගියේ නෑ. යුද්ධය අවසාන වෙනකම්ම යුද වැදුනා. කඩොල් ඇතා තුවාල වෙලා පස්සට ගිහිල්ලා ආපසු ඇවිල්ලයි පවුරු දොර බින්දේ. ඒ වගේ සෙබළු සිය දහස් ගණනක් අපේ හමුදාවේ හිටියා. තුවාල වෙලා පස්සට ගිහින් බෙහෙත් දාගෙන ඇවිත් අත පය හරියට වැඩ කරන්නෙත් නැතිව සිතේ ධෛර්යයෙන් යුද කළ පිරිස් හිටියා. ඔවුන් තමයි කඩොල් ඇත්තු ලෙස මම සඳහන් කළේ. 


මේ පොතට තිබෙන ප්‍රතිචාර කොහොමද? 


දැනට තිබෙන ප්‍රතිචාර බොහොම හොඳයි. තාම පොත පිට වෙලා දවස් හතරයි. කියවපු හැමෝම උණුසුම් ප්‍රතිචාර ලබා දුන්නා. බොහොම අනුවේදනීය කතාවක් කිව්වා. නන්දිකඩාල් පොතේ තියෙන්නේ සම්පූර්ණයෙන්ම යුද්ධය ගැන. මේ පොතේ තියෙන්නේ ආබාධිත සෙබළුවන්ගේ ජීවිත කතාව. 


මේ පොත් දෙකම කියවපු අය යුද්ධයේ සිහිසුණු බව හා සෙබළෙකුගේ ජීවිතය පිළිබඳ හොඳ අවබෝධයක් ලබාගෙන තියෙනවා. එය ඔවුන් දක්වන ප්‍රතිචාරවලින් පැහැදිලි වෙනවා. 


අද වෙන විට යුද සෙබළා සහ යුද්ධය ආශ්‍රිත විවිධ වූ දේශපාලනමය කාරණා මතු වෙලා තිබෙනවා. ඔබගේ මේ ලේඛනය යුද වැදුණු සෙබළාට සාධාරණය ඉටු කිරීම සඳාහ ගෙන යන සටනක්ද? 


මම මේක සටනක් කියලා කියන්නේ නෑ. මම කියන්නේ මේකට දැනුම්වත් කිරීම කියලා. අපි දන්නවා යුද්දෙ තිබ්බ කාලේ අපේ රටේ මිනිස්සු සෙබළු වෙනුවෙන් බෝධි පූජා තිබ්බා. පින් කම් කළා. පන්සල්, පල්ලි, කෝවිල්වල වෙනත් පූජා තිබ්බා. සෙත් කවි කිව්ව​ා. ඒක හැම ආගමකම සිදු වුණා. ඊට පස්සේ යුද්​දේ ඉවර වුණා. දැන් අපේ රටේ ජනතාව බොහොම සන්තෝසෙන් සැනසීමෙන් ගමන් බිමන් යනවා. දැන් කිසිදු ත්‍රස්තවාදී තර්ජනයක් නෑ. අපි අල්ලා ගත්ත සහ අපිට යටත් වෙච්ච ත්‍රස්තවාදීන් 12,000 ක් පුනරුත්ථාපනය කර සමාජයට මුදාහැර තිබෙනවා. 2019 මැයි 19 සිට අද වෙනකන් කිසිම ත්‍රස්තවාදී ක්‍රියාවක් වාර්තාවෙලා නෑ. එක බෝම්බයක් ගහලා නෑ. එක පතුරමකින් වෙඩි තියලා නෑ ත්‍රස්තවාදීන්. පාතාලය නම් එවැනි දේ සිදු කරමින් පවතිනවා. මෙහිදී යුද හමුදාව ත්‍රස්තවාදය නැති කළ ආකාරය පැහැදිලි වෙනවා. ඊළාම් සිහිනය මත වාදයකට පමණක් සීමා කරලා තිබෙනවා. එය අපි සද්භාවයෙන් යුතුව කළ මානුෂීය මෙහෙයුමක්. 


නමුත් ඒ මානුෂීය මෙහෙයුම ක්‍රියාත්මක කිරීමේදී යුද හමුදාවේ පමණක් 5900 ගාණක සෙබළුන් මිය ගිහින් තිබෙනවා. යුද හමුදාවේ සෙබළු 29000 ස් ගාණක් තුවාල වුණා. දහ දාහකට වැඩිය බරපතළ ලෙස තුවාල වුණා. මේ සියලු සිද්ධීන් සිදු වුණේ අවුරුදු 2 යි මාස 10 ක් වගේ සුළු කාලයක් තුළ. 


මිනිසුන් නිදහස් වෙලා සතුටින් ජීවත් වුණත් තුවාල වෙච්ච සෙබළුවන් අදටත් බොහෝ දෙනෙක් ඇඳකට හෝ රෝද පටුවකට සීමා වෙච්ච ජීවිත ගත කරන්නේ. 


අද නිදහස බුක්ති විඳින අපිට එදා සෙත් පතපු බොහෝ දෙනෙකුට අද යුද්ධය නිසා ආබාධිත වූ පිරිස පිළිබඳ අමතක වෙලා තිබෙනවා. මේ යුද ජයග්‍රහණය අපි සියලු දෙනාගේ ප්‍රයත්නයක්. මේ පොත ලියන්න හේතුවක් ඔබේ හෙට දිනය වෙනුවෙන් කැප කළ ජන කොටසක් මේ මොහොතෙත් ඇඳන් උඩ රෝද පුට උඩ ඉන්නවා කියන පණිවිඩය දීමයි. 


යුද්ධයේ අත්දැකීම් රහිත නව පරපුරට මේ පණිවිඩය ගෙන යන්නේ කොහොමද? 


සටන් බිමේ ඉද්දි මම දැක්වා යුද ජයග්‍රහණය වෙනුවෙන් කැපවීමෙන් කටයුතු කළ සෙබළු. එ් කාලයේමයි මම තීරණය කළේ මේ පිළිබඳව අපේ රට් ජනතාව දැනුම්වත් කළ යුතු බව. ඒ අනුවයි නන්දිකඩාල් පොත ලියවුණේ. 


ඔයා කියපු කරුණ ගැන ගැඹුරින් කතා කළොත් මෙතන සමාජ කණ්ඩායම් දෙකක් ඉන්නවා. එකක් යුද්ධය දැකපු අය. අනෙක යුද්ධය නොදැකපු අය. 2009 මැයි 18/19 කිරිබත් උයපු, කිරිබත් කාපු, රතිඤ්ඤා පත්තු කරපු අය තමයි පළමු කොටස, දෙවැනි කොටස ඒ කාලයේ ළදරුවෝ. දැන් ඔවුන් ලොකුයි. 


අද වෙන කොට පළමු කොටසින් කී දෙනෙක් කතා කරනවද අැඳන් උඩ ඉන්න රෝද පුටුවල ඉන්න ආබාධිත සෙබළු ගැන. සමහර අයට ඒ අයව මතක් වෙන්නේ විශේෂ සැමරීමකදී. 


ඒ වගේ අවස්ථාවල ආබාධිත සෙබළුන්ට කෘත්‍රිම පාද රෝද පුටු ලබා දීම් කරනවා. ඒවා කරන්නෙත් ලොකුවට උත්සව කියලා මහ සෙනඟක් මැද්දේ, කිහිලිකරුවල ආධාරයෙන් ස්ටේජ්වලට නග්ගවල මහ ප්‍රසිද්ධියක් මැද්දෙයි. රට බේරා ගන්න යුද පෙරමුණට ගිහින් ආබාධ වෙච්ච සෙබළෙක්ට එසේ කළ යුතුද යන්න ඔබ සිතා බැලිය යුතුයි. එය තමන්ගේ ප්‍රසිද්ධියට භාවිත නොකර බොහොම සද්භාවයෙන් කරනවා නම් වඩා සුදුසුයි කියලා මම හිතනවා. 


​මගේ අනුග්‍රහයෙන් නම් මම කිසිම ආබාධිත සෙබළෙක් ප්‍රසිද්ධියේ එවැනි දේ ලබා ගැනීම සඳහා යොමු කරන්නේ නෑ. මගේ යාළුවන්ටත් කියලා තියෙන්නේ ආබාධිත සෙබළෙකුට යමක් කරන්න ඕනෑ නම් සද්භාවයෙන් ගෙදරට හෝ කඳවුරට ඇවිල්ලා කරන පරිත්‍යාගයක් කරන්න කියලයි. මේ වගේ සිදුවීම් මගේ පොතේ අන්තර්ගත කරලා තිබෙනවා. 


කනගාටුවට කරුණ වනනේ අද යුද්ධයේ අත්දැකීම් ලැබූ වැඩිහිටියන්ටත් යුද්ධයක් තිබූ බව අමතක වීම, සීයකගෙන් යුද්ධය අවසන් වූ දවස ඇහුවොත් 50 ක් වත් නිවැරදි පිළිතුරු ලබා දෙන එකක් නෑ. මුළු රටම මුළු ජාතියම හඬවපු ඒ ත්‍රස්තවාදී ව්‍යසනය මතක තියා ගන්න බැරි අය ආබාධිත සෙබළු ගැන මතක තියා ගනියි ද කියන එකයි මට තිබෙන ප්‍රශ්නය. 


අනිත් එක තමයි යුද්​දෙ තිබෙන කාලයේ හැමෝම බයේ හිටියා. දෙමව්පියෝ තමන්ගේ දරුවන්ට පාසල් එක්කන් අවා. ළමයා පාසල ඇරී එළියට එනකනුත් පණ ගැහි ගැහී බලා සිටියේ. 


එ් කිසි දෙයක් අද නැහැ. නමුත් හමුදාවට දරුවෝ එව්වේ ඈත ගම් දනව්වල දුප්පත් මව්පියන්ගේ දරුවෝ. සමහර විට ඒ අය නැති බැරිකමට ආවා වෙන්න පුළුවන්. නැත්නම් ඇත්තටම රට ගැන තිබුණ ආදරයට කැක්කුමට ආවා වෙන්න පුළුවන්. මොන හේතුවකට ආවත් ඒ දරුවෝ ඒ ගම්වල මව්පියන්ගේ දරුවෝ. 14000 අධිකව ඇඳන්වල හා රෝද පුටුවල ඉන්න ආබාධිත සෙබළුන්ගේ අම්මලා තාත්තලා අද මොන තරම් විඳවනවා ඇත්ද? 
යුද්ධය නැති රටක අනිත් අය නිදහසේ සතුටින් ජීවත් වෙද්දී අතපය හතර හොඳින් තිබ්බ තරුණ පුත්තු ආබාධිත වෙලා ජීවත් වෙනවා බල බලා ඒ ගම්වල අම්මලා තාත්තලා කොච්චර නම් දුක් වෙනවා ඇතිද? 


බොහෝ ආබාධිත සෙබළු අවිවාහකයි. තනිකඩ ජීවිත ගත කරන්නේ. කුඩා දරුවන්ට කුඩා කාලේ කවන්නෙ පොවන්නේ නාවන්නේ මව්පි​යෝ. ඒත් මව්පියෝ දන්නවා අවුරුදු කීපයකින් තමන්ගේ දරුවන් ලොකු වෙලා ඒ කටයුතු තනියම කර ගන්න බව. 


ඒත් ඇඳට හෝ රෝද පුටුවට සීමා වෙච්ච ආබාධිත සෙබළෙක් නිවසට ගිහාම ඒ අම්මා තාත්තාට කෝ එහෙම බලාපොරොත්තු. ජීවිත කාලෙම ඔහුව බලා ගන්න ඕනෑ. තරුණ පුතා දකින වාරයක් වාරයක් පාසා ඒ මව්පියෝ මොන තරම් ගින්දරක් උහුලනවා ඇතිද? ඒ සෙබළාගේ සිතට මොනවා දැනෙනවා ඇතිද? මේක තේරුම් ගන්නේ කීයෙන් කී දෙනාද? 


මම මේ පොත එළිදක්වන කොට වගේම සින්දු දෙකකුත් ජන ගත කළා. එකක් සසිකා නිසංසලා මහත්මිය ගායනා කළා. අනික භාතිය / සංතුෂ් ගායනා කළා. 


එ් ශෂිකා නිසංසලා මහත්මිය ගායනා කළ සිංදුවේ තිබෙන්නේ යුද්ධයට ගිහින් බරපතළ ලෙස තුවාල ලබලා ශරීරය සම්පූර්ණයෙන් අප්‍රාණික වෙලා ගෙදර ඇවිත් ඔත්පලව ඇඳ උඩ ඉන්නා තමන්ගේ පුතා දිහා බලාගෙන අම්මා කෙනෙක් කියන දෙය. සශිකා නිසංසලා මහත්මිය ඒ ගීතය ගායනා කරද්දි එදා ඇස්වලින් කඳුළු නොවැටුණු කිසිම කාන්තාවක් නොහිටිය තරම්. 


මට අවශ්‍ය වුණ් ඒ අම්මලාගේ දරු දුක සමාජයට කියන්න. ඒ සිංදුව ඉදිරියේදි අපේ රටේ අයට අහන්න ලැබෙයි. 


ඔබ සෙබළුන්ගේ අභිමානය වෙනුවෙන් මෙවන් දේ සිදුකරද්දී සරත් ෆොන්සේකා මහත්මයා කියනවා දැන් හමුදාවේ තත්ත්වය දුර්වල බව. ඒ පිළිබඳ ආරක්ෂක අංශ මාධ්‍ය නිවේදනයකුත් නිකුත් කරනවා. ඒ ගැන මොකද කියන්න තියෙන්නේ. 


මම හමුදාවේ හිටපු නිලධාරියෙක් විදියට කොතනකදීවත් හමුදාව විවේචනය කරන්නේ නෑ. හමුදාව තමයි මගේ ජීවිතය. මම අද විශ්‍රාම ගිහිල්ලා හිටියත් ම​ගේ ඇඟේ දුවන්නේ හමුදාවේ ලේ. මගේ හිතේ දුවන්නේ හමුදාවේ හැඟීම්. මම එදා වගේම අදත් හමුදාවට ආදරෙයි. 


එ් නිසා මම හමුදාවේ වැරදි ප්‍රකාශ කරලා උඩ බලාගෙන කෙළ ගහන්න කැමති නෑ. 


එ්ත් සරත් ෆොන්සේකා මහත්තයා කියපු දේ ගැඹුරු අර්ථයක් තියෙනවා. එතුමා රජයේ ඇමතිවරයෙක් ඒ වගේම මට වැඩිය බොහොම පරිණත හමුදා නිලධාරියෙක්. මම කතා කරන්නේ මගේ හිටපු හමුදාපති ගැන. ඒ කියන්නේ ජෙනරල් සරත් ෆොන්සේකා ගැන. එතුමා බොහොම අත්දැකීම් සහිත පරිණත හමුදා නිලධාරියෙක්. ඒ වගේම වත්මනේ එතුමා රජයේ කැබිනට් අමාත්‍යවරයෙක්. 


රජය ඇතුළේ ඉඳන් එතුමා දකින දේයි එතුමා පවසලා තිබෙන්නේ. එතුමාගේ කටින්ම ඊයේ කිව්වා බළඇණි 33 ක් වහන්න යනවා කියලා. බළඇණියක් කියන්නේ බැටෑලියන් එකක්. බළ ඇණි 33 ක් වහනවා නම් කවුරු හරි කියනවා නම් මාධ්‍ය නිවේදනයක් කරලා හමුදාව ඔවුන් සයින් කරන්නේ නෑ කියලා ඒකේ තර්කය මොකක්ද කියලා මට කියන්න තේරෙන්නේ නෑ. 


ඒක අපේ හිටපු හමුදාපතිතුමාගේ කටින්ම එළියට අාපු එක ගැන මම බොහොම සතුටු වෙනවා. 


අඩු ගානේ ඒකෙන්වත් වගකිව යුත්තන්ගේ ඇස් ඇරිලා රටේ ජාතික ආරක්ෂාව ගැන සහතික වෙන විදියට හමුදාවේ තත්ත්වය පල්ලෙහාට දාන්නේ නැතිව, ඒ වගේම හමුදාවේ ශක්තිය දියාරු වෙන්න යවන්නේ නැතිව ඒක සුරක්ෂිත කරගන්න ඕනෑ. 


මොකද අපි යටත් කර ගත්ත සහ අල්ලා ගත්ත ත්‍රස්තවාදීන් 12042 ක් පුනරුත්ථාපනය කරලා සමාජයට මුදාහැරලා තියෙනවා. ඒ අය ඔබ මා අතර සමාජයේ ජීවත් වෙනවා. 


ඒ වගේම දෙමළ ඩයස්පෝරාව තවමත් උත්සහ ගන්නවා ඒ අයව නැගිට්ටවන්න. ඕකෙන් 1000 ක් නැගිට්ටා නම් ඇති ආපහු පරණ තත්ත්වයට යන්න. ඒකට මුණදෙන්න හමුදාව ශක්තිමත් වෙන්න ඕනෑ. දැන් බැලුවොත් හමුදා බුද්ධි බළකායට මොකද වෙලා තියෙන්නේ? අපි යුද්ධය කරපු කාලේ එය බලගතු සංවිධානයක් ලෙස ගොඩනැගුවා. අද එය නැත්තමට නැති වෙලා ගිහින්. එහි අධ්‍යක්ෂව හිටපු මේජර ජනරාල් අමල් කරුණාසේකර මාස 5 කුත් දවස් විසි ගාණක් රිමාන්ඩ් හිරගෙදර ලැගලා ඊයේ තමයි ගෙදර ගියේ. 


ඇස්වලට කඳුළු එනවා මෙවැති දේට. ඒ මනුස්සයා මොන වැරැද්දක් කළාටද? කෝ නඩු. එක්නැලිගොඩ මැරුවයි කියලා කර්නල් චම්මි කුමාර ඇතුළු තුන්දෙනෙක්ව අවුරුද්දකුත් මාස 4 ක් ඇතුළේ තියාගෙන එළියට දැම්මා. කෝ නඩු. ඔප්පු කරන්න බෑ. සාක්ෂි නෑ. බොරුවට රණවිරුවෝ අල්ලනවා. ඕකට තමයි වඩාත් පරිසමාප්ත අර්ථයෙන්ම රණවිරු දඩයම කියන්නේ. 


සරත් ෆොන්සේකා මහත්තයාගේ කටින්ම ඕක පිටවුණ එක ගැන මට සන්​ෙතා්ෂයි. 


ඔහු රජයේ වගකිව යුතු ඇමැතිවරයෙක්. එතන ඉඳලයි ඔහු එවැනි ප්‍රකාශයක් කරන්නේ. 

 

 

 

සටහන - කුමාරි හේරත්