සමාජ විද්‍යාත්මක විවරණයක්   


සිය දිවි නසා ගැනීම් පිළිබඳ පුවත් මේ දිනවල බහුලව අසන්නට ලැබේ. මවක සිය දරුවන්ට වස පොවා සිය දිවි නසා ගැනීමේ පුවත, විවාහ වී දින හතකට පසු ගෙල වැළලාගෙන මියගිය යුවළක පිළිබඳ පුවත, පියකු තම දරුවන් තිදෙනා එල්ලා මරා තමන්ද සිය දිවි නසා ගැනීමේ පුවත හා පාසලේදී මානසික පීඩනයට ලක්වීමෙන් සිය දිවි නසා ගන්නා ලද දස හැවිරිදි දැරිය පිළිබද පුවත වැනි පුවත් පසුගිය දින කිහිපයේ අසන්නට ලැබිණි. 


සිය දිවි නසා ගැනීම යනු තමන් විසින් සිතා මතාම ජීවිතය අවසන් කර ගැනීමය. ලොව සිදුවන මරණවලට බලපාන ප‍්‍රධාන සාධක දහය අතර සිය දිවි නසා ගැනීමද එක් සාධකයකි. සාමාන්‍යයෙන් වසරකට ලක්ෂ අටත් දහයත් අතර පිරිසක් සිය දිවි නසාගනු ලබන අතර සෑම තත්පර 40කට වරක් දිවි නසා ගැනීමක් සිදුවන බැව් පැවසේ. 


පසුගිය මාස කිහිපය තුළ ශ්‍රී ලංකාවේ සිය දිවි නසාගැනීමේ ප‍්‍රතිශතයේ වැඩිවීමක් පෙන්නුම් කර තිබේ. විෂාදය, ඉච්ඡා භංගත්වය, මානසික රෝග, දරිද්‍රතාව, පෙම් සබඳතා බිඳ වැටීම, සමාජයට මුහුණ දිය නොහැකි වීම, ණය බර, පවුල් සබඳතා බිඳ වැටීම, මත්පැන් හා මත්ද්‍රව්‍යවල ඇබ්බැහි වීම ආදී කරුණු පුද්ගලයකු සිය දිවි නසා ගැනීමට පොළඹවන සාධකවලින් කිහිපයකි. 


ලොව පුරා දිවි නසා ගන්නා පුද්ගලයන් අතුරින් වැඩි පිරිස වයස අවුරුදු 60 ඉක්මවූවන් වුවද ශ්‍රී ලංකාවේ වැඩි වශයෙන් දිවි නසා ගැනීමට පෙළඹී ඇත්තේ තරුණ පිරිස්ය. ශ්‍රී ලංකාවේ දිවි නසාගැනීම් වර්ධනය වීමට බලපා ඇති සාධක කවරේද යන්න පිළිබඳව අප විමසා බැලුවේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යාව පිළිබඳව මහාචාර්ය මයුර සමරකෝන් මහතාගෙනි. 


‘‘සාම්ප‍්‍රදායික සමාජයක සිට නවීන සමාජයක් කරා යන ගමනක අතරමැදකයි වත්මන් ශ්‍රී ලාංකීය සමාජය පවතින්නේ. එම සමාජයේ නාගරික හා ගැමි ලක්ෂණ යන දෙකම දැකිය හැකියි. බහුතර සමාජය තවමත් සාම්ප‍්‍රදායික අදහස් මත ජීවත්​ෙවන පිරිසක්. වෙනස් වෙමින් පවතින සමාජයකට ඇතැම් අවස්ථාවල එම වෙනස්වීම දරාගැනීම අසීරු වෙනවා. නාගරික සමාජයේ බහුතරය ග‍්‍රාමීය සමාජයෙන් පැමිණි පිරිස්. අද සමාජයේ සියල්ල පදනම් වී ඇත්තේ මුදල කේන්ද්‍රගතකරගෙනයි. මුදල් සෙවීම තම මූලික කාර්යභාරය යැයි බොහෝ දෙනෙක් සිතා සිටිනවා. මේ හේතුවෙන් මිනිස්සු ඉතා කාර්යබහුලයි. මිනිසුන් කාර්ය බහුල වීමේ ප‍්‍රතිඵලයක් ලෙස අප වෙතින් ඉටුවිය යුතු යුතුකම් හා වගකීම් පැහැර හැරෙනවා. පවුලක ස්වාමිපුරුෂයකු ලෙස හෝ පියකු ලෙස හෝ මවක හෝ භාර්යාවක ලෙස හෝ මූලික වශයෙන් ඉටු විය යුතු වගකීම් බොහෝ දුරට පැහැර හැරෙනවා. කාර්යබහුලත්වය හා පැහැරහැරීම් සමඟ බොහෝ අය හුදකලාවට පත්වෙනවා. තමන් තුළ ඇති කම්පාව, ජය පරාජයන්, අත්විඳින දුක් කම්කටොලු පිළිබඳව කතා බහ කරන්නට කෙනෙක් නොමැති තත්ත්වයකට සමාජය පත්වෙනවා. මිත‍්‍ර සමාගම් දුරස්ථ වෙනවා. මිනිසුන් රාශියක් මැද ජීවත් වුවත් පුද්ගලයා හුදකලා බවට පත් වෙනවා. මෙම හුදකලාව මත ඇතැම් අය වැරැදි ක්‍රියාවලට පෙළඹෙනවා. අනියම් සබඳතා ඇති කර ගැනීම, මත්පැන් හා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීම වැනි දේවලට ඔවුන් යොමුවිය හැකියි. එයිනුත් ඔබ්බට ගිය විට සිය දිවි නසාගැනීමට පෙළඹෙනවා.’’ යනුවෙන් ඔහු පවසයි. 


අපේ දණ්ඩ නීති සංග‍්‍රහයේ 302 වැනි වගන්තිය අනුව සිය දිවි නසා ගැනීමට තැත්කරන පුද්ගලයකුට දඬුවම් කළ හැකිය. එමෙන්ම සිය දිවි නසා ගැනීමට පොළඹවන, අනුබල දෙන හා උපකාර කරන පුද්ගලයකුට දණ්ඩ නීති සංග‍්‍රහයේ 299 වැනි වගන්තිය යටතේ දඬුවම් කළ හැකිය. එසේ වුවද දිවි නසා ගැනීම් දිනෙන් දින බහුල වන බව පෙනෙන්නට තිබේ. 


‘‘පසුගිය කාලයේ සිදු වූ සිය දිවි නසාගැනීම් ඉතා සාමාන්‍ය දේවල් පදනම් කරගෙන සිදුව ඇති බැව් පෙනී යනවා. පුද්ගලයන් තමන්ගේ ලෝකවල හුදකලා වීම සිය දිවි නසාගැනීමට මූලික ​ෙවන බැව් ඉන් පැහැදිලියි. සියදිවි නසා ගැනීම් වර්ධනය වීමට සමාජ මාධ්‍ය ජාලද බලපා තිබෙනවා. මුද්‍රිත පුවත්පත්, රූපවාහිනි හා ගුවන්විදුලි නාළිකා කිසියම් විනයානුකූල පාලනයකට යටත් කළ හැකි වුවත් සමාජ මාධ්‍ය ජාලවලට එවැනි විනයක් නැහැ. ඒවා පාලනය කිරීම අසීරුයි. ඒ ඔස්සේ සිය දිවි නසා ගන්නා ආකාරය, එවැනි පුද්ගලයන්ට වීරත්වයක් ආරූඪ කිරීම වැනි දේවල් සමාජගත කෙරෙනවා. වර්තමාන තරුණ පරම්පරාව විෂය කරුණුවලින් දැනුම්වත් වුවත් සමාජීය කරුණු සම්බන්ධයෙන් පසු​ෙවන්නේ ඉතා ප‍්‍රාථමික මට්ටමකයි. උගත්කම තිබුණට බුද්ධිමත්කම පිළිබඳ ගැටලුවක් තිබෙනවා. සමාජ විඥානය පිළිබඳ අවබෝධයක් නොමැති හෙයින් තමන් තුළ ඇති වටිනාකම් හඳුනා ගැනීමට ඔවුනට නොහැකි වී තිබෙනවා. එමෙන්ම ඔවුන් පටු ජනප්‍රිය දේ අනුකරණය කිරීමට උත්සාහ කරනවා. ඇතැම් මාධ්‍ය සිය දිවි නසා ගැනීමට කිසියම් වටිනාකමක් ලබාදෙනවා. එවිට තරුණයන් තුළ අනුකරණවාදී චින්තනයක් ඇතිවෙනවා. මෙය ඉතා බරපතළ තත්ත්වයක්.’’ 


සියදිවි නසාගැනීම සඳහා විවිධ මනෝමය තත්ත්වයන්ද බලපානු ලබයි. පුද්ගලයකු තුළ බලපවත්වන ආතතිය, මානසික ආබාධ, අසමතුලිතතාවන් ඒ අතර ප‍්‍රධාන වේ. මෙම මානසික ආතතිය, අසමතුලිතතාව හා මානසික ආබාධ ඇති වීමට බල පෑ හේතු සාධක පිළිබඳව සොයා බැලිය යුතුය. බොහෝ විට සමාජ ක්‍රියාවලිය තුළ සිදු​ෙවන වෙනස්වීම දරාගත නොහැකි වීම ඒ සඳහා බල පෑ හැකිය. සිය දිවි නසාගැනීම් මෙන්ම විවිධ මානසික රෝගවලට ගොදුරු වන තරුණ පිරිසේ වර්ධනයක් දැකිය හැකි බවට මානසික වෛද්‍යවරුන් සඳහන් කර තිබේ. මානසික ආබාධ සහිත පිරිසක් ජීවත්වන සමාජයක සිය දිවි නසාගැනීමේ ක්‍රියාවලියක් නිර්මාණය වීම වැළැක්විය නොහැකිය. 
වෙනත් පුද්ගලයකුගෙන් පළිගැනීමේ චේතනාවෙන් ඇතැම් පුද්ගලයන් සිය දිවි හානිකරගැනීමට පෙළඹී ඇතැයි මහාචාර්ය මයුර සමරකෝන් පෙන්වා දෙයි. ‘‘පසුගිය දිනවල තවත් සිය දිවි නසා ගැනීමේ ක‍්‍රමයක් අසන්නට ලැබුණා. තම දරුවන්ට වස පොවා තමාද වස පානය කොට දිවි තොර කරගත් මවක පිළිබඳව පසුගියදා වාර්තා වුණා. එලෙස දිවි නසා ගැනීමට පෙළඹෙන්නේ තමන්ට එරෙහිවන්නන්ට යම් කිසි දුකක් කම්පනයක් ඇතිකොට ඒ ඔස්සේ තම වෛරය පිරිමසා ගැනීමට උත්සාහ කරන පුද්ගලයන් ’’ 


ආතතිය හෝ විෂාදය මත හෝ කලකිරීම මත හෝ සිය දිවි තොර කර ගැනීමට උත්සාහ කළද තමන් යළි කිසිදු ලෙසකින් දිවි තොර කර ගැනීමට උත්සාහ නොකරන බැව් මරණයෙන් ගැලවුණු පුද්ගලයෝ ප‍්‍රකාශ කරති. සිය දිවි නසා ගැනීම යනු ජීවිතයෙන් පලායෑමකි. විය යුත්තේ ප‍්‍රශ්න හමුවේ පලා යෑම නොව ධනාත්මක චින්තනයෙන් යුතුව ජිවිතයට මුහුණ දීමය. 

 

 

 

 

 

 

 

 

 

 

ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා
ඡායාරූප - චාමින්ද දිසානායක - බලංගොඩ