
මෙරට රථවාහන අනතුරු බහුලවම සිදුවුණු වකවානුවක් ලෙස මෙම වසර හැඳින්විය හැකිය. ඒ අනුව ගෙවුණු කාලයෙහි පුද්ගලයන් 919කට දිවි අහිමි වී තිබේ. ගෙවුණු අප්‍රේල් මස 10 දා සිට 15දා දක්වා පමණක් රිය අනතුරු 42ක් සිදුවූ අතර ඉන් පුද්ගලයන් 44 දෙනෙක් මිය ගියහ. අප්‍රේල් 13, 14 සහ 15 යන දිනවල පමණක් රිය අනතුරු 19කින් 19 දෙනෙකු මිය ගොස් ඇත.
මෙලෙස අනතුරු ඉහළ යන හේතු සහ අනතුරු පාලනය කිරීමට ගෙන ඇති පියවර පිළිබඳව රථවාහන පාලන සහ මාර්ග ආරක්ෂාව පිලිබඳ නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී. ජේ. සේනාධීර සමග සංවාදයක යෙදුණෙමු.
මෙම වසරේ ජනවාරි 01 වැනිදා සිට අප්‍රේල් 29දා දක්වා මාරක රිය අනතුරු 878ක් වාර්තා වෙලා තිබෙනවා. බරපතළ අනතුරු 1729ක් වාර්තා වෙලා තිබෙනවා. මෙතනදී බරපතළ රිය අනතුරුවලින් බරපතළ තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටින තුවාලකරුවන් මියයාමේ සම්භාවිතාවක් තිබෙනවා. එවිට මෙම මාරක රිය අනතුරු සහ මරණ සංඛ්‍යාව තවත් වැඩිවීමේ සම්භාවිතාවක් තිබෙනවා.
මියගිය පිරිස අතර පදිකයන් 299ක්, යතුරුපැදිකරුවන් 321ක්, පසු පැදිකරුවන් 21ක්, පාපැදිකරුවන් 72ක්, රියැදුරන් 81ක්, මගීන් 83ක් හා වෙනත් 2ක් වාර්තා වී තිබෙනවා. මියගිය පදිකයන් අතර වැඩි ප්‍රමාණයක් වයස්ගත පුද්ගලයන්. ඔවුන් අවුරුදු 80-50 අතර වයස් කාණ්ඩවලට අයත් පුද්ගලයන්.
රිය අනතුරුවලින් පදිකයන් මියයාමට පදිකයන්ගේ මාර්ග ආචාරධර්ම පිළිබඳ ගැටලු බලපා තිබෙනවා. වමෙන් ගමන් කිරීම, අනවධානයෙන් මාර්ගයේ ගමන් කිරීම, අනවධානයෙන් මාර්ගය හරහා මාරුවීම, රාත්‍රි කාලයේ අඳුරුපැහැ ඇඳුම් ඇඳගෙන මාර්ගය හරහා අපරික්ෂාකාරීව ගමන් කිරීමට යාමේදී රියැදුරන්ට දර්ශනය නොවීම, පදිකමාරුවලින් හිටි හැටියේ මාරුවීම ආදී කරුණු මෙයට බලපා තිබෙනවා.
නීතිගරුක පදිකයන්, නොහික්මුණ රියැදුරන් විසින් සිදුකරන වැරැදි නිසා සිදුවන අනතරුවලින් මියයාමේ සම්භාවිතාව සියයට 40ක පමණ අගයක් ගන්නවා. පසුගිය වසරේ මේ කාලය හා සසඳන විට මාරක රිය අනතුරු 62ක වැඩිවීමක් සහ මියගිය ප්‍රමාණය 75කින් ඉහළ යෑමක් තිබෙනවා.
රිය අනතුරු නිසා පසුගිය වසරේ වැඩි වශයෙන් මියගියේ පදිකයන් වුවත් මේ වසරේ යතුරුපැදිකරුවන් සහ පසුපැදිකරුවන් වැඩි වශයෙන් මියගොස් තිබෙනවා. රිය අනතුරු ඉහළයාමට බලපාන ප්‍රධාන සාධක කිහිපයක් බලපා තිබෙනවා.
• මත්පැන් හා මත්ද්‍රව්‍ය භාවිත කර රිය ධාවනය කිරීම
• අපරික්ෂාකාරී හා අන්තරාකාරී ලෙස රිය පැදවීම
මෙවැනි වරද සිදුකරන රියැදුරන් අනිවාර්‌යයෙන් උසාවි ඉදිරිපත් කරනු ලබන අතර රුපියල් 25,000ක දඩයකට යටත් වෙනවා.
• අධික වේගයෙන් රිය පැදවීම
• අධික වෙහෙස
ඇතැම් රියැදුරන් රාත්‍රී සාදවලට සහභාගි වී පසුදින උදෑසන වාහනය ධාවනය කරනවා. මෙවිට අධික ලෙස වෙහෙසට පත්වෙනවා. ඒ නිසා අවම වශයෙන් පැය 24ක වත් විවේකයක් ගත යුතුයි. එසේම රිය පදවන විට පැය 4 1-2කට වරක් පැයක විවේකයක් ගැනීම අත්‍යවශ්‍යයි. රියැදුරෙකුට විවේයක් අවශ්‍යයි.
• මාර්ග දෝෂ
අප්‍රේල් 29දා හැටන් - ඩයගම බස් අනතුරින් මගීන් 31ක් තුවාල ලැබුවා. ඉන් දෙදෙනෙක් බරපතළ තත්ත්වයේ පසුවනවා. මෙම බසය අනතුරට ලක්ව තිබුණේ ඉදිරියෙන් පැමිණි වාහනයකට ඉඩදීම සඳහා මාර්ගයේ පසකට ගැනීමේදී මාර්ගයේ කොටසක් කඩාගෙන සමග පහතට වැටීම නිසයි. කෙසේ නමුත් මාර්ග අමාත්‍යාංශය විසින් අනාරක්ෂිත ස්ථානවල පස් බැමි සහ ආරක්ෂිත වැටවල් ඉදිකර මාර්ග නිසි ලෙස පවත්වාගෙන යාම සඳහා විශාල මුදලක් වෙන් කර තිබෙනවා.
අපේ රටේ ලියාපදිංචි වාහන ප්‍රමාණය මිලියන 8.8ක්. මින් යතුරුපැදි ප්‍රමාණය මිලියන 5.1ක්. යතුරැපැදි ප්‍රමාණය මිලියන 1.2කට අධිකයි. මින් වැඩිම අනතුරු ප්‍රමාණයකට දායක වී තිබෙන්නෙ යතුරුපැදි. ඊළඟට ත්‍රිරෝද රථ සහ බස් රථ වලිනුත් අනතුරු විශාල ප්‍රමාණයක් සිදුව තිබෙනවා. බස් රථ අනතුරු වැඩි ප්‍රමාණයක් සිදුකර තිබෙන්නේ ලංගම බස්රථ විසිනුයි.
අපේ රටේ ලියාපදිංචි වාහනවලින් සියයට 60ක් වසර 20කට වඩා පැරණි වාහනයි. ඒ නිසා එම වාහනවල කාර්මික දෝෂ ඇතිවිය හැකියි. එබැවින් එවැනි වාහන පරීක්ෂා කර නුසුදුසු වාහන මාර්ගවල ධාවනයෙන් ඉවත් කිරීම, අලුත්වැඩියාව සඳහා යොමුකරවීම මෙන්ම තහනම් නියෝග ගැනීම මේ වනවිට සිදුකරනවා.
ඒ වගේම අලුත් වාහනවල පවතින සමහර විශේෂාංග අපේ රට තුළ භාවිත කිරීමට අපහසුයි. විශේෂයෙන් වේගය භාවිත කරන්න බැහැ. මේ නිසා රටට අනුගතවෙලයි එම වාහනත් ධාවනය කළ යුත්තේ.
රියැදුරන් පරීක්ෂා කිරීම
මෙම වසරේ ජනවාරි මස සිට අප්‍රේල් 29දා දක්වා සිදුකළ රථවාහන පරීක්ෂාවන්හීදි බීමත් නඩු 6725ක්, විෂ මත්ද්‍රව්‍ය නඩු 4654ක් ලබාගෙන තිබෙනවා. 2024 මෙම කාලය වන විට විෂ මත්ද්‍රව්‍ය නඩු 88යි. 2025 දී විෂ මත්ද්‍රව්‍ය නඩු 500යි. රිය අනතුරු ඉහළයාමට මත්පැන් හා විෂ මත්ද්‍රව්‍ය භාවිතය දැඩිව බලපා තිබෙනවා. එවැනි පිරිස් සිදුකරන අනතුරු අඩුකර ගැනීම සඳහායි අප මේ පරීක්ෂාවන් තීව්‍ර කර තිබෙන්නේ.
නඩු ගැනීම, අනතුරු අවම කිරීම
රථවාහන අනතුරු මේ තරම් හෝ අඩුකර ගැනීමට නඩු ගැනීම ඉවහල් වී තිබෙනවා. කෙසේ නමුත් රියැදුරන් ආකල්පමය පාලනයක් ඇතිකර ගත යුතුයි.
රියැදුරන් විසින් සිදුකරන මාර්ග නීති කඩකිරීම් මහජනයාට වීඩියෝවක් මගින් හෝ වට්ස්ඇප් පණිවිඩයක් ලෙස 0704-755 600 යන අංකයට දැනුම් දිය හැකියි.
අධික වේගයෙන් ධාවනය කිරීම, අන්තරාකාරී හා අපරීක්ෂාකාරී ලෙස ධාවනය කිරීම සේම අනතුරකින් පසු සෙසු පාර්ශ්වවලට පහරදීම, වාහනවලට හානි සිදුකිරීම, සුදු ඉර කපාගෙයාම වැනි ඕනෑම මාර්ග නීති උල්ලංඝනය කිරීමක් මෙම අංකයට දැනුම් දිය හැකියි.
එසේම වාහන නිෂ්පාදකයා විසින් ලංකාවට එවනු ලබන වාහනවල යම් සවිකිරීමක් හෝ වෙනස් කිරීමක් සිදුකරනවා නම් ඒ සඳහා මෝටර් රථ කොමසාරිස් ජනරාල්වරයාගේ අවසරය ලබාගත යුතුයි. එවැනි අවසරයකින් තොරව යම් වෙනස් කිරීමක් සිදුකරන්නේ නම් එය නීතිවිරෝධී කටයුත්තක් වෙනවා.
සමහර වාහනවල අන්තරාදායක කොටස්, විවිධ වර්ණයන්ගෙන් යුත් විදුලි පහන්, සම්මත ඩෙසිබල් ප්‍රමාණය ඉක්මවා යන හෝර්න්, විවිධ රූප සවි කර තිබෙනවා. මෙවැනි වාහන පොලිස් භාරයට ගෙන එම කොටස් ඉවත් කරවීම අප විසින් සිදුකරනු ලබනවා. එබැවින් එවැනි වෙනස් කිරීම් සිදුකළ වාහන පිළිබඳ තොරතුරුද මහජනයාට අපේ වට්ස්ඇප් අංකය වෙත දැන්විය හැකියි.
අපට ලැබෙන එවැනි තොරතුරු සඳහා හැකි ඉක්මනින් ක්‍රියාත්මක වී නීතිමය පියවර ගන්නවා. ඔබ විසින් එවනු ලබන වීඩියෝවට අනතුර හෝ මාර්ග නීති කඩකරන වාහනයේ අංක තහඩුව පෙනෙන ලෙස සහ අදාළ ස්ථානය පැහැදි වන ලෙස එවීම ඉතා වැදගත්. එසේම අදාළ පොලිස් බල ප්‍රදේශයත් සඳහන් කළ හැකි නම් බෙහෙවින් ප්‍රයෝජනවත් වෙනවා.
අප්‍රේල් මාසයේ අනතුරු
අප්‍රේල් මාසයේ වැඩි වශයෙන් සාද පැවැත්වෙන සමයක්. මේ නිසා අපි අප්‍රේල් මාසය ආරම්භයට පෙර සිටම මහජනතාව දැනුවත් කළා සාදවලට ගොස් මත්පැන් පානය කරනවා නම් රිය ධාවනය සිදුකරන්න එපා කියලා. විශේෂයෙන් ඔබට ඔබේ වාහනයෙන්ම අදාළ සාදයට යායුතු නම් මත්පැන් පානය නොකරන රියැදුරෙක් භාවිත කරන ලෙසත් එසේත් නැත්නම් කුලී රථ සේවා භාවිත කරන ලෙසත් දැනුවත් කළා. නමුත් සමහරු පවුලේ අය කුලිී රථයක යවා ගෘහ මූලිකයා බීමතින් රිය පදවා ජීවිතය අහිමි කරගත් අවස්ථා පසුගිය දිනවල වාර්තා වුණා.
මත්පැන් පානය කර රිය ධාවනය කරන්නන් පුහු වීරත්වයක් ආරෝපණය කරගෙන රථ ධාවනය කිරීමට යාමෙන් තමයි අනතුරු වැඩි වශයෙන් වාර්තා වී තිබුණේ සාමාන්‍යයෙන් පැයට සැතපුම් 60ක වේගයෙන් ධාවනය කරන වාහනය මත්පැන් පානයෙන් පසු 120ක වේගයෙන් ධාවනය කරන්නට ඇතැමුන් පෙලඹීම, ත්‍රිරෝද රථ රෝද දෙකෙන් ධාවනය කිරීමට යාම, යතුරුපැදි තනි රෝදයෙන් පැදවීමට යාම වැනි පුහු වීරත්වයක් ආරෝපණය කරගැනීමට උත්සාහ කළ ඇතැම් පුද්ගලයන් දිවි අහිමි කරගෙන තිබුණා.
මෙවැනි සිදුවීම්වල පවතින ඛේදවාචකය වන්නේ ඔවුන්ගේ තාවකාලික සතුට සදාකාලික දුකක් බවට පත්වන පූර්ණ ආබාධිතයන් බවට ඇතැමුන් පවත්ව තිබීමයි. මෙවැනි පුද්ගලයන් පවුලට, සමාජයට, රටට බරක්. මේ නිසා පුහුවීරත්වය ආරෝපණය කර ගැනීමට පෙර මේ පිළිබඳවත් දෙතුන් වරක් සිතා බැලිය යුතුයි.
දවසේ අනතුරු
අපේ රට තුළ දිනකට මාරක අනතුරු 7-8 පමණ සිදුවනවා. බරපතළ අනතුරු 20 -25ක් පමණ සිදුවනවා. එසේම සුළු අනතුරු 30ක් පමණත් අලාභහානි සිදුවීම් ඇතුළු දිනක සියලු අනතුරු ප්‍රමාණය 75-80ක් පමණත් වාර්තා වෙනවා. මෙය ඉතා ඉතා ඉහළ අගයක්. යුද්ධය පැවති සමයේවත් දිනකට 7-8ක් මිය ගියේ නැහැ. මෙය පුළුල් කතිකාවකට ලක්විය යුතු සමාජ ගැටලුවක්. මේ 7-8 අතරේ හෙට දවසේ සිටින්නේ ඔබ හෝ ඔබේ පවුලේ කෙනෙක්, හිතවතෙක් විය හැකියි. ඒ නිසා මාර්ග නීති පිළිපදින යහපත් පදිකයෙක්, යහපත් රියැදුරෙක් ලෙස කටයුතු කිරීම ඉතාම වැදගත්.
GovPay සහ අනතුරු
රථවාහන වැරදි සම්මතව ස්ථානීයව පනවන දඩ පහසුවෙන් ගෙවා දැමීම සඳහා GovPay ක්‍රමය හඳුන්වා දෙනු ලැබුවා. විශේෂයෙන් කොළඹ සිටින කෙනෙක් යාපනයට ගොස් සිටියදී සිදුකරන රථවාහන වැරුද්දකට ස්ථානීය දඩයක් පැනවුවහොත් ඔහු තම රියැදුරු බලපත්‍රය ලබාගැනීමට යළිත් යාපනයට යාම ආදී ගැටලුකාරී තත්ත්ව රැසකට මුහුණපෑවා. මෙම තත්ත්වය වළකා පහසුවෙන් සිය දඩය ගෙවීමේ මාධ්‍යයක් ලෙස GovPay හඳුන්වා දුන්නත් මෙම ක්‍රමවේදය අනිසි ලෙස භාවිත වෙනවාද යන්න රථවාහන අනතුරු ඉහළයාම අනුව යළි සිතා බැලීමට සිදුව තිබෙනවා.
කෙසේ නමුත් GovPayට සමගාමීව අකුසලතා ලකුණු ලබාදීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක වීම අැරඹුවා. ඒ අනුව රියැදුරන් විසින් සිදුකරන මාර්ග නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධව ලකුණු ලබාදීමක් සිදුකරනවා. මෙලෙස අහිමි කරගත හැකි ලකුණු ප්‍රමාණය 24ක්.
එසේම රියැදුරු බලපත්‍රය අවුරුදු 18දී ලබාදීමේදී පරිවාස කාලයකට යටත් වන්නේ නැහැ. නමුත් රථවාහන පනත ප්‍රකාරව වසරක පරිවාස කාලයකට යටත්ව අකුසලතා ලබාදීමේ ක්‍රමවේදයක් හදුන්වා දී තිබෙනවා. මේ ක්‍රමය අනුව පරිවාස කාලයෙහි අකුසලතා ලකුණු ලබාගන්නා ප්‍රමාණය මත එම පුද්ගලයාට ස්ථිර රියැදුරු බලපත්‍රය ලබාදෙනවාද යන්න හෝ ඔහුගේ පරිවාස කාලය තවදුරටත් දිගු කරනවාද යන්න තීරණය කරනු ලබනවා. මේ හරහා හික්මීමක් සහිත රියැදුරකු බිහිකර අනතුරු අවම කරගත හැකියි.
රියැදුරු පාසල් තමන් වෙත එන මෝටර් රථ ධාවනයට ආධුනික පිරිස් නිසි ලෙස පුහුණුකර මාර්ග නීති පිළිබඳව නිසි අවබෝධයක් ලබාදී රියැදුරු බලපත්‍ර ලබාගැනීමේ පරීක්ෂණයට ඉදිරිපත් කරන්නේ නම් මාර්ග නීති සුරකින රියැදුරන් බිහිකිරීමේ උත්සාහය සාර්ථක කර ගැනීමට ඉවහල් වනු ඇති. නමුත් ඇතැම් ආයතන මුදල්වලට නුසුදුස්සන් රියැදුරු බලපත් ලබාදීමට මැදිහත්වීම ද වත්මන් රිය අනතුරු ඉහළයාමට බලපා තිබෙන බවට සමාජය තුළ කතිකාවක් ඇතිව තිබෙනවා. නමුත් රජය මේ පිළිබඳව අවධානය යොමුකර මෙම ක්‍රමවේද වෙනස් කිරීමට කටයුතු යොදමින් තිබෙනවා.
මාරයා ත්‍යාගයක් ලෙසද පැමිණේ
ඇතැම් දෙමාපියන් සිය දරුවා විභාගය සමත්වීම මත හෝ උපන් දිනය වෙනුවෙන් යතුරුපැදි ලබාදීමේ අවස්ථා දක්නට ලැබෙනවා. රියැදුරු බලපත්‍රයක් නොමැති දරුවන්ටත් යතුරුපැදි ලබාදෙන අවස්ථා වාර්තාවී තිබෙනවා. මේ නිසා අවුරැදු 18ට අඩු දරුවෙකුට යතුරුපැදියක් ලබාදීමෙන් වළකින්න. මන්දයත් එම දරුවාගේ දිවිය අහිමි කරන ත්‍යාගය බවට පත්වීමේ සම්භාවිතාවක් පවතින නිසයි.
පසුගියදා මහනුවරදී අවාසනාවන්ත පාසල් සිසුන් දෙදෙනෙකු යතුරුපැදි අනතුරක් නිසා මියගියා. එම දරුවන් දෙදෙනාම වයස 18ට අඩු බව හෙළි වුණා. දෙමාපියන් තම දරැවන් ගැන මීට වඩා අවධානය යොමු කළා නම් එම දරුවන්ට මෙවැනි අවාසනාවන්ත ඉරණමක් අත්නොවන්න ඉඩ තිබුණා.
පාසල් බිග් මැච් සමයේ සිසුන් යතුරුපැදි, මෝටර් රථ අපරික්ෂාකාරී ලෙස හා අනතුරුදායක ලෙස ධාවනය කරනු ලබන අවස්ථා වාර්තා වනවා. මේ නිසා විදුහල්පතිවරු, ගුරුවරු, දෙමාපියන් මේ පිළිබඳව දරුවන් දැනුවත් කළ යුතුයි. මෙම පාර්ශ්ව නියාමනයක් සහිතව කටයුතු කළේ නම් මෙහිදී සිදුවන අනතුරු වළක්වාගත හැකිව තිබෙනවා. මෙය පොලිසියට පමණක් සිදුකළ හැක්කක් නොවේ.
පොලිස්පති නියමයෙන් රථවාහන අනතුරු සියයට 20කින් අවම කිරීමේ විශේෂ උපායමාර්ගික සැලැස්මක් මේ වනවිට ක්‍රියාත්මක කර තිබෙනවා. එසේම අනතුරු බහුල ප්‍රදේශ හඳුනාගෙන එම ස්ථානවල සිදුවන අනතුරු අවම කිරීමට අවශ්‍ය පියවර ප්‍රවාහන අමාත්‍යංශය හා මාර්ග සංවාර්ධන අධිකාරිය සමග එක්ව අප ක්‍රියාත්මක කරනවා.
පාසල් විෂයට මාර්ග ආරක්ෂාවත් එයි
පාසල් විෂය නිර්දේශය සඳහා මාර්ග ආරක්ෂාව සහ මාර්ග අනතුරු පාලනය යන කාරණය ඇතුළත් කිරීමට අදාළ සාකච්ඡා සිදුකෙරෙමින් පවතිනවා. විශේෂයෙන් දරුවන් තුළ ආකල්පමය වෙනසක් ඇතිකර ක්‍රමයෙන් රිය අනතුරු අවම කර ගැනීම මේ හරහා අපේක්ෂා කරනවා. ජපානය වැනි රටවල රිය අනතුරු අවම කර ගැනීමට හැකිව තිබෙන්නේ ආකල්පමය වශයෙන් දියුණු වූ නිසයි.
ආරක්ෂිත හිස්වැසුම් භාවිතය
යතුරුපැදි භාවිත කරන්නන් ප්‍රමිතිගත හෙල්මට් මෙන්ම ආරක්ෂිත උපාංග භාවිත කිරීම ඉතා වැදගත් වනවා. ඇතැම් අවස්ථාවල යතුරුපැදියේ යන මව සහ පියා හෙල්මට් පැලඳ ගියත් දරුවන්ට හෙල්මට් නොපලඳවා ගෙන අය අයුරු බහුලව දක්නට ලැබෙන්නක්. නමුත් යතුරුපැදිය අනතුරට ලක්වුව හොත් දෙමාපියන්ගේ පමණක් දිවි සුරැකීම ප්‍රමාණවත් ද? යතුරුපැදි අනතුරකින් පසු සියුම් හිස් කබලක් සහිත දරුවන්ට දැඩි හානි සිදුවීමේ වැඩි අවදානමක් තිබියදී දෙමාපියන් ඒ ගැන කිසිදු අයුරතින් නොතකා සිටින්නේ ඇයිද යන්න ගැටලුවක්. පොලිසියෙන් ගැලවීමට ආරක්ෂිත හිසිවැසුම් පලඳවනවා වෙනුවට තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මෙය සිදුකරන බව සිතා කටයුතු කිරීම වැදගත්.
එසේම යතුරුපැදියෙන් දරුවන් පාසලට රැගෙන යාමේදී එම දරුවන්ට ආරක්ෂිත හෙල්මටයක් පලඳවා රැගෙනයාම අනිවාර්ය කරුණකි. මේ පිළිබඳව දෙමාපියන් දැනුවත් කිරීමට පොලිසිය කටයුතු යොදා තිබෙනවා. එසේම පාසල් සිසුන් මේ පිළිබඳව දැනුවත් කිරීමත් සිදුකරනවා.
අනතුර වළකාගන්න එක්වෙමු
ජනතාවගෙන් අප මේ මොහෙතේ ඉල්ලා සිටින්නේ නීතිගරුක ලෙස වාහන පදවන ලෙසයි. මාර්ග නීති කඩකරන අවිනීත රියැදුරන් අපි වහාම අත්අඩංගුවට ගෙන නඩු පැවරීමට මැලි වෙන්නේ නැහැ. ඒ වගේම මාර්ග නීති කඩකරන රියැදුරන් පිළිබඳ අප දැනුවත් කරන්න. අනතුරකින් පසුව පහරදෙන, වාහනවලට අලාභහානි සිදුකරන පුද්ගලයන් පිළිබඳව 0704-755 600 අංකයෙන් අප දැනුවත් කරන්න.
අප තරුණ පරම්පරාවෙන් ඉල්ලා සිටින්නේ ආකල්පමය වශයෙන් වෙනස් වන ලෙසයි. මාර්ගයේ ගමන්කරන විට දකුණු පසින් අවධානයෙන් ගමන් කරන්න. මාර්ගය හරහා මාරුවන වන පදික මාරුවකින් අවාධානයෙන් යුතුව ගමන් කරන්න. මාර්ගයේ යන අතරතුර ජංගම දුරකථන භාවිතයෙන් තොරවෙන්න. මත්පැන් හෝ මත්ද්‍රව්‍ය පානය කර හෝ අධික වෙහෙස තිබේ නම් රිය පැදවීමෙන් වළකින්න.
මහජනතාව ලෙස ඔබෙන් ඉල්ලා සිටින්නේ ඔබ ගමන් කරන බසයේ රියැදුරු අසාමාන්‍ය ලෙස වාහනය පදවනවා නම් අපට වහාම දැනුම් දෙන්න. අපි එවලේම ක්‍රියාත්මක වී එවැනි රියැදුරන් පරීක්ෂා කර අවශ්‍ය පියවර ගැනීමට සූදානම්.
විකෘති මානසිකත්වයක් සහිත පුද්ගලයන් සිදුකරන ක්‍රියා නිසා සමස්ත සමාජයක් අනතුරේ හෙළීමට කිසි සේත් ඉඩදීමට අප සූදානම් නැහැ. ඒ සම්බන්ධයෙන් පොලිසිය දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනවා.
නිරෝෂාන් ප්‍රේමරත්න
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd