![]() |
| මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා කළමනාකරණ හා මූල්‍ය පීඨය වයඹ විශ්වවිද්‍යාලය |
මහජන බැංකුව, ලංකා බැංකුව සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුව 2025 වසරේ දී ඒවායේ ඉතිහාසයේ වාර්තා කළ ඉහළම ලාභ සහ කාර්යසාධන මට්ටම් ළඟා කරගෙන ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ. ඒ, එම බැංකුවල වාර්ෂික වාර්තා ජනාධිපතිවරයාට පිළිගැන්වීමෙන් පසු ය. එම නිවේදනයට අනුව, මහජන බැංකුව එහි ඉතිහාසයේ උපයන ලද ඉහළම ලාභය 2025 දී වාර්තා කර ඇති අතර එහි අගය බදු පෙර ලාභය රුපියල් බිලියන 64.4 ක් හා බදු අයකිරීමෙන් පසු ලාභය රුපියල් බිලියන 40 ක් බව එම නිවේදනයේ දැක්වේ. මේ අතර ලංකා බැංකුව එහි වසර 87 ක ඉතිහාසයේ වාර්තා කරන ලද ඉහළම ලාභය 2025 දී සටහන් කර ඇති අතර එය සියලු බදුවලට පෙර බිලියන 120.8 කි. එසේම ජාතික ඉතිරි කිරීමේ බැංකුව සියලු බදුවලට පෙර බිලියන 59 ක ඉහළම ලාභය එම වසරේ දී වාර්තා කර ඇත.
මෙපරිදි බැංකු පද්ධතිය ලාභ ලැබීම යන්නෙන් අදහස් වන්නේ කුමක් ද යන්නත් එයින් තැන්පතුකරුවන්ට සහ පොදුවේ රටේ ආර්ථිකයට වෙන යහපත කුමක් ද යන්නත් විමසමින් මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා සමග අපි සාකච්ඡා කළෙමු. බැංකු ලාභ ලැබීමෙන් තැන්පතුකරුවන්ගේ මුදල් සුරක්ෂිත බවත් ආර්ථිකය ශක්තිමත් බවත් ප්‍රකාශ වෙන බව කී මහාචාර්යවරයා බැංකු අධික ලෙස ලාභ ලැබීම මගින් කර්මාන්ත ක්ෂේත්‍රයට අහිතකර බලපෑම් එල්ල වෙන බවත් හෙළි කළේ ය. තවත් වැදගත් කරුණු රැසක් අනාවරණය වූ එම සාකච්ඡා සටහන මෙසේ ය.
බැංකු සහ මූල්‍ය ආයතන ඕනෑම ආර්ථිකයක ඉතා වැදගත් අංග වේ. එබැවින් ඒවායෙහි කාර්යසාධනය හා ලාභ අලාභ පිළිබඳ වැඩි අවධානයක් යොමු වේ. මහජන බැංකුව, ලංකා බැංකුව සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුව යන රාජ්‍ය බැංකු මෙම වසරේ දී මෙන්ම පසුගිය 2024 වර්ෂයේ දී ද ලාභ උපයා තිබේ. 2022 ආර්ථික අර්බුදය උද්ගත වී වසර තුනක් වැනි කාලයකදී රාජ්‍ය බැංකු මේසා ඉහළ ලාභ උපයන්නේ කෙසේදැයි කෙනකුට ප්‍රශ්නයක් ඇති විය හැකි ය. ඊට ප්‍රධාන හේතුව වන්නේ පොදුවේ මූල්‍ය පද්ධතියේ පොලී අනුපාත තීරණය කරන බලධරයා ශ්‍රී ලංකා මහ බැංකුව වුව ද ඒ ඒ බැංකු විසින් පොලී අනුපාත ඒවාට අවශ්‍ය පරිදි තීරණය කරනු ලැබීම ය. එහි ප්‍රතිඵලයක් හැටියට බැංකු පද්ධතිය විශාල වශයෙන් ලාභ ලබන්නේ ය යන චෝදනාව ද නැගේ.
බැංකුවල ලාභය සාධාරණ විය යුතුයි
බැංකු අංශය කඩාවැටීමකට ලක්වුව හොත් සමස්ත ආර්ථිකයම බිඳවැටේ. එබැවින් ප්‍රමාණවත් ලාභ ඉපැයීමට බැංකුවලට සිදු වේ. බැංකුවක් එහි මුදල් තැන්පත් කරන තැන්පතු හිමියන්ට යම් පොලි මුදලක් ගෙවයි. එසේ එකතු වන තැන්පතු මුදල් ණයට ලබා දෙන අතර ඒ සඳහා පොලියක් අය කරයි. එසේ තැන්පතුවලට ගෙවන පොලිය හා ණය ලබාදීම මගින් අය කරනු ලබන පොලිය අතර ඇති වෙනස බැංකුවක ආදායම හැටියට සලකනු ලබයි. එම ආදායමෙන් පරිපාලන වියදම් අඩු කළ පසු ඉතිරි වන මුදල සැබෑ ලාභය වේ. රාජ්‍ය හා පෞද්ගලික අංශයේ බැංකු මගින් ඒවායෙහි තැන්පතුවලට දෙනු ලබන පොලී අනුපාතය පවතින්නේ සියයට 2-5 අතර අගයකය. එහෙත් ණය ලබා දීමේදී ඒ සඳහා සියයට 14-16 අතර පොලී අනුපාතයක් අය කරනු ලබයි. එමෙන් ම ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා සියයට 25 ඉක්ම වූ පොලී අනුපාතයක් අය කරනු ලබයි. සියයට 2 ක හෝ ඒ ආසන්න පොලියකට තැත්පතු කරුවන්ගෙන් ලැබෙන මුදල් සියයට 12 -14 අතර පොලී අනුපාතවලට ණයට ලබා දීම සිදුවන අතර එයින් බැංකුවලට ඉහළ ලාභ ඉපැයීමට පිළිවන. මේ අතර ස්ථාවර තැන්පතු සඳහා ගෙවනු ලබන පොලී අනුපාතය සියයට 7-10 ත් අතර අගයක පවතී. එසේ ලබා ගන්නා මුදල් සියයට 14 ක පොලී අනුපාතයක් යටතේ ණය වශයෙන් ලබා දුන හොත් එයින් ද බැංකුවලට සියයට 7 ක පමණ ලාභයක් ලැබේ. එහෙත් ලංකාවේ ස්ථාවර තැන්පතු සාපේක්ෂව අඩු මට්ටමක පවතී.
බැංකු පද්ධතියේ ඇති තැන්පතුවලින් සියයට 90 ක් පමණ සාමාන්‍ය තැන්පතු බව මගේ විශ්වාසය යි. එම තැන්පතුවලට සියයට 2-5 අතර පොලී අනුපාතයක් ලබා දී නැවත එම මුදල් සියයට 14 හෝ ඊට වැඩි පොලී අනුපාතයක් යටතේ ණයට ලබා දීම මගින් බැංකු ලාභ උපයයි. බැංකු පද්ධතියේ ඇති සියලුම බැංකු ලාභ ලබන බවට මෙතෙක් කී කතාව එසේ සාරාංශ කළ හැකි ය. බැංකු ලාභ ඉපැයීම වරදක් නොවුණත් එම ලාභය සාධාරණ එකක් විය යුතුය යන ස්ථාවරයේ ආර්ථිකවේදීහු සිටිති
බැංකු ලබන ලාභය අසාධාරණ ද යන්න සාපේක්ෂ කාරණයකි. හේතුව, පෞද්ගලික අංශය තරගකාරී නිසා ය. පෞද්ගලික අංශයේ සෑම මූල්‍ය ආයතනයක් ම ලාභ ඉපැයීමට උත්සාහ කරන විට රාජ්‍ය බැංකුවලට ද ලාභ ඉපැයීමට සිදු වේ. රජයේ සහනාධාර වැඩසටහන් ද ඇතුළුව තවත් බොහෝ ව්‍යාපෘතිවලට මුදල් සපයනු ලබන්නේ ප්‍රධාන රාජ්‍ය බැංකු දෙක විසිනි. එබැවින් රජයේ බැංකුවල මුදල් විශාල වශයෙන් රාජ්‍ය ආයතනවල සිර වී තිබේ. එසේම රජයේ බැංකුවල පැහැර හරින ලද ණය ප්‍රමාණ ඉතා ඉහළ අගයන්වල පවතී. පෞද්ගලික බැංකු සමග සැසඳීමේදී රාජ්‍ය බැංකුවල සේවක සංඛ්‍යාව ද වැඩි අගයක් ගනියි. ඊට අමතරව විශ්‍රාම ගිය සේවකයන් නඩත්තු කිරීමට ද එම බැංකුවලට සිදු වේ. මෙයින් පැහැදිලි වන්නේ රජයේ බැංකු ලාභ ලැබුව ද බැඳීම් රාශියකට ද යටත් වී තිබෙන බව ය.
බැංකු අධික ලාභ ලැබීමෙන් කාර්මාන්ත හා ව්‍යාපාර ක්ෂේත්‍රවලට අහිතකර බලපෑම්
පෞද්ගලික අංශයේ බැංකුවලට මේ තරම් පීඩනයක් නැත. එම බැංකු ද විශාල වශයෙන් ලාභ උපයයි. බැංකුවක් ලාභ ලැබීම යනු එයින් ණය ගන්නා අයගෙන් ඉහළ පොලියක් අය කරනු ලැබීම වේ. අනිත් පැත්තෙන් තැන්පතුකරුවන්ට අඩු පොලී අනුපාතයක් ගෙවනු ලබයි. බැංකු උපයන ලාභය සාධාරණ ද යන කාරණය සලකා බැලිය යුත්තේ එහිදී ය. එනම්, බැංකුවල තැන්පතුකරුවන්ට සාධාරණයක් කරන්නේ ද යන්න ය. බැංකු යනු පහසුකම් සපයන ආයතන හෙයින් පහසුකම් සපයනු ලබන ආයතන තබා ගත යුතු ලාභ සීමාව කොපමණ ද යන්න නැවත සලකා බැලිය යුතු ය. බැංකුවල ලාභ ලැබිය හැකි සීමාව ඉක්මවා ගියහොත් එයින් කර්මාන්ත සහ අනෙකුත් ව්‍යාපාර ක්ෂේත්‍රවලටත් අහිතකර බලපෑම් එල්ල වේ. හේතුව, ඔවුන් ලබා ගන්නා ණයවලට ඉහළ පොලී අනුපාතයක් ගෙවීමට සිදුවීම මගින් ඔවුන්ගේ නිෂ්පාදන පිරිවැය ඉහළ අගයක් ගැනීම ය. අනෙක් පැත්තෙන් තැන්පතුකරුවන්ට අඩු පොලියක් ලබා දීම මගින් ඔවුහු අසීරුතාවට පත්වෙති. මේ තත්ත්වය සැලකීමේදී ද බැංකු ලාභය සඳහා තබාගත යුතු සීමාව කුමක්ද යන්න සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණීමට සිදු වේ. ඒ සීමාව කවරක් ද යන්න තීරණය කළහොත් ලබන ලාභය සාධාරණ එකක් යැයි කිව හැකි ය. එවැනි ඇගයීමක් නොකර රාජ්‍ය බැංකු තුන පසුගිය වසරේදී උපයා ඇති ලාභය සාධරණ ද අසාධාරණ ද යන්න කිව නොහැකි ය. අවසාන වශයෙන් කිව යුත්තේ බැංකු පද්ධතිය ලාභ ලැබීම ගැන අප සතුටු විය යුතු බව ය.
වසර 2022 ආර්ථික අර්බුදය හමුවේ පොලී අනුපාත ඉහළ දැමීම බැංකුවල ලාභ ඉහළ යෑමට සෑජු බලපෑමක් කළේ ද යන ඔබේ ප්‍රශ්නයට පිළිතුරක් සැපයීමේදී එවක සන්දර්භය විමසා බැලීම වැදගත් ය. වෙළෙඳපොළේ මුදල් සැපයුම්කරුවෝ තිදෙනෙක් සිටිති. රජය, ව්‍යාපාර සහ පුද්ගලයන් යනු ඒවාය. මුදල් ඉල්ලුම්කරුවන් වන්නේ ද මොවුන්ම ය. මෙම ඉල්ලුම්-සැපයුම් පාර්ශ්ව දෙකේදීම වෙළෙඳපොළට ඉහළ පීඩනයක් ඇති කරන්නේ රජය යි. රජය දේශීය වෙළෙඳපොළෙන් ණය ගතහොත් මුදල් ඉල්ලුම විශාල වශයෙන් ඉහළ ගොස් පොලී අනුපාත ද වැඩි වේ. 2022 ආර්ථික අර්බුදය අවස්ථාවේ සිදුවූයේත් එයයි. එම අවස්ථාවේ විදේශීය වෙළෙඳපොළෙන් ණය ගැනීමට නොහැකි වූ නිසා දේශීය වෙළෙඳපොළෙන් ණය ගැනීමට රජයට සිදු විය. එබැවින් භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කරවලට ගෙවනු ලබන පොලී අනුපාත සියයට 30 ද ඉක්මවා ගියේ ය. රජයේ සුරැකුම්වලින් ඒසා ඉහළ පොලී අනුපාතයක් ඉපැයිය හැකි වූ නිසා ජනතාව වැඩිවශයෙන් එම සුරැකුම්වල මුදල් තැන්පත් කළ අතර බැංකුවල තැන්පතු සඳහා ජනතාව වැඩිවශයෙන් ආකර්ෂණය කරගැනීම වෙනුවෙන් බැංකුත් ඒවායෙහි තැන්පතු පොලී අනුපාත ඉහළ දැමීය. 2022 දී බැංකු පොලී අනුපාත වැඩි වූයේ එපරිදි ය.
පෞද්ගලික අංශයේ බැංකුවලට මේ තරම් පීඩනයක් නැත. එම බැංකු ද විශාල වශයෙන් ලාභ උපයයි. බැංකුවක් ලාභ ලැබීම යනු එයින් ණය ගන්නා අයගෙන් ඉහළ පොලියක් අය කරනු ලැබීම වේ. අනිත් පැත්තෙන් තැන්පතුකරුවන්ට අඩු පොලී අනුපාතයක් ගෙවනු ලබයි. බැංකු උපයන ලාභය සාධාරණ ද යන කාරණය සලකා බැලිය යුත්තේ එහිදී ය. එනම්, බැංකුවල තැන්පතුකරුවන්ට සාධාරණයක් කරන්නේ ද යන්න ය. බැංකු යනු පහසුකම් සපයන ආයතන හෙයින් පහසුකම් සපයනු ලබන ආයතන තබා ගත යුතු ලාභ සීමාව කොපමණ ද යන්න නැවත සලකා බැලිය යුතු ය
ආර්ථික අර්බුදය සමනය වීමේදී රාජ්‍ය ආදායම් ඉපැයීම සම්බන්ධව රජය විශාල අර්බුදයකට මුහුණ දුන්නේ නැත. දේශීය වෙළෙඳපොළෙන් රජයේ මුදල් ඉල්ලුම යම් ආකාරයකට පාලනය විණි. එහි ප්‍රතිඵලයක් ලෙස ඉහළ ගිය පොලී අනුපාත යළි පහත වැටිණි. එහිදී මතු වූ ගැටලුවක් තිබිණි. එනම්, එවකදී ඇතැම් බැංකු අවුරුදු දෙක හෝ තුනකදී කල්පිරෙන පරිදි දිගුකාලීන ස්ථාවර තැන්පතු විවෘත කර තිබීම ය. එම පසුබිමේ ස්ථාවර තැන්පතු විවෘත කිරීමේදී එකඟ වූ පොලී අනුපාත ගෙවීමට ඒ බැංකුවලට සිදු විය. රජය පොලී අනුපාත අඩු කළ ද ඊට බැංකු ප්‍රතිචාර නොදැක්වූයේ ද ඒ නිසා ය. බැංකුවලට බැඳීම් පැවතීම ඊට එක් හේතුවකි. ආර්ථික අර්බුදය පැවති කාලයේ දී ද බැංකු ලාභ ලැබුවේ ය. හේතුව, රජය බැංකුවලින් විශාල වශයෙන් ණය ගත් නිසා ය. පොලී අනුපාත සම්බන්ධ ප්‍රශ්නය නොවිසඳෙන එකකි. හේතුව, පොලී අනුපාත අඩු කළ හොත් තැන්පතුකරුවන් තෘප්ත නොවීමත් පොලී අනුපාත වැඩි කළ හොත් ව්‍යාපාරිකයන් බංකොලොත් වීමත් ය.
ආයෝජන බැංකුවක හා එක්සිම් බැංකුවක වැදගත්කම
මේ සඳහා ගත හැකි විසඳුම ගැනත් අවධානය යොමු කළ යුතු ය. වෙනත් රටවල සාමාන්‍ය බැංකුවලට අමතරව තවත් බැංකු වර්ග තිබේ. ආයෝජන බැංකු එක් වර්ගයකි. මෙරට තිබූ ආයෝජන බැංකුව NDB ය. එය රාජ්‍ය බැංකුවක් ව තිබී පසුව පෞද්ගලිකකරණය කරන ලදී. එබැවින් දැන් එය සාමාන්‍ය පෞද්ගලික බැංකුවක් පමණි. රටකට අයෝජන බැංකුවක් තිබිය යුතු අතර ව්‍යාපාරිකයන් සමග ගනුදෙනු කරනු ලබන්නේ එම බැංකුව මගිනි. එවැනි ආයෝජන බැංකුවකින් ව්‍යාපාරිකයන්ට අඩු මුදලකට ණය ලබා දීමට පිළිවන. රටකට තිබිය යුතු දෙවැනි බැංකු වර්ගය නම් ආනයන අපනයන බැංකු (එක්සිම්- Import Export Banks) ය. ශ්‍රී ලංකාව චීනයෙන් ණය ලබාගැනීමේ දී චීන රජය වෙනුවෙන් එය කරන්නේ එරටේ එක්සිම් බැංකුවයි. ලංකාවේත් එක්සිම් බැංකුවක් ස්ථාපිත කළ හොත් ආනයන-අපනයන වෙළෙඳාමේ නිරත අයට විදේශ මුදල් ගනුදෙනුවලදී උපකාර කිරීමේ හැකියාව පවතී. ආයෝජන බැංකුවක් හා එක්සිම් බැංකුවක් පිහිටුවන්නේ නම් සෙසු බැංකු සාමාන්‍ය වෙළෙඳපොළ කටයුතු සඳහා පමණක් නිදහස් කළ හැකි ය.
බැංකු ඒකාබද්ධ කිරීමේ අවශ්‍යතාව
මෙහිදී මතු විය හැකි තවත් ප්‍රශ්නයක් තිබේ. එනම්, මිලියන 21 කට අධික ජනගහනයක් වෙසෙන රටකට මේ තරම් බැංකු අවශ්‍ය ද යන්න ය. ලංකාවේ මේ වෙද්දි බැංකු 25කට වැඩි ප්‍රමාණයක් තිබේ. ඒවායෙන් සමහර බැංකුවල ප්‍රාග්ධනය ඉතා අඩු අගයක් ගන්නා අතර දිගුකාලීන ස්ථාවරතාවට එය ප්‍රමාණවත් නොවේ. එබැවින් කළ යුතු සුදුසුම දේ ඇතැම් බැංකු ඒකාබද්ධ කිරීම ය. රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව මහජන බැංකුව සමග ඒකාබද්ධ කිරීමට යෝජනාවක් තිබෙන අතර එය හොඳ දෙයකි. බැංකු ප්‍රමාණය සීමා කළ යුතු ය. ශක්තිමත් බැංකු 5 ත් 10 ත් අතර ගණනක් රටට ප්‍රමාණවත් ය. සෙසු බැංකු ඒකාබද්ධ කළ යුත්තේ ආයෝජන හා එක්සිම් බැංකුවලටය.
රාජ්‍ය බැංකු ඉහළ ලාභ ඉපැයීමට 2023 දී සිදු කරන ලද දේශීය ණය ප්‍රශස්තකරණය මගින් දැඩි බලපෑමක් ඇති කළේ නැත. එම ක්‍රියාවලියෙන් ණය යම් ප්‍රමාණයක් කපා හැරිය ද බැංකුවලට පිඩාවක් ඇති කළේ නැත.
ගෙවීම පැහැර හැර ඇති ණය අඩු කිරීමෙන් පසු බැංකු ප්‍රසිද්ධ කළ ලාභ
රාජ්‍ය බැංකුවලින් ලබාගත් ණය ගෙවීම පැහැර හැරීමේ ප්‍රතිශතය (එන්.පී.එල්. අගය) සියයට 10 ත් 13 ත් අතර මට්ටමක පවතී. එය පෞද්ගලික අංශයේ බැංකුවල සටහන් වන්නේ සියයට 8 ත් 10 ත් අතර අගයක ය. බැංකුවල එන්.පී.එල්. අගය වැඩිවීමට හේතු කිහිපයක් ඇත. එකක් ණය ගත් පුද්ගලයා හෝ ව්‍යාපාරය හෝ බංකොලොත් වීම ය. ඇතැම් මහා පරිමාණ සමාගම් සහ ව්‍යාපාරිකයෝ හිතාමතාම ණය ගෙවීම පැහැර හරිති. එවැනි සමහර මහා පරිමාණ සමාගම් හෝ ව්‍යාපාර රාජ්‍ය බැංකුවලින් ණය ගෙන තිබෙන්නේ දේශපාලන බලය හෝ හිතවත්කම් භාවිත කරමිනි. නිදසුනක් ලෙස යශෝදා සමූහ ව්‍යාපාරය නමැති ආයතනය 1990 ගණන්වලදී මහජන බැංකුවෙන් ගත් ණයක් මේ දක්වා ගෙවා නොමැත. මා ක්‍රෙඩිට් කමිටුවේ සභාපතිව සිටියදී පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර කමිටුව හමුවට කැඳවනු ලැබූ අතර එහිදී ද අදාළ සමාගමේ ණය ගැන ප්‍රශ්න කෙරිණ. මේ උදාහරණය ගෙනහැර දැක්වූයේ සමහර ණය හිමියන් සාධාරණ හේතු මත ණය ගෙවීම පැහැර හරින අතර ඇතැම් අය හිතාමතාම ගෙවීම පැහැර හරින බව පැවසිම සඳහා ය.
හිතාමතාම ණය ගෙවීම පැහැර හරින්නන්ගෙන් බොහෝ අය දේශපාලන බලය භාවිත කරමින් ඒ දේ කරන බව ද නිරීක්ෂණය කළ හැකි ය. ව්‍යාපෘති වෙනුවෙන් ණය ලබාදීමේ දී ණය ගැනීමට අපේක්ෂා කරන පාර්ශ්වය විසින් ඊට අදාළ ව්‍යාපෘති වාර්තාවක් බැංකුව වෙත ලබා දෙනු ලැබිය යුතු බව අපි දනිමු. එම වාර්තාව ඇගයීමට ලක්කර බැංකු විසින් ණය දෙනු ලැබේ. එහෙත් බොහෝ බැංකු සතුව ව්‍යාපෘති වාර්තා තක්සේරු කිරීමට නිසි දැනුමක් නැති බව මගේ මතය යි. මේ තත්ත්වයත් ණය ගෙවීම පැහැර හැරීම වැඩිවීමට හේතුවකි. ගෙවීම පැහැර හැර ඇති ණය ප්‍රමාණ අඩුකිරීමෙන් පසු බැංකු ඒවායේ ලාභ පාඩු ප්‍රකාශ කරයි. ඒ අනුව රාජ්‍ය බැංකු ඒවායේ ලාභ ප්‍රකාශ කර තිබෙන්නේ ද ගෙවීම පැහැර හැර ඇති ණය අගයයන් අඩු කිරීමෙන් පසු ය. එම ණය මුදල් බැංකුවට ලැබුණේ නම් මේ ප්‍රකාශිත ලාභ තවත් සියයට 15 න් පමණ ඉහළ යනු ඇත.
බැංකු ලාභ ලබන විට එයින් වක්‍රාකාරව ජනතාවට ද ප්‍රතිලාභ හිමි වේ. හේතුව, බැංකු ලබන ලාභයෙන් සියයට 35 ක් පමණ බදු රජයට ගෙවිය යුතු නිසා ය. එහි තේරුම, බැංකු ලාභ ලැබීම රජයට යහපත් වන අතර රජය එම මුදල් රජයේ වියදම්වලට යොදා ගන්නා හෙයින් ජනතාවට වක්‍රාකාර ප්‍රතිලාභ හිමි වේ.
මෙරට බැංකු පද්ධතිය ශක්තිමත්
බැංකුවල සුරක්ෂිතතාව ගැන සඳහන් කිරීමේදී වැදගත් වන්නේ ඒවා කොතෙක් දුරට මූල්‍යමය වශයෙන් ශක්තිමත් ද යන්න ය. ලාභ ඉපැයීමේදී සහ වත්කම් වර්ධනය ගත්විට මෙරට බැංකු පද්ධතිය ශක්තිමත් බව කිව යුතු ය. එසේම බැංකු ලාභ ලබා ඇත යන්නෙන් අදහස් වන්නේ තැන්පතුකරුවන්ගේ මුදල් සුරක්ෂිත බව ය. අපි ඒ ගැන සතුටු විය යුතු වෙමු. එසේම බැංකු රැකගැනීම සම්බන්ධයෙන් ඒවායෙහි කළමනාකාරිත්වයන්ට ස්තුති වන්ත විය යුතු වෙමු. එහෙත් නූතන තාක්ෂණයත් සමග බැංකු පද්ධතියත් සෙසු අංශත් අවදානම්වලට මුහුණ දෙන බව කිව යුතු ය. ප්‍රශ්නගත ජාතික සංවර්ධන බැංකුවේ (NDB) සිද්ධියෙන් වුව පැහැදිලි වන්නේ තාක්ෂණයත් සමග ඇති වෙන අවදානම ඉවත් කරන්නේ කෙසේ ද යන්න ගැන කල්පනා කළ යුතු බව ය. තාක්ෂණයේ දියුණුව සහ ඒ ඔස්සේ වංචා වීමට ඇති ඉහළ හැකියාව හේතුවෙන් ඒවා පාලනය කිරීමට නව නීති ගෙනා යුතු ය. බැංකු හා මූල්‍ය ආයතනවල වංචා පාලනය කිරීමට අප තවමත් යොදා ගන්නේ 1940 දසකයේ සම්මත කළ වංචා වැළැක්වීමේ ආඥා පනත යි. මේ පරණ පනත්වලින් වංචා නතර කළ නොහැකි ය. එබැවින් නව නීති අවශ්‍ය වේ.
උපුල් වික්‍රමසිංහ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd