එකදු බුදු පුතකුවත් සිය කුසින් නොවැදුවද අඩුම තරමින් තමන්ගේ සනුහරේ එකදු බුදු පුතකුවත් නොසිටියද බුදු පුතුන් සියදහස් ගණනකගේ බුහුමන් මැද අවසන් ගමන් යාමට තරම් අම්බලන්ගොඩ තේනුවර ගුණවතී මාතාව පින්වත් වූවාය. වාසනාවන්ත වූවාය.  


තමන්ගේම කුසින් බුදු පුතුන් නොවැදුවද රටේ සියලුම බුදු පුතුන් තමන්ගේම කුසින් වැදුවාක් මෙන් රැක බලා ගනිමින් ඇප උපස්ථාන කරමින් දුක සැප බලා ගනිමින් වසර ගණනාවක්ම සඟ සසුනට කළ අනුපමේය සේවය සලකා බලා වත්මන් විශාකාවක ලෙස සලකමින් කටයුතු කිරීම ඇගේ අවසන් කටයුතු බුදු පුතුන්ගේ බුහුමන් මැද සිදුවීමට වූ එකම නිමිත්තය.  


ඇය අවසන් ගමන් ගියේ ද රෝගී වූ බුදු පුතෙකුට අවශ්‍ය බෙහෙත් ඇතුළු ද්‍රව්‍ය රැගෙන අම්බලන්ගොඩ සිට කොළඹ දක්වා ත්‍රිරෝද රථයෙන් යමින් සිටියදී සිදුවූ රිය අනතුරකින්ය. ඇය රිය අනතුරට ලක්වූවේ විචිත්‍ර ධර්ම දේශක රෝගී වූ බණ්ඩාරවෙල අමිතානන්ද හිමියන්ගේ සුවදුක් බැලීමට යමින් සිටියදීය.  


මෙරට බුදු පුතකුගේ මව හැර වෙනත් මවක මෙලෙස බුදු පුතුන්ගේ බුහුමන් මැද අවසන් ගමන් ගිය මේ රටේ පළමු අවස්ථාවයි.  


අම්බලන්ගොඩ විසූ තේනුවර ගුණවතී මහත්මිය හය හතර තේරුණු දා පටන්ම බුදු දහමට දැක්වූයේ දැඩි භක්තියකි. ගෞරවයකි. මේ නිසාම ඇය මහා සංඝයා වහන්සේලාට සිව් පසයෙන් උපස්ථාන කළාය. හඳුනන, නොහඳුනන හැම භික්ෂූන් වහන්සේ නමකටම එකම අයුරින් සැලකූ නිසාම රට වටේම භික්ෂූන් වහන්සේලා ඇයගේ හිතවතුන් බවට පත්වූහ. යම් භික්ෂූන් වහන්සේ නමක් ගිලන්ව සිටින බවට ඇයට දැනගන්නට ලැබුණොත් උන්වහන්සේලාට ඇප උපස්ථාන කරන තුරු ඇයට ඉස්පාසුවක් තිබුණේ නැත. ඒ තරමටම ගුණවතී මහත්මිය භික්ෂූන් වහන්සේලාට කරුණාවන්ත වූවාය. ගුණවත් වූවාය.  


දොම්පේ සිටි බණ්ඩාරවෙල අමිතානන්ද හිමියන් ගිලන්ව සිටි බව ගුණවතී මහත්මියට දැන ගන්නට ලැබුණේ මේ අතරවාරයේදීය. ඇය අමිතානන්ද හිමියන්ට බෙහෙත් ඇතුළුව අනෙක් අවශ්‍ය බඩු භාණ්ඩ ද පටවාගෙන අම්බලන්ගොඩින් ත්‍රීරෝද රථයකින් ගියේ උන්වහන්සේ දැක බලාගෙන අමිතානන්ද හිමියන්ට ඇප උපස්ථාන කිරීමටය. එසේ ගිය ගුණවතී මාතාවට ඒ ගමන සම්පූර්ණ කිරීමට මාරයා ඉඩ නොදුන්නේය.  


අම්බලන්ගොඩ සිට දොම්පේ දක්වා යන ගමනේදී ඇය ගමන්ගත් ත්‍රිරෝද රථය නවගමුවේදී රිය අනතුරකට භාජනය වන්නේ ගුණවතී අම්මාට තවත් මෙලොව ජීවත්වීමට වාසනාව අහිමි කරවමින්ය. ඒ සමගම මෙරට භික්ෂූන් වහන්සේලාට හොඳ අම්මා කෙනෙක් ද නැතිවිණ.  


ඇයගේ මරණය කන වැකුණු භික්ෂූන් වහන්සේලා ඇඬුවේ තමන්ගේ කෙනෙක් නැතිවූවාක් මෙන් සොවින්ය. බොහෝ දුකින්ය. බණ්ඩාරවෙල අමිතානන්ද, උඩුවේ ධම්මාලෝක, පිටිගල ධම්ම විනීත, බොරැල්ලේ අතුල, කිරම දේවින්ද යන හිමිවරුන් ඇතුළු මේ මවගෙන් ඇප උපස්ථාන ලබාගත් සිය ගණනක් භික්ෂූන් වහන්සේලාට මේ ආරංචිය ඉතාමත්ම ශෝකජනක විණ. මේ හැම භික්ෂූන් වහන්සේ නමක්ම ඇය හැදින්වූයේ ‘අම්බලන්ගොඩ අම්මා’ නමින්ය. අම්බලන්ගොඩ අම්මා මියගිය පුවත භික්ෂූන් වහන්සේලා අතර පැතිර ගියේ සුළඟක් ලෙස වේගයකින්ය.  


මියගිය අම්බලන්ගොඩ අම්මාගේ දේහයට ගරු බුහුමන් දක්වන්න භික්ෂූන් වහන්සේලා හතර වටින්ම අම්බලන්ගොඩට වැඩියහ. මේ භික්ෂූන් අතරින් බොහෝ අය ඇයගේ නිසල දේහය බලා කඳුළු සැලුවේ ඒ අවස්ථාවේ සිටි අය ගැන ද නොසිතමින්ය. ඒ තරමටම භික්ෂූන් වහන්සේලා අම්බලන්ගොඩ අම්මාට සෙනෙහෙවන්ත වූහ. පිටිගල ධම්ම විනීත හිමියන් අම්බලන්ගොඩ අම්මාගේ මරණය කිසිසේත් අමතක නොකළ නිසාම උන්වහන්සේ ඉකිබිඳමින් කඳුළු සැලුවේ තම මව මියගියාක් මෙන්ය. ශෝකය සන්තාපය දැරීමට නොහැකි නිසාමදෝ මේ අම්බලන්ගොඩ අම්මාගේ අවසන් කටයුතු තමන් වහන්සේ වැඩ සිටින කරන්දෙණිය උනගස්වෙල සිරි නිවෙසනාරාමයේ කිරීමට මේ අම්මාගේ දූදරුවන්ගෙන් ධම්ම විනීත හිමියෝ ඉල්ලා සිටියහ.  


යමක්කමක් ඇති ගුණවතී මාතාවගේ දරුවෝ මුලදී මේ යෝජනාවට විරුද්ධ වූහ. අවසානයේදී ඔවුනට කරුණු කාරණා කියාදී අම්බලන්ගොඩ අම්මාගේ දේහය ධම්ම විනීත හිමියන්ගේ විහාරස්ථානයේ ධර්ම ශාලාවේ තැන්පත් කෙරිණ. එසේ තැන්පත් කෙරුණු අම්බලන්ගොඩ අම්මාගේ දේහයට අවසන් බුහුමන් දැක්වීමට රට වටෙන්ම පැවිදි හා ගිහි දෙපිරිස සියදහස් ගණනක්ම සහභාගි වූහ. මේ සෑම දෙනාගේම අවසන් බුහුමන් මැද එදා අම්බලන්ගොඩ අම්මා අවසන් ගමන් ගියේ ඒ අවස්ථාවේ සිටි භික්ෂූන් වහන්සේටද මහත් දුක් මුදායක් ඉතිරි කරමින්ය.  


අම්බලන්ගොඩ අම්මා විසින් රචිත ධර්මපොත්පත් ද එදා විහාරස්ථාන බිමෙහි ඇයගේ දේහය අසලින්ම තබා තිබුණේ ඇයට ගෞරවයක් එක් කිරීමේ අරමුණින්ය.   

 

 

 

 

 

 

 


කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත