‘පැලස් කෞතුකාගාර’ එසේත් නැතිනම් ‘මාලිගා කෞතුකාගාර’ පිහිටා ඇත්තේ ‘තහනම් නගරය’ යන නමින් ද හැඳින්වෙන චීනයේ බීජීං අගනුවර, මිංග් සහ ක්විංග් රජ පෙළපතට අයත් රාජකීය මාලිගය තුළය.   


මෙය චීනයේ අභිමානය ලොවට කියන එරට ජාතික කෞතුකාගාරය ය. පුරාණ චීන සංස්කෘතිය, වාස්තු විද්‍යා මහිමය, චීන රාජවංශයේ තොරතුරු ආදිය මේ කෞතුකාගාරයේ දී දැක ගැනීමට හැකියාව ලැබේ.   


චීන අභිමානය ලොවට කියන 1,800,000කට වැඩි පුරාවස්තු සහ කෞතුක භාණ්ඩ මෙහි ප‍්‍රදර්ශනයට තබා තිබේ. ඒවායින් බොහොමයක් මිල කළ නොහැකි ‘නිධන් වස්තු’ යයි කීවද එය නිවැරදිය.   


‘මාලිගා කෞතුකාගාරය’ ලීවලින් තැනූ මාලිගය තුළ පැවතීම නිසා, දැනට ලොව ඉතිරි වී ඇති එකම ‘ලී මාලිගා කෞතුකාගාරය’ ලෙස ද මෙය සැලකෙයි. චීනයේ පමණක් නොව ලොව නොයෙක් තන්හී ලී කෞතුකාගාර රැසක් අතීතයේ තිබූ නමුත් ඒවා ගින්නෙන් විනාශ වී ගිය බව ඓතිහාසික විස්තරවල සඳහන් ය.   


චීන කෞතුකාගාර නැරැඹීමට පැමිණෙන දෙස්-විදෙස් සංචාරකයන්ට කොන්දේසි රැසකට යටත්වීමට සිදු වෙයි. ඒ කෞතුකාගාරයේ ආරක්ෂාව වෙනුවෙනි.   


 මිංග් රාජවංශය පැවැති සමයේදී, එනම් ක්‍රිස්තු වර්ෂ 1406 - 1420 තෙක් කාලයේ යොංග් අධිරාජයා විසින් මේ කෞතුකාගාර ඇතුළත් ‘තහනම් නගරය’ ඉදි කරනු ලැබුවේ යයි පැවැසෙයි.   
වසර 491ක කාලයක් පුරාවට අධිරාජ්‍යයන් 24 දෙනකුගේ රජ මාලිගා බවට පත් වූයේ මේ අතිවිශිෂ්ට වාස්තු විද්‍යා මහිමය ලෙස සැලකෙන මාලිගය ය. මෙහි අභ්‍යන්තර සහ එළිමහන් ආදී වශයෙන් රාජ සභා දෙකකි.   


 ‘පැලස් කෞතුකාගාරය’ කොටස් කිහිපයකට බෙදා වෙන් කර පවතී. කුඹල් කර්මාන්තයේ මහිමය කියාපාන ‘සෙරමික් ගැලරිය’ එයින් එක් කොටසකි. පුරාවිද්‍යාත්මක වශයෙන් වටිනාකම කොපමණදැයි කීමට පවා නොහැකි මැටිවලින් කළ නිර්මාණ 35,000ක් එහි ප‍්‍රදර්ශනයට තබා ඇත. මේවා චීනයේ නන් දෙසින් සොයා ගත් ඒවාය.   


චීන අධිරාජ්‍යයන් යටතේ ආණ්ඩුකාරවරුන් රට පාලනය කළ අතර ඔවුන්ගේ පාලන ප‍්‍රදේශ කුඩා රාජධානි ලෙස සැලකින. කෞතුක භාණ්ඩ එවැනි රාජධානි පැවැති ප‍්‍රදේශවල කළ පුරාවිද්‍යාත්මක කැණීම්වලින් හමුවූ ඒවා යයි පැවැසෙයි.   

 

 

කුඹල් කර්මාන්තයට පුරාණ චීනය කොතරම් දක්ෂතාවක් පෙන්නුම් කළේ ද යන්න ‘සෙරමික් ගැලරිය’ නැරැඹීමේදී සිහියට නැඟෙන්නේ නිරායාසයෙනි.   


‘සෙරමික් ගැලරිය’ට අමතරව, ‘ඔරලෝසු ගැලරිය’, ‘පුරාණ අක්ෂර’ සහ ‘ලියකියවිලි ගැලරිය’ද කෞතුකාගාරයේ කැපී පෙනෙන අංග දෙකකි. කාලය මැනීමටත්, වෙලාවට අනුව වැඩ කිරීමටත් පුරාණ චීන වැසියෝ යුහුසුළු වූහ. ඒ බව ඔප්පු කරමින් මිංග් සහ ක්විංග් රාජකීයයන් භාවිතයට ගත් පැරැණි ඔරලෝසු එසේත් නැතිනම් හෝරා යන්ත‍්‍ර ප‍්‍රදර්ශනයට තබා ඇත්තේ ඔරලෝසු ගැලරියේය.   


දැවැන්ත භූමි ප‍්‍රදේශයක පැතිර පවතින ‘පැලස් කෞතුකාගාර’ අඩංගු රජ මාලිගා ‘තහනම් නගරය’ ලෙස හැඳින්වීම කරනු ලැබුවේ චීනයට පැමිණි විදේශිකයන් විසිනි. හේතුව විදේශිකයන්ට මේ මාලිගය තහනම් තැනක් වූ බැවිනි. බාහිර කිසිවකුට මෙහි ඇතුළු වීමට අවසර නොලැබුණු අතර යම් කෙනකු ඇතුළු වූයේ නම් අත්වූයේ මරණ දඬුවමය.   


පසු කාලීනව චීන රාජකීයයන්ගේ ‘ලිහිල්’ ප‍්‍රතිපත්ති හේතුවෙන් චීනය කෙමෙන් කෙමෙන් යුරෝපා රටවලට එනම් ‘සුද්දන්ට’ විවෘත විණ. බ්‍රිතාන්‍යයන්, ප‍්‍රංශ ජාතිකයන් පමණක් නොව විශේෂයෙන්ම ස්විට්සර්ලන්ත ජාතිකයන් චීන රාජකීයයන් බැහැදැකීමට පැමිණියේ ඔවුන් සතු අනර්ඝතම තෑගි බෝග ද සමඟය. ඒ අතර ඔරලෝසු කැපී පෙනෙයි.   


එදා තෑගි ලෙස ලැබුණු ඔරලෝසු අද කෞතුකාගාරයේ ප‍්‍රදර්ශනයට තබා තිබේ. ඒවා අදටත් ඉතා හොඳින් සංරක්ෂණය කිරීමට චීන රජය සහ සංස්කෘතික කටයුතු අමත්‍යාංශය පියවර ගෙන තිබේ.   
පුරාණ අක්ෂර ලියකියවිලි ගැලරියේ අඩංගු වන්නේ ලිපිගොනු සහ චිත‍්‍රය. මෙය ඇත්තේ එළිමහන් රාජ සභාවට යාබදවය. මේ ගැලරිය, 2008 වසරේ අප්‍රෙල් 21 වැනිදා මහජනතාවට විවෘත කරනු ලැබුවේය.   


ජිං, ටැංග්, සොංග් සහ යුවාන් යන රාජවංශිකයන් විසින් සිතුවම් කළ චිත‍්‍ර රැසක් ද මෙහි ප‍්‍රදර්ශනය කෙරෙයි. චීන සංස්කෘතිය කොතරම් ගාම්භීර දැයි මනාව පිළිඹිබු කිරීමට මේ ‘ගැලරිය’ සමත්ය. චීන ඉතිහාසය පෙළින් පෙළ ලොවට අනාවරණය කළ හැකි ආකාරයේ සිතුවම් එකතුවක් ද මේ ගැලරියට ඇතුළත්ව පවතී.   


මිල කළ නොහැකි ‘නිධන් වස්තු’ ප‍්‍රදර්ශනයට තබා ඇත්තේ කෞතුකාගාරයේ නැගෙනහිර අංගණයේය. මෙය පළමුවෙන්ම පිහිටුවනු ලැබුවේ 1958 දීය. අද වනවිට එය සිව්වරක් නවීකරණයට ලක් වී තිබේ. මෙය නිල වශයෙන් මහජනතාවට විවෘත කරන ලද්දේ 2004 වසරේ ඔක්තෝබර් පළමු වැනිදාය. වපසරිය වර්ග මීටර් 2,220ක් වන ඒ තුළ භාණ්ඩ 440ක් ප‍්‍රදර්ශනයට තබා පවතී.   
චීනයේ පෞරාණික අධිරාජ මාලිගා පිහිටි ‘තහනම් නගරය’ විශාල ප‍්‍රදේශයක් පුරා පැතිර පවතින හෙයින් කෞතුකාගාර පරිශ‍්‍රය වෙනුවෙන් ද වෙනම පුළුල් කලාපයක් වෙන් කර පවතී.   
එය අංග රැසකට වෙන් කර ඇති ආකාරය ද හඳුනා ගැනීමට පුළුවන. එපමණක් ද නොවෙයි, පෞරාණික බව ආරක්ෂා කිරීමට සඳහා ඒ අවට අලුතින් ඉදි කරනු ලැබ තිබූ නවීන ගොඩනැගිලි කඩා බිඳ දැමීමට ද චීන රජය කටයුතු කළේය. ඒ පසුගිය 2016 වසරේ සිටය.   


කෞතුකාගාරය ඇතුළු පෞරාණික මාලිගය වඩාත් දර්ශනීය ආකාරයට දෘශ්‍යමාන වනු පිණිස එවැනි පියවරක් ගනු ලැබූ බව චීන රජය පවසයි.   


15 වැනි සියවසේදී ඉදි කරනු ලැබූ මාලිගා පිහිටි මේ භූමියට ‘තහනම් නගරය‘ යන නම යෙදුණේ එය විදේශිකයන්ට පමණක් නොව චීනයේ සාමාන්‍ය ජනතාවට තහනම් භූමිය වූ හෙයින් බව ඉහතදී සටහන් කෙරිණි. කෙසේ නමුත් චීනයේ දේශපාලන ක‍්‍රමයේ වූ වෙනස්වීම්වලින් අනතුරුව එය දැන් සාමාන්‍ය ජනතාවට විවෘත ස්ථානයකි.   

 

 

සීත ඍතුවේ එළිපත්තට පැමිණි දිනෙක හිමිදිරි උදයේම මා ‘තහනම් නගරය’ දැක බලා ගැනීමට ගියේ ශ්‍රී ලාංකේය මාධ්‍යවේදීන් නව දෙනකු ද සමඟය. මා ද ඇතුළත් කෙරුණු විට කණ්ඩායම ‘රවුම් අගයක්’ ගත්තේය. 

 
ශ්‍රී ලංකාවේ විවිධ මාධ්‍ය ආයතන නියෝජනය කළ ද ‘පත්තර කට්ටිය’ අත් දෙකෙහි ඇඟිලි තරමට එකිනෙකා සමඟ බැඳී සිටීම කණ්ඩායමේ ජාතික නායක ලෙස මට කිනම් නම් සැනසීමක් ගෙන දුන්නේද?   


ගමනට එක්වූ හැමෝම ඇඳුම් හතර, පහ ඇඳ ශීත කබා ද පැලැඳ සිටියහ. එහෙත් සීත සුළඟ සමඟ හමා ආ සීනි කැටවන් තුහින ඇඟ කිලිපොළමින් ඇට මිදුලු තුළටම කිඳා බසින්නා සේය.   
අධික ශීතල කොතරම් පීඩා කළ ද මාධ්‍ය කණ්ඩායම තහනම් නගරයේ සියලු මාලිගා නැරැඹීමට තරම් ‘නහරකාරයෝ’ වූහ. ගමන අතරවාරයේදී මාධ්‍ය සගයන්ගෙන්ම ලැබුණු දුම්වැටි කිහිපයකින් ශීතල පලවා හැරීමට ගත් අසාර්ථක උත්සාහය ද මගේ මතකයේ පවතී.   


කලක් විදේශිකයන්ට පමණක් නොව ස්වදේශ චීන ජාතිකයන්ට ද තහනම් ප‍්‍රදේශයක්ව පැවැති ‘තහනම් නගරය’ අද වනවිට ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් දෛනිකව සැරිසරන ‘මහා මිනිස් පුරයක්’ බවට පත් වී තිබේ. ඒ පරිවර්තනය සිසැසින් දැක බලා ගැනීමට ලැබෙන හොඳම කාලයේදී බීජිං නුවරට ගෑටුවේ යයි මසිත කියයි.   


ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් නව දෙනකුට නායකත්වය දෙමින් ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් සැරිසරන ‘තහනම් නගරයේ’ ගෙවූ හෝරා කිහිපය මගේ මතකයේ සදා රැඳෙන සොඳුරු අත්දැකීමක් වනු නොඅනුමානය.

 

 

 

 

 

 

 

 

දිනිත් චින්තක කරුණාරත්න
චීනයේ සංචාරයෙන් පසු ලියයි