IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


තායි ගුහාවේ සිරවූ ‘‘වල් ඌරෝ’’ ළමා පාපන්දු කණ්ඩායම

ලෝකෙන් ටිකක්

 

ගවේෂණාත්මක චාරිකාවක නිරතව සිටියදී අතුරුදන් වූ තායිලන්ත ළමා පාපන්දු කණ්ඩායම හා ඔවුන්ගේ පුහුණුකරු දින 10කට පසු සොයා ගැනීමට ගලවාගැනීමේ කණ්ඩායම් සමත් වී තිබේ. පාපන්දු කණ්ඩායමේ සාමාජිකයන් 12 දෙනා සහ ඔවුන්ගේ පුහුණුකරු චියැං රායි ප්‍රාන්තයේ පිහිටි තාම් ලුවං නාන් නොන් කඳුකර ගුහාවේ සිරවූයේ පසුගිය ජුනි 23 දාය.   


තාම් ලුවං නාන් නොන් ගුහා ආරම්භ වනුයේ තායිලන්ත මියන්මාර දේශසීමාවේ පිහිටි ඩොයි නාං නොන් කඳු පාමුලිනි. එම ගුහා මාර්ගය කිලෝ මීටර 10 පමණ දිගින් යුතු වේ. ගමන් කිරීමට ඉතා අසීරු, පටු මාර්ගයක් වන එම ගුහා මාර්ගය තවත් වක්‍ර මාර්ග රැසකින් සමන්විතය. 


පසුගිය ජූනි මාසයේ 23 වැනි දින ‘මූ පා’ (වල් ඌරෝ) නමින් හැඳින්වුණු ළමා පාපන්දු කණ්ඩායම එහි පිවිසියේ ගවේෂණාත්මක චාරිකාවක් සඳහාය. 13 දෙනකුගෙන් සමන්විත එම පාපන්දු කණ්ඩායමේ සාමාජිකයන් වූයේ වයස අවුරුදු 11ත් 16ත් අතර වූ දරුවන් පිරිසකි. කණ්ඩායමේ නියමුවා වූයේ පාපන්දු කණ්ඩායමේ 25 හැවිරිදි පුහුණුකරුවාය. පිරිස අඳුරු ගුහා තුළට පිවිස මඳ වේලාවක් ගත ​ෙවනවිට මහා වැසි ඇදහැළෙන්නට විය. 
ජුලි සිට නොවැම්බර් දක්වා වැසි සහිත මාසයන්හි එහි නොපිවිසෙන ලෙසට අවවාද කෙරුණු දැන්වීම් පුවරු එහි සවි කර තිබේ. ඒ පිළිබඳව නොතැකූ ඔවුහු ගුහා නැරඹීමට එය තුළට පිවිස තිබිණි. ඔවුන් ගුහාව තුළට පිවිසීමෙන් පසු මහ වැසි ඇද වැටී ලෙන් කුහරය ජලයෙන් පිරී ගියේය. 


ගුහාවට පිවිසෙන ස්ථානයේ තිබී දරුවන්ට අයත් ඇතැම් භාණ්ඩ හමු වූ හෙයින් කිසියම් පිරිසක් ගුහා තුළ සිටින බවට ජාතික වනෝද්‍යාන දෙපාර්තමේන්තුවේ උයන් පාලකවරයාට දැකගත හැකි විය. ඒ වනවිට වැසි ඇද හැළෙමින් තිබූ හෙයින් සිදුවිය හැකි අනතුර වටහා ගත් ඔහු වහා බලධාරීන් දැනුම්වත් කළේය. පාපන්දු කණ්ඩායම අතුරුදන් වූ බැව් සැල වූ විගස මෙම සිදුවීමට විශාල ප්‍රචාරයක් ලද අතර තායි රජය දරුවන් ගලවාගැනීමේ මෙහෙයුම් ආරම්භ කළේය. 


පසුගිය 24 වැනි දා සිට දරුවන් සොයා ගුහා තුළ මෙහෙයුම් දියත් කෙරුණේ ඒ අනුවය. තායි නාවික හමුදාවේ කිමිදුම් කණ්ඩායම් වරින්වර ලෙන් තුළ කිමිදෙමින් දරුවන් පිළිබඳ සොයා බැලුව ද කිසිදු තොරතුරක් සොයාගත නොහැකි විය. අධික වර්ෂාව හේතුවෙන් ගුහා තුළ ජල මට්ටම ඉහළ නැංවුණු හෙයින් මෙහෙයුම් දින ගණනක් පුරා ඇණහිටියේය. ගුහා මාර්ග ඉතා පටු වූ හෙයින් ද මඩ සහිත ජලයෙන් පිරී තිබූ හෙයින් ද මෙහෙයුම් ඉතා අසීරු කාර්යයක් විය. 


අතුරුදන් දරුවන්ගේ ඥාතීහු මහ වැස්සේම ගුහා කට අසලට රොක් වී තම දරුවන් ගලවා දෙන මෙන් දෙවියන්ගෙන් ඉල්ලා සිටියහ. ඔවුන් හඬා වැළපෙමින් දෙවියන් යදින අයුරු දුටුවන්ගේ නෙත් කඳුළින් පුරවන්නට සමත් විණ. 


ගලවාගැනීමේ මෙහෙයුම සඳහා 1000කට අධික පිරිසක් සහභාගී වූහ. තායි නාවික සීල් කණ්ඩායමට අමතරව බ්‍රිතාන්‍ය, චීන, මියන්මාර්, ලාඕස්, ඕස්ට්‍රේලියානු සහ ඇමෙරිකා එක්සත් ජනපද ගලවාගැනීමේ කණ්ඩායම් මෙහෙයුමට එක් වී සිටියහ. 

 

 

දින හතරකට පසු වැසි මඳක් අඩු වූ හෙයින් තායි නාවික සීල් කණ්ඩායම, එක්සත් ජනපද පැසිෆික් අණදෙන කණ්ඩායම සහ බ්‍රිතාන්‍ය ගුහා කිමිදුම්කරුවන්ගෙන් සමන්විත 30 දෙනකුගෙන් යුතු කණ්ඩායමක් යළි ගුහා තුළ කිමිදෙමින් දරුවන් සෙවීමේ මෙහෙයුම ආරම්භ කළහ. පොලිස් බල්ලන් පිරිසක් ද යොදා ගනිමින් ඔවුහු ගුහාවේ අතුරු ගුහාවල සෙවීම් සිදු කළහ. 


දින ගණනක් පුරා සිදු කෙරුණු මෙහෙයුම්වලින් අනතුරුව ජුලි 2 දින රාත්‍රී 10ට පමණ මෙහෙයුම් කටයුතුවල නිරත වූ බ්‍රිතාන්‍ය ජාතික කිමිදුම්කරුවන් වූ රිචඩ් ස්ටැන්ටන්ට සහ ජෝන් වොලන්තන්ට ගුහා දොරටුවේ සිට කිලෝ මීටර් 4ක් පමණ දුරින් පිහිටි පතායා බීච් යන අපනාමයෙන් හැඳින්වෙන අතුරු ගුහාවට මීටර 400 පමණ ඈතින් ගල්පව්වක් මත සිටි දරුවන් 12 දෙනා හා ඔවුන්ගේ පුහුණුකරුවා සොයා ගැනීමට හැකි විය. ඒ ඔවුන් අතුරුදන් වී දින 10කට පසුය. එම ගල් පව්ව ජල මට්ටමට වඩා ඉහළින් පිහිටා තිබූ හෙයින් සියල්ලෝ නිරුපද්‍රිතව හා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවූහ. 


දරුවන් යහතින් සිටින ආකාරය දැක්වෙන වීඩියෝවක් ඔවුන් රජයට ලබා දුන් අතර එය මාධ්‍ය මගින් ප්‍රචාරය කෙරිණි. චියැංරායි හි ආණ්ඩුකාරවරයා වන නරොංග් සාක් ඔසාටනාකෝන් දරුවන් සොයාගත් බවට වන ප්‍රවෘත්තිය මාධ්‍ය මගින් අනාවරණය කළේය. තම දරුවන් යහතින් සිටින බැව් දැකීමෙන් එතෙක් බියපත්ව සිටි ඔවුන්ගේ පවුල්වල සාමාජිකයෝ සැනසුම් සුසුම් හෙළන්නට වූහ. 


දරුවන් සොයා ගැනුණ ද ඔවුන් ගුහාවෙන් පිටතට ගෙන ඒමට බාධාවක් තිබේ. ඒ ගුහා මාර්ගය අඩි 16 උසට ජලයෙන් යට වී තිබීමය. දරුවන් යළි ගුහා මතුපිටට ගෙන ඒමට නම් එක්කෝ කිලෝමීටර 4ක පමණ දුරක් දිය යටින් පිහිනා යෑම සඳහා ඔවුන් පුහුණු කළ යුතුය. නැතිනම් ජල මට්ටම පහත බසින තෙක් බලා සිටිය යුතුය. වැසි සමය අවසන් වීමට තවත් සිවු මසක් තිබේ. එහෙයින් මාස 4කට සරිලන ආහාර ජලය හා අනෙකුත් අවශ්‍යතා දරුවන්ට ලබා දී වැසි අවසන් වන තෙක් ගුහාවේ රඳවා තැබිය යුතුය. 

 

 

දරුවන් සිටින ස්ථානය ඇත්තේ කන්දේ සිට අඩි 3,300ක් පමණ ගැඹුරින් බැවින් එහි සිට මඟක් පාදා ගැනීම ද අසීරු කාර්යයකි. එහෙයින් වඩා සුදුසු වනුයේ ඔවුනට කිමිදීම පුහුණු කර ගුහා කට වෙත ගෙන ඒම බැව් ගලවාගැනීමේ කණ්ඩායම්වල මතය වී තිබේ. එය ද ඉතා අනතුරුදායක කාර්යයක් යැයි ඔවුන් සඳහන් කර තිබේ. පළපුරුදු කිමිදුම්කරුවන්ට ද අසීරු ගමනක් වන එය නුපුහුණු දරුවකුට කෙතරම් අනතුරුදායක වනු ඇතිදැයි යන්න ඔවුන්ගේ මතය වී තිබේ. සුළු අතපසුවීමකින් ජීවිත හානි සිදුවිය හැකිය. 


මේ වනවිට ගුහා තුළ පිරී ඇති ජලය එළියට පොම්ප කිරීම ආරම්භ කර ඇතත් එය ද සාර්ථක නොවන්නේ වැසි අධික බැවිනි. සතිඅන්තය වනවිට තවදුරටත් වැසි අධික වනු ඇත. දරුවන් ගලවා ගැනීම සඳහා ගතයුතු සාර්ථක ක්‍රමය කුමක්දැයි යන්න පිළිබඳව මෙතෙක් තීරණයකට එළැඹීමට කිසිවකු සමත් වී නොමැත. 


ජූලි 3 වැනි දින වෛද්‍යවරයකු හා සාත්තු සේවිකාවක ඇතුළු සත් දෙනකුගෙන් යුත් කිමිදුම් කණ්ඩායමක් දරුවන් සිටින ස්ථානය කරා ගොස් ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කළහ. ඔවුනට අවශ්‍ය ආහාර, පානීය ජලය, ඖෂධ හා විදුලි පහන් ලබා දුන් අතර ඔවුන්ගේ ශක්තිය වැඩි කරන විශේෂ ජෙලි වර්ගයක් ද ලබා දුන් බැව් පැවසේ. 


මේ වනවිට ලොවේම අවධානය දිනා ඇත්තේ මෙම ප්‍රවෘත්තියයි. ලොවම බලා සිටින්නේ මෙම දරුවන් ගලවා ගන්නේ කෙලෙසකදැයි යන්න දෙසය.



අදහස් (0)

තායි ගුහාවේ සිරවූ ‘‘වල් ඌරෝ’’ ළමා පාපන්දු කණ්ඩායම

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 74 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2020 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1562 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site