IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


කාමරයේ නිද‌ා සිටි මල් කැකුළ ළිඳේ

නිවසේ කාමරයක නිදි කරවා සිටි අවුරුදු 3 1/2 ක් පමණ වයසැති සුරතල් දියණිය සුරඟන සිහින දකිමින් සුව නින්දකය. ඇගේ මව හා අත්තම්මා (මවගේ මව) නිවසේ සාලයේ රූප පෙට්ටිය අබියසය. සීයා (මවගේ පියා) නිවසේ මුළුතැන්ගෙයි පිල මත වැතිර ගෙනය. දියණියගේ පියා නිවසට නුදුරින් වූ ඔහුගේ මහ ගෙදරට ගොසිනි.


දිනය ඉකුත් 21 වැනිදාය. වේලාව රාත්‍රි 8 ට පමණ ඇත. 


නිදි සුව විඳින දියණියට පොරවා තිබූ රෙදිකඩ ඈත් මැත් වී මදුරුවන්ගෙන් හා රෑ සීතලෙන් දියණියට පීඩාවක් වේදැයි සිතා මව දියණිය නිද‌ා සිටි කාමරයට ගියාය.


දියණිය ඇඳ මත නොවීය. මව අවට සිසාරා දෙනෙත් හෙළුවාය. කාමරයේ නැත්තේ දියණිය පමණි. ඇයට ගිනි පත්තු විය. ‘අම්මේ දුව නැ.’ යි ඇය කෑ මොර දුන්නාය.


මව්වරුන්​ ​ෙදදෙන ගෙයි කාමරවල අස්සක් මුල්ලක් නෑර සොයා බැලූහ. එහෙත් දියණිය පෙනෙන්නට දකින්නට නොසිටි හෙයින් ඔවුන් නිවසින් එළියට දිව ගියේ පිස්සියන් මෙනි.


මහගදරට ගොස් එමින් සිටි පියාද දියණිය නැති බව අසා පරල වූවා සේ විය. ඔවුනට ඔවුනොවුන් නොපෙනිණ. නෙත සිඳ ඇඳි රුව වූ දියණිය සොයන්නට වූහ.


පියාගේ සොහොයුරන් හා අසල්වැසියෝ ද ආරංචිය අසා රොද බැඳුණහ. ‘‘දුවේ ලකීෂා, පැටියෝ’’ යන ඇමතුම් හඬින් අවට පරිසරයේ වායු තලය ගිනියම් වී තිබිණ.


පියා තම අත වූ ජංගම දුරකථනයේ විදුලි පන්දම දල්වා ගෙන යාබද ඉඩමේ වූ ළිඳ කරා දිව්වේය. ළිඳ තුළට විදුලි පන්දම් එළිය යොමු කළේය.


එය සිදුනොවිය යුත්තකි. එහෙත් යක්ෂයාගේ හෝරාව තුළ එය සිදුව තිබිණ.


ළිං ජලය මත පාවෙමින් තිබූ තම දියණියගේ සිරුර දුටු සැණින් පියා ළිඳට පැන්නේය. දියණියගේ සිරුර කර හොවාගෙන ළිඳෙන් දිය බාන බටය අල්ලා ගත්තේය. ළිඳට එබී හුන් පිරිස ඔවුන් දෙදෙනා ගොඩට ගනු ලැබිණි.


වාහනයකින් කුලියාපිටිය රෝහල වෙත රැගන ගිය දැරියගේ නිසල සිරුර පරීක්ෂා කළ වෛද්‍යවරු දැරිය මියගොස් ඇති බව පැවැසූහ.


ඒ යක්ෂයාගේ හෝරාව තුළ සිදු වූ ඛේදවාචකයයි.

 

 

මේ ඛේදවාචකයට ගොදුරු වූයේ කුලියාපිටිය පහළ බෝහිංගමුව ප්‍රදේශයේ ඒ.එම්. ලකීෂා ලක්දුලි අලගියවන්න නමැති කුඩා දැරියයි.


නිවසේ සිටි දැරිය මේ ළිඳට වැටුණේ කෙසේද?


ඒ රහස හෙළිදරව් කර ගැනීමට විමර්ශන කටයුතු ඇරඹූ කුලියාපිටිය පොලිසිය මියගිය දැරියගේ පියා වන රසික ප්‍රේමරත්න (33) මව වන චාමලී චාන්දනී (30) දැරියගේ පියාගේ මව වන හැරියට් සෝමලතා (54) යන අයගේ ප්‍රකාශ මත සැකකරු සැකපිට අත්අඩංගුවට ගනු ලැබිණ.


එම සැකකරු මියගිය දැරියගේ සීයාය. දැරියගේ මවගේ පියා වන හේ 51 හැවිරිදිය.

 

මෙම සිද්ධිය වූ දින සවස අධික ලෙස බීමතින් සිට ඇති සැකකරු තම බිරිඳ හා දියණිය සමග ඇතිකර ගත් බහින් බස්වීමකදී ‘මම උඹලට හොඳ වැඩක් කරන්නම්’ යැයි පවසා තිබීම අතුරුදන්ව සිටි දැරිය සොයා දෙමාපියන්, ඥාතීන් හා අසල්වැසියන් අවට සොයා බලද්දී සැකකරු ඊට සහභාගි නොවී කරබා ගෙන සිටීම, දැරිය ගැන විමසූ විට කිසි පිළිතුරක් නොදීමද සැක සහිත හේතු කාරණා වීම නිසා මෙම අපරාධය සම්බන්ධයෙන් එම සීයා සැකපිට අත්අඩංගුවට ගත් බැව් පොලිසිය පවසයි.


කුලියාපිටිය පොලිසියේ නිල සුනඛ භාරකරු පො.සැ. (49068) සුනිල් මාලිගරත්න මහතා යටතේ නිල සුනඛ ‘විකී’ සිද්ධිය වූ නිවස වෙත යොමුකොට පෙර දින කුස්සියේ පිල මත නිද‌ා සිටි සැකකරු හිස තබා ගෙන සිටි කොට්ටයේ ඉව ලබා දුන් පසුව නිවසේ පිටුපස දොරින් නිවසට පිවිස මියගිය දැරිය නිදි කරවා සිටි කාමරයේ ඇඳ මතට නැග අනතුරුව යාබද ඉඩමේ ළිඳ වෙත ගොස් නතර වී ඇතැයි ද පොලිසිය පවසයි.


සිද්ධිය වූ ස්ථානයට හා කුලියාපිටිය රෝහලේ මාතෘ ශරීරාගාරයට ගිය කුලියාපිටිය වැඩබලන මහේස්ත්‍රාත් චම්පික ලසිත කුමාර මහතා දැරියගේ මරණය පිළිබඳ සිය පරීක්ෂණ හා නිරීක්ෂණ පැවැත්වීය.


සැකකරු සිය මිනිබිරිය (මරණකාරිය) කෙරෙහි දැඩි සෙ​ෙනහසකින් යුතුව සිටි බැව් පැවසෙන අතර ඇගේ නමෙහි කොටසක් වන ‘ලකීෂා’ යන්න සැකකරු තම වම් අතේ උඩ බාහුවේ පච්ච කොටා ඇති බවද පැවසේ.


මියගිය දැරියගේ මරණය සම්බන්ධයෙන් අධිකරණයේ නියමයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ කුලියාපිටිය රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී අජිත් ජයසේන මහතා දැරියගේ මරණය දියේ ගිලී හුස්ම ගැනීමට අපහසුවීමෙන් සිදුවූවක් බවත් ඇගේ සිරුරේ බාහිර තුවාල කිසිවක් දක්නට නැති බවත් සිය වෛද්‍ය වාර්තාවේ දක්වා ඇත.


දැරිය නිවසේ කාමරයේ නිදි කරවා සිටියදී ඇය හැඳ සිටි ඇඳුම් ඇගේ සිරුර ළි​ෙඳන් ගොඩට ගනිද්දී ඇඟේ නොතිබූ බව පොලිසිය පැවසූ බැව් ඇතැම් මාධ්‍යවල දන්වා තිබීම අසත්‍යයක් බැව් සඳහන් කළ කුලියාපිටිය පොලිසියේ ස්ථානාධිපති ප්‍ර,පො.ප. අජිත් ප්‍රියන්ත මහතා ළිඳෙන් ගොඩට ගත් දැරියගේ සිරුර කුලියාපිටිය රෝහල වෙත රැගෙන ගිය අවස්ථාවේදී පරීක්ෂා කළ වෛද්‍යවරුන්ගෙන්, දැරියගේ සිරුර නිරුවත්ව තිබූ බවක් හෙළි නොවී යැයිද පැවසීය.


කුලියාපිටිය පොලිස් අධිකාරි ඔෂාන් හේවාවිතාරණ, පොලිස් අධිකාරි (අංක 1) ජාලිය හීන්කෙන්ද යන මහත්වරුන්ගේ උපදෙස් හා කුලියාපිටිය පොලිස් ස්ථානාධිපති ප්‍ර,පො.ප. අජිත් ප්‍රියන්ත මහතාගේ අධීක්ෂණය යටතේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පො.ප. හැරිසන් සෝමසිරි, උ.පො.ප. බන්නැහැක, පො.සැ. (29269) ධර්මසිරි ​පො.සැ. (49120) ඤාණරත්න, පො.සැ. (30538) ලෙව්දෙණිය, පො.කො. (49754) රණසිංහ, පොලිසියේ අපරාධ ස්ථාන පරීක්ෂණ අංශයේ උ.පො.ප. සිරිසෝම, පො.කො. (49051) ප්‍රියන්ත පො.කො. (88923) සංජීව යන මහත්වරු මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූහ.

 

 

 

 

 

 

 

 

 

 


සටහන ඡායාරූප
කුලියාපිටිය චාමර විමලරත්න



අදහස් (0)

කාමරයේ නිද‌ා සිටි මල් කැකුළ ළිඳේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 520 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 265 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1064 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site