IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


උතුර ගිනියම් කළ වැලි ජාවාරම්කාරයෝ

 

“උතුරේ වැලි ජාවාරම්කරුවන් කියන්නෙ බොහොම දරුණු පිරිසක්. එ්කෙනුත් යාපනේ අය බොහොම දරුණුයි. මේ අය වැලි ජාවාරම් කරන්න යන්නේ ආයුධ සන්නද්ධව. පොලීසියත් මේ අයට බයයි. මේ වෙඩි තැබීම නිකම්ම තියපු වෙඩිල්ලක් නෙමෙයි. වෙඩි තියන්නට පෙර මෙතන වෙනම කතාවකුත් තියනවා.”  

 

මේ කතාව අහන්නට ලැබුණේ පේදුරුතුඩුවේ ජීවත්වෙන තරුණයන් පිරිසකගෙනි. කතාව මෙහෙම මුලින්ම ලියන්නටත් හේතුව වුණේ පසුගිය 09 වැනිදා යාපනය පේදුරුතුඩුව මනල්කාඩු ප්‍රදේශයේදී නීති විරෝධීව වැලි ප්‍රවාහනය කරන ලද කුඩා ටිපර් රථයකට එල්ල වූ පොලිස් වෙඩි පහරකින් තරුණයකු තුවාල ලබා තවත් තරුණයකු බරපතළ තුවාල ලැබීම නිසාවෙන් උතුරම ගිනි ඇවිළීම නිසාය.  


කලෙක සරසවි සිසුන් දෙදෙනකුට එල්ල වූ පොලිස් වෙඩි පහරකින් සිසුන් දෙදෙනා මියයාම නිසා උතුර ගිනියම් වුණා. දැන් වැලි ජාවාරමක් නිසා උතුර ගිනියම් වෙලා. කලින් කලට උතුර ගිනියම් වීමෙන් සාමාන්‍ය ජන ජීවිතයට විවිධ වූ බලපෑම්වලට මුහුණ දෙන්නටත් වෙලා.  


උතුර ගිනියම් වෙන්න ආසන්නතම සිදුවීම වුණේ පේදුරුතුඩුව මනල්කාඩු ගමේදී පොලිස් වෙඩි පහරින් 24 හැවිරිදි යෝගරාසා දිනේශ් නමැති තරුණයාගේ මියයාමයි. මේ මියයාම ගැන ප්‍රසිද්ධියේ තොරතුරු කීමට බිය වූ මෙම තරුණයාගේ ගම්මානයේ තරුණයන් කිහිප දෙනෙකු කියා සිටියේ මෙවැන්නකි.  


“මේ මිය ගිහින් ඉන්නේ අපේ යාළුවෙක්. මෙයා ගිය මාසෙ තමයි රට ඉඳන් ආවේ. එහෙම ඇවිත් ගෙදරට වෙලා පාඩුවේ හිටියා. මෙයාගේ යාළුවෙක් වැලි ප්‍රවාහනය කරන රැකියාවේ යෙදිලා හිටියා. ඉතින් මේ සිද්ධිය වෙච්ච දවසේ යාළුකමට මෙයාටත් කතා කරන්න ඇති වැලි අරන් යන්න එන්න කියලා. ගෙදරට වෙලා නිකන් ඉන්න නිසා මෙයත් ගිහින්. නමුත් මේ වැලි රස්සාව නීති විරෝධි එකක් කියලා එයාට තේරෙන්න ඇත්තේ සමහරවිට අවසාන මොහොතේ වෙන්න පුළුවන්. නමුත් දැන් හැමදේම වෙලා ඉවරයිනේ. තරුණ ජීවිතයක් නැති වුණා.  


සිද්ධිය වෙච්ච දවසේ මේ අය වැලි අරන් ඇවිත් තියෙන්නේ ට්‍රැක්ටර් දෙකක සහ කුඩා ටිපර් රථයකින්. ඉස්සෙල්ලා ඇවිත් තියෙන්නේ ට්‍රැක්ටර් දෙක. මේ වැලි අරන් එන පාරේ තුන්නාලෙයි කියන හරියේ පොලිස් මුරපොළක් ති​ෙයනවා. මේකේ පොලිස් නිලධාරීන් කිහිප දෙනෙක් ඉන්නවා. කොහොම හරි එදා මේ පොලිස් නිලධාරීන් මනල්කාඩු ප්‍රදේශයේ රැකවල් දාගෙන ඉඳලා මේ වැලි ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගන්න. කොහොමහරි ඉස්සෙල්ල ආව ට්‍රැක්ටර් දෙකට පොලීසියෙන් නවත්තන්න කිවුවත් නොනවත්වා ධාවනය කරලා තියෙන්නේ ට්‍රැක්ටරයේ හිටපු අය ළඟ තිබුණු කඩු කැතිවලින් පොලිස් නිලධාරීන්ව කපන්නත් උත්සාහ කරමින්. මේ පොලිස් නිලධාරීන් අතර එස්.අයි. මහත්තයෙකුත් (උපපොලිස් පරීක්ෂක) ඉඳලා. මෙයාට තරහ ගිහින් පස්සෙන් ආව ටිපර් රථයට වෙඩි තියලා. ටිපර් රථයේ පිටුපස තමයි අපේ යාළුවා ඉඳලා තියෙන්නේ. වෙඩි තියපු නිසා රියැදුරා පැනලා ගිහින්. පිටිපස්සේ හිටපු දෙන්නටම වෙඩි වැදුණා. එක්කෙනෙක් මිය ගියා. අනිත් කෙනා තාම රෝහලේ. මේ විදිහට තමයි අපිට දැනට තොරතුරු ලැබිලා තියෙන්නේ.”  


යෝගරාසා දිනේශ් තරුණයාට වෙඩි වැදීමත් සමග මනල්කාඩු විතරක් නොව මුළු පේදුරුතුඩුවම ගිනියම් විය. නෙල්ලියඩ්ඩි, මන්ලකාඩු, තුන්නාලෙයි ඇතුළු පේදුරුතුඩුවේ ස්ථාන කිහිපයකම ප්‍රදේශවාසීහූ පොලීසියට විරෝධය පාමින් දැඩි ලෙසින් කලහකාරීව කෑ කෝ ගසන්නට වූහ. පේදුරුතුඩුව පොලීසිය ඉදිරිපිට ද පොලීසියට විරෝධය පෑහ. තුන්නාලෙයි මංසන්ධියේ තිබූ පොලිස් මුරපොළ සම්පූර්ණයෙන්ම විනාශ කර එහි වහලය මාර්ගයට ගෙනැවිත් පුළුස්සා දමා තිබුණි.  

 

 


මෙහි ඇති තවත් කාරණයක් වූවේ මෙම වෙඩිතැබීම සිදු කළා යැයි සැකකෙරෙන උපපොලිස් පරීක්ෂකවරයාගේ නිවස පිහිටා ඇත්තේ ද මියගිය තරුණයාගේ ගම වූ නෙල්ලියඩි ප්‍රදේශයේමය. මේ හේතුව නිසා උපපොලිස් පරීක්ෂකවරයාගේ නිවසට ද පහර එල්ල වෙනු ඇති බවට නිවැසියෝ දැන, එම නිවසින් ඉවත්ව සිටියහ. සිතූ සේම තරුණයා මියගිය දිනම රාත්‍රියේ මුහුණ වසාගත් පිරිසක් යතුරුපැදි 6කින් පොලු මුඟුරු සහිතව පැමිණ උපපොලිස් පරීක්ෂකවරයාගේ නිවසට දැඩි ප්‍රහාරයක් එල්ලකොට බඩු බාහිරාදිය විනාශකොට තිබුණි.  
පවතිණ උණුසුම් තත්ත්වය පාලනය කිරීමට පොලීසියට නොහැකි වීමෙන් පොලිස් විශේෂ කාර්ය බළකාය ද කැඳවීමට සිදු විය. ඉන් නොනැවතුණු පිරිස් පොලිස් විශේෂ කාර්ය බළකා බෆල් රථයකට ද සැඟව සිට ගල් ප්‍රහාර එල්ලකොට පළා ගොස් තිබූ බවට සැල වුණි.  
කෙසේ වෙතත් තත්ත්වය සාමාන්‍ය අතට පත්වුණේ අදාළ උපපොලිස් පරීක්ෂකවරයා හා කොස්තාපල්වරයකු අත්අඩංගුවට පත්වීමෙන් පසුවය. පොලිස්පතිවරයාගේ නියමයෙන් සහකාර පොලිස් අධිකාරිවරයකුගේ ප්‍රධානත්වයෙන් වෙනම පොලිස් විමර්ශන කණ්ඩායමක් පේදුරුතුඩුවට පැමිණ අදාළ වෙඩි තැබීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් අරඹා ඇත.  


ඊට අමතරව පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මෙවන් සිල්වා මහතා ද පොලිස්පතිවරයාගේ නියෝගයන් පරිදි විමර්ශනයට පේදුරුතුඩුවට ගොස් අදාළ සිදුවීම පිළිබඳව මේ වනවිට පරීක්ෂණ කටයුතු සිදු කරමින් සිටියි.  
අදාළ වෙඩිතැබීමට සම්බන්ධව අත්අඩංගුවට ගැනුණු පොලිස් නිලධාරීන් දෙදෙනා පේදුරුතුඩුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව පේදුරුතුඩුව ප්‍රධාන මහෙස්ත්‍රාත් නලනී සුබාහරන් මහත්මිය විසින් සැකකරුවන් ජුලි මස 24 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරින.  


අදාළ පොලිස් නිලධාරීන් සිය බලය ඉක්මවා කටයුතු සිදු කර ඇති බවට ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය විසින් දැනුම් දෙනු ලැබ තිබූ අතර ගිනියම් වූ පේදුරුතුඩුව යළි සන්සුන් වුණේ මියගිය යෝගරාසා දිනේස් තරුණයාගේ අවසන් කටයුතු නෙල්ලියඩි වේරුන්දම් සුසාන භූමියේදී විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් යුතුවය.  


මෙම අවසන් කටයුතු සිදු​ෙවන අවස්ථාවේදී ද යම් නොසන්සුන්තාවක් ඇතිවේ යැයි සිතා පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් ආරක්ෂාව තර කරනු ලැබ තිබූ අතර පේදුරුතුඩුව අධිකරණය ද අධිකරණ නියෝගයක් දීමෙන් පවසා තිබුණේ දේහය නිවසේ සිට සුසාන භූමිය දක්වා ඇති මාර්ගයන්ගෙන් කෙටිම මාර්ගය භාවිත කරමින් හැකි ඉක්මනින් දේහය සුසාන භූමිය දක්වා ගෙන යන ලෙසටයි.  


වැලි ජාවාරම්කරුවන් හා පොලීසිය අතර ඇති මේ ගැටුමේ එක් සිදුවීමක කෙළවරක් වූවේ තරුණ ජීවිතයක් අහිමි වීමෙනි. විමර්ශන සිදු කරන පොලිස් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අදාළ වෙඩිතැබීම මෙන්ම වැලි ජාවාරම් ගැන ද සිතා එය මැඬලීමට ද විධිමත් විසඳුමක් සොයන්නේ නම් මෙවැනි ගැටලු මතු නොවනු ඇතැයි සිතේ.

වන්නි රොමේෂ් මධුෂංඛ



අදහස් (0)

උතුර ගිනියම් කළ වැලි ජාවාරම්කාරයෝ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 12 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 815 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site