දින දින අලුත් කතා මවනා අපූරු ලෝකයේ නායකයෝ ඈත අතීතයේද සිටියෝය. වර්තමානයේද එසේමය. උතුරු කොරියාව, ඇමෙරිකාව, ඉරාන ඇතුළු රටවල් කිහිපයකම එලෙස වරින්වර කතා මවනා මේ අපූරු නායකයෝ සිටිති. ඒ අතරින් ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි.


ට්‍රම්ප් ගේ මේ කියැවිල්ල නැවත වතාවක් අලුත් වූයේ මේ දිනවල ඇමෙරිකාවේ නිව් යෝර්ක් නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ 73 වැනි මහා මණ්ඩල සැසිවාරයේදී එහි සාමාජික රාජ්‍ය නායකයින් අමතා සිදු කළ දේශනයේදීය. ඉකුත් 25 වැනිදා පැවති ට්‍රම්ප් ගේ එම දේශනය විනාඩි 30 කට ආසන්න කාලයක් පුරා පැවති අතර ඔහුගේ එම කතාවට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට ට්‍රම්ප් විරෝධී ඉරාන නායකයා පියවර ගැනීමත් සමඟ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියම මහා කතා මැද කතා මවන තැනක් වී ඇත.


අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඉරාන ජනාධිපති හසන් රොව්හානි එකිනෙකා සරදමට ලක් කිරීම හමුවේ මෙවර එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය වඩාත් උණුසුම් මුහුණුවරක් ගැනීම ඉතිහාසයේ කවරදාකවත් සිදු නොවූ දෙයක් විණි. ඇමෙරිකානු ජනාධිපතිවරයා ඉරානයට එරෙහිව තවදුරටත් සම්බාධක පනවන බවට කළ තර්ජනය හමුවේ ඉරාන ජනාධිපතිවරයා, ජනපති ට්‍රම්ප් බුද්ධිය මඳ වශයෙන් ඇති අයෙකු බව ප්‍රකාශ කළේ ය.


ඇමෙරිකානු ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය අමතමින් කළ කතාවේ වැඩි කාලයක් වෙන් කළේ ඉරානය න්‍යෂ්ටික බලය වර්ධනය කරමින් මැද පෙරදිග කලාපය අස්ථාවර කිරීමට පියවර ගන්නා බව කීමටය. “ඔවුන් ඔවුන්ගේ අසල් වැසියන්ට ගෞරව කරන්නේ නැහැ. අනෙකුත් රටවල දේශ සීමා තකන්නේ නැහැ. අනෙක් ජාතීන්ගේ ස්​ෙවෙරී අයිතීන්වලට ගෞරව කරන්නේ නැහැ” යැයි ද හෙතෙම චෝදනා කළේය.


ඇමෙරිකාව සහ ඉරානය අතර වත්මන් සබඳතා අතීතයේදී ඇමෙරිකාව සහ උතුරු කොරියාව අතර පැවැති සබඳතාවලට සමාන කළ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, උතුරු කොරියා නායක කිම් ජොන් උන්ට ප්‍රශංසා කිරීමට ද අමතක නොකළේය. උතුරු කොරියාව න්‍යෂ්ටික සහ මිසයිල අත්හදා බැලීම් නවතා දැමීම සම්බන්ධයෙන් ඇමෙරිකා ජනාධිපතිවරයා එලෙස උතුරු කොරියා නායකයාට ප්‍රශංසා කළේය. පසුගිය වසරේ එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සැසිය අමතමින් ඇමෙරිකා ජනාධිපතිවරයා, උතුරු කොරියානු නායකයා රොකට් මෑන් (රොකට් මෑන්) කෙනකු යැයි පැවැසූවේය.


ඇමෙරිකා ජනාධිපතිවරයා තම කතාවේදී චීනයට ද දොස් පැවැරීය. චීනය වෙළෙඳාමේ නිරත වන ආකාරය විවේචනයට ලක් කළ ඇමෙරිකා ජනාධිපතිවරයා තෙල් අපනයන රටවල සංවිධානය (ඔපෙක්) හි ක්‍රියා කලාපය ද දෝෂදර්ශනයට ලක් කළේය.


එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සැසිය මුලින්ම ඇමතූ රාජ්‍ය නායකයා වූයේ ද ඇමෙරිකා ජනාධිපතිවරයාය. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය අමතමින්, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයටත්, ඉරාන ජනාධිපති හසන් රොව්හානී ඇමෙරිකාවටත් දොස් පැවැරූ බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.


2015 දී ඉරානය සමඟ ඇතිකර ගත් න්‍යෂ්ටික එකඟතාවෙන් ඉවත්වීම සහ ඉරානයට පැනවූ නව ආර්ථික සහ වෙළෙඳ සම්බාධක සම්බන්ධයෙන් ජනාධිපති ට්‍රම්ප් මෙහිදී පැහැදිලි කළේය.


ඉරානය ත්‍රස්තවාදයට අනුග්‍රහය දක්වන රාජ්‍යයක් බවත්, ඉරානයේ අරමුණ වී ඇත්තේ මැදපෙරදිග කලාපය පමණක් නොව, මුළු ලොවම අස්ථාවර තත්ත්වයකට පත්කිරීම බවට ඇමෙරිකා ජනාධිපතිවරයා චෝදනා කළේය. අසල්වැසි රටවල අර්බුදවලට මැදිහත් වෙමින්, එම රටවල් එකිනෙකා කෙටවීමට සලස්වා, නව අර්බුද නිර්මාණය කිරීමට ඉරානය කටයුතු කරනවා යැයි ද ජනාධිපති ට්‍රම්ප් වැඩිදුරටත් කියා සිටියේය.


ඉරාන නායකයින් දේශ සීමා හෝ සිය අසල්වැසි රාජ්‍යයන් හෝ ස්වාධීන රාජ්‍යයක අයිතිවාසිකම් පිළිබඳව නොතකන බවට ද ජනපති ට්‍රම්ප් චෝදනා කළේ ය. ඇමෙරිකානු ජනාධිපතිවරයා සිය කතාව තුළ අමෙරිකාවට ප්‍රමුඛ ස්ථානය ලබා දීමේ ප්‍රතිපත්තිය ද ඉස්මතු කළ අතර ඊට ලෝක නායකයින්ගෙන් ලැබුණේ නිහඬ පිළිතුරකි.


ධුරයට පත්ව වසර දෙකකට අඩු කාලයකදී තමන් මීට පෙර කිසිදු ඇමෙරිකානු ජනාධිපතිවරයෙකු අත්කර නොගත් සාර්ථකත්වයක් අත්කර ගත් බවට පුරසාරම් කියූ ඇමෙරිකානු ජනාධිපතිවරයා ලෝක නායකයින්ගේ සිනහවට ද ලක් විය. ලෝක නායකයින්ගෙන් ලද එම ප්‍රතිචාරය හමුවේ වික්ෂිප්ත භාවයට පත් වූ ජනපති ට්‍රම්ප් පැවසුවේ, තමන් එවැනි ප්‍රතිචාරයක් අපේක්ෂා නොකළ බව ය.


2015 වසරේ දී ඇමෙරිකාවේ ජනාධිපති ධුරය හෙබවූයේ බැරැක් ඔබාමාය. ඔබාමා පරිපාලනය මැදිහත් වී, ලොවට තර්ජනයක් වුණු ඉරාන න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් ඉරානය සමඟ පොදු එකඟතාවක් ඇති කර ගත්තේය.


මෙම එකඟතාව ඇති කර ගැනීම සිදුවූයේ ඇමෙරිකාව, බ්‍රිතාන්‍යය, ප්‍රංශය, ජර්මනිය, චීනය සහ රුසියාව එක්වෙමිනි. ඔබාමා පරිපාලනය එම එකඟතාව හරහා ඉරානයට බුරුලක් දුන් බවත්, ඉරානය එය වාසියට යොදා ගනිමින් දිගු දුර බැලැස්ටික මිසයිල නිර්මාණය කර යුද ශක්තිය වර්ධනය කරගෙන ඇති බවත්, අද වන විට ඉරානය ලොවට විශාල තර්ජනයක් බවත් ඇමෙරිකා ජනාධිපතිවරයා කියා සිටියේය.


ඇමෙරිකාව ඉරානයට සම්බාධක පැනැවීමක් කළ ද සෙසු රටවල් දිගටම ඉරානය සමඟ සිටිමින්, ඇතිකරගත් එකඟතාවට ගරු කරන බවට ප්‍රතිඥා දී ඇත. ට්‍රම්ප් සිය දේශනයේ දී කියා සිටියේ ඉරානයට සහාය දක්වන කිසිදු රටකට කිසිදු සමාවක් නොදෙන බවය. ඇමෙරිකා ජනාධිපතිවරයා ඔහුට හිමිවුණු කාලයට වඩා මිනිත්තු 30 ක් කතා කළ බව ද විදෙස් පුවත් සේවා වාර්තා කර ඇත.


මේ අතර ඉරාන ජනාධිපතිවරයා එක්සත් ජාතීන් අමතා ඉරාන න්‍යෂ්ටික ගිවිසුමෙන් ඇමෙරිකාව ඉවත් කර ගැනීමට ජනපති ට්‍රම්ප් ගත් පියවර තරයේ විවේචනය කළේ ය. ජනපති ට්‍රම්ප් සමග ඡායාරූපයකට පෙනී සිටීමට අවශ්‍ය නැති බව පැවසූ ඉරාන ජනාධිපතිවරයා, ගෝලීය ආයතනවලින් ඈත් වීමට ඇමෙරිකානු ජනාධිපතිවරයා දරන උත්සාහය ඔහුගේ පෞරුෂත්වයේ අඩුපාඩුවක් බව ද පෙන්වා දුන්නේ ය. ඒ, එය ශක්තිමත් බවේ සංකේතයක් නොව සංකීර්ණ, එකිනෙකට සම්බන්ධ ලෝකය තේරුම් ගැනීමට ජනපති ට්‍රම්ප්ගේ නොහැකියාව පෙන්නුම් කරන බවය.


ඉරාන ජනාධිපති හසන් රොව්හානී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය ඇමැතුවේ ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් පසුවය. ඇමෙරිකාව ඉරානයට ආර්ථික සම්බාධක පැනැවීම, ආර්ථික ත්‍රස්තවාදී ක්‍රියාවක් ලෙස ඉරාන ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. ට්‍රම්ප් පරිපාලනයට අවශ්‍ය වී ඇත්තේ ඉරාන රජය පෙරළා දැමීමට බවත් ඉරානය අස්ථාවර කිරීමේ අරමුණ ඇතිව ඇමෙරිකාව තමන්ට සම්බාධක පැනැවීමක් කර ඇති බවත් ඉරාන ජනාධිපතිවරයා සමුළුවට රැස්ව සිටි සෙසු ලෝක නායකයන්ට සහ නියෝජිතයන්ට පෙන්වා දුන්නේය.


“එක පැත්තකින් ට්‍රම්ප් පරිපාලනය උත්සාහ ගන්නවා ඉරාන රජය පෙරළන්න. අනෙක් පැත්තෙන් ඔවුන් උත්සාහ ගන්නවා අලුත් න්‍යෂ්ටික එකඟතාවක් සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වන්න. දිගින් දිගටම සම්බාධක පනවමින්, ඉරාන ආර්ථිකය අඩපණ කරමින් ඇමෙරිකාව සාකච්ඡා කරන්න එන්නැයි යෝජනා කරනවා. ඒක මහ විහිළුවක්” යැයි ද ඉරාන ජනාධිපති හසන් රොව්හානී වැඩිදුරටත් කියා සිටියේය.


ඉරාන විදේශ අමාත්‍යවරයා නිකුත් කළ ටිව්ටර් පණිවුඩයකින් කියා සිටියේ


“අපේ කලාපයේ සහ ජාත්‍යන්තර සාමයට සහ ආරක්ෂාවට තර්ජනයක් තිබෙන බව සත්‍යයක්. ට්‍රම්ප් පරිපාලනය තමයි එම තර්ජනය. ට්‍රම්ප් පරිපාලනය ලෝකය අස්ථාවර කරනවා. ට්‍රම්ප් පරිපාලනය ප්‍රමුඛ කරගත් ඇමෙරිකාව අපේ කලාපයේදී මැරයකු ලෙස හැසිරෙනවා. සාහසික අපරාධ කරමින් ඉන්නවා. ඇමෙරිකා එක්සත් ජනපදය සාමාන්‍ය රාජ්‍යයක් ලෙස වගකීමෙන් කටයුතු කළ යුතු” යැයි ඉරාන විදේශ අමාත්‍යවරයා නිකුත් කළ පණිවුඩයේ සඳහන් විණි.


එක්සත් ජනපද ජනාධිපති ෆ්රැන්ක්ලින් ඩී. රූස්වෙල්ට් යෝජනා කළ එක්සත් ජාතීන් යන නාමය බලවතුන්ට එරෙහිව අඛණ්ඩව සටන් කරන බවට ප්‍රතිඥා දෙමින් ජාතීන් 26ක නියෝජිතයින් දෙවැනි ලෝක යුද සමයේ 1942 ජනවාරි 1 වැනි දා කළ එක්සත් ජාතීන්ගේ ප්‍රකාශනයෙහි මුල්වරට භාවිත කරනු ලැබීය.


අර්බුද සාමකාමී ලෙස සමථයකට පත් කිරීම, යුද්ධ වැළැක්වීම සහ සංග්‍රාම නීති සංග්‍රහකරණය සඳහා වන විධික්‍රම විස්තර කොට දැක්වීම පිණිස ප්‍රථම අන්තර්ජාතික සාම සමුළුව 1899 දී හේග් නගරයේදී පවත්වන ලදී. අන්තර් ජාතික ආරවුල් සාමකාමී ලෙස සමථයකට පත් කිරීම පිළිබඳ සම්මුතිය සම්මත කොට ගත් එය 1902 දී ක්‍රියාත්මක වූ ස්ථාවර බේරුම් උසාවිය ස්ථාපනය කළේය. එක්සත් ජාතීන්ගේ පෙර ගමන්කරු වූයේ ජාතීන්ගේ සංගමයයි. ප්‍රථම ලෝක යුද්ධය වළක්වා ලීමට අසමත් වීම නිසා ජාතීන්ගේ සංගමය සිය ක්‍රියාකාරීත්වය අවසන් කළේය. එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය සම්පාදනය කරනු වස් රටවල් 50 ක නියෝජිතයෝ 1945 දී සැන් ෆ්‍රැන්සිස්කෝ හි පැවති අන්තර් ජාතික සංවිධානය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සමුළුවේ දී හමුවූ අතර 1945 ජුනි 26 වැනි දා රටවල් 50 ක නියෝජිතයෝ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට අත්සන් තැබූහ. සමුළුවට සහභාගී නොවූ පෝලන්තය පසුව ඊට අත්සන් තැබීමෙන් ආරම්භක සාමාජික රාජ්‍යයන් 51 අතරට එක් විය. වර්තමානයේ සාමාජික රටවල් 193 ක් දක්වා වර්ධනය වී ඇත.


චීනය, සෝවියට් දේශය, එක්සත් රාජධානිය, එක්සත් ජනපදය සහ සෙසු අත්සන් කරුවන්ගෙන් බහුතරය 1945 ඔක්තෝබර් 24 දා ප්‍රඥප්තිය සනාථ කිරීමෙන් අනතුරුව එක්සත් ජාතීන් නිල වශයෙන් උපත ලැබී ය. සෑම වසරකම ඔක්තෝබර් 24 දින එක්සත් ජාතීන්ගේ දිනය සමරනු ලැබේ.


සාමාජික රාජ්‍යයන්ගේ අයිතිවාසිකම් හා වගකීම් නිශ්චය කරන්නා වූත් එක්සත් ජාතීන්ගේ අයවැය හා ක්‍රියාපටිපාටීන් ස්ථාපනය කරන්නා වූත් ප්‍රඥප්තිය සංවිධානයේ ව්‍යවස්ථාමය ලේඛනයයි. අන්තර්ජාතික ගිවිසුමක් වන ප්‍රඥප්තිය රාජ්‍යයන්ගේ ස්වෛරී සමානාත්මතාවයෙන් පටන් ගෙන අන්තර් ජාතික සබඳතාවලදී බලය යෙදවීම තහනම් කිරීම දක්වා විහිදෙන මෙම එක්සත් ජාතීන්ගේ සංවිධානය වර්තමානයේ රටවල් කිහිපයක අවශ්‍යතාව මත පදනම් වෙමින් මෙහෙයවන බවට ඇමෙරිකා විරෝධී රටවල් බහුතරයක් චෝදනා කරති. ට්‍රම්ප් වැනි ලෝක නායකයින් ගේ හැසිරීම් තුළින් ඒ බව තවදුරටත් සාක්ෂාත් ​ෙවනවා මිස වෙන කිසිවක් සිදු නො​ෙවන බවද මෙවැනි දෑ වලින් තහවුරු වේ.


එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වියදම් පිළිබඳව 2011 දී පළ වූ අන්තර්ජාලයේ විකිපීඩියා තොරතුරු අනුව එම සංවිධානයට ආධාර කරන රාජ්‍යයන් දහය අතර වැඩිපුරම ආධාර ලබා දෙන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයි. ඔවුන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අයවැයට සියයට 22 කින් දායකත්වය සපයන බව එම අන්තර් ජාල වාර්තාවේ සඳහන් වේ.


ඊට අමතරව ජපානය සියයට 12.53 ක්ද, ජර්මනිය සියයට 8 ක්ද, එක්සත් රාජධානිය සියයට 6 කින්ද, ප්‍රංශය සියයට 6 කින්ද, ඉතාලිය සියයට 4 ක්ද, කැනඩාව, චීන මහජන සමුහාණ්ඩුව, ස්පාඤ්ඤය සියයට 3 ක් බැගින්ද, මෙක්සිකෝව සියයට 2ක්ද සහ අනෙකුත් සාමාජික රටවල් එක්ව සියයට 27.7 කින්ද එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුග්‍රාහකත්වය සපයනු ලැබේ. මින් තවදුරටත් පෙන්වන්නේ ලෝකෙට ලොක්කා වන නාමය තවදුරටත් ඇමෙරිකා එක්සත් ජනපදය සතුවන බවය.

 

 

 

සටහන - තිළිණි ද සිල්වා