කාර්මික දෝෂයකට ලක්වී දුම්රිය ධාවනය කිරීමට නොහැකිව මගීන් දැඩි අපහසුතාවකට ලක්ව සිටි අවස්ථාවේ එය යථා තත්ත්වයට පත් කරමින් යළිත් ධාවනය කිරීමට සැලැස් වූ තරුණයෙක් පිළිබඳ ඉකුත් දා වාර්තා විය.   
කන්කසන්තුරේ සිට කොළඹ දක්වා ධාවනය වූ අංක 4021 දරන නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රිය ඉකුත් 19 වැනිදා එසේ කාර්මික දෝෂයට ලක්විණි.   


දුම්රිය කාර්මික ශිල්පීන් එය යථා තත්ත්වයට පත් කිරීමට දැඩි උත්සාහයක නිරත වූවත් එය අසාර්ථක වීමෙන් මගීන් දැඩි අපහසුතාවකට පත්ව තිබේ.   


එහිදී එම දුම්රියේ ගමන් කළ තරුණයෙකු ඉදිරිපත් වී එම දෝෂය යථා තත්ත්වයට පත් කිරීමෙන් පසු දුම්රිය යළිත් ධාවනය කිරීමට හැකිව ඇත.   


මෙලෙස එම දුම්රියේ දෝෂය නිවැරදි කර ඇත්තේ ජනිත් දිමන්ත විතානාරච්චි නමැති තරුණයාය.   


ගාල්ල බෝධිගල විද්‍යාලයේ මූලික අධ්‍යාපනය හදාරා ඇති ඔහු පසුව ශාන්ත තෝමස් විද්‍යාලයෙන් ද අධ්‍යාපනය හදාරා ඇත. ඉන් අනතුරුව උසස් අධ්‍යාපනය සඳහා මොරටුව ජර්මානු කාර්මික ආයතනයෙන් ද ඉගෙනුම ලබා මේ වනවිට පෞද්ගලික විශ්වවිද්‍යාලයකින් ද අධ්‍යාපනය ලබමින් සිටී.   


විදේශිකයන් ඇතුළු මගීන් දැඩි අපහසුතාවකට ලක්ව සිටි අවස්ථාවේ එම දුම්රියේ ගමන් කළ මෙම තරුණයාගෙන් ‘ඉරිදා ලංකාදීප’ අප ඒ පිළිබඳ විමසීමක් කළෙමු.   


පස්වරු 4.30ට වගේ අනුරාධපුරයෙන් පිටවුණු දුම්රිය මහාගල්කඩවල කැලෑබද ප්‍රදේශයේදී තමයි කාර්මික දෝෂයකට ලක්වුණේ. ඒ මොහොතේ කාර්මික ශිල්පීන් දෝෂය නිවැරදි කරන්න විනාඩි 45ක් විතර උත්සාහ කරලා තියෙනවා. මම ඒ මොහොතේ නිදාගෙන හිටියෙ. ඉතින් අම්මා තමයි කිව්වෙ පුතාට පුළුවන් නම් ගිහින් බලන්න කියලා.   


ඒ ගිහින් බැලුවට පස්සෙ තේරුණා වෙලා තියෙන්නෙ මොකද්ද කියලා. ඒ නිසා තමයි වැඩේට සම්බන්ධ වුණේ. මම ඇහුවා ඒ ශිල්පීන්ගෙන් මම පොඩ්ඩක් උත්සාහ කරන්නද කියලා. මගෙත් එක්ක තව වික්‍රමආරච්චි කියලා මහත්තයෙකුත් හිටියා. ඒ මහත්තයාටත් ඒ සම්බන්ධ දැනුමක් තියෙනවා. ඉතින් අපි දෙන්නම තමයි ඒ මොහොතේ ඒ වැඩකටයුත්තට සම්බන්ධ වුණේ.   


එ් වෙද්දී එහි කාර්මික ශිල්පීන් දෝෂය දැනගෙන හිටියේ. ඒක අමුතුවෙන් දැනගන්න ඕන වුණේ නෑ. නමුත් ඒ මොහොතෙ මගීන්ගේ කලබලෙත් එක්කම එහි වොෂර්ස් දෙකක් පැති මාරු කරලා දාලා තිබුණෙ. ඒක තමයි ඇතිවෙලා තිබුණ වැරැද්ද. ඉතින් ඒක අපට සකස් කරගන්න පුළුවන් වුණා. මගෙ විතරක් නෙමෙයි මගීන්ගේ සහයත් ඒ වෙනුවෙන් ලැබුණා. ඒ හැමෝගෙම සහය නැත්නම් මේ වගේ දෙයක් කරන්නත් බෑ.   


ජනිත් මේ වැඩකටයුතු සම්බන්ධව ඉගෙනගෙන තියෙනවද?   


ඔව්. මම ඉගෙනගෙන තියෙනවා. වගේම ඉගෙන ගනිමින් ඉන්නවා. කොහොමත් මම පොඩි කාලෙ ඉඳන් යන්ත්‍ර සූත්‍ර එක්ක තමයි වැඩිපුර හිටියෙ. මොකද මගෙ තාත්තාට මේ හැම දේම ගැනම හොඳ දැනුමක් තියෙනවා. තාත්තා ඉංජිනේරුවරයෙක්. තාත්තා නව නිර්මාණ ගණනාවක්ම කරලාත් තියෙනවා. ඒ අතර මෙතෙක් හැඬලයකින් ධාවනය කෙරුණු අත්ට්‍රැක්ටරය සුක්කානමක් සවි කරලා ධාවනය කළා. ඒ වගේම හයිඩ්‍රොලික් ඉනිමඟක් නිෂ්‍පාදනය කළා. එහිදී අඩි 24ක උසක සිට ආරක්ෂිතව විවිධ කාර්යයන් කිරීමේ හැකියාව තියෙනවා.   


පලතුරු නෙළීම, කෘෂි උද්‍යාන කටයුතු, වීදි ලාම්පු නඩත්තුව, විදුලි සන්නිවේදන පද්ධති සවිකිරීම හා නඩත්තුව, ගොඩනැගිලි නඩත්තු කටයුතු ආදිය කරන්න පුළුවන්. ඒ වගේම හාඩිමේක් දර පලන යන්ත්‍රයක් නිර්මාණය කළා. ඒවාට ජනාධිපති සම්මානත් ලැබුණා. තාත්තාට ෆැක්ටරි එකකුත් තියෙනවා.   


ඉතින් එදා ඉඳලා ඒ තිබුණු තාත්තගේ දැනීම මට ගොඩක්ම ඇවිල්ලා තියෙනවා. ඒ වගේම මම ජර්මන් කාර්මික විද්‍යාලයේ අවුරුදු තුන හමාරක් ඉගෙන ගත්තා. ඒ දැනුමත් තිබුණා. ඒ හැමදේමත් එක්ක මම ව්‍යාපාර හා තාක්ෂණික විද්‍යාලයේ විදුලි ඉංජිනේරු පිළිබඳ උසස් අධ්‍යාපනය හදාරනවා. ඊට අමතරව මෝටර් රථ පිළිබඳවත් ඉගෙන ගන්නවා.   


පොඩි කාලෙ ඉඳන් තාත්තාගේ අඩි පාරේ ගිය ජනිත් තාත්තා වගේ නව නිපැයුම් කරලා නැද්ද?   


ජාත්‍යන්තර මට්ටමේ තරග කිහිපයකටම සම්බන්ධ වෙලා ජයග්‍රහණය කළා. රොබොටික් කම්පිටිෂන්වලට ඉන්දියාවේ දෙවරක් ගිහින් තියෙනවා. 2015 දී ඉන්දීය තාක්ෂණ ආයතනය විසින් ඉන්දියාවේ මුම්බායිහි පැවැත්වුණ ආසියාවේ විශාලතම විද්‍යා හා තාක්ෂණ ප්‍රදර්ශනයේදී රොබොටික් අංශයෙන් තරග කර ලෝක මට්ටමේ ජයග්‍රහණයක් ලබාගත්තා.   


ජර්මන් තාක්ෂණික ආයතනයේ අර්ජුන ප්‍රේමචන්ද්‍ර, කේ.ඩී. පල්ලෙවෙල, ආර්.ටී.එල්. දෙනිපිටිය, පී.ඩී.එස්. කරුණාරත්න සහ මම තමයි ඒ නිර්මාණය කළේ.   


මේ තරගයට ලෝකයේ තාක්ෂණ විශ්‍වවිද්‍යාල අතර සහ මෙරටේ රජයේ සහ පෞද්ගලික විශ්වවිද්‍යාලවල බොහෝ පිරිසක් සහභාගි වෙලා හිටියා.   


දුරස්ථ පාලක හා පරිගණක තාක්ෂණය ඇසුරින් විනිසුරුවන් ලබාදෙන කාර්්‍යය ඉතා කෙටි කාලයකින් මිනිත්තු 2කින් නිම කර ප්‍රංශය, ඉන්දියාව, දකුණු කොරියාව, ඊජිප්තුව, පිලිපීනය, පාකිස්ථානය වැනි රටවල් 20ක තරගකරුවන් පරාජයට පත් කරලා තමයි අපි මේ ජයග්‍රහණය දිනාගත්තෙ.   


ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයට ගෙන්වලා ඔබ ඇගයීමට පවා ලක් කළා නේද? ඒ ගැන මොකද හිතෙන්නෙ?   


විදේශිකයන් ඇතුළු මගීන් විශාල ගණනක් අපහසුතාවකට ඒ මොහොතෙ ලක්වෙලා හිටියෙ. ඉතින් මට ඕන වුණේ මට මේ තුළින් ප්‍රසිද්ධියක්වත් වෙන මොනවත්ම ලබාගැනීමක් නෙමෙයි. නමුත් මේ ගැන දුම්රියේ ගමන් කරපු මගියෙක් මුහුණුපොතට සටහනක් එකතු කරලා තිබුණා. ඒ තුළින් තමයි මේ ගැන බොහෝ දෙනෙක් දැනගත්තෙ.   


එතැනින් පස්සෙ තමයි මේ ගැන ලංකාදීප පත්තරේ පළවුණාම ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහත්මයා මාව ගෙන්වලා ඇගයීමට ලක් කළේ. ඉතින් මාව ගෙන්වලා ඒ කරපු ඇගයීම හා දිරිගැන්වීම ගැන මැති ඇමැතිවරු ඇතුළු සියලු දෙනාට හදපත්ලෙන්ම ස්තුතිවන්ත වෙනවා.   


මගෙ උපාධිය අවසන් කරන්න තව පොඩි කාලයක් තියෙනවා. ඒ වැඩ අවසන් කරලා ඒ තුළින් රටට ලෝකයට සේවයක් කරන්න තමයි මගෙ එකම බලාපොරොත්තුව.   


වෘත්තියෙන් ඉංජිනේරුවරයෙකු වන ජනිත් දිමන්තගේ පියා සුනිල් විතානාරච්චි මහතා තම පුතාගේ ජයග්‍රහණය පිළිබඳ ඉරිදා ලංකාදීපය සමග මෙසේ අදහස් දැක්වීය.   


කන්කසන්තුරේ සිට කොළඹ දක්වා ගමන් කරපු ශීඝ්‍රගාමී දුම්රිය කාර්මික දෝෂයකට ලක්වුණ අවස්ථාවෙ දෝෂය නිවැරදි කරලා යථා තත්ත්වයට පත් කරලා නැවත ධාවනය කිරීමට ඉඩ සලස්වපු මගෙ පුතා ගැන ඇත්තටම මට ගොඩක් සතුටුයි.  


මීට පෙරත් පුතා මේ වගේ දේවල් කරලා තියෙනවා. මිනිස්සුන්ටත් ගොඩක් උදව් කරනවා.  


ඇත්තටම පුතා පොඩි කාලෙත් ඇවිදින කාලෙ ඉඳලම යන්ත්‍ර සූත්‍ර එක්ක තමයි හිටියෙ. කිසි දේකට බය නෑ. සමහර තැන්වලදී මට හිතුණා මෙයා කවදාහරි දවසක යම්කිසි දෙයක් කරයි කියලා. ජාත්‍යන්තර තරගවලට සම්බන්ධ වෙලා ඒවගෙනුත් ජයග්‍රහණය ලබාගෙන තියෙනවා. සමහර ඉංජිනේරුවන්ට කරන්න බැරි දේවල් පවා පුතා කරලා තියෙනවා. පෙර පාසල් යන කාලෙ පවා මේ වැඩවලට සම්බන්ධව වැඩ කළා. මැෂින් ඩිසයින් වැනි මම කරන දේවල් බලන් ඉඳලා කරනවා. එක වතාවක පොඩි ට්‍රේන් එකක් පවා හැදුවා පුංචි කාලෙ. ඒවා ප්‍රදර්ශනවලට ඉදිරිපත් කරලා ජයග්‍රහණ පවා ලබාගෙන තියෙනවා. ඒ සම්බන්ධ දැනුම නිරායාසයෙන්ම පිහිටලා තිබුණා.  


ඉතින් එදා පුතා කරපු ඒ ක්‍රියාවත් තාත්තා විදියට මට ලොකු සතුටක්. ඉතින් පුතාට ලොකු ඇගයීමකුත් ඒ තුළින් ලැබුණා. මම කවදාවත් බලාපොරොත්තු වුණේ නෑ රජයේ ඇමැතිවරු මෙතරම් කාර්යක්ෂම ද කියලා. මොකද ඒ අදාළ අමාත්‍යාංශයට ගෙනල්ලා ලොකු පිළිගැනීමක් පුතා වෙනුවෙන් තිබුණා. ඒ ඇගයුම පිළිබඳ ඒ ඇමැතිවරුන්ට ස්තුතිවන්ත වෙනවා වගේම ඉතාම ඉහළින් මම අගය කරනවා. සතුටු වෙනවා තාත්තා කෙනෙක් විදියට.

 

 

සටහන - ධනු විජේරත්න  
ඡායාරූප - ළහිරු හර්ෂණ