IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


අග්නිදිග සරසවියේ සහරාන්ගේ ගෝලයෝ

අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් පිරිසක්  

 

 

සහරාන්ගේ මෘග ප්‍රහාරයට මාස තුනක් ඉක්ම ගොස් තිබේ. මෙම ප්‍රහාරය නිසා රටම එකම මළ ගෙයක් බවට පත්විය. අදත් මෙම බෝම්බ ප්‍රහාරයට ලක්වූ අයගේ පවුල්වල ඥාතීන් ඇඬූ කඳුළින්ය. මියගිය අය වෙනුවෙන් සාධාරණයක් ඉටු නොවුණ බව අති උතුම් කාදිනල් මැල්කම් රංජිත් පියතුමන්ද වරින් වර පවසා තිබේ.   


මෙම සිදුවීම සමගම රටපුරා මෙහෙයුම් ආරම්භ කළත් ඒවා දැනට නැවතී තිබේ. සහාරන්ගේ කල්ලිය සොයා කරන පරීක්ෂණවලද ප්‍රගතියක් නොපෙනේ.   
සහරාන්ගේ මෙම තිරිසන් ක්‍රියාව සමග නැගෙනහිර පළාත පිළිබඳව රටේ මහත් ආන්දෝලනයක් ඇතිවිය. එයට හේතුව ජාතික තව්ෆික් ජමාත් සංවිධානය නැගෙනහිර පළාතින් බිහිවීමයි.   


එහෙත් රාජ්‍ය බුද්ධි සේවාවේ අම්පාර කාර්යාලයේ නිලධාරීන් මෙම පරීක්ෂණ පැවැත්වීම නතර නොකළේය. ඔවුන් රට වෙනුවෙන් තම යුතුකම සහ වගකීම නිවැරැදිව ඉටු කරමින් යටව තිබූ පරීක්ෂණ කටයුතුවලට නව පණක් දීමට කටයුතු කළේය.   


රාජ්‍ය බුද්ධි සේවාවේ අම්පාර කාර්යාලයට ඔලුවිල් අග්නිදිග විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් සහාරන් සමග සම්බන්ධවී ඇති බවට තොරතුරක් ලැබුණේය. පසුව ඔවුන් තම නිලධාරින් යොදවා මේ පිළිබඳව තොරතුරු සෙවීමට පටන් ගත්තේය.   


ජමාතේ මිල්ලතේ ඉබ්‍රාහීම් සංවිධානයේ නායකයා වන සාදික් අබ්දුල් හක් ඔලුවිල් අග්නිදිග විශ්වවිද්‍යාලයේ දේශනයක් කළ බව රාජ්‍ය බුද්ධි සේවය තොරතුරු සොයාගත් අතර ඒ ඔස්සේ තම පරීක්ෂණ ආරම්භ කරනු ලැබීය. සාදික් අබ්දුල් හක් යනු සහරාන් සමග මරාගෙන මැරෙන්නට සිටි පුද්ගලයෙකි. සහරාන්ගේ කණ්ඩායමට පුපුරණ ද්‍රව්‍ය, අවි ආයුධ, පුහුණුව අයි.එස්. සම්බන්ධව දේශන ලබාදී ඇත්තේ සාදික් අබ්දුල් හක් විසින්ය.   


මේ පිළිබඳව පරීක්ෂණ පවත්මින් සිටි අම්පාර රාජ්‍ය බුද්ධි සේවාවේ නිලධාරින් විසින් පළමුව ඔලුවිල් අග්නිදිග විශ්වවිද්‍යලයේ අරාබි පීඨයේ තුන්වැනි වසරේ සිසුවෙක් අත්අඩංගුවට ගනු ලැබීය. ඔහු මොහමඩ් ස්මයිල් මොහමඩ් සල්මාන් වන අතර අනුරාධපුරයේ පදිංචිකරුවෙකි. මොහු ත්‍රස්තවාදී නායක සහාරන්ගේ නුවරඑළිය කඳවුරට සහාභාගි වී ඇත.   
මෙලෙස පුහුණු වෙන පිරිස අවසානයේ පුහුණුවෙන් පසුව සහරාන් ඉදිරියේදී සංවිධානයේ වැඩ කිරීමට දිවුරුම් දෙන අතර ඉන් අනතුරුව අබු නාමය මුලට යොදා අනුවර්ථ නාමයක් ලබාදෙනු ලබයි.   


පසුව රාජ්‍ය බුද්ධි සේවා නිලධාරින් ඔහුගෙන් දිගින් දිගටම ප්‍රශ්න කළ අතර එහි ප්‍රතිඵලයක් හැටියට ජමාතේ මිල්ලතේ ඉබ්‍රාහීම් සංවිධානයේ නැගෙනහිර නායකයා වන මොහමදු උසනාර් මොහමඩ් නව්ෂාඩ් මඩකළපුව දිස්ත්‍රික්කයේ ඔට්ටමාවඩි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබීය. සහරාන් විසින් නුවරඑළිය සහ හම්බන්තොට ප්‍රදේශවල පැවැත්වූ පුහුණු කඳවුරු සඳහා පුද්ගලයින් සහාභාගි කිරීම වැඩි වශයෙන් සිදුකර ඇත්තේ මොහු විසිනි.   


මොහු අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග යටතේ ප්‍රශ්න කිරීමේදී රාජ්‍ය බුද්ධි නිලධාරින්ට තවත් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකිවිය.   


ඉන් පසුව තවත් තිදෙනෙක් අත්අඩංගුවට ගැනීමට රාජ්‍ය බුද්ධි අංශ නිලධාරින් සමත්විය. කළුගමුව, ගෙලිඔය පදිංචි මොහමඩ් මන්සුර් සෙයිපුල්ලාහ් ඉන් එක් අයෙකි. ඔහු සහරාන් විසින් පැවැත්වූ නුවරඑළිය කඳවුරට සහාභාගි වී ඇති අතර අබු සහීඩ් යන අනුවර්ත නාමය ඔහුට ලබාදී තිබේ.   


අනෙක් සැකකරු මුස්තාක් අලි අම්හාර් වන අතර ඔහු මාවනැල්ල වල්පොලදෙණිය පදිංචිකරුවෙකි. මොහු සහරාන් විසින් පවත්වන ලද නුවරඑළිය කඳවුරට සහාභාගි වී ඇති අතර අබු හින්ද් යන අනුවර්ථ නාමය ඔහුට දී තිබේ.   


තුන්වැනි සැකකරු වන්නේ මොහම්මදු තාහීර් හිදායාතුල්ලා නමැති පුද්ගලයෙකි. ඔහු මාවනැල්ල තානාගම පදිංචිකරුවෙකු වන අතර නුවරඑළිය පුහුණු කඳවුරට සහාභාගි වී ඇති අතර අබු තුරාබි යන අනුවර්ථ නාමය ඔහුට ලබාදී තිබේ.   


අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන්ගෙන් දිගින් දිගටම ප්‍රශ්න කිරීමේදී තවත් සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගත් අතර ඔවුන් අතර ඔලුවිල් අග්නිදිග විශ්වවිද්‍යාලයේ ආරබි පීඨයේ තුන්වැනි වසරේ සිසුවෙක්ද සිටී.   


ඉන් එක් සැකකරුවෙක් වන්නේ මොහිදීන් බාවා මොහමඩ් රූමි වන අතර ඔහු පොළොන්නරුව කදුරුවෙල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහු ජමාතේ මිල්ලතේ ඉබ්‍රාහීම් සංවිධානයේ පොළෙන්නරුව දිස්ත්‍රික් නායකයා ලෙසද කටයුතු කර තිබෙන බව ප්‍රශ්න කිරීම්වලදී හෙළිවී තිබේ.   


අත්අඩංගුවට ගනු ලැබූ මොහමඩ් රියාල් මොහමඩ් සාජීද්, දානගම මාවනැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර සහරාන් පැවැත්වූ නුවරඑළිය කඳවුරට සහාභාගි වී ඇති අතර අබු සල්මාන් යන අනුවර්ථ නාමය ඔහුට ලබාදී තිබේ. අනෙක් සැකකරු වන්නේ මජීද්පුර, නාන්ගල්ල, තුල්හිරිය, වරකාපොළ පදිංචි මොහමඩ් රම්සික් රුෂ් දී අහමඩ් යන අයයි. මොහුද සහරාන්ගේ හම්බන්තොට පුහුණු කඳවුරට සහාභාගි වී ඇති අතර අබු අල් වකාර් යන අනුවර්ථ නාමය ඔහුට ලබාදී ඇති බව පරීක්ෂණවලදී හෙළිව තිබේ.   
මෙයට අමතරව අනුරාධපුර පදිංචි මොහමදු ස්මයිල් මොහමදු සල්මාන් යන අයද අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුද නුවරඑළිය පුහුණුවීම් කටයුතු කර තිබේ. අබු අබුහල්ලලා යන අනුවර්ථ නාමය ඔහුට ලබාදී තිබේ.   


නුවරඑළිය සහ හම්බන්තොට යන ප්‍රදේශවලදී මෙම පිරිස පුහුණුවී ඇති අතර එම පුහුණුවීම් සියල්ල සිදුකර ඇත්තේ සහරාන් ගේ උපදෙස් පරිදි වන අතර එසේ පුහුණු වූ පිරිස පිටත්ව යන දවසේ සහරාන් ඉදිරියේ දිවුරුම් දී අනුවර්ථ නාමය ලබා ගනී. ඉන්පසුව සංවිධානය තුළ වැඩ කිරීමේදී තමන්ගේ නියම නම වෙනුවට භාවිතා කරන්නේ අනුවර්ථ නාමයයි. එසේ කරනු ලබන්නේ සංවිධානයේ පැවැත්ම සහ සංවිධානයට බැඳුණු අයගේ ආරක්ෂාව පිණිස බවද පැවසේ.   


නුවරඑළිය සහ හම්බන්තොට කඳවුරු දින දෙකක් පැවැත්වෙන අතර මුලින්ම සිදුකරන්නේ දේශන පැවත්වීමයි. එහිදී සහරාන්, සහරාන්ගේ සහෝදරයා වන සෙයිනි (සයින්දමර්දුවලදී මියගිය) සහ දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තුවේ අත්අඩංගුවේ පසුවන නවුපර් මව්ලවි විසින් මෙම පිරිසට දේශනා ලබාදී තිබේ. ඉන් පසුව ටී-56 ගිනිඅවියක් භාවිතා කරන ආකාරය, වෙඩි තියන ආකාරය, එම අවිය ගලවා සකස් කරන ආකාරය සහ පිස්තෝලවලින් වෙඩි තබන අාකාරය පුහුණු කර තිබේ. පසුව පිහි යොදා ගනිමින් සටන් කරන ආකාරය ද පුහුණු කිරීම් සිදුකර තිබේ.   


මෙම සිදුවීම පසුව රටේ නායකයින් විසින් ත්‍රස්තවාදීන් අත්අඩංගුවට ගෙන රටේ ජාතික ආරක්ෂාව තහවුරු කළ බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරනු ලැබීය.   


නමුත් රාජ්‍ය බුද්ධි සේවාව කරන පරීක්ෂණවලදී අත්අඩංගුවට ගත් පිරිස සමග ඔවුන්ගේ ජාලය රටපුරා ව්‍යාප්ත වී ඇති ආකාරයක් පෙනෙනන්ට ඇත. පොළොන්නරුව, මාවනැල්ල, අනුරාධපුර, තුල්හිරිය, වරාකාපොල, ගෙලිඔය, වාලච්චේන, මුතුර් යන ප්‍රදේශවලින් මෙම පිරිස හමුවීමත් සමඟම මොවුන්ගේ ව්‍යාප්තිය රටපුරාම ගොස් ඇති බවට තහවුරු වෙමින් පවතී. අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් වැඩි පිරිසක් තරුණයින් වීම තුළද මෙහි ව්‍යාප්තිය සුලු කොට තැකිය නොහැකිය. නායකයින් ත්‍රස්තවාදය අවසන් කරා යැයි වහසි බස් දෙඩුවත් පවතින තත්ත්වය අනුව අළු යට ගිනි තිබෙන බව පැහැදිලිව පෙනේ. දේශපාලනඥයින් ගේ හිත් සතුටු කිරීමට සැකකරුවන් නිදහස් නොකර සමස්ත රටේ ජනතාවගේ ආරක්ෂාව ගැන හිතා කටයුතු කිරීම වර්තමාන පාලක පක්ෂයේ යුතුකම සහ වගකීම වනු ඇත. නැතහොත් මෙරට යම් දිනෙක දෙකොණ පත්තුවෙන විලක්කුවක් වීම නැවතිය නොහැකිවනු ඇත.   


මේ වෙනවිට අත්අඩංගුවට ගත් සැකකරුවන් ප්‍රමාණය නව දෙනෙකි. ඉන් තිදෙනෙක් ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයට භාරදී තිබේ. අනෙක් හයදෙනා රැඳවුම් නියෝග මත අම්පාර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින් ප්‍රශ්න කරමින් පවතී. නැගෙනහිර දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කපිල ජයසේකර මහතාගේ උපදෙස් මත අම්පාර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති අයේෂ කරුණාරත්න මහතාගේ අධීක්ෂණය මත අම්පාර කොට්ඨාස 1 පොලිස් අධිකාරි ප්‍රියදර්ශණ හේරත් මහතා ඇතුලු නිලධාරින් විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වති.   

 

 

අම්පාර වසන්ත චන්ද්‍රපාල

 



අදහස් (0)

අග්නිදිග සරසවියේ සහරාන්ගේ ගෝලයෝ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 12 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 860 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2494 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site