
‘ඉස්කෝලේ A/L පන්තියේ යන්නේ 12 වසරට විතරයි. 13 වසරේදී ඉස්කෝලේ ගිහින් වැඩක් නෑ; ඉතින් ටියුෂන් තමයි.”
අද උසස් පෙළ හදාරන දරුවන් අතර ළැව්ගින්නක් සේ පැතිර යන භයානකම මතවාදය එයයි. වසර දෙකක පාසල් අධ්‍යාපනයක් වෙනුවෙන් නිර්මාණය වූ උසස් පෙළ විෂය නිර්දේශය, මාස 12ක ටියුෂන් කෝෂයක් බවට පත්කරගෙන 13 වසරේ පන්ති කාමර පිටින් හිස් කිරීම අද විලාසිතාවක් වී හමාරය. රජයේ මුදල් බිලියන ගණනින් වැය කර තැනූ සුපිරි විද්‍යාගාර, පරිගණක පද්ධති සහ ප්‍රවීණ ගුරු බලඇණිය පාසල ඇතුළේ වේළෙද්දී, දරුවන් සමූහ පිටින් ටියුෂන් කඩවල පෝලිම් ගැසීම නිදහස් අධ්‍යාපනයේ කරුමයක් වී ඇත. රාජ්‍ය සම්පත් අමු අමුවේ අපතේ යවන, ටියුෂන් මාෆියාවට බිලිවූ උසස් පෙළ අධ්‍යාපනයේ මේ අඳුරු ඛේදවාචකය දෙස දැන්වත් අප පියවි සිහියෙන් බැලිය යුතු නැද්ද?
ශ්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපන පද්ධතිය යනු ලෝකයේම පැසසුමට ලක්වූ, සමාජ ආරෝහණය උදෙසා සාමාන්‍ය ජනතාවට විවර වූ රන් දොරටුවකි. මෙය දුප්පත් පවුලක දරුවකුට පවා රටේ ඉහළම තැනට යාමට මඟ පෑදූ සලකුණකි. එහෙත් වර්තමානය වන විට එම පද්ධතියේ ඉහළම සහ තීරණාත්මකම අදියර වන අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) අධ්‍යාපනය පසුවන්නේ මරණාසන්න මොහොතකය. 13 වන වසරේ පන්ති කාමර බොහොමයක් මුළුමනින්ම හිස්ව පැවතීම ශෝචනීය යථාර්ථයකි.
පාසල් පන්ති කාමරය සහ ටියුෂන් ශාලාව අතර වෙනස
පාසලක් යනු හුදෙක් විභාග සමත් කරන තක්සේරු මධ්‍යස්ථානයක් නොවේ. එය සිසුවෙකුගේ පෞරුෂය, නායකත්ව ගුණාංග, සමාජශීලී බව, අභියෝගවලට මුහුණදීමේ හැකියාව සහ සන්සුන් චින්තනය වර්ධනය කරන මානව හැඩගැස්මේ කර්මාන්තශාලාවයි. විධිමත් පාසල් පද්ධතියක් තුළ පන්ති කාමරයක උපරිම සිසුන් සංඛ්‍යාව 30ත් 40ත් අතර සීමා වන අතර, එමගින් ගුරුවරයාට සෑම සිසුවකු කෙරෙහිම පෞද්ගලික අවධානය යොමු කිරීමටත්, උපදේශනය සහ සෘජු නිරීක්ෂණය ලබාදීමටත් අවස්ථාව හිමි වේ. එමෙන්ම, විෂය නිර්දේශය පූර්ණ ලෙස ආවරණය කරමින් ප්‍රායෝගික පරීක්ෂණ සහ පැවරුම් මගින් සිසුවාගේ තර්කනය දියුණු කෙරේ. විෂය බාහිර ක්‍රීඩා සහ සංගම් හරහා පෞරුෂ වර්ධනය සිදුවන්නේ එහි අතුරු ඵලයක් ලෙසිනි.
ඊට හාත්පසින්ම වෙනස්ව, පෞද්ගලික උපකාරක පන්ති ශාලාවක දහස් ගණනක අතිවිශාල ශිෂ්‍ය සමූහයක් එකට අසුන්ගෙන සිටිති. එහිදී තනි සිසුවකු කෙරෙහි අවධානය යොමු කිරීමට ගුරුවරයාට කිසිදු ඉඩක් නොමැති අතර සිදුවන්නේ වේදිකාවක සිට සිදුකරන ඒකපාර්ශ්වික දේශනයක් ඇසීම හෝ විශාල පුළුල් තිර මගින් නැරඹීම පමණි. එහි උගන්වන්නේද පූර්ණ විෂය නිර්දේශය නොව, විභාග ඉලක්ක කරගත් කෙටි ක්‍රම, අනුමාන ප්‍රශ්න සහ විභාග සූත්‍ර පමණි. එහි ප්‍රතිඵලයක් ලෙස සිසුවාගේ පෞරුෂ වර්ධනය සම්පූර්ණයෙන්ම ඇණහිටින අතර, හුදෙක් විභාග ලකුණු ලබාගැනීමේ යාන්ත්‍රික තරගකාරිත්වයකට පමණක් දරුවා කොටුවේ.
රාජ්‍ය සම්පත් විනාශය සහ ගුරුවරුන්ගේ කලකිරීම
ජාතික අයවැයෙන් නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කෙරෙන බිලියන ගණනක මුදලින් සැලකිය යුතු කොටසක් වැයවන්නේ උසස් පෙළ අධ්‍යාපනය පවත්වාගෙන යාමටයි. සුපිරි විද්‍යාගාර, පරිගණක පද්ධති, නීතිමය හා භෞතික සම්පත් මෙන්ම උපාධිධාරී සහ පශ්චාත් උපාධිධාරී ප්‍රවීණ ගුරු මණ්ඩල පාසල් වෙත ලබා දී තිබේ. නමුත් 13 වසර පන්ති කාමර හිස්වීම නිසා මෙම රාජ්‍ය සම්පත් මුළුමනින්ම අපතේ යයි.
නවීන විද්‍යාගාර සහ පන්ති කාමර භාවිතයකින් තොරව දූවිලි බඳිද්දී, වසර ගණනාවක අත්දැකීම් සහිත ප්‍රවීණ ගුරුවරු පන්ති කාමරයට පැමිණි විට සිසුන් නොමැති වීම නිසා දැඩි මානසික බිඳවැටීමට ලක්වෙති. තමන්ගේ ශ්‍රමයට හා හැකියාවට සුදුසු ඇගයීමක් නොලැබෙන බව වටහාගන්නා ඇතැම් දක්ෂ ගුරුවරුන් කලකිරීමෙන් යුතුව රජයේ සේවයෙන් ඉවත් වීම හෝ විදේශගත වීම ජාතික තලයේ අර්බුදයකි. සිසුන් නොපැමිණෙන පන්ති වෙනුවෙන් රජයට ගුරු වැටුප් හා නඩත්තු පිරිවැය දැරීමට සිදුවීම ආර්ථිකමය වශයෙන් අතිවිශාල පාඩුවකි.
ව්‍යාජ වෛද්‍ය සහතික සහ පෞද්ගලික අයදුම්කරුවන්ගේ නීතිමය අර්බුදය
පාසලෙන් විභාගයට පෙනී සිටීම සඳහා 80%ක අවම පැමිණීම අනිවාර්ය කර තිබුණද, සිසුන් හා දෙමාපියන් එම නීතිය බිඳහෙළීමට විවිධ වංචනික ක්‍රමවේද භාවිත කරති. සහභාගිත්වය 80% සපූරා ගැනීමට නොහැකි වන සිසුහු මාස ගණනාවක් තිස්සේ තමන් අසනීපයෙන් පසුවූ බව දක්වමින් සිය හිතවත් වෛද්‍යවරුන් ලවා ව්‍යාජ වෛද්‍ය සහතික ලබා ගනිති. මෙය අධ්‍යාපන පද්ධතිය තුළ අසත්‍යය සහ වංචාව නීතිගත කිරීමක් වැනිය. පාසල් යන වයසේදීම නීතිය නමන්නට සහ ව්‍යාජ ලේඛන සෑදීමට දරුවන් හුරු වීම බරපතළ සමාජයීය ඛේදවාචකයකි.
තවත් සමහර සිසුන් 12 වසරෙන් පසු පාසල් ගමන මුළුමනින්ම අතහැර දමා පෞද්ගලික අයදුම්කරුවන් ලෙස විභාගයට ලියාපදිංචි වෙති. එමගින් පාසලේ විනය, අධීක්ෂණය සහ පද්ධතිය මුළුමනින්ම ගණන් නොගෙන කටයුතු කිරීමට ඔවුන්ට අවස්ථාව ලැබෙනු ඇත.
පද්ධතිය සුරැකීමට යෝජිත ප්‍රතිපත්තිමය විසඳුම්
මෙම අර්බුදය තවදුරටත් මඟහැර සිටීම යනු ජාතික අධ්‍යාපනයේ මරණ සහතිකය ලිවීමයි. එබැවින් වහාම ක්‍රියාත්මක වන පරිදි පහත සඳහන් දැඩි ප්‍රතිපත්තිමය සහ නීතිමය සංශෝධන හඳුන්වා දීම අත්‍යවශ්‍ය වේ.
• පළමු වර පෙනී සිටින්නන්ට පාසල් නියෝජනය අනිවාර්ය කිරීම:
ඕනෑම ශිෂ්‍යයකු තම පළමු වතාවේදී අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගයට පෙනී සිටිය යුත්තේ අනිවාර්යයෙන්ම රජයේ හෝ රජයේ අනුමත පෞද්ගලික පාසලක් මාර්ගයෙන් පමණි. පළමු වතාවේදී පෞද්ගලික අයදුම්කරුවකු ලෙස පෙනී සිටීමට ඇති ඉඩකඩ අහෝසි කළ යුතුය. එමගින් සෑම සිසුවකුම වසර දෙකක පාසල් කාලය සම්පූර්ණ කිරීමට නීතියෙන් බැඳී සිටියි.
• වෛද්‍ය සහතික නිකුත් කිරීම සහ භාරගැනීම විධිමත් කිරීම:
අසනීපයක් හේතුවෙන් පාසලට පැමිණීමට නොහැකි වන සිසුවකු සුවය ලැබූ වහාම, පසුදාම පාසලට පැමිණෙන විට වෛද්‍ය සහතිකය විදුහල්පතිවරයා වෙත ඉදිරිපත් කිරීම අනිවාර්ය කළ යුතුය. මාස ගණනාවකට පසු අතීත දින යොදා ලබාගන්නා පසු දාතම යෙදූ වෛද්‍ය සහතික (Backdated Medical Certificates ) මුළුමනින්ම ප්‍රතික්ෂේප කළ යුතුය. දීර්ඝකාලීන අසනීප සඳහා රජයේ රෝහලකින් හෝ ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී (MOH) කාර්යාලයකින් ලබාගන්නා ලද නිල සහතික පමණක් බලපැවැත්වෙන පරිදි නීති දැඩි කළ යුතුය.
• පාසල් කාලසටහන සහ විෂය ක්‍රමවේදය යාවත්කාලීන කිරීම:
අධ්‍යාපන අමාත්‍යාංශය මගින් උසස් පෙළ පන්තිවල ඉගෙනුම් ක්‍රමවේදය සක්‍රීය එකක් කළ යුතුය. හුදෙක් දේශන පැවැත්වීම වෙනුවට ප්‍රායෝගික ව්‍යාපෘති, සාකච්ඡා සභා සහ විභාග වැඩමුළු පාසල තුළම සංවිධානය කිරීමෙන් සිසුන් පාසල වෙත ආකර්ෂණය කරගත හැකිය.
උසස් පෙළ යනු හුදෙක් විශ්වවිද්‍යාල වරම් ලබන තරග විභාගයක් පමණක් නොවේ. එය රටකට අවශ්‍ය විනයගරුක, බුද්ධිමත්, කණ්ඩායම් හැඟීමක් සහිත සහ නායකත්ව ගුණාංගවලින් පිරිපුන් පුරවැසියන් බිහිකරන අද්විතීය සංක්‍රාන්ති සමයයි.
ටියුෂන් සංස්කෘතිය විසින් සිසුන්ව යාන්ත්‍රික ලකුණු සොයන්නන් බවට පත්කර ඇති අතර, පාසල් පද්ධතිය බිඳවැටීමට ඉඩහැරීමෙන් අලාභ වන්නේ මුළු මහත් ජාතියටමය. රජය විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි නීති රීති තද කරමින්, පාසල් පද්ධතියේ ගෞරවය නැවත ස්ථාපිත නොකළහොත්, නුදුරු අනාගතයේදී අපට ඉතිරි වන්නේ ගොඩනැගිලි පමණක් ඇති, හිස් වූ පාසල් පද්ධතියකි. එබැවින්, මෙම යෝජිත ප්‍රතිසංස්කරණ වහා ක්‍රියාත්මක කිරීම අධ්‍යාපන බලධාරීන්ගේ මෙන්ම සමස්ත සමාජයේම නොපසුබස්නා වගකීමකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd