ග්‍රාමීය කෘෂිකාර්මික සමාජය තුළ පවතින, එකිනෙකට බෙහෙවින් වෙනස් තත්ත්ව දෙකක් තිබේ. පළමුවැන්න වන්නේ කෘෂිකර්මයෙන් තවදුරටත් ප්‍රමාණවත් ශුද්ධ ආදායමක් නොලැබීම නිසා දක්ෂ ගොවියෙක් දුප්පත් වීමයි. දෙවැන්න වන්නේ ජීවනෝපාය සඳහා තිබෙන සීමිත විකල්ප අතරින් කෘෂිකර්මය තෝරාගැනීමට සිදුවීම නිසා දිළිඳු පුද්ගලයකු ගොවිතැන් කිරීමයි (මෙය කිසිසේත් දරිද්‍රතාවෙන් පෙළෙන පුද්ගලයෙකු අවමානයට ලක් කිරීමට ලියුවක් නොවේ). මේ දෙපාර්ශ්වයටම තම ජීවනෝපාය සඳහා රාජ්‍ය සහාය අවශ්‍යය. එහෙත් ඒවා එක සමාන ප්‍රතිපත්ති තලයක තබා කටයුතු නොකළ යුතුය. ශ්‍රී ලංකාව දිළිඳුකම අවම කිරීම සහ කෘෂිකාර්මික සංවර්ධනය එකම වේදිකාවක පවතින ලෙස සලකා කටයුතු කළහොත්, අවසානයේ දෙකෙන් එකක්වත් නිසි ලෙස ඉටු නොවීමේ අවදානමකට පත්වනු ඇත. දැනටමත් අපි ඉගෙන ගෙන ඇති පාඩම එයයි.

ආහාර සඳහාත් අමතර ආදායමක් සඳහාත් කුඩා බිම් කොටසක් වගා කරන අවදානමට ලක්වූ පවුලකට එමගින් තම ඔරොත්තු දීමේ හැකියාව වැඩි කරගත හැකිය. එහෙත් ජාතික ආහාර සුරක්ෂිතතාව සඳහා ඊට වැඩි යමක් අවශ්‍යය. එනම්, අඛණ්ඩව වෙළෙඳපොළට ප්‍රමාණාත්මක මෙන්ම ගුණාත්මක නිෂ්පාදනයක් සපයන ගොවීන්ය. උදාහරණයක් ලෙස, කෘෂිකර්මයේ නිරත නොවන මිලියන ගණනක ජනතාව පරිභෝජනය කරන සහල් සැපයීම රඳා පවතින්නේ එවැනි නිෂ්පාදකයන් මතය. එබැවින් ප්‍රතිපත්ති මගින් අවදානමට ලක්වූ ගොවීන් ආරක්ෂා කරන අතරම, කාර්යක්ෂම හා වාණිජමය අරමුණින් නිෂ්පාදනය කරන ගොවීන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් තවදුරටත් ශක්තිමත් කළ යුතුය. මෙය තවදුරටත් විග්‍රහ කිරීමට වී වගාව උදාහරණයක් ලෙස ගනිමු.

නිල දත්ත මගින් ජාතික වී නිෂ්පාදන ක්‍රියාවලියේ පරිමාණය පැහැදිලි වේ. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවට අනුව 2025/26 මහ කන්නයේ දළ වශයෙන් හෙක්ටාර 769,700ක වී වගා කර ඇති අතර, ඉන් අස්වැන්න නෙළා ඇති වපසරිය හෙක්ටාර 691,690කි. එම මහ කන්නයේ වී නිෂ්පාදනය මෙට්‍රික් ටොන් මිලියන 3.134ක් වූ අතර, හෙක්ටාරයක සාමාන්‍ය අස්වැන්න කිලෝග්‍රෑම් 4,531ක් විය. 2026 වසරේ සමස්ත අස්වනු පිළිබඳව සලකා බැලීමට 2026 යල කන්නයේ අවසාන අස්වනු දත්ත මෙතෙක් නිල වශයෙන් නිකුත් වී නොමැති නමුත්, 2025 යල කන්නයේ අස්වනු නෙළූ වපසරිය හෙක්ටාර 485,002ක් වූ අතර, නිෂ්පාදනය මෙට්‍රික් ටොන් මිලියන 2.308ක් සහ හෙක්ටාරයක සාමාන්‍ය අස්වැන්න කිලෝග්‍රෑම් 4,760ක් විය.

වී නිෂ්පාදන ඵලදායිතාවයේද සැලකිය යුතු වෙනස්කම් වෙමින් පවතී. 2025 යල කන්නයේ මහා වාරිමාර්ග යටතේ සාමාන්‍ය අස්වැන්න හෙක්ටාරයකට කිලෝග්‍රෑම් 5,175ක් වූ අතර, සුළු වාරිමාර්ග යටතේ එය කිලෝග්‍රෑම් 4,300ක් සහ වර්ෂාපෝෂිත තත්ත්ව යටතේ කිලෝග්‍රෑම් 3,471ක් විය. 2025/26 මහ කන්නයේ එම අගයන් පිළිවෙළින් හෙක්ටාරයකට කිලෝග්‍රෑම් 5,324, 4,188 සහ 3,526 විය. සෑම හෙක්ටාරයක්ම සහ සෑම ගොවියකුම සමාන ලෙස සැලකීම දේශපාලනික වශයෙන් පහසු විය හැකි නමුත්, විද්‍යාත්මක පසුතලය තුළ, කෘෂිකර්මාන්තයේ ඵලදායිතාව වැඩි කිරීමට එය දුර්වල ප්‍රවේශයක් වේ.

දිළිඳුකම සැබෑ ගැටලු‍වකි “ එය අවම කිරීමට නිවැරදි මෙවලමක් අවශ්‍යය

ආර්ථික සංවර්ධනය සැලකීමේදී, ශ්‍රී ලංකාවේ පවුල්වල ආර්ථික අවදානම සහ ජීවන තත්ත්වය පිළිබඳව මනා අවධානයක් යොමු කළ යුතුය. ලෝක බැංකුව ඇස්තමේන්තු කළ පරිදි, 2024 දී ජනගහනයෙන් 24.5%ක්, දිනකට එක් පුද්ගලයකුට ඇමෙරිකානු ඩොලර් 3.65ක (2021 ppp) වන දිළිඳුකමේ සීමාවට පහළින් සිටි අතර, එය 2019 දී ශ්‍රී ලංකාව තුළ දිළිඳුකමේ සීමාවට පහළින් සිටි ජනගහන ප්‍රතිශතය හා සැසඳීමේදී දෙගුණයකට ආසන්න වේ. එමෙන්ම 2021 සිට 2024 දක්වා ශ්‍රී ලංකාවේ ආහාර මිල දෙගුණයකට වඩා වැඩි වී තිබුණි. දිළිඳුකම අවම කිරීම අනිවාර්ය ප්‍රමුඛතාවක් බව සැබෑවකි. එහෙත් දිළිඳුකම අඩු කිරීමට භාවිත කරන ප්‍රතිපත්තිමය මෙවලම, ජාතික සහල් නිෂ්පාදනය වැඩි කිරීමට හෝ ජාතික කෘෂිකාර්මික සංවර්ධනයේ ප්‍රගතිය මැනීමට භාවිත කරන මෙවලමම විය යුතු නැත.

දරිද්‍රතාවෙන් පෙළෙන පවුලකට ආහාර, රැකියා සහ අමතර ආදායම් මාර්ගයක් ලබා දීමට රජයට මැදිහත් විය හැක. එවැනි පවුල් සඳහා සමාජ ආරක්ෂණය, ජීවනෝපාය විවිධාංගීකරණය වැනි දේ සැපයීම සඳහා රාජ්‍ය ප්‍රතිපත්තිය සහාය විය යුතුය. එහෙත් දිළිඳු පුද්ගලයකුගේ රැකියාව “ගොවියා” ලෙස වෙනස් කිරීමෙන් පමණක් තිරසාර ජීවනෝපායක් නිර්මාණය නොවේ. ඉඩම ඉතා කුඩා නම්, වාරි පහසුකම් දුර්වල නම්, ප්‍රාග්ධනය හිඟ නම්, විද්‍යාත්මක කෘෂිකාර්මික දැනුම දුර්වල නම් සහ වෙළෙඳපොළ සම්බන්ධතා නොමැති නම්, කෘෂිකර්මය දුප්පත්කමෙන් මිදෙන මාර්ගයක් වෙනුවට දුප්පත්කම පවත්වාගෙන යන ස්ථානයක් බවට පත්විය හැකිය.

සාර්ථක ගොවියා පහත නොහෙළන්න

ආහාර සුරක්ෂිතතාව සඳහා යන ගමනේ වඩාත්ම භයානක අවස්ථාව වන්නේ සාර්ථක ගොවියා දුප්පත් වීමය. වී ගොවියකුට බිම් සකස් කිරීම, බිත්තර වී නිෂ්පාදනය හෝ මිලදී ගැනීම, පෝෂක සැපයීම, භෝග ආරක්ෂණය, යන්ත්‍රෝපකරණ, ඉන්ධන, ශ්‍රමය, අස්වනු නෙළීම සහ ප්‍රවාහනය සඳහා මුදල් යෙදවීමට සිදුවන අතර, ඒ සමඟ දේශගුණික, ජෛවීය සහ වෙළෙඳපොළ අවදානම්ද දැරීමට සිදුවේ. ශ්‍රී ලංකා රජය විසින් විශේෂයෙන් රැකගත යුතු නිෂ්පාදකයා වන්නේ හෙක්ටාරයකින් වී මෙට්‍රික් ටොන් හයක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් කාර්යක්ෂමව නිෂ්පාදනය කර, එම නිෂ්පාදනයෙන් සැලකිය යුතු ප්‍රමාණයක් වෙළෙඳපොළට සපයන ගොවියාය. සාධාරණ ලාභදායිත්වයක් පැවතීමෙන් කෘෂිකර්මයේ නිෂ්පාදන ධාරිතාව රැකෙන අතර, එය තාක්ෂණය, ආයෝජනය සහ ඊළඟ පරම්පරාවද ක්ෂේත්‍රයට ආකර්ෂණය කරගැනීමට ඉවහල් වනු ඇත.

වී කිලෝග්‍රෑම් එකක් රු. 120 -සහල් කිලෝග්‍රෑම් එකක් රු. 230

2026 දී මහ සහ යල අස්වනු දෙක සඳහාම වී අලෙවි මණ්ඩලය මගින් නියමිත ප්‍රමිතියට අනුකූල නාඩු වී සඳහා අවම මිලදී ගැනීමේ මිල කිලෝග්‍රෑම් එකකට රු. 120ක් ලෙස පවත්වාගෙන යන අතර, සම්බා සඳහා මිල රු. 130ක් සහ කීරි සම්බා සඳහා මිල රු. 140ක් වේ. වෙළෙඳපොළ තුළ පවතින, රජය මගින් තීරණය කළ දේශීය සහල් සඳහා උපරිම සිල්ලර මිල නාඩු කිලෝග්‍රෑම් එකකට රු. 230ක්, සම්බා සඳහා රු. 240ක් සහ කීරි සම්බා සඳහා රු. 260ක් වන අතර, දේශීය කැකුළු සහල් සඳහා එය රු. 220ක් වේ.

මෙම වී සහ සහල් අතර මිල පරතරය හුදෙක් “මෝල් හිමියාගේ ලාභය” නොවේ. වී කිලෝග්‍රෑම් එකක් සහල් කිලෝග්‍රෑම් එකක් බවට පත්වීමේදී, ශ්‍රී ලංකාවේ සහල් මෝල් කර්මාන්තය පිළිබඳ තාක්ෂණික ඇගයීම්වලට අනුව, ප්‍රායෝගිකව ළඟා විය හැකි පරිවර්තන අනුපාතය 62.5%ක් පමණ වේ. එනම් සහල් කිලෝග්‍රෑම් එකක් නිෂ්පාදනය කිරීමට වී කිලෝග්‍රෑම් 1.6ක් පමණ අවශ්‍ය වේ. ධාන්‍යවල ගුණාත්මය සහ යොදාගන්නා තාක්ෂණය අනුව සැබෑ සාමාන්‍ය අගයන් වෙනස් විය හැකිය.

මේ අනුව, නාඩු වී කිලෝග්‍රෑම් එකක් රු. 120කට විකුණන්නේ නම්, අතුරු නිෂ්පාදනවල වටිනාකම සැලකිල්ලට ගැනීමටත්, වියළීම, ගබඩා කිරීම, පෑහීම, මූල්‍ය පිරිවැය, ප්‍රවාහනය, ඇසුරුම්කරණය, වාහනවලට පැටවීම සහ ඉන් බාගැනීම, සහ බෙදාහැරීමේ වියදම් එකතු කිරීමටත් පෙර, සහල් කිලෝග්‍රෑම් එකක් සඳහා වන වීවල පිරිවැය පමණක් රු. 192ක් පමණ වේ. එබැවින්, ගොවියා, එකතුකරන්නා, මෝල් හිමියා, ප්‍රවාහන කටයුතු, තොග වෙළෙන්දා සහ සිල්ලර වෙළෙන්දා අතර වටිනාකම බෙදී යන ආකාරය පැහැදිලි කරන, ස්වාධීනව යාවත්කාලීන කරන විනිවිදභාවයකින් යුත් වී-සහල් අගය දාම ගණනය කිරීමක් ශ්‍රී ලංකාවට අවශ්‍ය වේ.

සහනාධාරයෙන් නිෂ්පාදන ධාරිතාව ආරක්ෂා කළ යුතුය

2026 යල කන්නය සඳහා වී වගාවේ පොහොර මුදල් සහනාධාරය හෙක්ටාරයට රු. 30,000 වන අතර, එය එක් ගොවියකුට උපරිම හෙක්ටාර දෙකකට සීමා වේ. ඒ අනුව උපරිම ගෙවීම රු. 60,000කි. මෙය වැදගත් සහායකි. එහෙත් එම සීමාව සාධාරණ ප්‍රතිපත්තිමය ගැටලු‍වක් මතු කරයි. සාර්ථක ගොවියකු හෙක්ටාර දෙකකට වඩා වගා කර වැඩි නිෂ්පාදන ප්‍රමාණයක් වෙළෙඳපොළට සපයන්නේ නම්, ඔහුගේ හෝ ඇයගේ වැඩිවන වගා වපසරියට ලබා දෙන සහන සීමා කළ යුතු ද?

මෙයින් අදහස් කරන්නේ විශාල ඉඩම් හිමියන්ට සීමාවකින් තොර සහනාධාර ලබාදිය යුතු බව නොවේ. අවශ්‍ය වන්නේ සමාජ සහාය සහ නිෂ්පාදන දිරිගැන්වීම් අතර වෙනස හඳුනාගැනීමයි. අවදානමට ලක්වූ ගොවීන්ට වඩාත් ඉලක්කගත සහායක් අවශ්‍ය විය හැකිය. වාණිජ නිෂ්පාදකයන්ට වෙනස් වූ සහාය පැකේජයක් අවශ්‍යය. එය විශ්වසනීය ගුණාත්මයෙන් යුත් යෙදවුම්, ණය පහසුකම්, යාන්ත්‍රිකරණයට මගපෙන්වීම් සහ පහසුකම්, වාරි ජල කාර්යක්ෂමතාව වැඩි කරන තාක්ෂණ, ඵලදායි ව්‍යාප්ති සේවා, ගබඩා පහසුකම්, පුරෝකථනය කළ හැකි වෙළෙඳපොළ සහ අවදානම් කළමනාකරණය සඳහා මාර්ගෝපදේශවලින් සමන්විත විය හැක. ඵලදායිතා වර්ධනය, සම්පත් භාවිතයේ කාර්යක්ෂමතාව, දේශගුණයට ඔරොත්තු දීමේ හැකියාව සහ වෙළෙඳපොළට සපයන නිෂ්පාදන සඳහා තිරසාර ලෙස ප්‍රතිලාභ ලබන ආකාරයට එය සැලසුම් කළ යුතුය.

එක් ව්‍යසනයකින් සාර්ථක ගොවියකු දුප්පතකු වීම වළක්වමු

කෘෂිකාර්මික රක්ෂණය වෘත්තීයමය ගොවිතැනේ අත්‍යවශ්‍ය අංගයක් විය යුතුය. සාර්ථක ගොවියකු විශාල මුදලක් ආයෝජනය කර, බෝගය හොඳින් කළමනාකරණය කළත්, ගංවතුර, නියඟය හෝ රක්ෂණයට යටත් වෙනත් ව්‍යසනයක් හේතුවෙන් එම ආයෝජනයේ වැඩි කොටස ඔහුට හෝ ඇයට අහිමි විය හැකිය. තාවකාලික නිෂ්පාදන පාඩුවක් සහ ණය බරට ඇද වැටීමක් අතර වෙනස තීරණය කරන්නේ රක්ෂණ ආවරණයේ ප්‍රමාණවත් බව විය හැකිය.

ශ්‍රී ලංකාවේ රජයේ සහාය ලබන බෝග රක්ෂණ ක්‍රමය යටතේ, වී වගාවේ උපරිම අක්කර 5ක් සඳහා, අක්කරයට රු. 40,000 (හෙක්ටාරයට රුපියල් 100,000) දක්වා ආවරණයක් ලබා දී ඇති අතර, මෙම නොමිලේ ලබා දෙන රක්ෂණ වැඩපිළිවෙළ යටතේ ගොවියාගේ රක්ෂණ වාරිකය රජය විසින් දරා ඇත. මෙම මූලික ආරක්ෂණ මට්ටම, විශේෂයෙන් අවදානමට ලක්වූ ගොවීන් හට වටී. එහෙත් “රක්ෂණය වී ඇත” යන්න “ප්‍රමාණවත් ලෙස රක්ෂණය වී ඇත” යන්නට සමාන නොවේ. නිෂ්පාදන වියදම් සහ ආර්ථික අවදානම වෙනස් වන බැවින් රක්ෂිත වටිනාකමද ඒ අනුව සමාලෝචනය කළ යුතුය.

වඩා ශක්තිමත් ක්‍රමයක් වන්නේ රජයේ සහාය ලබන මූලික රක්ෂණ ආවරණයක් පවත්වාගෙන යන අතරම, වැඩි වටිනාකමක් සහිත අතිරේක ආවරණයක් මිලදී ගැනීම සඳහා ගොවීන් දිරිගැන්වීමයි. උදාහරණයක් ලෙස, කෘෂිකාර්මික සහ ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් හඳුන්වා දී ඇති විශේෂිත වාණිජ රක්ෂණ වැඩසටහන් යටතේ, ඉහළ වටිනාකමකින් යුත් බිත්තර වී නිෂ්පාදන ගොවිපොළවලට අක්කරයට රු. 180,000ක වැඩි කළ වන්දි මුදලක් ලබා ගත හැකි අතර, ඒ සඳහා අක්කරයකට රු. 13,600ක රක්ෂණ වාරිකයක් ගෙවීම අවශ්‍ය වේ. ඉහළ රක්ෂණ ආවරණයක් ලබා ගැනීම සඳහා අනිවාර්යයෙන්ම ඉහළ වාරිකයක් ගෙවිය යුතුය. වාණිජමය අරමුණින් ගොවිතැන් කරන ගොවීන් වැඩි ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා සාධාරණ අතිරේක වාරිකයක් ගෙවීමට සූදානම් විය යුතු අතර, ජාතික ආහාර සුරක්ෂිතතාව සඳහා නිෂ්පාදන ධාරිතාව පවත්වා ගැනීම වැදගත් වන අවස්ථාවලදී රජයට ඉලක්කගත වාරික සහායක් සලකා බැලිය හැකිය. රක්ෂිත මුදල හුදෙක් ආපදා පසු-සහන මුදලක් ලෙස නොව, සැබෑ නිෂ්පාදන ආයෝජනය සහ යථාර්ථවාදී ආර්ථික අවදානම පිළිබිඹු කරන ලෙස ක්‍රමයෙන් සකස් කළ යුතුය.

අවදානම අඩු කිරීමට දිරිගැන්වීමක් ලෙසද රක්ෂණය සැලකිය හැක. තහවුරු කළ ජල සැපයුම් ක්‍රම, ජල කළමනාකරණය, දේශගුණයට ඔරොත්තු දෙන ප්‍රභේද යොදා ගැනීම සහ වෙනත් යහපත් කෘෂිකාර්මික පිළිවෙත් අනුගමනය කිරීම රක්ෂණ ආවරණය හා වාරික තීරණය කිරීමේදී ක්‍රමයෙන් සැලකිල්ලට ගත හැකිය. රක්ෂණය ඊයේ සිදුවූ පාඩුවට වන්දි ගෙවීමට පමණක් නොවිය යුතුය. සාර්ථක ගොවියකුට එමගින් හෙට නැවත වගා කිරීමට ප්‍රමාණවත් මූල්‍ය ආරක්ෂාවක්ද ලබා දිය යුතුය. එක් විනාශකාරී කන්නයකින් සාර්ථක ගොවියකු දුප්පත් වීම වැළක්විය හැක්කේ එලෙසය.

මාර්ග දෙකක් එකම අරමුණක්

ශ්‍රී ලංකාවේ ඉදිරි ගමනට එකිනෙකට අනුපූරක ප්‍රතිපත්ති මාර්ග දෙකක් අවශ්‍යය. පළමුවැන්න, දරිද්‍රතාවෙන් පෙළෙන අවදානමට ලක්වූ ග්‍රාමීය පවුල් ආරක්ෂා කර ඔවුන් තිරසාර ආදායම් මට්ටම් කරා ගෙන යන දිළිඳුකම තුරන් කිරීම සහ ජීවනෝපාය දියුණු කිරීම කේන්ද්‍ර කරගත් ප්‍රතිපත්ති මාර්ගයකි. දෙවැන්න, විශ්වසනීය වාණිජ නිෂ්පාදනයක් පවත්වාගත හැකි ගොවීන් ශක්තිමත් කරන ආහාර නිෂ්පාදනය සහ තරගකාරීත්වය කේන්ද්‍ර කරගත් ප්‍රතිපත්ති මාර්ගයකි.

ගොවි සංවිධාන සහ නිෂ්පාදන ඒකරාශීකරණය මගින් මෙම ප්‍රතිපත්ති මාර්ග දෙක යා කරන පාලමක් ගොඩනැගිය හැකිය. එක් එක් ඉඩම් කොටස කුඩා වීම නිසාම කුඩා ගොවීන් යැපුම් මට්ටමේ නිෂ්පාදකයන් ලෙසම රැඳී සිටිය යුතු නැත. මනාව සම්බන්ධීකරණය කළ නිෂ්පාදනය, යාන්ත්‍රිකරණ සේවා, සාමූහික යෙදවුම් මිලදී ගැනීම, වාරි කළමනාකරණය, ගබඩා කිරීම සහ සංවිධානාත්මක අලෙවිකරණය මගින් සෑම ගොවියකුටම විශාල ගොවිපළක් හිමි නොවී වාණිජ පරිමාණයක් නිර්මාණය කළ හැකිය. හැකි සෑම අවස්ථාවකදීම කුඩා ගොවීන් ඵලදායී වාණිජ ගොවීන් බවට පත් කිරීමට උපකාර කිරීම අරමුණ විය යුතුය.

ආහාර සුරක්ෂිතතාවට සෞභාග්‍යමත් ගොවීන් අවශ්‍යය

පාරිභෝගිකයාට දරාගත හැකි මිලට සහල්, ගොවියාට ජීවනෝපාය ඉහළ නැංවීමට ඉහළ වී මිලක්, සැකසුම්කරුවන්ට ප්‍රමාණවත් ලාභ සහ රජයට අඩු මූල්‍ය පිරිවැයක් යන මේ සියල්ල එකවර පොරොන්දු වීම දේශපාලනික වශයෙන් ආකර්ෂණීය විය හැකිය. එහෙත් ආර්ථික විද්‍යාව අනුව මේ සියල්ල දිගුකාලීනව එකවර පවත්වාගෙන යා නොහැකිය. තිරසාර ප්‍රතිපත්තියකින් යුතුව කෘෂිකාර්මික ඵලදායිතාව ඉහළ නැංවිය යුතුය; වළක්වා ගත හැකි වියදම් හා පාඩු අවම කළ යුතුය; තරඟකාරීත්වය වැඩි කළ යුතුය. ඒ අතර ප්‍රමාණවත් ආහාර මිලදී ගැනීමට නොහැකි පවුල් සමාජ ආරක්ෂණ ක්‍රියාවලියක් තුළින් රැකගත යුතුය.

ශ්‍රී ලංකාවේ ගොවිතැන් කරන දුප්පත් ජනතාවට අනිවාර්යයෙන්ම රජය මගින් උපකාර කළ යුතුය. එහෙත් දක්ෂ සාර්ථක ගොවීන් දුප්පත් වීම වැළැක්වීමටද ඒ තරමටම අධිෂ්ඨානශීලී විය යුතුය. සාර්ථකත්වය මැනිය යුත්තේ අවදානමට ලක්වූ ගොවීන් දුප්පත්කමෙන් මිදෙමින් සිටිනවාද, ඵලදායී ගොවීන් වඩාත් තරගකාරී හා ඔරොත්තු දෙන අය බවට පත්වෙමින් සිටිනවාද, සහ පාරිභෝගිකයන්ට ස්ථාවර හා දැරිය හැකි මිලකට ආහාර සැපයුමක් ලැබෙනවා ද යන්නෙනි. රටේ ප්‍රධාන අරමුණ විය යුත්තේ ජාතියට ආහාර සපයමින්, සාර්ථක ගොවීන්ට සෞභාග්‍යමත් විය හැකි වෘත්තියක් බවට ගොවිතැන පත් කිරීමය.