(ජයන්ත සමරකෝන්)

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අද (04) එක්දින සංකේත වැඩ වර්ජනයක නිරතවූ රජයේ ඒකාබද්ධ නිලධාරීන්ගේ කමිටුවේ නියෝජිතයින් හා රාජ්‍ය පරිපාලන අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා අතර එම අමාත්‍යාංශයේ පැවැති  සාකච්ඡාවකින් පසු සිය වෘත්තීය ක්‍රියාමාර්ගයෙන් ඉවත් වූ බව එහි ලේකම් එච්.ඒ.එල් උදයසිරි මහතා පැවැසීය.

රටපුරා 30000 ක් පමණ විධායක නිලධාරීහු මෙම වැඩ වර්ජනයට එක්වූ අතර දෙදහසක් පමණ දෙනා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ඉදිරියට රැස්වී අද පැය හතරක් තිස්සේ විරෝධතාවයේ නිරත වූ බව ඒ මහතා පැවැසීය.

එහිදී සිය නියෝජිතයින් හත් දෙනෙකු සමඟ අමාත්‍යාංශ ලේකම්වරයා සාකච්ඡාවකට සම්බන්ධ වූ බවද වැටුප් වැඩිවීම් සහ උසස්වීම් පිළිබඳව ගැටලු සඳහා කඩිනම් විසඳුම් ලබාදෙන බවට පොරොන්දු වූ බවද ඒ පිළිබඳව ඉදිරි ක්‍රියාමාර්ග සතියක් ඇතුළත නොගත හොත් අඛණ්ඩ වැඩවර්ජනයක් ආරම්භ කරන බවද හෙතෙම සඳහන් කළේය.

දේශීය ආදායම් සේවා සංගමය , ඉංජිනේරු සංගමය, අධ්‍යාපන පරිපාලන සංගමය,මිනින්දොරු සංගමය ඇතුළු වෘත්තිය සමිති 17 ක නියෝජිතයෝ මේ සඳහා සහභාගි වූහ.