(අජන්ත කුමාර අගලකඩ)

මහ මැතිවරණයකදී 50% වඩා වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබාගන්නා පක්ෂයකට වැඩි බහුතරයක් ලැබෙන මැතිවරණ ක්‍රමයක් කල්තියාම නිර්මාණය කළ යුතුවන අතර සුළුතර කණ්ඩායම් වලට නිසි නියෝජනයක් ලැබෙන බවට සහතික විය හැකි යයි පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභාව සිය වාර්තාවෙන් නිර්දේශ කර ඇත.

ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීමට ස්ථාවර රජයක් අත්‍යවශ්‍ය බවද එම වාර්තාවේ සඳහන් වේ.

මැතිවරණයට නාමයෝජනා පත්‍ර ඉදිරිපත් කරන ප්‍ර දේශයෙන් සුළුතර කණ්ඩායම් වල අපේක්ෂකයන් සංඛ්‍යාවක් දේශපාලන පක්ෂ වලට සිටියයුතු යයිද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වෙනත් පක්ෂයකට බැඳීම තහනම් කළ යුතු යයිද කොමිසම නිර්දේශ කර ඇත.

සෑම ඡන්දදායකයකුම තම ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා නීතිමය ප්‍රතිපාදන සැකසිය යුතු බවත් එසේ කිරීමට අපොහොසත් වීම දඩයකට යටත් විය හැකි බවත් කොමිශන් සභාව නිර්දේශ කර ඇත.

ඉකුත් යහපාලන රජය පිහිටුවීමේදී හා පවත්වාගෙන යාමේදී මුස්ලිම් දේශපාලන පක්ෂ නිරූපනය කළ වැදගත් භූමිකාව අයි. එස්. සංවිධානයෙන් එල්ලවන තර්ජන කෙරෙහි රජය දක්වන ප්‍රතිචාරය හැඩ ගැස්වීමට ඉවහල් වී ඇති බව කොමිෂන් සභා වාර්තාවේ සඳහන් වේ.