(ළහිරු හර්ෂණ)

අනාගත පරපුර වෙනුවෙන් පරිසරය ආරක්ෂා කිරීම රජය වගකීමක් කොට සළකන බව තරුණ හා ක්‍රීඩා අමාත්‍ය, ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසයි.

මෙරට පළමු වතාවට රාජ්‍ය අනුග්‍රහයෙන් නිර්මාණය වූ  බත්තරමුල්ල ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු සංකීර්ණය අසළ පිහිටි “ජාතික සඳුන් අරණ” ජාතියට තිළිණ කරමින් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මේ බව අවධාරණය කළේය.

ශ්‍රී ලංකාවේ අති දුර්ලභ රත් සඳුන් ශාක 300 ක් සහ සුදු සඳුන් ශාක 900 කින් මෙම උද්‍යානය අලංකාර වේ. මෙය ජනතාවට නොමිලේම නිදහස, විවේකය, හුදකලාව සහ විවිධත්වය අත්විදීමට හැකි අපූරු නවාතැනකි.  

ව්‍යායාම කිරීම‍, භාවනා කිරීම, යෝග ව්‍යායාම ඇතුළු වැඩසටහන් රැසකට  සුදුසු වන පරිසරයක් ද මෙහි නිර්මාණය කර තිබේ.

කාර්ය බහුල ජීවිතයෙන් මිදී පවුලේ සාමාජිකයින් සමඟ විවේකීව නිදහසේ කාලය ගත කිරීමට සුදුසු පරිදි සකසා ඇති මෙහි, පිරිසිදු ආහාරපාන ලබා ගැනීමට අවන්හල්, සනීපාරක්ෂක පහසුකම් මෙන්ම වාහන 60ක් නැවතා තැබිය හැකි රථ ගාලක් ද තිබේ.

පොකුණු දෙකක් මැදින්  ප්‍රවේශය තනා ඇති උද්‍යානය සෞම්‍ය ආලෝක රටාවන්ගෙන් රාත්‍රියේ දී විචිත්‍රවත් වේ. එහි තිබෙන උස් වේදිකාව සංගීත සංදර්ශණ හා සංස්කෘතික උළෙලවල් හා විවිධ සංදර්ශන පැවැත්වීම සඳහා යොදා ගත හැකි ය.

අදියර දෙකක් යටතේ ක්‍රියාත්මක වූ මෙම ව්‍යාපෘතියට පළමු අදියරේ දී රුපියල් මිලියන 132ක් සහ දෙවන අදියර යටතේ රු.මි 162ක් වැය කරනු ලබයි. ඒ අනුව සමස්ත ව්‍යාපෘතිය සඳහා රජය ආයෝජනය කරන මුදල රුපියල් මිලියන 294කි.