(සුජිත් හේවාජුලිගේ)

අරමුණු ඉටු නොකෙරෙන ව්‍යවස්ථාපිත රාජ්‍ය අරමුදල් රැසක් ඈවර කිරීමට හෝ වෙනත් අරමුදල් සමග ඒකාබද්ධ කිරීමට තීරණය කර ඇතැයි මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා පැවසීය.

අගමැති ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පත් කෙරුණු කමිටුවක් මේ සම්බන්ධයෙන් සමාලෝචනය කර වාර්තාවක් ඉදිරිපත් කර ඇත.

එම වාර්තාව පදනම් කරගෙන ඈවර කිරීම හෝ ඒකාබද්ධ කිරීම සිදුකෙරෙන බව නියෝජ්‍ය අමාත්‍යවරයා කීය.

ඇතැම් අරමුදල් ඒවා පිහිටවූ අරමුණුවලින් බැහැරව කටයුතු කරන ආකාරයක් පෙනී ගොස් ඇතැයි පැවසූ අනිල් ජයන්ත මහතා මේ අන්දමින් කටයුතු කළ ශ්‍රම වාසනා අරමුදල ඈවර කෙරෙන බවද ප්‍රකාශ කළේය.

කම්කරු අමාත්‍යංශය යටතේ පවත්වාගෙන එන මෙම ශ්‍රම වාසනා ආරම්භ කළ 1998 ශ්‍රම වාසනා අරමුදල් පනත අනුව පිහිටවනු ලැබූවකි.

ශ්‍රම වාසනා අරමුදල මගින් පසුගිය කාලයේදී පාසල් දරුවන්ට පාසල් බෑග් ඇතුළු උපකරණ ලබාදීම් සඳහාද රුපියල් කෝටි ගණනක මුදලක් වැය කර ඇති බව එම කමිටු විමර්ශනවලදී තොරතුරු හෙළි වී ඇත.

රාජ්‍ය මූල්‍ය කළමනාකරණය සහ මූල්‍ය ඒකාග්‍රතාවය වෙනුවෙන් රජය මෙම පියවර ගෙන ඇතැයි මුදල් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.