(යොහාන් භාසුර)

‘සියයක් නගර’ ව්‍යාපෘතිය යටතේ රුපියල් කෝටි 200 ක් වැයකරමින් නගර 100 ක් එකවර සංවර්ධනය කිරීමට රජය තීරණය කර තිබේ.

වසර ගණනාවකින් සංවර්ධනය නොවූ නගර 100 ක් මේ සඳහා තෝරාගැනීමට නියමිත අතර එක නගරයකට රුපියල් කෝටි දෙක බැගින් වෙන්කිරීමට නියමිතය.

මෙහිදී නගරවල අනවසර ඉදිකිරීම් ඉවත් කිරීම, පදිකවේදිකා සකස් කිරීම සහ අළුත්වැඩියා කිරීම, මාර්ග දෙපස කාණු පද්ධති සකස් කිරීම සම අලුත්වැඩියා කිරීම, රථගාල් ඉදිකිරීම සහ දැනට පවත්නා රථගාල් සංවර්ධනය කිරීම, අනවසර සහ අපිළිවෙළ දැන්වීම් පුවරු ක්‍රමවත් කිරීම හෝ ඉවත් කිරීම, රුක්රෝපනය, පොදු මහජන ගොඩනැගිලි තාප්ප ආදිය නවීකරණය කිරීම, පින්තාරු කිරීම, මාර්ග දිශා පුවරු එකම ආකාරයකට සවිකිරීම, කුණු කසළ එකතු වන ස්ථාන සඳහා සුදුසු වැඩපිළිවෙළක් යෙදීම, වීදිලාම්පු ආදිය ලබාදීම, බස් නැවතුම්පළ, විවේක ස්ථාන ආදිය ඉදිකිරීම සහ ප්‍රතිසංස්කරණය කිරීම, අවිධිමත් ලෙස තැන් තැන්වල පවත්වාගෙන යනු ලබන තාවකාලික වෙළෙඳ කුටි ඉවත් කර ඒවා සඳහා සුදුසු ස්ථානයක් හා සැලැස්මක් ලබාදීම, මාර්ග පිළිසකර කිරීම, පැතිබැමි ආරක්ෂිත වැටවල් ආදිය ඉදිකිරීම වැනි ක්‍රියාකාරකම් මෙම නගර අලංකරණය හා මහජන හිතකාමී පිළිවෙලක් සහිත නගර ව්‍යාපෘතියේදී ක්‍රියාත්මක කිරීමට නියමිතය.