ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින අපේක්ෂකයන් හයදෙනකුගේ සහභාගීත්වයෙන් සංවාදයක් කොළඹ ගාලුමුවදොර හෝටලයේදී ඊයේ (7) පෙරවරුවේ පැවැත්විණි.
ශ්‍රී ලංකා ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය, සිමා (සී.අයි.එම්.ඒ) සහ විජය පුවත්පත් සමාගමේ ඬේලි එෆ්.ටී. පුවත්පත එක්ව සංවිධානය කළ මෙම සංවාදය ‘ශ්‍රී ලංකාවේ ඉදිරි අනාගතය සහ ජනාධිපතිවරණ අපේක්ෂකයන් සමඟ සංවාදයක්’ යන අරුත ගැන්වෙන, “වට් ලයිස් අහෙඞ්”-“ෆයර් සයිඞ් චැට් විත් ප්‍රසිඩන්ෂියල් කැන්ඩිඬේට්ස්” යනුවෙන් නම් කර තිබිණි.
‘ෆයර් සයිඩ් චැට් විත් ප්‍රසිඩන්ෂියල් කැන්ඩිඬේට්ස්” සංවාදය මෙවර පැවැත්වුණේ තෙවැනි වරටය.
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස, ජාතික ජනබල ව්‍යාපාරයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක, ජාතික සංවර්ධන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ආචාර්ය රොහාන් පල්ලේවත්ත සහ ජාතික ජනතා පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ජෙනරාල් මහේෂ් සේනානායක මහතා වෙනුවෙන් එම පක්ෂයේ නායකත්ව මණ්ඩලයේ සාමාජික ආචාර්ය ගාමිණි නන්ද ගුණවර්ධන යන මහත්වරු සහ ශ්‍රී ලංකා සමාජවාදී පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ආචාර්ය අජන්ත විජේසිංහ පෙරේරා මහත්මිය මෙම සංවාදයට එක්වූහ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම සංවාදයට එක්ව නොසිටි අතර සංවාදය අතරතුරදී ඒ මහතාගේ හඬ පණිවුඩයක් සභාව වෙත ඉදිරිපත් කෙරුණි.
ජනාධිපති අපේක්ෂකයෝ එහිදි පෞද්ගලික අංශයට බදු සහන සැලැසීම, පරිපාලන ක්ෂේත්‍රයට තාක්ෂණික ප්‍රවේශයක් ගනිමින් තවදුරටත් තාක්ෂණය හා සම්බන්ධ කිරීම, ප්‍රතිපත්ති ගැනීම හා ඒ සම්බන්ධ යාන්ත්‍රණය දේශපාලනයෙන් තොර (නිර්දේශපාලනීකරණය) ක්ෂේත්‍රයක් බවට පත් කිරීම යන පොරොන්දු දුන්හ. දූෂණය, පූර්ණ සහභාගීත්වයක් සහිත වර්ධනය සහ රාජ්‍ය අංශයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සම්බන්ධයෙන් ද ජනාධිපති අපේක්ෂකයෝ මෙහිදි අදහස් දැක්වූහ.අනුග්‍රාහකයන්ගෙන් ලැබෙන සියලු මූල්‍ය පරිත්‍යාග සහ මූල්‍ය අනුග්‍රහයන් ආදී මෙම සංවාදයේදී එකතුවන සියලු අරමුදල් මහරගම අපේක්ෂා රෝහලට පරිත්‍යාග කෙරේ.
තමාගේ ආර්ථික ප්‍රතිපත්තිවලින් නිදහස් ව්‍යවසාය දිරිගන්වන බවත් රටේ ධනය සහ වත්කම් නිර්මාණය කිරීමේ යාන්ත්‍රණයට තිබෙන අනවශ්‍ය බාධා ඉවත් කිරීමට පියවර ගන්නා බවත් මෙහිදි අදහස් දැක්වූ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය. කුඩා, මධ්‍යම හා පරිමාණ ව්‍යාපාරවලට වර්ධනය වීමට හැකි පරිසරයක් ගොඩනගන බව ද ප්‍රේමදාස මහතා කීය.
“ප්‍රමාණවත් මුදල් සහ රාජ්‍ය මූල්‍ය සහාය ලබාදෙමින් පෞද්ගලික අංශ සවිබල ගැන්වීමට අපි පියවර ගන්නවා. ආර්ථිකය ස්ථාවර කිරීමටත් වර්ධනය දිරිගැන්වීමටත් එම සමබරතාව අත්‍යවශ්‍ය වෙනවා. රාජ්‍ය මූල්‍යයේ වර්ධනය බදු ව්‍යුහය සරල කිරීම මගින් බදු බර අඩු කරමින් සහ බදු විරාම ලබාදෙමින් ව්‍යාපාර සහ පෞද්ගලික ව්‍යවසායවලට හිතවත් පරිසරයක් නිර්මාණය කරනවා. වැඩි වැඩියෙන් බදු පැනවූ විට ව්‍යවසාය අඩුවෙනවා. ඒ නිසා ආර්ථික වර්ධනය අඩු වෙනවා. එය පිළිගත් කරුණක්.
කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර මෙන්ම ඉහළ ධනයක් උපයන හා ජනනය කරන ව්‍යාපාර මත තිබෙන බදු බර අඩු කිරීම ඉතාම වැදගත්. පොළී අනුපාත නිසි පරිදි කළමනාකරණය කර ගනිමින් එය මුදල් ප්‍රතිපත්ති සමඟ සමබර කරගනිමින් ඔවුන්ට ස්මාර්ට් වීමටත් නවෝත්පාදනය කරමින් නව්‍යකරණයට පත්වීමටත් ඉඩ සලසන්න ඕනේ.
පොළී අනුපාත සහන ලබාදීම සඳහා ප්‍රමාණවත් පියවර ගන්න ඕනේ. ඒ මගින් ණයවලට ප්‍රවේශ වීමටත් ඒ තුළින් ව්‍යවසායවලට ප්‍රතිලාභ ලැබීමටත් අවස්ථාව උදා කරන්න ඕනේ. ඔවුන්ට ණය ගැනීමට අවස්ථාව ලබාදීමෙන් ඔවුන් ධනය නිර්මාණය කිරීමේ යාන්ත්‍රණයේ ක්‍රියාකාරී සහභාගීවන්නන් සහ පාර්ශවකරුවන් බවට පත්වෙනවා” යැයි ද සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් කීවේය.
නාස්තිය හා දූෂණය අවම කිරීම කෙරෙහි තම ආර්ථික ප්‍රතිපත්තිවලින් මූලික වශයෙන් අවධානය යොමු කරන බව මෙහිදි අදහස් දැක්වූ ජාතික ජනබල ව්‍යාපාරයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා කීවේය. එහිදි අදහස් දැක්වූ අනුර කුමාර දිසානායක මහතා මෙසේ ද කීය.
“අපි බදු ව්‍යුහය සරල කරනවා. අපේ ආර්ථික ප්‍රතිපත්තියෙන් මූලික වශයෙන් අවධානය යොමු කරන්නේ වංචාව, දූෂණය හා නාස්තිය අවම කිරීම ගැනයි. දැනට බදු ලිපිගොනු (ෆයිල් 170,000ක්) තිබෙනවා. අපි ඉදිරි වසර පහේදී ඊට තවත් බදු ලිපිගොනු 100,000ක් එකතු කරනවා.
රට සංවර්ධනයට කිරීමට නම් රාජ්‍ය අංශය සහ පෞද්ගලික අංශය අතර හවුල්කාරීත්වයක් ඇති කරන්න ඕනේ. ඒ සඳහා පෞද්ගලික අංශය දේශපාලන මැදිහත්වීම්වලින් සහ පක්ෂපාතීත්වයෙන් නිදහස් කරන්න ඕනේ. අද ව්‍යාපාරිකයන්ට දේශපාලනඥයෝ පස්සේ යන්න වෙලා. අපි ඒ තත්ත්වය වෙනස් කරනවා. ඔවුන්ගේ හැකියාව හා දක්ෂතාව මත සාධාරණ ලෙස ව්‍යාපාර කිරීමට අවස්ථාව සලසා දෙනවා.
ව්‍යාපෘතියකට ආයෝජනය කරන්න අවශ්‍ය නම් ඊට අනුමැතිය ගන්න ව්‍යාපාරිකයන්ට දේශපාලනඥයන්ගේ පස්සේ යන්න වෙලා. අද ව්‍යාපාරවලට ව්‍යාපෘති ලැබෙන්නේ දේශපාලනඥයන් සමඟ තිබෙන සබඳතා මතයි. අපි සම්පූර්ණයෙන්ම ඒ ක්‍රමය නතර කරලා පෞද්ගලික අංශයට නීත්‍යනුකූල ලෙස ව්‍යාපාර කිරීමට ඇති අවස්ථාව තහවුරු කරනවා.
අපි අයවැයෙන් අයවැයට වෙනස් නොවන අඛණ්ඩ සහ නිශ්චිත බදු ව්‍යුහයක්/පද්ධතියක් ඇති කරනවා. අඩුම තරමින් මේ බදු රාමුව වසර පහක්වත් පවතිනවා. ඒ වගේම අපි බදු ව්‍යුහය සරල කරන්න ඕනේ.”
ශ්‍රී ලංකාවේ සහ ශ්‍රී ලාංකිකයන්ගේ ආවේණිකත්වය මත රටේ ආර්ථික වර්ධනය ඉහළ නැංවිය හැකි යැයි මෙහිදි අදහස් දැක්වූ ජාතික සංවර්ධන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ආචාර්ය රොහාන් පල්ලේවත්ත මහතා පැවැසීය. තවදුරටත් අදහස් දැක්වූ පල්ලේවත්ත මහතා.
“මම වායු බැලූන් (එයාර්බෑග්ස්) සඳහා සංවේදී උපකරණ (සෙන්සර්ස්) නිෂ්පාදන කිරීමේ මගේ ව්‍යාපාරය ආරම්භ කරද්දි ශ්‍රී ලාංකිකයන්ට එය කිරීම අමාරු යැයි කිව්වා. එහෙත් නිවැරැදි නායකත්වය එය කළ හැකි බව මම තේරුම් ගත්තා. මම මේ උත්සාහ ගන්නේ ශ්‍රී ලාංකිකයන්ගේ මනසේ එම විශ්වාසය ඇති කිරීමටයි.
මාස 12ක් වැනි කෙටි කාලයක් තුළ අවම තරමින් ඇමෙරිකානු ඩොලර් බිලියන 10කට ආසන්න සෘජු විදෙස් ආයෝජන ලබාගැනීමෙන් අපට ශ්‍රී ලංකාවට මුහුණ දී සිටින ආර්ථික අවහිරයෙන් (ආරවුලෙන්) ගොඩඑන්න පුළුවන්. ගොඩක් අය කියයි මේක කරන්න බැහැ කියලා. හැබැයි මේක කරන්න පුළුවන්. ඒ සඳහා ආයෝජකයාගේ මනස තේරුම් ගන්න ඕනේ. ආයෝජනයක් කරන්න සූදානම් වෙද්දි ඔවුන්ගේ මනසේ ඇතිවෙන්නේ මොකක් ද ? එය වටහා ගැනීමේ ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීම සඳහා ඔවුන්ට ඒත්තු ගන්වන්න ඕනේ”.
ජනාධිපති ධුරයට පත්වූවන් රටේ සංවර්ධනය කෙරෙහි අවධානය යොමු නොකර තම දේශපාලන සබඳතා ශක්තිමත් කරගැනීමට අවධානය යොමු කිරීම නිසා රටේ ආර්ථිකය එකතැන රැඳී ඇතැයි මෙහිදි අදහස් දැක්වූ ශ්‍රී ලංකා සමාජවාදී පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ආචාර්ය අජන්ත විජේසිංහ පෙරේරා මහත්මිය පැවැසුවාය.
“ඒ වෙනුවෙන්ම ප්‍රතිපත්ති සැකැසී තිබෙනවා. ඒවා වෙනස් කරන්න ඕනේ. අපි ප්‍රතිපත්ති සකසන්න උපදේශකයෝ ගන්නවා. එහෙත් ඒ ඒ ක්ෂේත්‍රවල ඉන්න අයගේ අදහස් විමසන්නේ නැහැ. එය සංවර්ධනය පහත දමනවා වගේම වැරැදි සහ නරක ප්‍රතිපත්ති තීරණ ගැනීමටත් හේතුවෙනවා” යැයි ඇය තවදුරටත් කීවේය.
උගත් හා බුද්ධිමත් ජනතාව ඉදිරියට ගෙනෙමින් ආර්ථිකය වර්ධනය හා සංවර්ධනය කිරීම සඳහා ඔවුන්ගේ කුසලතා යොදාගන්නා බව මෙහිදි අදහස් දැක්වූ ජාතික ජනතා පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ජෙනරාල් මහේෂ් සේනානායක මහතා වෙනුවෙන් සංවාදයට සහභාගී වූ එම පක්ෂයේ නායකත්ව මණ්ඩලයේ සාමාජික ආචාර්ය ගාමිණි නන්ද ගුණවර්ධන මහතා කීය.
“අපි ව්‍යාපාරය පටන් ගත්තේ මීට අවුරුදු හතරකට කලින්. ප්‍රධාන පක්ෂ දෙක ජනතාවගේ බලාපොරොත්තු ඉටු කිරීමට අපොහොසත් වෙලා. ජනතාවට නව බලාපොරොත්තුවක් ගෙන ඒමට අපට වුවමනා වෙලා තිබෙනවා” යැයි ද හෙතෙම කීවේය.
“රටට අවශ්‍ය වී ඇත්තේ සාම්ප්‍රදායික දේශපාලනඥයකු නොවන බවත් රට අවශ්‍ය වී ඇත්තේ තාක්ෂණය සමඟ ඉදිරියට යන අලුතින් හිතන පාර්ශව රැසක් සමඟ සමීපව කටයුතු කරන සහ රට ලෝකයේ අනෙකුත් රටවල් සමඟ සම සමව ඉදිරියට යෑම තහවුරු කරන නායකයකු යැයි” සංවාදය අතරතුරදී ඉදිරිපත් කරන ලද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පණිවුඩයෙන් (හඬ පටයෙන්) කියැවිණි.
“අතීතයේදී මම මගේ වගකීම් ඉටු කර තිබෙනවා. නිවැරැදි, හරි මිනිසුන් හඳුනා ගනිමින් ඔවුන් සුදුසු තැන්වල යොදවමින් අඩුපාඩු සකසමින් රටට වැඩදායී පද්ධතියක් නිර්මාණය කිරීම මගේ ප්‍රවේශයයි. වැඩ කරන්නකු ලෙස මම කීර්තිනාමය ගොඩානගා ගත්තේ ඒ අයුරින්. පෞද්ගලික අංශය ශක්තිමත් කරන්න ප්‍රතිපත්ති ගෙන එනවා. ඒ වගේම ආර්ථිකය වර්ධනය සුදුසු පරිසරයක් ඇති කරනවා. අපි දැනටමත් රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිවල කළ යුතු ප්‍රතිසංස්කරණ යෝජනා කර තිබෙනවා.
ඒ සඳහා බොහෝ පාර්ශවවල අනුමැතිය හිමිව තිබෙනවා. අපේ ස්වෛරීත්වය ආරක්ෂා කරමින් සෘජු විදෙස් ආයෝජන දිරිගන්වනවා. ඒ වගේම දේශීය ව්‍යවසායකයන්ගේ තරගකාරීත්වය ද ආරක්ෂා කරමින් එලෙස සෘජු විදෙස් ආයෝජන රට තුළට ඒම දිරිගන්වනවා” යැයි රාජපක්ෂ මහතා තවදුරටත් සඳහන් කළේය.
දිනේෂ් වීරක්කොඩි සහ දීපාල් සූරියආරච්චි යන මහත්වරු මෙම සංවාදය මෙහෙයවූහ.
අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් ඇතුළු රාජ්‍ය තාන්ත්‍රිකයන්, ව්‍යාපාරිකයන්, විද්වතුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
(හර්ෂණ තුෂාර සිල්වා - ඬේලි එෆ්.ටී. ඇසුරිනි)
තවත් භාණ්ඩ වර්ග 10ක ආනයන සීමා ඉවත් කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
නවසීලන්තයට එරෙහිව බ්‍රිස්බේන් නුවරදී අද (01 වැනිදා) පැවැති ලෝක කුසලාන තරගයේදී ලකුණු 20 ක ජයක් අත්කර ගැනීමට එංගලන්තය සමත් විය.
ගිරාඳුරුකෝට්ටේ උල්හිටිය රත්කිඳ ජලාශයේ වාන් දොරටු හතම අද (22) විවෘත කර තිබේ.
පුත්තලම පරණ මන්නාරම මාර්ගයේ මනතිව් ප්‍රදේශයේ දී අද ( 5 ) ගවයින් රංචුවක ගැටුණ යතුරු පැදි කරුවකු මරණයට පත්ව ඇති බව පුත්තලම මුලස්ථාන පොලිසිය පවසයි.
කෑගල්ල මහාධිකරණය ඉදිපිටදී සැමියාගේ පිහි පහරට ලක් වූ බව කියන බිරිද (30) මිය ගොස් ඇතැයි පොලීසිය කියයි.
ශ්රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
ජනාධිපති අපේක්ෂකයෝ 6 දෙනෙක් සංවාදයක පැටලෙති
saliya Friday, 08 November 2019 01:39 PM
ජයග්‍රහණය අභියස ඉදිරියෙන්ම සිටින අපේක්ෂකයා සංවාද මගහැරීම ජනතාවට යහපත් පෙර නිමිත්තක් නොවේ. මෙය නිවැරදි විය යුතුමයි.
saumyaFriday, 08 November 2019 03:43 PM
ඉතාම සුහදශීලී සංවාදයක්....
someFriday, 08 November 2019 05:31 PM
එකම පිලක කට්ටියනේ ගිහිල්ලා තියෙන්නේ...
NissankaFriday, 08 November 2019 10:22 PM
සොමේගේ පිලේ එක්කෙනා බයේ පැනලා ගිහින් අයියගේ සාටකේ අස්සේ හැංගිලා.
amaraSaturday, 09 November 2019 05:46 PM
අයියා නැතුව බෑ.
ranjaneeFriday, 08 November 2019 03:45 PM
සංවිධායක පිරිස ගියපාර හංසයාට බැහැලා වැඩකරපු අයනේ...
VajiraFriday, 08 November 2019 10:18 PM
අවස්ථාව හදලා දීලත් එකට මුණ දෙන්න බැරුව පැනලා ගිහින් සංවිධායකයින්ට චෝදනා කරලා වැඩක් නැහැ.
ශ්‍රීFriday, 08 November 2019 04:03 PM
තමන්ගේ ප්‍රතිපත්ති සෘජුව, පැහැදිලිව මහ ජනතාවට පහදා දෙන්න.. මෙවැනි අවස්ථාවක් ලැබිලා එය මඟහරියි නම් ජයග්‍රහණය අභියස නොවේ. ජයග්‍රහණය කළත් කුමන ඵලයක්ද?
NissankaFriday, 08 November 2019 10:12 PM
තමන්ගේ දුර්වලකම් එළිවෙන නිසා තමයි පොහොට්ටුවේ අපේක්ෂකයා ආවේ නැත්තේ... පොරවගෙන හිටපු සිංහ හම දැන් ගැලවිලා.
lasanthaSaturday, 09 November 2019 04:06 AM
සෝමේ විරුද්ධ පිලේ එක්කෙනා එන්න බයයිනේ..
DilanSaturday, 09 November 2019 06:13 AM
ට්‍රම්ප් සහ හිලරි අතර ජනාධිපතිවරණයට කලින් ඔය වගේ මාධ්‍ය ඉදිරියේ විවාදයක් පැවැත්වුණා. ඒකෙන් දිනුවේ හිලරි. ඒත් ජනාධිපති වුනේ ට්‍රම්ප්. මිනිස්සුන්ට වචන හරඹ වලින් වැඩක් නෑ. පදනමක් නැති ප්‍රායෝගික නොවන පොරොන්දු වලින් වැඩක් නෑ. වැඩ කිරීමයි අවශ්‍ය...
UdrichSaturday, 09 November 2019 06:44 AM
ජයග්‍රහණය පෙනිපෙනී නෙමෙයි, ඇවිල්ලා කතා කරන්න දන්නේ නැති නිසා ආවේ නැත්තේ... කොළ බලාගෙන දෙන කතා මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ.
ChandiSaturday, 09 November 2019 03:35 PM
මහත්මයෝ වැඩකාරයෝ කොහොමත් වැඩි කතා නැහැ තමයි. කියවන්න නම් ඕන තරම් කට්ටිය ඉන්නවා.
sirimal Friday, 08 November 2019 01:40 PM
අපේ මහත්තයා ඒකට ආවෙත් නැහැනේ. අනේ මන්දා?
ChandiFriday, 08 November 2019 05:16 PM
එයාට ඕවට ඇවිල්ලා නාස්ති කරගන්න වේලාවක් නැතුව ඇති. ඔය ඇවිල්ලා ඉන්න සෙට් එකම පරදින අයනේ...
Chanak los angelesFriday, 08 November 2019 09:42 PM
මුහුණ නොදුන්න පුද්ගලයාගේ හඬ පට ප්‍රචාරය කිරීමට සැලැස්වීම මොන තරම් ලැජ්ජා සහගතද?
සෑම් Friday, 08 November 2019 02:05 PM
මා දන්නා තරමින් මෙතන සිටින 6 දෙනාට බරපතල දූෂණ, වංචා, මිනීමැරුම් චෝදනා නඩු නැහැ. ඉතාමත් හොඳයි මිනිසුන් ඉදිරියට ඇවිත් මුහුණට මුහුණ බලාගෙන අහන ප්‍රශ්නවලට උත්තර දෙනවා. මෙතන සිටිය යුතුම පුද්ගලයෙක් වන රටේ මූලිකම ප්‍රශ්නවලට ඉතා සාර්ථක විසඳුමක් ඉදිරිපත් කළ එකම පුද්ගලයා වන නාගානන්ද කොඩිතුවක්කු මහතා නොමැති වීම ගැන ඉතා කණගාටුවෙමි. තවද ජනතා ප්‍රශ්නවලට අවංක පිළිතුරු නොමැති බැවින් හඬ පටියකට සැඟවීම හැර වෙන කළහැකි දෙයක් නොමැති බව බුද්ධිමත් ජනතාවට පුදුමයක් නොවන බව කිව යුතුමයි.
MaheeFriday, 08 November 2019 03:00 PM
සෑම්, ඔබේ ඉතාම නිවැරදි විග්‍රහය සමග මමත් මුළුමනින්ම එකඟයි. නාගානන්ද නොමැතිවීම ගැන මමත් කණගාටු වෙනවා. මේ ප්‍රවණතාවය නම් ඉතාම හොඳයි. තනියෙන් ගිහින් වහල්ලුන් ඉදිරියේ පාලුගෙයි වළං බිඳින ක්‍රමයෙන් ඉවත්වෙලා මෙවැනි සංවාදයකට අපේක්ෂකයින් රැගෙන ආ සංවිධායකවරුන්ට මගේ ප්‍රණාමය...!!!
banduFriday, 08 November 2019 05:30 PM
ජනාධිපති කොමිෂන් වාර්තාව අනුව කෝටි 60ක වංචාවකට ළඟදීම නඩු වැටීමට නියමිතයි...
SLFriday, 08 November 2019 06:22 PM
එතකොට නිධන් හෑරිල්ලයි, වනඅලි දඩයමයි බරපතල වැරදි නෙවෙයිද? දන්නේ නැති නිසයි අහන්නේ...
RaveendraFriday, 08 November 2019 09:15 PM
සෑම් මයා වෙත, ඔබගේ වටිනා අදහස් අප අගය කරන්නෙමු. නමුත් අප විශ්වාස කරනවා මෙතන සිටින අඩුවශයෙන් එක්කෙනෙකුට හෝ ඔබ සඳහන් නොහොබිනා ක්‍රියාවලට දායකවුණු සුපින්වත්, සත්ගුණවත් මල්වට්ටිය දොහොත් මුදුන් දරා සැමවිටම උස් කොට අගයන අයත් ඉන්න බව අමතක නොකරන්න. " අවංකවම හිතමු අපි, මිලමුදල් නිසා අප රටේ මාධ්‍ය මගින් ගෙම්බන් මොනරුන් කිරීමත් මොනරුන් ගෙම්බත් කිරීමත් ඉතා හොඳින් " සිදුවෙන බව ප්‍රසිද්ධ රහසක් බව අමතක නොකරමු.
WasudewaSaturday, 09 November 2019 01:48 AM
ඉස්සරහට හඩ පටි වලින්ද දන්නේ නැහැ රට පාලනය කරන්නේ... එහෙම වුනොත් ලෝකේ පලවන රට ලංකාව වෙයි. රටක් පාලනය කරන එක එසේ මෙසේ වැඩක් නෙමෙයි. මේ සංවාදවලින් නායකත්වය පෙන්නුම් කරන බුද්ධිමත්ම කෙනා සජිත් පමණයි. දැන් රටට අවශ්‍ය එවැනි නායකයෙක්...
d.upul Friday, 08 November 2019 02:07 PM
අයියා නැතුව එන්න බැරි අයත් ඉන්නවා...
nARADA Friday, 08 November 2019 02:37 PM
මේ ආණ්ඩුවේ කාර්යක්ෂමතාවය බලාගන්න පුළුවන් දෙයක් අරලියගහ මන්දිරයෙන් පෙනෙනවා. මම පහුගිය වසර 6ක් තිස්සේ උදේ සවස අරලියගහ මැදුර ඉදිරිපිටින් යන කෙනෙක්. මහින්ද පරදිනකොට එටිසලාට් ගොඩනැගිල්ලට ලඟම අරලියගහ මන්දිරය තුල ලොකු ගොඩනැගිල්ලක් ඉදිකර වැඩ 98%ක් ඉවර කර තිබුණා. ඒ වනවිට ඒ සඳහා පලංචි ගසා තිබුනේ. වසර 6 ක් තිස්සේ එම ගොඩනැගිල්ලේ වැඩ ඉවර නොකළා පමණක් නොවෙයි අර යකඩ පලංචි අද දක්වාම එලෙසම පවතිනවා. තමන්ගේ නිවාසවත් හරිහැටි පාලනය නොකරන පාලනයක් අපව බලාගනීද? දැන් ගිහිල්ලා වුණත් බලාගන්න පුළුවන්..
රනිල්Friday, 08 November 2019 06:07 PM
අවුරුදු 6ක් පයින් යන ඔයාට දියුණුවක් ලබලා අඩුගානේ බයිසිකලයක්වත් ගන්න බැරුව ගියේ ඔයාගේත් අඩු පාඩුවක් හින්දා වෙන්න අැතිනේ...
naradaSaturday, 09 November 2019 01:24 AM
මම යන්නේ කාර් එකෙන්... මංගල එ්කෙත් බදු වැඩි කරා...
සේන Friday, 08 November 2019 04:31 PM
එකම පක්ෂයේ අය එකම වේදිකාවේ.... එච්චරයි...
Warnakulasuriya Saturday, 09 November 2019 05:28 AM
භක්තිවන්තයින්ට පෙනෙන හැටි. එ.ජා.පක්ෂයට දූෂණ චෝදනා තිබෙනවා. ජ.වි.පෙරමුණ දුෂිතයන් නොවුණත් කැරලිවලදී කළ වැරදි තිබෙනවා. මේ අය වැරදි පිළිගැනීමට හෝ ප්‍රතික්ෂේප කිරීමට පැමිණියා. වැදගත් වන්නේ එය නොවේද? අවු.71ක දේශපාලන අතීතයත්, මන්ත්‍රීවරුන්ගේ එහාට මෙහාට පැනීමත් අනුව නම් මට හිතෙන්නේ සජිත්, ගෝඨා එකම වේදිකාවක් බවයි.
Chandi Friday, 08 November 2019 05:13 PM
මේ පරදින කට්ටියනේ ඇවිල්ලා ඉන්නේ...
mangala Friday, 08 November 2019 07:04 PM
එක පක්ෂයයි නේද එතැන හිටියේ...?
sisira Friday, 08 November 2019 09:48 PM
අර සජිත් මහත්තයාගේ හැම තැනටම දාන රබර් සෙරප්පු දෙක දාගෙන එන්න අද අමතක වෙලා වගේ.
ranjith Saturday, 09 November 2019 02:18 AM
අලුත් නායකත්වයක් අද රටට අවශ්‍ය එක පවුලකට හෝ කණ්ඩායමකට බලේ දීලා රට විනාශ වුණා.
prakaash Saturday, 09 November 2019 02:19 AM
මෙතන ඉන්නේ රට පාවාදෙන ද්‍රෝහීන් බව කිව යුතුමයි.
kamal Saturday, 09 November 2019 04:36 AM
ඔය කවුරු ආවත් අපි නම් පරාදම තමයි. ගේදොර විකුණලා හරි දරුවන්ව පිටරටක පැටවීම තමයි අපේ දිනන මාර්ගේ.
ආන්ජලෝ නුගාරා Saturday, 09 November 2019 09:09 AM
රට දියුණු කිරිමට නම් ආනයනය සීමාකර අප රටතුළම ඒවා නිෂ්පාදනය කර, අපනයනය වැඩිකර සහ විදේශ විනිමය වැඩි කරගැනීමේ ක්‍රම අනුගමනය කළයුතු බව බහුතරක් ජනතාව හොඳින්ම දැනුවත්ය. සුබසාධනය වැඩිකිරීමෙන් රටක් දියුණු කළ නොහැක. එහි බදුබරත් තමන්ගේ දහඩිය මහන්සියෙන් වැදගත් විදියට ජීවත්වන බහුතර ජනතාව දැරිය යුතුය. අත්‍යවශ්‍ය ජනතාවට පමණක් යම් සුබසාධනයක් නිසි සැලැස්මකට කිරීම පිළිගත හැකිය.
Yamange Monday, 11 November 2019 09:33 AM
මහින්ද, චන්ද්‍රිකා හා ගෝඨාභය යන කිසි කෙනෙක් අතීතයේ සිට සංවාදවලට ඇවිත් නැත. අාවොත් එයාලට අවාසියි. අනාගතයේත් එන්නේ නැත.
rangana Wednesday, 13 November 2019 04:39 AM
එකම පක්ෂේ කට්ටියක් වෙන වෙන නම් වලින් ඇවිල්ල හිටියේ. අනික අවුරුදු 70 ක් කියව කියවා හිටිය ඇති නේ වැඩ කරලා පෙන්නපු කෙනෙක් ජනාධිපති කරවමු.