(නිමල කොඩිතුවක්කු)

කෙලවරපිටිය බලාගාරය ඇතුළු රටේ ජාතික සම්පත් විකුණමින් සිටින ආණ්ඩුව බලය ලබා ගැනීමට පෙර මවා පෙන්වූ සිය ඊනියා දේශහිතෛෂී භාවයේ අවසාන සළුපිළි ද ඉවත් කරමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

කෙරවලපිටිය විකිණීම වහා හකුලා ගනිමින් රටේ ජාතික සම්පත්වල ආරක්ෂාව තහවුරු කරන ලෙසත් විපක්ෂ නායකවරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

"බලය ලබා ගැනීම උදෙසා මේ රටේ මහජනතාවට මැතිවරණයට පෙරාතුව ඉදිරිපත් කරන ලද දේශප්‍රේමී, දේශහිතෛෂී, ජනතාවාදී සියලුම පොරොන්දු සහ ප්‍රතිපත්ති අලුයම ලූ කෙළ පිඩක් සේ කුණු කූඩයට විසි කොට ඇති වර්තමාන ආණ්ඩුව ඊට සහ මුලින්ම ප්‍රතිපක්ෂ ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් මුළු රටම මහත් ව්‍යසනයක් කරා තල්ලු කරගෙන යමින් සිටි.

බිහිවූ දා සිටම මේ දක්වා සැලකිල්ලට ගත හැකි ජනතාවාදී කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත් වත්මන් ආණ්ඩුව ඒ වෙනුවට ජන ජීවිත අවදානමට ලක් කොට ඇති අතර, රටේ සම්පත් සියල්ල මැදියම් රැයේදි පවා කුණු කොල්ලයට විකුණමින්, බලය ලබා ගැනීමට පෙර මවා පෙන්වූ සිය ඊනියා දේශහිතෛෂී භාවයේ අවසාන සළුපිළි ද ඉවත් කරමින් සිටී.

පසුගියදා, සූම් තාක්ෂණය හරහා මැදියම් රැයේ පවත්වන්නට යෙදුණු කැබිනට් රැස්වීමේ දී, අතිශය හිතුවක්කාරී ලෙසත්, හිතු මනාපයටත් කෙරවලපිටිය යුගදනවි විදුලි බලාගාරය මේ රටට අහිමි කිරීමේ අන්තනෝමතික තීරණය ආණ්ඩුව විසින් ගෙන තිබේ.

මෙවන් බරපතල ගිවිසුමක් අත්සන් කිරීමට කටයුතු කරත්දීත් කැබිනට් මණ්ඩලය හුදෙක් සිග්නල් කනු බවට පත්ව සිටින අතර කිසිවකු මීට එරෙහිව වගකීම් සහගත මැදිහත්වීමක් නොකිරීම තුලින් ගම්‍ය වන්නේ ඔවුන් පත්ව සිටින තත්වයයි. එහෙත් ඒ කිසිවකුට මේ බරපතල පාවාදීමෙහි කොටස්කරුවන් වීමෙහි වරදෙන් මිදිය නොහැකිය.