IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


බළවතුන්ගේ ශාපලත් යුද්ධයේ රුධිර පිපාසය සංසිඳෙන්නේ මිනිස් වර්ගයා වැනසුණු දිනේද ?

එම්බා ශාපලත් යුද්ධය. මානව සංහතිය ඉදිරිපිට තා සාපරාධී වරදකරුවෙකැයි මම තීන්දු කරමි. තා උපත ලැබූ දින සිටම ගෙන ආවේ විනාශය භීතිය හා ශෝකය පමණි. එදා වියට්නාමයේදී ද, ඇෆ්ගනිස්ථානයේදී ද, මෙදා සිරියාවේදී ද තගේ කුරිරුකම එකසේම ය. කුරිරු තා අන්ධ යයි මම කියමි. තා ජනතාව අවතැන් කළෙහි ය. ලක්ෂ ගණනින් ජනතාව සරණාගත කඳවුරු තුළ ගාල් කළේ තා ය. තා ස්වාමිවරුන්ගෙන් බිරින්දෑවන් උදුරා ගත්තේය. බිරින්දෑවරුන්ගෙන් ස්වාමිවරුන් උදුරා ගත්තේය. දරුවන්ගෙන් දෙමාපියවරුන් උදුරාගත්තේ ද තා ම ය. ආබාධිත පරම්පරාවක් තා විසින් බිහි කළ බව තට ම මතක නැත. රුධිරය ගලා යද්දී තා වියරුව සිනාසුනේය. තගෙන් වඩාත්ම පීඩාවට පත්වූවෝ දරුවෝ ය. හය හතරක් නොදන්නා දරුවෝ ය. ලොව සසල කළ සෑම ඡායාරූපයකින්ම පෙන්නුම් කළේ, තගේ වියරු බවින් විපතට පත් දරුවෝ ය.   


පසුගිය දා සිරියාවේ නැගෙනහිර ඝෝටා ප‍්‍රදේශයේ හමොරියාහිදී තගේ කුරිරු බවින් අවතැන්ව පලායන පියෙකු අත රැඳි ගමන් මල්ලක් තුළ නිද්‍රාශීලීව සිටින දරුවාගේ ඡායාරූපය, තගේ අලුත්ම කෲරත්වයේ තවත් එක් සිහිවටනයක් පමණි. මීට වසර හතළිස් හයකට පෙර වියට්නාමයේ සයිගොන්හිදී තා විසින් එල්ල කරන ලද නාපාම් ගිනිජාලා ප‍්‍රහාරයෙන් දැවී නිරුවතින් මහමග දිවගිය කිම් නම්වූ දැරියගේ පිළිස්සුණු ශරීරය මුළු ලොවම දුටුවද, තා දුටුවේ නැත. ඇෆ්ගනිස්තානයේ බහ නොතේරෙන දැරිවියෝ අනාථ කඳවුරුවලදී ලිංගිකව කෙළෙසෙද්දී තා සිටියේ දෑස පියාගෙන ය. තගේ කුරිරුකම හේතුවෙන් සිරියාවෙන් පලා යද්දී මුහුදට බිලිවී තුර්කි වෙරළට ගොඩගසා තිබුණු ඇලන් නම් සිරියානු දරුවාගේ සිරුර තට පෙනුනේ නැත. 
මෙදා ද තා නිසා සිරියාවෙන් පලායන පියෙකු අත රැඳි ගමන් මල්ලේ නිද්‍රාශීලීව සිටින නොදරුවා තට නොපෙනෙන බව මම දනිමි. තා අන්ධ පමණක් නොව බිහිරි යැයි ද මම කියමි. ප‍්‍රියයන් අහිමිවූවන්ගේ මොරගෑම ද, දෙමාපියන් අහිමිවූ දරුවෝ නගන විලාප හඬ ද, දරුවන් අහිමිවූ දෙමාපියන්ගේ අඳෝනා ද තට ඇසුනේ නැත. 


මම තට ශාප කරමි. තගේ නිර්මාතෘවරුන් ද තා ඇතිදැඩි කරන්නෝ ද මිනිස් දරුවෝ නොව තිරිසනුන්මය. නැත මම එතැනදී වැරදිය. තිරිසනුන් දඩයම් කරන්නේ කුසගින්න නිවාගැනීම සඳහා ය. එහෙත් තවත් මිනිසකු මරා දැමීමට තරම් මිනිසා මිනිසාටම එරෙහි වෙන්නේ නම්, ඔවුන් තිරිසනුන්ටත් වඩා අන්ත යැයි කියමින් මම වරද නිවැරදි කරමි. 


මම තට ශාප කරමි. තා දැහැට නොපෙනී යනතුරු මම තට වෛර කරමි. මනුෂ්‍ය සංහතියේ නාමයෙන් මම තට නියෝග කරමි, මේ ඡායාරූප දෙස බලන් කඩතුරා හැර දෑසේ. 

 

 

 

 


චාපි කෝසලා
මියුනිච්



අදහස් (0)

බළවතුන්ගේ ශාපලත් යුද්ධයේ රුධිර පිපාසය සංසිඳෙන්නේ මිනිස් වර්ගයා වැනසුණු දිනේද ?

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 747 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site