IMG-LOGO

2025 ඔක්තෝබර් මස 19 වන ඉරිදා


අත්ලක වපසරියක ජේසුගේ බෙත්ලෙහෙම මවන නාපෝලි නත්තල් ගවලෙන කලාව

නත්තලට තව ඇත්තේ දින කීපයකි. ඒ වෙනුවෙන් කෙරෙන සූදානම් අතර නත්තල් ගසක්, නත්තල් ගවලෙනක් ඉදිනොවෙන කතෝලික ගෙයක් නැති තරම් ය. ඉතාම දිළිඳු පරිසරයක නිර්මාණය කෙරෙන ගවලෙන නත්තලේ අසිරියයි. රජ මැඳුරක ඉදිවුව ද නත්තල් ගවලෙනට වැද්දගත යුත්තේ දිළිඳුකමය.   


ගවලෙන ඉතිහාසය පිරික්සීමේදී එහි ආරම්භය ඉතාලියේ මධ්‍යතන යුගය දක්වා දිවයයි. බෙත්ලෙහෙම ඇතුළු සුද්ධ වූ දේශයේ සංචාරයකින් පසුව පෙරලා තම ගම වූ අසීසියට පැමිණි රෙදිපිළි වෙළෙඳ ව්‍යාපාරික ෆ‍්‍රැන්සිස් (පසුව සුද්ධ වූ ෆ‍්‍රැන්සිස්) ගේ උපදෙස් අනුව, එදා බෙත්ලෙහෙමේ තිබුණු පරිසරයට නෑකම් කී ඉතාලියේ ගේ‍්‍රෂෝ නමැති ගමේ 1223 දී පළමු ගවලෙන ඉදිවූ බව ගවලෙන ඉතිහාසය කියයි. මුල් යුගයේදී ගවලෙන ඉදිකිරීම සිදුව ඇත්තේ දේවස්ථාන තුළ පමණි.   


දේවස්ථාන ගවලෙන ප‍්‍රතිමා බොහෝ විට නිර්මාණය වී තිබුණේ කිරිගරුඬින් හෝ දැවයෙනි. ක‍්‍රි.ව. 1475 කරන ලදැයි සැලකෙන කිරිගරුඬ ප‍්‍රතිමා දොළසකින් යුත් නත්තල් ගවලෙනක්, නාපෝලියේ සාන්ත අන්නා දෙයි ලොම්බාර්දි දේවස්ථානයේ තවමත් සුරැකිව ඇත. පසුව දැවයෙන් මැටියෙන් හා වෙනත් අමුද්‍රව්‍යවලින් සැකසුණු ප‍්‍රතිමා සමඟ නත්තල් ගවලෙන නිවෙස් තුළට පැමිණියේ 1478 පමණ යයි පිළිගැනේ. එදා මෙදා තුර විවිධ වෙනස්කම්වලට භාජනය වෙමින්, නත්තලට නැතොත් අඩුවක් යයි සැලකෙන ගවලෙන, අද වනවිට දක්ෂ ශිල්පීන් අතින් නිමවෙන කලා නිර්මාණයක් බවට පත්ව ඇත.   


ඉතාලි ජාතිකයාත් කලාවත් දෙකක් නොව එකක් යැයි කිව හැකි තරමට ම ඉතාලි ජාතිකයෝ කලාකරුවෝ ය. ඉතාලි භූමියේ පමණක් නොව රෝම අධිරාජ්‍යයට යටත්ව තිබුණු විදේශයන්හි පවා අද ද දක්නට ලැබෙන රෝම අධිරාජ්‍ය නටබුන් ද නාපෝලි නගරය අසල වසර දෙදහසකට වැඩි ඉතිහාසයක් ඇති පොම්පේ හා එර්කොලානෝ නටබුන් නගර ද මධ්‍යකාලීන ලෙනාඩෝ ඩා වින්චිල මයිකල් ආන්ජෙලෝල රෆඑල්ලෝ වැනි චිත‍්‍ර හා මූර්ති ශිල්පීන් ද අල්බෙර්තෝ මොරාවියාල දාරියෝ ෆෝ වැනි සාහිත්‍යකරුවෝ ද වර්තමානයේ සම්මානනීය සිනෙමාකරුවෝ ද නළුනිළියෝ ද මෙයට කදිම නිදසුන් ය. ඉතාලි කලා ශිල්පීන් අතර සම්ප‍්‍රදායික සංගීතය මූර්ති කැටයම් හා වෙනත් කලාවන් අභාවයට යා නොදී රැකගැනීම සම්බන්ධව, නාපෝලි කලාකරුවන්ට හිමි වෙන්නේ අද්විතීය ස්ථානයකි.   


නාපෝලියේ ඇත්තේ වෙනම ම සංස්කෘතියකි. එහි බස ඉතාලි බස ම වුව ද ව්‍යවහාරික ස්වරූපය හාත්පසින් ම වෙනස් ය. මෙම භාෂා විලාසය “නාපොලිතානෝ” ලෙස හැඳින්වේ. මොවුන්ගේ සංගීත රටාව ද වෙනස් ය. එය බෙහෝ විට පාරම්පරික ගැමි ගීයට නෑකම් කියයි. සියලුම කලා ශිල්ප නාපෝලි අනන්‍යතාව තහවුරු වන ලෙස වෙනස්ම ආකාරයකට ඔවුහු හීලෑ කරගෙන සිටිති. මේ අනුව නාපෝලියේ නත්තල් ගවලෙන ද වෙනස්ම ආරක කලා නිර්මාණයකි. ලොව සුප‍්‍රසිද්ධ කෞතුකාගාර කීපයක ම නාපෝලි නත්තල් ගවලෙන ප‍්‍රදර්ශනය සඳහා තබා ඇත්තේ එහි ඇති කලාත්මක වටිනාකම හේතුවෙන් ය.   


කඳුකර පරිසරයක නටබුන් නගරයක් ලෙසින් ගවලෙන තුළ බෙත්ලෙහෙම නිර්මාණය කිරීම නාපෝලි නත්තල් ගවලෙනේ විශේෂත්වයයි. මෙම පරිසරය නිර්මාණය කිරීම සඳහා පොරොප්ප ගසේ පොත්ත මෙන් ම වියළි පාසි ද යොදා ගැනේ. ඇතැම් අවස්ථාවක දුගී පැල්පත් ලෙසින් ද තවත් විටෙක ජනාකීර්ණ නගරයක් ලෙසින් ද නාපෝලි නත්තල් ගවලෙන පසුබිම නිර්මාණය වේ. ගවලෙන ප‍්‍රතිමා නිර්මාණය සඳහා බොහෝ විට මැටි, දැව හා රෙදි මෙන්ම අනාගත් පාන් පිටි බදාමය ද යොදා ගැනේ. දැවැන්ත ප‍්‍රමාණයෙන් මෙන් ම සිප්පි කටුවක් තුළ වුව ද ගවලෙන නිර්මාණය කිරීමට තරම් නාපෝලි කලාකරුවෝ දක්ෂයෝ ය.   


ජේසු බිළිඳා, මරිය තුමිය, ජුසේ තුමා දේව දූතයින් හා ගොපල්ලන්ගේ ප‍්‍රතිමා ගවලෙනට එක්කිරීමට අමතරව, කාලීනව කිසියම් ආකාරයකින් ප‍්‍රසිද්ධියට පත්වෙන පුද්ගලයන්ගේ ප‍්‍රතිමා ද නත්තල් ගවලෙනට එකතු කර ගැනීම නාපෝලි නත්තල් ගවලෙන නිර්මාණකරුවන්ගේ සම්ප‍්‍රදායකි. උදාහරණ ලෙස කාලීන ප‍්‍රසිද්ධියක් උසුලන ක‍්‍රීඩකයන්ගේ නළුනිළියන්ගේ හා දේශපාලකයන්ගේ ද ප‍්‍රතිමා නාපෝලි නත්තල් ගවලෙනේ තවත් විශේෂත්වයකි. 2009 වසරේ බරක් ඔබාමා ඇමෙරිකාවේ ජනාධිපති ධුරයට පත්වු විට, එම වසරේ නත්තල් ගවලෙනට ඔබාමාගේ පිළිරුවක් එක්කිරීමට නාපෝලි නත්තල් ගවලෙන කලාකරුවෝ අමතක නොකළහ. මෙවර නත්තල් ගවලෙනට ඩොනල්ඩ් ට‍්‍රම්ප්ගේ පිළිරුවක් නාපෝලි කලාකරුවෝ එක්කර ඇත.   


නත්තල ආසන්න වීමත් සමඟම නත්තල් ගවලෙන, ඒ සඳහා අවශ්‍ය ප‍්‍රතිමා හා වෙනත් අඩුවැඩිය අලෙවිය සඳහා පදිකවේදිකා කඩවලින් නාපෝ්ලියේ ඇතැම් වීදි පිරී යයි. ඉතාම සුළු මුදලකට මෙන් ම යුරෝ දහස් ගණනින් ද මිල වෙන නත්තල් ගවලෙන මෙම සල්පිල්වල විකිණීමට තබා ඇත. වීදි පදික වේදිකාවේදී ම නත්තල් ගවලෙන නිර්මාණය කරමින් විකුණන වීදි කලාකරුවෝ ද මේ අතර වෙති.   
නාපෝලිය ඉතාලියේ වෙනස්ම නගරයකි. එහි වැසියෝ ද සෙසු ඉතාලි ජාතිකයන්ගෙන් විශේෂයෙන් කැපී පෙනෙති. ඇතැමුන් නාපෝලියට කියන්නේ යුරෝපයේ කල්කටාව කියා ය. යුරෝපා මහාද්වීපයේ සෙසු නගරවලින් නාපෝලිය ඒ තරම් ම වෙනස් ය.

ප‍්‍රීතිමත් ගීතයක පදපෙළක වුව ද වේදනාවේ ස්වරය තැවරුණු නාපෝලි සංගීතය ලෝ ප‍්‍රසිද්ධ ය. නාපෝලි නත්තල් ගවලෙන ලොව සුප‍්‍රසිද්ධ ය.   


නත්තල් ගවලෙන නිර්මාණය කරන වීදි ශිල්පියෙකු හා විවිධ ආකෘතියේ නාපෝලි නත්තල් ගවලෙන කීපයක් ඡායාරූපවලින් දැක්වේ.   
යටියන - ක්ලැරන්ස් කොස්තා
ෂෙසානෝ, රෝමය, ඉතාලිය.  



අදහස් (0)

අත්ලක වපසරියක ජේසුගේ බෙත්ලෙහෙම මවන නාපෝලි නත්තල් ගවලෙන කලාව

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1027 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1061 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 413 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site