IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ශරීරාබාධ ඇති සැමටත් පුරවැසි සියලු අයිතීන් තිබිය යුතුය

රටක ආබාධ සහිත ප්‍රජාව ඉල්ලන්නේ විශේෂ වරප්‍රසාද නොව මානව අයිතීන් බැවින් ඒවා ලබාදීම රජයක යුතුකම යැයි ජනමාධ්‍ය ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රකාශ කළ බව සඳහන් පුවතක් අප පුවත්පත ඉකුත් දා වාර්තා කළේය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේ ස්ථාපිත කෙරුණු ආබාධ සහිත තැනැත්තන් සඳහා වූ මාධ්‍ය සේවා කේන්ද්‍රය විවෘත කරමින් ඇමැතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙන්නේ මෙරට භාෂාවේ ආබාධිත ජනතාවගේ සිත් රිදවන ආකාරයේ උපමා, උපමේය, රූපක පිරුළු ඇතුළත්ව ඇති බවත් එම සහෝදර පුරවැසියන්ගේ සිත් නොරිදෙන පරිදි භාෂාව හැසිරවිය යුතු බවත්ය.

විශේෂ අවධානය යොමු කළ යුතු මාතෘකාවකි. මානව සමාජය 21 වැනි සියවසට අවශ්‍ය පරිදි ගැළපෙන පරිදි ශිෂ්ටාචාරගතව තිබේනම් දියුණු වී තිබේනම් මනුෂ්‍යත්වයෙන් පිරිපුන් වී තිබේ නම් මෙවැනි මාතෘකා සංවාදයට බඳුන් කළ යුතු වන්නේ නැත. එහෙත් මාතෘකා සංවාදයට ලක් කිරීමට සිදුවීමෙන් පැහැදිළි වන්නේ අලුත් සියවසට ගැළපෙන පරිදි ඒ මානව සමාජය ශිෂ්ටාචාරගත වී නොමැති බවය. ක්‍රි.පූ. හයවැනි සියවසේ භාරත දේශයේ පැවැති කුල වර්ගීකරණයේ නටබුන් තවමත් අප අතර වේ. කතා කරන භාෂාවට, අදහන ආගම ධර්මයට පමණක් නොව කුල වශයෙන් ද, ප්‍රදේශ වශයෙන් ද බෙදීම් මෙන්ම නොසලකා හැරීම් සිදුවේ. ආබාධ සහිත පුද්ගලයන්ගේ මානව අයිතිය නොසලකා හැරීම් කොපමණ ද යත් තට්ටු ගොඩනැගිලිවල ස්ථාපිත කර ඇති බොහෝ රාජ්‍ය ආයතනවල ආබාධිත වූවන්ට ගමන් කිරීමට විදුලි සෝපාන පහසුකම් ද නැත. එහිදී ඔවුන් කෙතරම් පීඩාවට පත්වන්නේ ද යන්න තේරුම් ගැනීමට  ඔවුන්ගේම ඇසින් ඔවුන්ගේ ජීවිතවලට එබිකම් කළ යුතුය.

මාක්ස්වාදයට අනුව “වැටුපට වැඩ කරන සෑම පුද්ගලයකුම කම්කරුවෙකි”. ජනාධිපතිවරයාගේ සිට මහ පාර අමදින පුද්ගලයා ද කම්කරුවෙකි. එහෙත් මෙම විශ්ව සත්‍ය ඇතැමකුට අමතකව යයි. රැකියාවේ, වෘත්තියේ ස්වරූපය අනුව සැලකීම් වෙනස් වන්නේ ඒ අනුවය.

අසූව දශකයේ දී එවකට සිටි ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන කටුනායක නිදහස් වෙළෙඳ කලාපය පටන්ගෙන ඇඟලුම් කම්හල් ආරම්භ කළේය. විශාල පිරිසක් රැකියාව සඳහා පැමිණියහ. අදත් එහි විශාල පිරිස් වැඩ කරති. ඉන්පසු අගමැති රණසිංහ ප්‍රේමදාස මහතා ඇඟලුම් කම්හල් දහසේ ව්‍යාපෘතිය ආරම්භ කර රටපුරා ඇඟලුම් කම්හල් විවෘත කළේය. ගම සහ නගරය බේදයකින් තොරව තරුණ තරුණියෝ එම ඇඟලුම් කම්හල්වල රැකියාවට ගියහ. ඇඟලුම් කම්හල්වල රැකියාවට ගිය තරුණියන් අතැමකුට “ගාමන්ට් කෑල්ල” විය. එම රැකියාව ඇඟමස විකිණීමකින් වෙනස් නොවන බව ඔවුහු සිතූහ. එහෙත් මෙම කොවිඩ් මාරාන්තික වයිරසය හමුවේ අප රටට විදෙස් විනිමය උපයන ප්‍රධානම මාර්ගය බවට පත්වී තිබෙන්නේ ඇඟලුම් කර්මාන්තය වේ.

ඉපැරණි සිංහල චිත්‍රපටවල සුවිසල් නිවෙස්වල මෙහෙකාර දරුවෝ සිටිති. එම දරුවා බොහෝවිට දෙමළ ජාතික දරුවෙක් විය. මෙම චිත්‍රපට නරඹන සිංහල දරුවා තුළ ඇතිවන මනෝභාවය වන්නේ “දෙමළ දරුවන් සිටින්නේ අපගේ මෙහෙකාර සේවයට” බවය. මෙම කුඩා සිදුවීම් කෙතරම් බරපතළ බලපෑම් ඇති කරන්නේ ද යන්න එමඟින් පැහැදිළිය. ජාතිකත්වයන් අතර අසමගිය දලුලා වැඩෙන්නට මෙබඳු මනෝභාවයන් ඉහළින්ම පිටුබල සපයයි.

මෙලොව ඉපදෙන සෑම මිනිසකු සතුවම ඇති ප්‍රධාන අපේක්ෂාව වනුයේ මනුෂ්‍ය ගරුත්වය රැකගෙන ජීවත්වීමය. නොවෙනස් පිළිගැනීම් ඇතිව සමාන අයිතිවාසිකම් සහිතව ජීවත්වීමය. මිනිසා ජීවත්වීම සඳහා රැකියාවක් කළ යුතුය. එය මහ පාර අමදින රැකියාව විය හැකිය. වැසිකිළි පවිත්‍ර කිරීමේ රැකියාව විය හැකිය. දේශපාලනය විය හැකිය. මේ සියල්ලම ජීවත්වීම පිණිසය. තම අඹු දරුවන් රක්ෂා කිරීම පිණිසය. මෙහි ඇති වෙනස කුමක් ද යන්න හෘදය සාක්ෂියෙන් විමසිය යුත්තකි.

බස් රියක ගමන් කරන විට බුදු පිළිමයක් දුටුවිට හුනස්නෙන් නැගිට ගෞරව කරන ඇතැමකු, ආබාධිතයකු බස් රියට ගොඩ වූ විට නිදි කිරා වැටීමට පටන් ගනී. ශරීරාබාධ කිසිවක් නොමැති අයකුට වුවද බස් රියක හිටගෙන ගමන් කිරීම අපහසුය. එවන් පරිසරයක ආබාධිත පුද්ගලයකු බස් රියක හිටගෙන යන්නේ කෙසේදැයි මිනිස්කම දන්නා මිනිසුන්ට වටහා ගැනීමට අසීරු නැත.

බුදු රජාණන් වහන්සේ දේශනා කළේ “බ්‍රාහ්මණයා හා වසලයා තීරණය වන්නේ කරන ක්‍රියාව අනුව මිස උපත ලද ස්ථානය අනුව නොවන බවය”. එය සනාතනික දහමකි. එහෙත් බටහිර රටවල්වල ඇති වර්ණ බේදවාදය දෙස බැලීමේදීත් අප සමාජයේ ඇතැම් ආකල්ප දෙස බැලීමේ දීත් අප සිටින්නේ මානව ගුණ ධර්මවලින් කෙතරම් පිරිහුණු සමාජයක ද යන්න වටහා ගැනීමට අසීරු නැත. 21 වැනි සියවසේදීත් අපට කතා කිරීමට මෙබඳු මාතෘකා ඉතිරිවීම සම්බන්ධයෙන් සෑම මානවකයකුම ප්‍රමාණය ඉක්මවා ගිය තරමට කම්පාවට පත් විය යුතුය.

(***)



අදහස් (0)

ශරීරාබාධ ඇති සැමටත් පුරවැසි සියලු අයිතීන් තිබිය යුතුය

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31262 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13447 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10985 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 90 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 926 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 277 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site