එදා රටේ නගරබද තැනින් තැන සර්කස් දර්ශන ප‍්‍රදර්ශනය කිරීම විලාසිතාවක් බවට පත්ව තිබුණි. මේ නගරයට ද සර්කස් කණ්ඩායමක් පැමිණ නගරයේ ඉඩකඩ ඇති පිට්ටනියක මඩු කූඩාරම්  ගසා ප‍්‍රදේශය පුරා මේ බැව් ප‍්‍රචාරය කෙරිණි. අඩි අසූවක් උඩ සිට ගිනි තබාගෙන ළිඳට පැනීම, මාරක ළිඳේ සයිකල් ධාවනය, කැරකෙන ඔන්චිල්ලා පැදීම, කම්බිය මත සයිකල් පැදීම, කම්බියේ යෑම, සිංහයා හා වළසා සමග පොරබැදීම හා විකට ජවනිකා ආදී දහසකුත් එකක් විචිත‍්‍රාංග මෙම සර්කස් කණ්ඩායම සතු විය. දහවල් තිස්සේ වෙහෙස මහන්සියෙන් තම රැකියාවන් කරන කොයි කවුරුනුත් තම අඹුදරුවන් ද සමග රාතී‍්‍ර කාලයේ මෙම සර්කස් දර්ශන නැරඹීම සඳහා සුළු මුදලක් වැය කිරීමට අදි මදි නොකරන ලද්දේ හුඟ කලෙකින් මෙවැනි විනෝදයක් නොලැබුණ බැවිනි. මේ අතරතුර එක් දිනක සර්කස් කණ්ඩායමට එදිනම අලූතෙන් එක්වූ ගැටවරයකුට වළස්ලෝගුව ඇඟලාගෙන වළහා ලෙස රංගනයේ යෙදීමට සර්කස් කණ්ඩායමේ ප‍්‍රධානියාගෙන් හදිසි අණක් ලැබුණි. දිනපතා වළහා ලෙස රංගනයේ යෙදෙන මාටින් අයියා එදින රාති‍්‍රයේ හිටිහැටියේ අසනීප වූ නිසා එම රංගනයට වෙන අයකු සිටියේ නැත. එහෙත් බොරු සිංහයින් හා වළසුන් ගැන මෙලෝහසරක් නොදන්නා ගැටවරයාට දෙළෝ රත් වූයේ කූඩුවේ සිටින්නේ ඇත්තම සිංහයෙක් යයි සිතුන නිසාය. එහෙත් දැන් කුමක් කළ යුතුද? තම ස්වාමියාගේ අණ පිළිපැදීම හැර වෙනත් විකල්පයක් නැත. මේ වෙන විට නරඹන්නෝ ”සිංහ වළස් පොරය” නැරඹීමට කෑකෝ ගසමින් විසිල් ගසමින් පී‍්‍රති ප‍්‍රමෝදයෙන් බලා සිටිති. මේ නිසා දෙවියන් බුදුන් සිහි කරගත් ගැටවරයා වළස් ලෝගුවට බැස හෙමින් සීරුවේ ඉමහත් බියකින් හා චකිතයකින් සිංහයා සිටි ඉසව්ව කරා පියමැන්නේ ”වෙන දෙයක් වුණාදෙන්” යයි තම ජීවිත ආශාව ද තුරන් කරගෙනය. ගෙරවිලි හඬ සමග ආ සිහින් කෙඳිරිලි හඬකින් සිංහයා පැවසුවේ ”ඈ බං මාටියෝ උඹට මේ හැටි ඉක්මනට සනීප වුණා”දැයි කියමිනි. ගැටවරයාගේ සිත තුළ මෙතෙක් පැවැතියා වූ මරණ බිය පහව ගියේ සිංහ ලෝගුව තුළත් ඉන්නේ තමන්ගේම සගයකු බව හැඟුණු බැවිනි.