වගා බිමකින් මඤ්ඤොක්කා ගස් දෙකක් හොරෙන් ගැලවීමක් පිළිබඳ පැමිණිල්ලක් පොලිස් පොතේ ලියැවිණි. පැමිණිල්ලත් විත්තියත් පොලීසියට කැඳවූයේ ඉන්  අනතුරුවය. තමා මේ ගොවි මහතාට අයිති වගා බිමෙන් මඤ්ඤොක්කා ගැලෙව්වා කියන්නේ ඇත්තද? පොලිස් පරීක්‍ෂක ඇසූ ප‍්‍රශ්නය හමුවේ මඳ වේලාවක් නිහඬව සිටි සැකකරු මෙසේ උත්තර දුන්නේය. ඔව් ”සර්”. දරුවන්ට දවල්ටවත් හරියට යමක් කන්න දෙන්න බැරි වුණා. ඒ හින්දා මඤ්ඤොක්කා ගස් දෙකක් ගලවා ගත්තා. එම කතාවත් සමඟ පොලිස් පරීක්‍ෂකවරයාගේ සහ පැමිණිලිකරුගේ මුහුණු අඳුරුවිය. පොලිස් පරීක්‍ෂකවරයා වැඩිදුර විභාගය  තම ස්ථානාධිපතිවරයාට යොමු කළේය. ඇයි මෙහෙම දෙයක් කළේ? තමන්ගේ දරුවන්ට හොරකම් කරපුවා කන්න දෙන්න පව් කියල හිතුනේ නැද්ද?  ඒ ස්ථානාධිපතිගේ කටහඬය. සැකකරුගෙන් උත්තරයක් නොලැබුණු  නිසා ස්ථානාධිපති පැමිණිලිකරුගෙන් මෙසේ ඇසුවේය. මොකද තමා කියන්නේ? නෑ... සර් මට මෙයා ගලවගෙන ගිය මඤ්ඤොක්කා ගස් දෙකේ පාඩුව ඉවසන්න පුළුවන්. නමුත් ඒ ගලවපු ගස් දෙකේ අල ගලවගෙන ගස්වල කොටස් මඤ්ඤොක්කා කොටුවෙම  දාලා ගිය එකෙන් මට වෙච්ච පාඩුව තමයි ඉවසන්න බැරි. ඒ කිව්වේ....? ඒ කිව්වේ සර්, මම මේ ගොවිපොළ හදලා තිබුණේ කිසිම වසක් විසක් පාවිච්චි කරන්නේ නැතිව අපේ  පාරම්පරික කෘෂිකාර්මික  දැනුම ප‍්‍රයෝජනයට අරගෙන. ඒවායේ තිබෙන ගුණදොස් සියල්ල බලලයි. කිසිම සතකුට සිව්පාවකුට ගොවිපොළ ඇතුළුවෙන්න බැරි කෘෂිකර්ම ක‍්‍රමවේදයක් මම අනුගමනය කළා. මේ මනුස්සයා එදා මඤ්ඤොක්කා හොරෙන් ගලවගෙන ඒ ගලවපු ගස් දෙකේ දඬු සහ කොළ එතැනම දාලා ගිය නිසා ඒ දඬුවලයි කොළවලයි ඉවට  වල් ඌරෝ රංචුවක් ඇවිත් වගාවේ පැත්තක්ම විනාශ කරලා. අපි අල වර්ග වගා කරද්දි ඒ අලයක තුවාල වෙච්ච කොටසක්වත් වගාබිමේ තියන්නේ නෑ. එහෙම තිබුනාම තමයි වල් සත්තුන්ගේ හානිය වැඩිවෙන්නේ. කමක් නෑ සර්, මම පැමිණිල්ල අස්කර ගන්නම්. දීර්ඝ කතාවකින් පසුව සැකකරුත් පැමිණිලිකරුත් දෙදෙනාම පොලීසියෙන් පිටව ගියහ.