පෝද්දල සරත් ආනන්ද ගමගේ



වේදිකා සැරසිල්ලක් සඳහා වල් සූරියකාන්ත මල් නෙළීමට ගිය පුද්ගලයකුට සිදුවූ අකරතැබ්බයක් පිළිබඳ අපූරු කතාවක් දකුණු පළාතේ ගිංගඟ අසබඩ ගම්මානයකින් පසුගියදා අසන්නට ලැබුණි.
හෙතෙම විශ්‍රාමිකයකු වන අතර, විශ්‍රාමිකයන්ගේ සංගමයේද කාරක සභිකයෙකි. හේ උපන් ගෙයිම පණ්ඩිතයෙකි. කිසිවකුගේ කිසිම අදහසක් මායිම් නොකරන ඔහු තමාගේ තීරණය සීයට දාහක්ම නිවැරැදි යැයි විශ්වාස කරන අයෙකි.
පසුගියදා ඔවුන්ගේ සමිතියේ කාරක සභාව කැඳවා තිබුණේ ඉදිරි දිනයක පැවැත්වීමට නියමිතව තිබුණු සංවත්සර මහෝත්සවය පිළිබඳව සාකච්ඡා කිරීමටය. එහිදී වේදිකාව සැරසීමේ වගකීම් බෙදාගත් අතර, ඒ සඳහා වල් සූරියකාන්ත මල් දෙසීයක් පමණ අවශ්‍ය බව නිලධාරිනිය පැවසුවාය. එම වගකීම කීපදෙනකු විසින් බෙදාගන්නා ලෙස ඉල්ලා සිටියාය. එහිදී නැගීසිටි අපේ කතානායකයා තමා දන්නා සූරියකාන්ත යායක්ම තම නිවස ආසන්නයේ ඇති බැවින් සම්පූර්ණ මල් තොගයම තමාට දිය හැකි යැයි පැවසීය.


මල් තොගය දීමට පොරොන්දු වූ පුද්ගලයා නියමිත දිනයේ උදෑසනම ලොකු බෑග් දෙකක්ද පාපැදියේ එල්ලා ගෙන මල් යාය තිබෙන බන්ට් වේල්ල අසලට පැමිණියේය. පාපැදිය නවතා සරමත් කැහැපට ගහගෙන මල් යායට ඇතුළුවීමට සූදානම් වූ අවස්ථාවේ බන්ට් වේල්ල මත ශාරීරික ව්‍යායාම කරමින් සිටි තරුණයෙක්, මෙහි විශාල වශයෙන් ‘‘දිමියන්”‍ සිටින බවත්, ඒ නිසා කිසිවකුත් මෙහි මල් නොකඩන බැවින් මල් යායට ඇතුළු නොවන්නැයි පැවසීය.
 ‘‘ඔව් මං දන්නවා. ඒකට කමක් නෑ දිමියන්ගෙන් බේරෙන්න කෙමක් තියෙනවා. මං ඒක කරල තමයි යායට ඇතුළුවෙන්නෙ”‍ යි කියමින් ඔහු පිළිතුරු දුන්නේය. දිමියකු අල්ලා උන්ගෙ ගොටු තියෙන ගසේම කොළේක ඌ දවටා ඉණේ ගසා ගැනීමෙන් පසු උන්ගෙන් හානියක් නොවන බව ප්‍රත්‍යක්ෂ්‍ය යැයි ඔහු තරුණයාට පැහැදිලි කළේය.
දිමියන්ගෙන් ආරක්ෂා වීමේ ‘‘කෙම”‍ කරගත් ඔහු මල් යායට පිවිසියේය. හෙතෙම ඇතුළුවූ තැන දළ බෑවුම් සහිත ස්ථානයකි. බෑවුමේ මල් නෙළීමට නොහැකි නිසා මල්ගස් අල්ලාගෙන ඔහු පහළට බැස්සේය. සිදුවූයේ මහා විපතකි. අල්ලාගත් ගස් ගැලවී පල්ලමට ඇදීගිය ඔහු මල්‍් යාය මැද ඇද වැටුණේය. 
ගැලවී ගිය ගස් ද ඔහුගේ ඇඟමත වැටුණු අතර, තම වාසස්ථාන හා දරු පවුල් අහිමිවී මාරාවේශවී සිටි දිමියෝ ඔහුට කිසිදා අමතක නොවන ප්‍රහාරයක් එල්ල කළහ. අමාරුවෙන් නැගිටගත් ඔහු බෑවුමෙන් ඉහළට නැග ගැනීමට අසල සිටි තරුණයාගේ පිහිට පැතීය. අත් දිග ජර්සියකින් සැරසී සිටි තරුණයා වහා පැන ‘‘ඒකනෙ මාමෙ මං කිව්වේ”‍ කියමින් ඔහු ගොඩට ඇද ගත්තේය. පසුව අසල්වැසියන්ගේද සහයෙන් දිමියන් ඉවත් කරගත් මල් නෙළන්නා රෝහල් ගතවීම ප්‍රතික්ෂේප කර, ගොඩ වෙදකමක් කරගන්නවා යැයි පවසමින් අමාරුවෙන් පාපැදියත් තල්ලු‍ කරගෙන නිවෙස් බලා ගියේය.
උත්සවයේ වේදිකා සැරසිල්ලද කොට උඩ ගොස් ඇති අතර, ඉදිමී දම්පාටවී තිබෙන මුහුණ මහජන ප්‍රදර්ශනයට නුසුදුසු නිසා මල් නෙළන්නාද උත්සවයට සහභාගි වී නැත.