මොරගොල්ලාගම සිසිර නන්දන කැලේගම.
හාපුරා කියා මුලින්ම දුටු මිනිපිරිය සරසවි වරම් ලැබු පුවතට සතුටුවීම පසෙක තබා දෙස් දොවොල් තබමින් කිරි අම්මකු හඬා වැටුණු සිද්ධියක් වයඹ පුරවරයෙන් අසන්නට ලැබුණි.
පවුලේ එකම තරුණ පුතු කලක සිට ගමේ පදිංචිව සිටින තරුණ දියණියක සමඟ පෙම් සබඳතාවක් ගොඩනගා තිබුණි. එයට ඔහුගේ පාර්ශවයෙන් දැඩි විරෝධතා එල්ල විය. එය තඹ දොයිත්තුවකට මායිම් නොකළ ඔහු තනි අභිමතයට ඇය විවාහ කරගෙන ඇයගේ මුල් නිවසේ බින්න බැස්සේය.
වැඩිකල් යාමට මත්තෙන් ඔවුන්ගේ කැදැල්ලට දරු සුරතල් බැලීමේ භාග්‍ය උදා විය. ඇය දඟකාර හැඩකාර දියණියකි. එම පවුල් දෙකේම මව්පියන් දුටු එකම මිනිපිරියද එම දියණිය වේ. ඒ සිද්ධිය මත ඔහුගේ පාර්ශවයෙන් එතුවක් තිබු අමනාපකම් ද දුරු විය.
එය එසේ වුවත් වැඩිකල් යන්නට මත්තෙන් විවාහය දෙදරන්නට විය. ඔහු තම බිරියත්, දියණියත් ප්‍රතික්ෂේප කළේය. ඔහු මව්පියන්ගේ නිවසේම නැවතුණි.
ඇය තම දරුවාත් වඩාගෙන පොලීසියට ගියාය. අධිකරණය පිහිට පතා ඔහුගෙන් දික්කසාද වුවාය. එසේම ඇය දරුවාට නඩත්තු මුදලක්ද ඉල්ලා සිටියාය.
ඇය දරුවා සමග වාසය කළාය. එහෙත් ඔහු තවත් කතක සමඟ නැවත විවාහ විය. එම විවාහයේ ඔවුනට දරුවන් තිදෙනෙකි. ඔහු ඔවුන් ජීවත් කරවන්නට අපමණ වෙහෙස දැරීය. එසේම පළමු බිරියගේ දරුවාට අධිකරණය හමුවේ පෙනී සිට මාස්පතා පොරොන්දු වු නඩත්තු මුදල් ගෙවීමටද අමතක නොකළේය.
ඔහු වසර ගණනාවක් තිස්සේ එලෙස නඩත්තු මුදල් ගෙව්වේය. එම දියණිය උසස් පෙළ විභාගයට පෙනී සිටියාය. එම විභාගය නිම වු පසුව අධිකරණයට කරුණු වාර්තා කර තවදුරටත් නඩත්තු මුදල් ගෙවීම නතර කර දීමට ඔහුගේ නීතිඥවරයා එකඟ වී සිටියේය. එම දිනය එළඹෙන තෙක් පුතුගේ මව ඇඟිලි ගැන්නාය. ඒ පුතු උපයන මුදලින් අමතර මුදලක් ගෙවීම එදින සිට හෝ නවතින බැවිනි.
කාලය ගෙවුණි. උසස් පෙළ විභාගයේ. ප්‍රතිපල නිකුත් වුණි. ප්‍රතිඵල ගැන විපරම් කිරීමේදී එම දියණිය විභාගය ඉහළින්ම සමත්ව සරසවි වරම් ලබා ඇති බව පුතුටත්, මවටත් දැන ගන්නට ලැබුණි.
” අනේ හොදයි, යාන්තම් ඇති. ඒකත් ඉවරයි”අම්මා දෙවැනි විවාහයේ දරුමල්ලන් තුරුලට ගෙන දිගු සුසුමක් හෙලුවාය.
”අම්මා මොනවද මේ හොදයි කියන්නේ. ඒකි වැඩිදුර අධ්‍යාපනය ලබනවා කියන්නේ මම මෙතෙක් ගෙවපු නඩත්තුව තවත් වැඩිකරන්න වෙන එකයි. ඒකටද හොදයි කියන්නේ ” පුතා ඇසුවේය.
”අයියෝ, ඉවරයි, ඉවරයි. මදැයි උඹ ඒකෙන් බේරෙන කම් මං බලාගෙන හිටියා. ඒකත් තොපේම කරුමේ තමයි” යනුවෙන් තුරුලට ගත් පොඩි උන්ද ඉවතට දමා එකී මිනිපිරියට දෙස් දෙවොල් තබමින් කිරි අම්මා ගෙට වැදුණාලු.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd