තම දරුවන් දෙදෙනා ගැන උජාරුවට වර්ණනා කළ මවකගේ සායම සේදී යාමේ පුවතක් රජරට ප්‍රදේශයේ ගල්නෑව නගර සීමාව අවට ගමකින් අසන්නට ලැබුණි.


සිද්ධිය මෙසේය.


තම පවුලේ ඥාාති දරුවෙකුගේ මංගල උත්සවයකි. එය පැවැත්වෙන්නේ නගරයේ ප්‍රසිද්ධ හෝටලයකය. පවුලේ ඥාාතීහු  හෝටලයට එක් වූහ.


එවකට තනිකඩ වියේ පසුවූ එම පවුලේ ඥාාති කතක් අවුරුදු ගණනාවකට පසුව එතැනදී හමු වූවාය.


ඇයගේ ආගිය විස්තර එම පවුලේ තවත් පිරිස් එක්ව එතැනදී අසන්නට වූහ.


‘මම දැන් රාජ්‍ය අංශයේ රැකියාවක් කරනවා. මම විවාහකයි. මේ මගේ මහත්තයා. එයා ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක්. මේ මගේ ලොකු පුතා. ඔහු අධ්‍යාපනය ඉහළින්ම සමත්. මේ මාගේ චූටි දුව. දැනට ජනප්‍රිය පාසලක  ඉගෙන ගන්නවා.  කලකට පසුව හමු වූ ඥාාති පාර්ශ්වයට තම දරුවන් හා සැමියා ගැන ඇය හඳුන්වා දුන්නාය. 


‘කට ඇති පුතෙක්’, ‘රුව ඇති දුවෙක්’ කලකට පසුව හමුවූ ඥාාතීහු ඇයගේ දරුවන් දෙදෙනා දිහා බලා සතුටු සිතින් කතා කරන්නට වූහ.


‘ඔව් අනේ, මේ දෙන්නා පුදුම සහෝදර බැඳීමකින් ඉන්නේ. අපිටත් එහෙම තමයි හරිම ළෙන්ගතුයි. හැමදාම රෑට අයියයි නංගියි මල් පූජා කරනවා. රෑට නින්දට යන්නට පෙර අපි දෙන්නටම හයියෙන් ගාථාව කියලා වැඳලා තමයි නින්දට යන්නේ. පුතා සමාජයේ හිටියට අරක්කු ටිකක් සිගරට් එකක් කටේ තියන්නේ නැහැ. දුවත් එහෙමයි. අනන් මනම් ගැන කිසිවක් එහෙම අහන්න මේ දක්වා ඉඩ තියලා නැහැ. ඇය තම දරු දෙදෙනා ගැන තව තවත් උජාරුවට කියන්නට වූවාය.


ඒ අතරේ එම පුතා හා දියණිය හදිස්සියේ උත්සව ශාලාවෙන් පිටතට යන්නට සූදානම් වූහ. ඔවුන් යාමට මත්තෙන් තම මවට හා පියාටද ඒ අවට සිටි වැඩිවියේ පසු වූ සියලු දෙනාටම වැඳ ආශිර්වාද ලබාගෙන නික්ම ගියේ මව කී වදන් ඇස් මනාපිටම පසක් කරවන්නාක් මෙනි.


‘අනේ වාසනාවන්, අපේ දරුවන් පංති යනවා ගෙදර එනවා තම තමන්ගේ කාමරවලට රිංගනවා. දොරවල් වහ ගන්නවා. ඔවුන් ඔවුන්ගේ ලෝකයේ අපි අපේ පාඩුවේ ඉන්නවා. තවත් ඥාාතීන් පිරිසක් දැඩි කලකිරීමකින් යුතුව පැවසුවේ මෙම දරුවන් දෙදෙනාගේ හැදියාව දෙස දකිමින් හා ඒ පිළිබඳව විස්තර අසමින්ය.


මංගල උත්සවය නිමා විය. දින කිහිපයකට පසුව දරුවන්ගේ හැදියාව අසා වෙන්ව ගිය ඥාාතීන් පිරිසක් අහම්බෙන් එම නිවසට ගොඩවැදී ඇත්තේ රාත්‍රිය එහි ගතකර යාමටය.


නිවසේ කිසිවකුත් නැත. යම් කලබැගෑනියක් සිදු වී ඇති සේයා දකින්නට ඇත. ඒ අතරේ නිවසේ කාමරයකින් කෙනෙකු කෑ ගසනා හඬක් අසන්නට ලැබුණි. ඔවුන් කාමරයට එබිකම් කරයි. එහි ඇත්තේ එදා ඇය වර්ණනා කළ ලොකු පුතාය.


ඔහු කසිප්පු කට ගොන්නකට බී ඇති බව ඔවුනට වැටහුණි. ටික වේලාවක් ගියවිට සුද්ධ සිංහලෙන් සභාව අමතන්නාක් සේ කෑකෝ ගසන්නට වූහ.


ඒ වදන් පැමිණි ආගන්තුක පුතාටද, දුවටද නුහුරු නුපුරුදු ඒවා සේය. එනපොට හරි නැත. නිවසේ කිසිවෙකුත් නැත. අවට වැසියන්ගෙන් ඒ ගැන විමසීමේදී මේ පුතා හැමදාම බීලා මෙලෙස හැසිරෙන බව පවසා ඇත.
 මේ පිරිස ගෙට එනවා දැක ඒ අම්මයි දුවයි පිටු පස්සේ දොරෙන් අවට නිවසකට දිව ගිය බවද ඇසින් දුටුවන් පවසා ඇත.


එම සැමියා නිවසේ නැතත් ඔහුගේ දුරකථන අංකය ඔවුන් සතුව තිබේ. ඔවුන් සැමියා අමතන්නට විය. 


‘අපි මල්ලි ගෙදර ඇවිත් යන්න යනවා.’


‘ඇයි ආව ගමන් යන්නේ මං මේ ළඟ එන ගමන්. යන්න එපා ඉන්න.’ ඔහු පෙරැත්ත කරන්නට විය.


‘නැහැ මල්ලි අපි යනවා. අපි යද්දී පුතා මල් පූජා කරනවා. නංගියි දුවයි ඊට බාධා නොකර පිටුපස්සේ ගෙදරක ඉන්නවා කියලත් ආරංචි වුණා. ඒ නිසා අපිත් ඊට බාධා කළේ නැහැ. අපි ගෙනා බිස්කට් එකක් මේසය උඩ ඇති. ඉන්න පුලුවන් වාතාවරණයක් නැහැ. අපි ඇවිත් ගියා කියලා නංගිට කියන්න. ඔවුහු සංවාදය විසන්ධි කළහ.


නිවසට ගොඩු වූ සැමියාට නැති ගුණ කීමට ගොස් තම බිරිඳට මෙවන් විපත්තියකට මුහුණ දෙන්නට සිදු වූ බව පවසමින් ඔහු දිගු සුසුමක් හෙළද්දී බිරිඳ ලැජ්ජාවෙන් තම පුතාට දෙස් දෙවොල් තබන්නට වුවාලූ.

(මොරගොල්ලාගම-සිසිර කැලේගම)