යමකුට හරිමඟ කියාදිමේ වගකීම පැවරී ඇත්තේ ගුරුවරයාටය. එසේ වුවද අබුද්දස්ස කාලේ ගුරුවරුන්ටත්  දැන මුතුකම් කියාදීමට  සිදුව තිබේ. වයඹ ගමකින් වාර්තාවන කිරිගොවියකු විදුහල්පතිවරයකුට හරිමඟ කියාදුන් පුවත සැකෙවින් මෙසේය. මේ දිනවල පාසල් දරුවන් ගේ කායික හා මානසික පෝෂණය වර්ධනය කිරීමට දියරකිරි වේලක් ලබාදීමේ රජයේ වැඩපිළිවෙලක්  ඇරඹී ඇත. දේශීය කිරි ගොවියාගේ ආර්ථිකය සාර්ථක කිරීමටත් මේ වැඩපිළිවෙල වැදගත් වෙයි. අදාළ උපදෙස් විදුහල්පතිවරුන්ට ලැබී ඇති නිසාදෝ විදුහල්පතිවරු කිරිගොවීන් කරා ගොස් කිරිමිලට ගැනීමට සොයා බලති. එක්තරා විදුහල්පතිවරයෙක් ප‍්‍රදේශයේ තරුණ කිරිගොවියකු මුණ ගැසීමට ගියේය. ස්කෝල  ළමයින්ට කිරි දෙන්ට යනවනෙ. ඒක හරි හොඳයිනෙ. මගෙන් මොනවද කෙරෙන්න  ඕනෑ. කිරිගොවියා ඇසීය. මලේ කිරි ලීටරේට රුපියල් පනහක් විතර ගෙවන්න පුළුවන් අපේ පාසලට කිරි ලීටර් හැටක් විතර  ඕනෑ. පුළුවන්ද ඒ කිරිටික දෙන්න. අපෝ දෙන්නම් කෝ කිරි ගොවියා කිවේය. කිරි ලීටර් හැටක් වුණාට හැටම එපා ලීටර් පනහක් දෙන්නකො. මං ඒක හැට කරගන්නම්. ලීටරේට රුපියල් පනහ ගානේ ගෙවනවනේ. ඒක අපි දෙන්නා ලීටර් පහ ගානේ බෙදාගෙන දවසට රුපියල් දෙසිය පනහ ගානේ බෙදාගමු. විදුහල්පතිවරයා කීවේය. ”දෙයියෝ සාක්කි” කියා නළලේ අත ගසාගත් ගොවි මහතා ”අනේ! පි‍්‍රන්සිපල් උන්නැහේ මට නම් බෑ ඒ පාප කර්මෙට කර ගහන්ට දරුවන්ට දෙන දේත් ගසාකාලා හම්බකරනවට වඩා හොඳයි  වහකාල මැරෙනවා. ඔහේ ඔය බලූ වැඬේට වෙන කවුරුවත්  අල්ල ගන්නවා. ඔයවගේ සල්ලි පෙරේතයෝ  තවත් ඇති. මං හිතාන හිටියේ මගේ ගානේ කිරි ලීටර් දෙකක් ගුරු මණ්ඩලයටත් දෙන්න. මට  දෙන්න කිරි නෑ. කිරිගොවියා මූණටම කීවාලූ”.