කොලොම්පුරේය. උසස් නිලධාරියෙකි. ඔහුගේ ලැප්ටොප් පරිගණකය ක‍්‍රියාවිරහිත විය. දිවා විවේකයේදී පරිගණක අලෙවි සලකට පිවිසි හෙතෙම අලූත්ම ලැප්ටොප් පරිගණකයක් මිලට ගත්තේය. කාර්යාලයට පැමිණියේය. කාර්යාලයේ තමා සිටිනා මහල පිරිසුදු කරන තරුණයා ඇමතුවේය. පරණ ලැප්ටොප් පරිගණකය දුන්නේය. ඔහුට ”මේක ඩස්ට් බින් එකට දාන්න” පැවසීය.


එය රැුගෙන පහත මහලට පැමිණි සේවකයා තමා විවේක ගන්නා කාමරයේ එය තැබුවේය. නිවෙසට රැගෙන යෑම සඳහාය. මේ අතර පිරිසුදු කිරීමේ ආයතනයේ සුපවයිසර් මහතා එතැනට පැමිණියේය. මේසය මත තිබෙන පරිගණකය දුටු ඔහු ”මේක කොහෙන්දැයි” විමසීය. ”සර් මේක කැඩිච්ච එකක් විසි කරන්න කියලා උඩ තට්ටුවක සර් කෙනෙක් දුන්නා. මම ගෙදර ගෙනියන්න අරන් තිබ්බා” සේවකයාගේ පිළිතුර විය.


” ඕක ඔයාට මොකටද?  ඕක හදාලා ගන්න පුළුවන්. අපේ පුතාට දෙන්න හදාගන්න පුළුවන්.”යැයි සුපවයිසර් කීවේය. සේවකයා ශෝකයෙන් බලා සිටියදී පරිගණකය රැුගෙන ගියේය. පසුදින පැමිණි සුපවයිසර් සේවකයා අමතා ”අර ලැප්ටොප් එක  හදන්න රුපියල් එක්දහස් පන්සීයක් ගියා. ඒක ඒ කඩෙන්ම රුපියල් හැටදාහකට ඉල්ලූවා. හොඳ වර්ගයේ එකක්ලූ. සේවකයාට තරු පෙනුණි. ”අතට ගත්ත දේ කටට දාගන්න බැරිවුණා” තමාටම කියාගත් සේවකයා දීර්ඝ සුසුමක් හෙළීය.