නිවෙසක අලූත් ඇඳුම් කිහිපයක් මීයකු සපා කා තිබිණි. සැමියා බිරියට යෝජනා කළේ මී කූඩුවක් රැගෙන විත් මීයා ඇල්ලිය යුතු බවය. රැකියාවට ගොස් ආපසු පැමිණෙන විට සැමියා සහ බිරිය මී කූඩුවක් ගෙන ආහ. 


පසුදින බලනවිට කූඩුවේ සිරවී අහිංසකව බලා සිටින මීයකු දැකගත හැකිවිය. උදේ මීයාව රැගෙන යා නොහැකි නිසා රාත‍්‍රියට ඈතට ගොස් මුදා හැරීමට ඔවුහූ තීරණය කළහ. ”දැන් අපි හවසට එනකන්ම මූ බඩගින්නේ. මම මූට මොනාහරි කන්න දාන්නම්.” සැමියා පැවසීය. චීස් කැබැල්ලක් හා වතුර කෝප්පයක් මී කූඩුව තුළට දැමූ සැමියා, බිරිය සමඟ පිටත්විය. රාත‍්‍රියේදී මීයා රැගෙන ගොස් මුදා හරින ලද අතර පසුදින පෙරදා මීයාට සමාන මීයෙක් මී කූඩුවේ දැක ගැනීමට ලැබිණි. ඔවුන් අනුමාන කළේ ඇල්ලූ මීයා නැවත පැමිණ ඇති බවය. 


සැමියා සුදු තීන්තවලින් මීයාගේ පිටේ ඉරක් ඇඳ එදින ද චීස් කැබැල්ලක් සහ වතුර තැබීය. ඔවුන් රාත‍්‍රියේදී මීයාව කැලයෙන් වටවූ පෙදෙසකට මුදාහලහ. පසු දින ද කූඩුවේ මීයෙක් දක්නට ලැබිණි. සුදුපාට ඉරක් උගේ පිටේ තිබිණි. හසුවී ඇත්තේ පැරණි මීයාම බව පැහැදිලි විය. ”ඔයා කන්න දීලා ඌට රහ වැටිලා. ඒකයි ආයේ එන්නේ.” බිරිය කීවාය. ”මීයාට මොනාද අපි කරන්නේ.” සැමියා සහ බිරිය ගැටලූවකට මුහුණපා සිටින බව රාගම ප‍්‍රදේශයෙන් වාර්තාවේ.


ක‍්‍රිස්ටෝපර් සීපියන්, 
අනුරාධපුරය.