මහින්ද මෛත්‍රී සාකච්ඡාව, නව සන්ධානය, වෙල්ගම-ප්‍රසන්න විවාදය, ශ්‍රී.ල.නි.ප. ජ්‍යෙෂ්ඨයන්ගේ පිල් මාරු සූදානම, පාතාලයේ දේශපාලනය, කොකේන් චෝදනාව, පාර්ලිමේන්තු ගැටුමේ වාර්තාව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව හා විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ මහින්ද රාජපක්ෂ වෑයම ගැන මෙවර සඳුඳා හමුවෙන් අදහස් දක්වන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතායි.

ප්‍රශ්නය - ශ්‍රී.ල.නි.ප. පොදුජන පෙරමුණු සාකච්ඡා කොහොමද? 

පිළිතුර - ඉදිරියේ පවත්වන ප්‍රධාන මැතිවරණයකදී පුළුල් සන්ධානයක් හැටියට තරග කිරීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර සාකච්ඡාවේ අරමුණයි. මේ සාකච්ඡාවේ අවසන් ප්‍රතිඵලය වෙන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමාත් මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාත් ඇතුලු දැවැන්ත පුළුල් සන්ධානයක් හදලා එක්සත් ජාතික පක්ෂ රජය පරාජය කිරීමයි. 

ප්‍රශ්නය - එතකොට පොහොට්ටුව සලකුණින් අලුතින් හැදෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පොදුජන පෙරමුණද?

පිළිතුර - තාම පක්ෂය සහ ලකුණ පිළිබඳ අවසන් තීරණයක් නෑ. මේ වෙනකොට සන්ධානය ගොඩනැගීම පිළිබඳ සාකච්ඡායි යන්නේ. 

ප්‍රශ්නය - ඒ වුණාට ප්‍රසන්න රණතුංග, කුමාර වෙල්ගම වගේ ශ්‍රීලනිප දැවැන්තයන් ඕකට කැමැති නෑනෙ?  

පිළිතුර - කුමාර වෙල්ගම ගැන මම දන්නේ නෑ. කුමාර වෙල්ගම මහත්තයා කරන සියලු ප්‍රකාශ රනිල් වික්‍රමසිංහ මහත්තයට පක්ෂව කරන ප්‍රකාශ. ඒ නිසා ඒ පිළිබඳව කතා කරන්න මම කැමැති නෑ. අවසන් මැතිවරණයකදී අපි පුළුල් සන්ධානයකින් තරග කරන්න ඕනෑ යැයි ප්‍රසන්න රණතුංග මහත්තයා කියලා තිබුණා. 

ප්‍රශ්නය - වාසුදේව නානායක්කාර, මහින්දානන්ද අළුත්ගමගේ දැඩිව පෙනී සිටින්නේ එකතු වෙන්න ඕනෑ කියලයි. දැන් වෙන කවුද එකතු වෙනවාට කැමැති?

පිළිතුර - මොළේ තියෙන හැම කෙනෙකුම කියන්නේ ප්‍රධාන මැතිවරණයකදී එකට තරග කළ යුතුයි කියලා. තනිවම තරග කරලා ජනාධිපතිවරණය දිනන්න පුළුවන් කියලා කවුරු හරි කියනවා නම් ඒක මොළේ අමාරුවක්. එහෙම නැත්තන් ඒ රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් පෙනී හිටින කෙනෙක්. ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා නම් අපි සියලු දෙනා ඉදිරිපත් විය යුත්තේ පුළුල් සන්ධානයකින්. 

ප්‍රශ්නය - කුමාර වෙල්ගම හා බැසිල් රාජපක්ෂ ඇතුලු පිරිසට තමයි වැඩි බලයක් තියෙන්නේ. කේවල් කිරීමේ හැකියාව ඔවුන්ට වැඩියි නේද?

පිළිතුර - අනිවාර්යෙන් සන්ධානය හැදීමේදී වැඩි බහුතර බලයක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට තමයි ලැබෙන්න ඕනෑ. ඒ ස්ථාවරයේ අපිත් ඉන්නවා. ඒ පිළිබඳ කිසි ගැටලුවක් නෑ. 

ප්‍රශ්නය - එහෙම නම් ඉතින් කිසි ප්‍රශ්නයක් නෑනෙ. මතභේදයක් ඇයි?

පිළිතුර - ඇත්තවශයෙන්ම ප්‍රශ්නයක් නෑ. මේ සන්ධානය පිළිබඳ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බැසිල් රාජපක්ෂ මහතා පක්ෂ නායක රැස්වීමේදී කතා කළා. පක්ෂ හැටියට තිබෙන යෝජනා සැලකිල්ලට ගෙන තීරණයක් ගන්න විතරයි තියෙන්නෙ. 

ප්‍රශ්නය - ඒත් ජනපති අපේක්ෂකයා කවුද කියන එක සම්බන්ධයෙන් තිබෙන්නෙත් බෙදීමක් නේද? 

පිළිතුර - අපි ඒ ගැන මේ වෙලාවෙ කතා කළ යුතු නෑ. මේ වෙලාවෙ අපි කතා කළයුත්තේ සන්ධානය ගැන බවටත් දිනන්න පුළුවන් අපේක්ෂකයා අවසාන මොහොතේදී දාන බවටත් අපි එකඟවෙලා තිබෙනවා. 

ප්‍රශ්නය - ඒත් රට ඇතුලේ පොදුජන පෙරමුණු පාර්ශ්වය නම් කියන්නේ ඔහු රාජපක්ෂ පවුලේ කෙනෙක් වෙන්න ඕනෑ කියලයි?

පිළිතුර - පැහැදිලිවම. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැටියට අපි කියන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා කියලයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා කියලයි. එතන මත දෙකක් තියෙනවා. දැන් එක්සත් ජාතික පක්ෂය ගත්තොත් සජිත් ප්‍රේමදාස ඉන්නවා. කරු ජයසූරිය ඉන්නවා. චම්පික රණවක, රනිල්, රාජිත ඉන්නවා. මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාත් ජනපති අපේක්ෂක වුණේ අවසාන මොහොතේයි. ඒ නිසා අපි ඒ ගැන දැන්ම කතා කළ යුතු නෑ. 

ප්‍රශ්නය - හැබැයි දැන් මෙහෙම සාකච්ඡා යන අතරේ දැනට ජනපති සමග සිටින ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් පිරිසක් පොදුජන පෙරමුණු කණ්ඩායමෙන් වෙන්ව ස්වාධීනව තීරණ ගැනීමට සැලසුම් කර ඇති බවට මාධ්‍ය වාර්තා පළ වෙනවා. එහෙම වුණොත් වෙන්නෙ මොකද්ද?

පිළිතුර - කොහොමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එක්කෙනෙක් හෝ දෙන්නෙක් එක්සත් ජාතික පක්ෂය සමඟ කටයුතු කරමින් ඉන්න බව අපට තේරෙනවා. ඔවුන්ට ශ්‍රී.ල.නි.පයෙන් තරග කරලා දිනන්න බැරිවේය කියන බයට එ.ජා.පයෙන් තරග කරන්න හදනවා යැයි අපට දැනෙනවා. හැබැයි ජනාධිපතිවරණ මොහොතේ උණුසුම එක්ක ඔය සියලු දෙනාම කැරකිලා ඇවිත් මෙතන හිටගන්නවා. 

ප්‍රශ්නය - ඉතින් එහෙම ඩීල් දාන කට්ටිය කැරකිලා එද්දී පිළිගන්නත් ඔබලා සූදානම්ද?

පිළිතුර - මෙහෙමනෙ. අපට තාම කියන්න බෑනෙ. අද වෙනකන් අපට එහෙම ඔප්පු කරගන්න කෙනෙක් නෑනෙ. 

ප්‍රශ්නය - මාර්තු 12 වැනිදා පාර්ලිමේන්තුවේ අය-වැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීමේදී මෙම පිරිස අය-වැයට පක්ෂව ඡන්දය ලබාදෙනු ඇතැයි මාධ්‍ය වාර්තා පළ වුණා? 

පිළිතුර - ශ්‍රීලනිපයෙ ඉන්න මොළේ තියෙන කෙනෙක් එහෙම ඡන්දයක් දේ යැයි මම හිතන්නේ නෑ. දැන් බලන්න විජයමුනි සොයිසලා පියසේන ගමගේලා ඇමැතිකම් ගන්න උඩපැනගෙන ගියානෙ. ඇමැතිකම් හම්බුණාද? නාමයෝජනා දෙන්නම් කියන පොරොන්දුවට එහෙම බෙල්ල තියන්න ඒවිද? පැහැදිලිව කියනවා. අය-වැයේදී කිසි කෙනෙක් එහෙම යන්නේ නෑ. 

ප්‍රශ්නය - ඒ පැත්තෙන් මේ පැත්තට එන්න හදන අයගෙ නමුත් කියැවෙනවා? 

පිළිතුර - එක්සත් ජාතික පක්ෂය ඇතුලේ රනිල් වික්‍රමසිංහ මහත්තයට දැඩි විරෝධයක් පළවෙමින් තිබෙන්නේ. මේ වෙනකොටත් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයන් පිරිසක් අප සමඟ සාකච්ඡා කරනවා. ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්වීමත් සමඟ උඩුයටිකුරු කරන පෙරළියක් සමඟ එ.ජා.පයේ විශාල පිරිසක් අප සමඟ එකතු වේවි. 

ප්‍රශ්නය - කුඩුයි පාතාලෙයි ගැන ලොකු අඬෝවැඩියාවක් විපක්ෂෙට තිබුණා. අන්තිමේදී ඒකත් පාරාවළල්ලක් වුණා නේද? 

පිළිතුර - ඇයි ඒක අපට පාරාවළල්ලක් වෙන්නේ. 

ප්‍රශ්නය - ඇයි අන්තිමේදී පාතාල සම්බන්ධකම් ගැන චෝදනා ආවේ සන්ධාන පාර්ශ්වයේ අයටනේ? 

පිළිතුර - සන්ධාන පාර්ශ්වයේ කාගේවත් නම් කියලා නෑ. 

ප්‍රශ්නය - ලක්ෂ්මන් යාපා, නිරෝෂන් ප්‍රේමරත්න එ.ජා.පෙ ද?

පිළිතුර - ඒවා මඩ. ඒ ඔක්කොම මඩ. ඒ පාතාල සාමාජිකයා මාතර දිස්ත්‍රික්කයෙ. මාතර දිස්ත්‍රික්කයේ විපක්ෂයේ දෙන්නෙකුට පුළුවන් නම් ලංකාවෙ ප්‍රධානම කුඩු ව්‍යාපාරිකයා ආරක්ෂා කරගන්න ඒක විහිළුවක්නෙ. අනිවාර්යයෙන් කුඩුකාරයන්ට රැකවරණ දෙන්න ඕනෙ ආණ්ඩුව. විපක්ෂෙ අය මොකටද කුඩුකාරයන්ට රැකවරණය දෙන්නේ? මහින්ද රාජපක්ෂ මහත්තයාගෙ කාලේ කුඩු ව්‍යාපාරිකයන් විශාල පරිමාණයෙන් අහුවුණා. මේ කුඩු ජාවාරම වැඩිවුණේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව කාලෙ. ඒකෙන් බේරෙන්න කරන බොරු චෝදනා ඕවා.

ප්‍රශ්නය - ඉතින් මේ ආණ්ඩුවෙන්මනේ මධුෂ් අල්ලන්නෙත්? 

පිළිතුර - මේ ආණ්ඩුව වුණාට මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා පොලිසිය තමන්ගෙ යටතට ගත්තට පස්සෙ ඒක වුණේ. ඊට කලින් මේ කිසි දෙයක් වුණේ නෑ. මේ ජයග්‍රහණයේ කීර්තිය ගෞරවය එතුමාට දෙන්න ඕනෑ. 

ප්‍රශ්නය - එතකොට රත්ගම තරුණයන් දෙදෙනකු පොලිස් අත්අඩංගුවේදී ඝාතනය වෙන්නෙත් පොලිසිය ජනාධිපතිවරයා යටතට ගත්තට පස්සෙයි. ඒකෙ ගෞරවය ඕනේ නැද්ද?

පිළිතුර - ගල් සහ මුල් දෙකම තියෙනවා. ඒත් පොලිස් නිලධාරින් දෙන්නෙක් කළ වරදකට පොලිසිය බාර ඇමැතිවරයාට චෝදනා එල්ලකිරීම වැරදියි. හැබැයි දේශපාලකයන්ගේ බලපෑමට මත්කුඩු අල්ලන්නේ නැත්නම් නීති තද කරලා ඒ අත්අඩංගුවට ගැනීම් වෙනවා නම් ඒකෙ ගෞරවය දිය යුතුයි. 

ප්‍රශ්නය - රංජන් රාමනායක මන්ත්‍රීවරයා කොකේන් භාවිත කරන මන්ත්‍රීවරුන් ගැන බරපතළ චෝදනාවක් කළා. ඒ වගේම අදාළ පරීක්ෂා කිරීමකටත් ඔහු පෙනී සිටියා. ඔබලා කැමැති නැද්ද එහෙම ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වෙන්න? 

පිළිතුර - අපි කොකේන් ගහලත් නෑ. දැකලත් නෑ. සුදු ද කළු ද දන්නේත් නෑ. කවුරු හරි කෙනෙකුගේ නම් ඉදිරිපත් කළොත් අපි ඒක බලමු. 

ප්‍රශ්නය - පාර්ලිමේන්තුවට ඇතුල් වෙද්දි දියුණු රටවල වගේ මත්ද්‍රව්‍ය භාවිත කරලද නැද්ද කියල චෙක් කරන්න ක්‍රමයක් හැදුවොත් ඔය සුදු පිරුවට ගැලවෙයි කියලයි ඔහු කියන්නේ? 

පිළිතුර - රංජන් රාමනායක මහත්තයගෙ කතාවලට උත්තර දීලා වැඩක් නෑ. නම් ටික එලියට දාන්න කියන්නකෝ. 

ප්‍රශ්නය - කොකේන් කතා චෝදනා මට්ටමේ තිබුණාට පාර්ලිමේන්තුව ඇතුලේ මුළු ලෝකෙටම පේන්න පොලිසියට ගහපු ඒවා ගුටි ඇනගත්ත ඒවා දැන් ඔප්පු වෙලා නේද තියෙන්නේ?

පිළිතුර - ඒක ඉතාම අවාසනාවන්ත සිද්ධියක්. ඒක අපි පිළිගන්නවා. ඒක නොවිය යුතු දෙයක්. ඒ වෙලාවේ කතානායකවරයාත් මැදිහත්වීමෙන් වූ පහත් වැඩේදි අපේ මන්ත්‍රීවරුන්ට වෙන විකල්පයක් තිබුණේ නෑ. කතානායකවරයා පොලිසියේ බලය පාවිච්චි කරලා මන්ත්‍රීවරු තල්ලු කරගෙන ආපු වෙලාවේ තමයි මේක වුණේ. එවැනි අවස්ථාවක අපට වෙන විකල්පයක් නෑ. ඔබ ඒ වීඩියෝ පට බලන්න.

ප්‍රශ්නය - ඒ වීඩියෝ පට පදනම් කරගෙනයි වාර්තාවක් හැදුවෙ. ඒ වාර්තාව ස්වාධීන නෑ කියලද කියන්නේ?

පිළිතුර - අපි කියන්නෙ පාර්ලිමේන්තු අභ්‍යන්තර සිදුවීම් අධිකරණයට යා යුතු නෑ. පාර්ලිමේන්තු අභ්‍යන්තරයේ සිදුවීම් සම්බන්ධයෙන් කතානායකවරයාට දඬුවම් කළ හැකියි. පාර්ලිමේන්තු ආචාර ධර්ම පද්ධතියක් තිබෙනවා. ඒ අනුව ඔහුට දඬුවම් දීමේ හැකියාව තිබෙනවා කියලයි අපි කියන්නෙ. 

ප්‍රශ්නය - කතානායකවරයාට එහෙම දෙන්න පුළුවන් උපරිම දඬුවම් මොනවද? 

පිළිතුර - පාර්ලිමේන්තුවට පැමිණීම යම් කාලයකට නවත්තන්න පුළුවන්. 

ප්‍රශ්නය - සිවිල් නීතිය යටතේ මෙවැනි වරදකට සාමාන්‍ය පුරවැසියන්ට දෙන දඬුවම් හා මේ කියන දඬුවම් වපසරිය සමාන යැයි කියලා ඔබ හිතනවද?

පිළිතුර - මෙහෙමයි. මතක තියාගන්න. මේ ආණ්ඩුව ගෙනියන්නේ ඒකාධිපති පාලනයක්. හොඳම උදාහරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවෙ පාලනය. රාජපක්ෂ මහත්තයගෙ හිතුවතුන් පත් නොකළ නිසා මේ විරෝධය එනවා යැයි නවීන් දිසානායක මහත්තයා කියනවා. නවීන් දිසානායක ව්‍යංගයෙන් පිළිගන්නවා එයාගෙ මාමණ්ඩියා විනිසුරුවරුන් 16 ක් රිජෙක්ට් කළේ මහින්ද රාජපක්ෂගෙ කට්ටිය කියලා. ඒ කියන්නෙ පත්කළේ රනිල්ගෙ කට්ටිය. මේ විදියට රට ගෙනියන්න දෙන්න පුළුවන් ද? පාර්ලිමේන්තුව ඇතුලේ අපි නෙවෙයි. මිනිස්සුයි පාරට බහින්න ඕනෙ. 

ප්‍රශ්නය - ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ගැන ජනපති කරන චෝදනාවට ඔබ මුළුමනින්ම එකඟද? 

පිළිතුර - සීයට සීයක් එකඟයි. 

ප්‍රශ්නය - ආණ්ඩුවේ ප්‍රධානියා රාජ්‍ය නායකයා සේනාධිනායකයා වෙලා අවුරුදු තුනක් ඉඳලත් මුකුත් කරගන්න බැරි වුණා නම් එතැන චෝදනාව කරන කෙනාටත් අත පිහිදාගන්න බෑ නේද?

පිළිතුර - 19 වැනි සංශෝධනය යටතේ ජනාධිපතිවරයාට කරන්න බැරි දේවල් තියෙනවා.

ප්‍රශ්නය - 19ට ඔබත් අත ඉස්සුවා? 

පිළිතුර - මැතිවරණ පරාජය එක්ක අපි අතින් වෙච්ච ලොකු වරදක් ඒක.

ප්‍රශ්නය - 18ට අත උස්සලා පසුව කනගාටු වුණා. 19ට අත උස්සලාත් පසුව කනගාටු වෙනවා. මේවා තේරුම්ගන්නෙ කොහොමද?

පිළිතුර - මෙහෙමයි. ජනාධිපතිවරණ ජය සමඟ ආණ්ඩුව විශාල මර්දනයක් ගෙනැල්ලා 19 පාර්ලිමේන්තුවෙ සම්මත කළ ආකාරය ඔබට අමතක වෙන්න විදියක් නෑ. ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයකට නෙවෙයි ඒක සිද්ධ වුණේ. පාර්ලිමේන්තුව කල් දාලා ජනාධිපතිවරයාගේ බලතල වුණත් කප්පාදු කරන වැඩපිළිවෙළක් රනිල්ට තිබුණා. ඇත්තටම ඉතාම නින්දිත විදියට තමයි 19 සම්මත කරගත්තෙ. 19න් ප්‍රසූත කළ සුජාත දරුවා අංගවිකල කරලා යැයි ජනාධිපතිවරයාම කියනවා. 

ප්‍රශ්නය - 19 අප්සට් දරුවෙක් නම් ජනාධිපතිට ඒකෙන් නිදහස් වෙන්න පුළුවන් ද? 

පිළිතුර - මේ වැරැදිවලට ජනාධිපතිවරයාටත් සීයට සීයක් බේරෙන්න බෑ. මේ ආණ්ඩුවෙ ඉන්න තාක්කල් යම් වැරැද්දක් වුණා නම් ඒකට ජනාධිපතිවරයා වගකියන්න ඕනෑ. 

ප්‍රශ්නය - එහෙම ජනාධිපති එක්ක තමයි ඔබලා දැන් සාකච්ඡා කරන්නේ?

පිළිතුර - මෙහෙමනේ. එතුමා මේක යහමගට ගන්න විවිධ අවස්ථාවල උත්සාහ ගත්තා. මට මතකයි විශ්වාසභංගය වෙලාවෙ සජිත් අගමැති කරන්න ඔහු උත්සාහ කළා. ඊළඟට කරු අගමැති කරන්න උත්සාහ කළා. රනිල්ගේ මේ පාලනයෙන් රට බේරාගන්න ඔහු දැඩි උත්සාහයක යෙදුණා. ඔහුව ඝාතනය කරන අවස්ථාවට මේ ආණ්ඩුව පත්වුණාම අවසාන අවස්ථාවේදී ඔහු අපි ළඟට ආවා. 

ප්‍රශ්නය - 19 මේ කියන තරම් කළු නම් ඔබලාගේ පාලනයක් යටතේ එය අහෝසි කරනවද?

පිළිතුර - පැහැදිලිවම 19 අතිශය භයංකරයි. අපේ අවධානය ඒ ගැන යොමුවෙලා තිබෙනවා.

ප්‍රශ්නය - ඒ කියන්නෙ ආයේ යන්නේ 18කට?

පිළිතුර - නෑ. අපි ඒක බලමු. ව්‍යවස්ථාව කියන්නේ රටේ මූලික නීතිය. ඒක ගැන මට එහෙම එකපාර කියන්න බෑ. ඒ පිළිබඳ රටේ උගතුන් විද්වතුන්ගෙන් සමන්විත ව්‍යවස්ථා සංශෝධනයක් ගැන කතා බහට ලක්විය යුතුයි. එක එක්කෙනාගේ පෞද්ගලික න්‍යාය පත්‍රවලට නැති මේ රටට ගැලපෙන ව්‍යවස්ථාවක් සම්පාදනයට පසුව කටයුතු සිදුවිය යුතුයි.