එක්සත් රාජධානියේ මහ මැතිවරණය දෙසැම්බර් 12 වැනිදා පැවැත්වෙන බව ඉකුත් දා නිවේදනය කළේය.  ඒ සඳහා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ ඉහළ මන්ත්‍රී මණ්ඩලයේ අනුමැතිය ලැබෙන්නටත් පෙර දේශපාලන පක්ෂ මැතිවරණ ප්‍රචාරණ කටයුතු ආරම්භ කර ඇත. මැතිවරණය පැවැත්වෙන බව ප්‍රකාශයට පත් කර පැය 24ක් යන්නටත් මත්තෙන් බොහෝ පක්ෂ විශේෂයෙන්ම සමාජ මාධ්‍යවලින් සිය ප්‍රචාරණ කටයුතු ආරම්භ කර තිබිණි.

බොහෝ දේශපාලනඥයන් ද, මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ සිය ප්‍රචාරණ කටයුතු ආරම්භ කර තිබේ. එය අද වනවිට ලොව පුරා දකින්නට තිබෙන තත්ත්වයකි. ෆේස්බුක්, ට්විටර්, ඉන්ස්ටග්‍රෑම් යනාදිය අද සන්නිවේදනයේ ‘රජවරුන්’ බවට පත්ව තිබෙන අතර දේශපාලනඥයෝ රජුන් තනන්නන් බවට ද පත්ව සිටිති. සමාජ මාධ්‍යවලට අමතරව වෙබ් අඩවිවල පළවන දැන්වීම්වලට ද මුල් තැනක් හිමි වී ඇත. ප්‍රතිවිරුද්ධ මත දරන්නන්, ප්‍රතිවාදී පක්ෂවලට සහාය දක්වන්නන් ග්‍රහණය කරගැනීම මෙවර මැතිවරණ ව්‍යාපාරයේ ප්‍රධාන තැනක් ගෙන තිබෙන අතර එහි ඉලක්කය වී ඇත්තේ වෙබ් පරිශීලකයන්ය. ඒ සඳහා වෙබ් අඩවි ඉලක්ක කරගනිමින් දැන්වීම් ප්‍රචාරණය දැනටමත් ආරම්භ වී තිබේ.

කන්සවටිව් පක්ෂය සිය නායකයා සමාජ මාධ්‍ය මාධ්‍ය ප්‍රචාරණ ව්‍යාපාරයේ ප්‍රමුඛත්වයට පත් කර තිබේ. පක්ෂ නායක බොරිස් ජොන්සන් තත්ත්පර 35ක වීඩියෝවක් සමාජ මාධ්‍යවලට මුදාහැර තිබේ. බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් කරගමු යැයි ඔහු එහි නිරන්තරයෙන් මන්ත්‍රයක් සේ පවසයි.ලෙට්ස් ගෙට් බ්‍රෙක්සිට් ඩන්” යනුවෙන් ඔහු එය පවසන අතර ඊට පසුව ආයෝජන, යටිතල පහසුකම් සම්බන්ධයෙන් තමන්ගේ සැලසුම් ඉදිරිපත් කරයි. විචිත්‍රවත් අයුරින් බස හසුරුවන්නකු ලෙස ප්‍රකට බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් මෙහිදි සිය පාක්ෂිකයන් පමණක් නොව විරුද්ධ පාක්ෂිකයන් ද ආමන්ත්‍රණය කිරීමට උත්සාහ කරන බවක් පෙනී යයි. බොරිස් ජොන්සන් පෙනී සිටින වීඩියෝව තිර තුනකට වෙන්ව යන අතර පසුබිමේ සුළං හමායයි. ඔහුගේ අවුල් වූ හිසකෙස්වලට ද ඉන් යම් ආකර්ෂණයක් ලැබී ඇත. දේශපාලනඥයන් මෙසේ විඩියෝ පට මුදාහැරීම නව මැතිවරණ ප්‍රවණතාවක් යැයි ඇතැම්හු පවසති.

අගමැති බොරිස් ජොන්සන් එසේ විඩියෝවක් සමාජ මාධ්‍ය වෙත මුදා හරිද්දි කන්සවටිව් පක්ෂයේ අනෙක් සාමාජිකයන් සිය ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ද ඔවුන්ගේ නායකයාගේ ඡායාරූපවලින් පුරවා ඇත. ‘බොරිස් ජොන්සන්ට සහාය දෙමු, බොරිස් ජොන්සන් නැවත අගමැති කරමු’ යන අදහස ඇති “බැක් බොරිස්” යන පාඨය එම ඡායාරූපය සමඟ සමාජ මාධ්‍යවල දක්නට ලැබේ. බ්‍රිතාන්‍යයේ කම්කරු පක්ෂය ද සිය මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය ආරම්භ කර තිබෙන අතර ඔවුන් ද දැනටමත් කෙටි වීඩියෝ පට දෙකක් සමාජ මාධ්‍යයට මුදා හැර තිබේ. එක් වීඩියෝ පටයක් තත්ත්පර 23ක් වන අතර ඔවුන්ගේ නායකයා එහි වරින් වර පෙනි සිටින නමුත් ඔහුගේ සම්පූර්ණ මුහුණ නොපෙන්වයි. එම වීඩියෝ පටයේම දීර්ඝ වීඩියෝවක් ද කම්කරු පක්ෂය සමාජ මාධ්‍යවලට මුදා හැරියේය. ඊට කෙටි වදන් හා පාඨ යොදාගෙන තිබිණි. කෙටි වීඩියෝ පටයට විප්ලවකාරී (“රැඩිකල්”), බලාපොරොත්තු සහගත (“හෝප්ෆුල්”) සහ ජනතා සැලැස්මක් (“පීපල්ස් ප්ලෑන්”) යනුවෙන් පාඨ තුනක් භාවිත කර තිබිණි. එහි අවසානයේදී ප්‍රශ්නයක් ද යොමු කෙරුණු අතර ඔබ අප සමඟ (“ආ අයු විත් අස්?”) යනුවෙන් අවසානයේදී විමසා ඇත.

කන්සවටිව් පක්ෂය “බැක් බොරිස්” පාඨය ට්විටර් ඇතුළු සමාජ මාධ්‍යවල “හෑෂ්ටැග්” එසේත් නැතිනම් පාඨය (වදන් පෙළ) ලෙස භාවිත කරද්දි කම්කරු පක්ෂය සැබෑ වෙනසක් (“රියල් චේන්ජ්”) සහ කොටසකට නොව හැමටම (“ෆෝ ද මෙනි නොට් ෆිව්”) යන පාඨ භාවිත කර තිබිණි. කන්සවටිව් පක්ෂයේ මෙන්ම කම්කරු පක්ෂයේ ද මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය සමාජ මාධ්‍ය මුල් කරගත් එකක් වන අතර එය පක්ෂ නායකයා වටා කේන්ද්‍රගත වී ඇත.

ස්කොට්ලන්ත ජාතික පක්ෂය (ස්කොටිෂ් ජාතික පක්ෂය) ද මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය ආරම්භ කළේය. කම්කරු පක්ෂය මෙන්ම ස්කොට්ලන්ත ජාතික පක්ෂය ද කෙටි විඩියෝ පටයක් සහ දීර්ඝ විඩියෝ පටයක් සමාජ මාධ්‍යයට මුදා හැරියේය.  එම පක්ෂය මුදා හැරි විඩියෝ පටය දේශපාලන දැන්වීමකටත් වඩා රූපවාහිනි ටෙලිනාට්‍ය දැන්වීමකට සමානය. ස්කොටිෂ් පක්ෂය සාම්ප්‍රදායික අයුරින් පක්ෂ නායිකා නිකොලා ස්ටර්ජන් සමුළුවක කරන කතාවක කොටසක් විඩියෝ පටයට එක්කර තිබේ.

අනෙක් පක්ෂ හා සැසඳීමේදී ලිබරල් ඩිමොක්‍රට්ස් ( ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී) පක්ෂය තරමක් පිටුපසින් සිටින අතර ඔවුන් ට්විටර් සමාජ මාධ්‍ය ජාලයට අනෙක් පක්ෂ මෙන් විඩියෝ පටයක් එක්කර නොතිබිණි. කෙසේ නමුත් ඔවුන්ද සිය මැතිවරණ ප්‍රචාරණයේදී සමාජ මාධ්‍යයට වැඩි ඉඩක් ලබා  දී තිබේ. එම පක්ෂයේ නායිකාව වන ජෝ ස්වින්සන් මැතිවරණය ප්‍රචාරණ ව්‍යාපාරය සඳහා සිය ට්විටර් ගිණුම ප්‍රබල ලෙස භාවිත කරමින් සිටී. එම පක්ෂය සමාජ මාධ්‍යයට මුදා හැරී වීඩියෝ පටයේ මුල් තත්ත්පර 15 යන්නට මත්තෙන්ම තම ප්‍රතිවාදීන්ට ප්‍රහාර එල්ල කරයි.

මැතිවරණයට ඉදිරිපත් වී සිටින පක්ෂ ප්‍රමුඛ තරගකරුවන් සියල්ලෝම පාහේ මේ වනවිට සමාජ මාධ්‍යවලට විඩියෝ පට මුදා හැර ඇත.

මේ අතර නොවැම්බර් 22 වැනිදා සිට තම සමාජ මාධ්‍ය ජාලවල තිබෙන සියලු දේශපාලන දැන්වීම් ඉවත් කරන බව ට්විටර් සමාගම බදාදා (30) නිවේදනය කළේය. ඒ අනුව ට්විටර් සමාජ මාධ්‍ය ජාලයේ තිබෙන සියලු දේශපාලන දැන්වීම්, ලොව පුරා සියලු දැන්වීම් ඉවත් කෙරෙන බව එම සමාගම නිවේදනය කළ අතර එවැනි දේශපාලන දැන්වීම් විශේෂයෙන්ම මැතිවරණය ප්‍රචාරණය මගින් ජනතාවගේ කැමැත්ත මිලදී නොගත යුතු බවත් එය උපයාගත යුතු බවත් ට්විටර් සමාගම සඳහන් කළේය.

කෙසේ නමුත් ෆේස්බුක් සමාගම දේශපාලන දැන්වීම් සම්බන්ධයෙන් දරන්නේ ඊට පරස්පර මතයකි. දේශපාලන දැන්වීම් ඉවත් නොකරන ප්‍රතිපත්තියක් අනුගමනය කරන ෆේස්බුක් සමාගම තමන්ට ඒවායේ සත්‍ය අසත්‍යතාව, තොරතුරුවල නිරවද්‍යතාව පරීක්ෂා කළ නොහැකි බවත් කීවේය.

කෙසේ නමුත් ෆේස්බුක් සමාජ ජාලයේ තිබෙන ‘ඇඩ් ලයිබ්‍රරි’ අනුසාරයෙන් දැන්වීම්වලින් කෙරෙන පණිවුඩ යැවෙන්නේ කාටද ඒ සඳහා කොතරම් මුදලක් වියදම් කර තිබේ ද යන්න සොයාගත හැකිය. සියයට සියයක් සාර්ථක නොවූවත් දැනට තිබෙන ක්‍රමවේදවලින් සොයාගත හැකි තොරතුරු, අපට කළ හැකි විශ්ලේෂණ කිසිවක් නැතිව සිටිනවාට වඩා බෙහෙවින් ප්‍රයෝජනත්වය.

බ්‍රිතාන්‍ය මැතිවරණෙය් මේ වනවිට ෆේස්බුක් හෝ ඉන්ස්ටග්‍රෑම් හෝ ක්‍රියාකාරී දැන්වීම් ඇත්තේ ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂය සතුව පමණි. “දැනට ඉතිරි වී තිබෙන විශාලතම, ශක්තිමත්ම” පක්ෂය තමන් යැයි කියන ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂය වේල්සයේ වයස අවුරුදු 35ත් 54ත් අතර වයස්වල පසුවන පිරිමි පුද්ගලයන් ඉලක්ක කරගනිමින් ෆේස්බුක් ඔස්සේ දැන්වීම් පළ කර තිබේ. කෙසේ නමුත් දේශපාලන පක්ෂ ඔවුන්ගේ මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාර තුළ තම පාක්ෂිකයන් මත විශ්වාසය සහ බලාපොරොත්තු තබා තිබේ. 

නිල හා නිල නොවන සමාජ මාධ්‍ය පිටු රැසක් මේ වනවිටත් නිර්මාණය වී තිබෙන අතර ඡන්දය දීමට ලියාපදිංචි වන්න, මුදල් පරිත්‍යාග කරන්න සහ ස්වේච්ඡාවෙන් මැතිවරණ කටයුතුවලට එක්වන්නැයි එම පිටුවලින් ඉල්ලා ඇත. මේ නිසා දේශපාලන පක්ෂ සිය නිල ෆේස්බුක් සහ ට්විටර්  ඇතුළු සමාජ මාධ්‍ය ගිණුම් සහ පිටු ප්‍රසිද්ධ කිරීමටත් පියවර ගැනීමටත් දැඩි වෙහෙසක් ගනිමින් සිටිති.

තවත් සුවිශේෂී කරුණක් වන්නේ මුදල් පරිත්‍යාග කිරීමේදී දේශපාලන පක්ෂ ප්‍රශ්නාවලියක් ඉදිරිපත් කිරීමය. එහිදි දානපතියන්ගෙන් ඔවුන්ගේ මැතිවරණ ප්‍රමුඛතා මොනවාදැයි විමසන අතර එම දත්ත ඉදිරි සතිවලදී ප්‍රයෝජනවත් වනවාට සැක නැත. ඇතැම් අවස්ථාවලදී දේශපාලන පක්ෂ දැන්වීම් මත එතරම් මුදලක් වෙන් නොකරම සිය මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය සාර්ථකව කරගෙන යන අයුරක් ද දක්නට ලැබේ.

කම්කරු පක්ෂයේ සහාය ලබන දේශපාලන සංවිධානයක් වන ‘මොමෙන්ටම්’ සංවිධානය ෆේස්බුක් හා ට්විටර් සමාජ ජාල ඔස්සේ පැය 48ක් ඇතුළත පවුම් 50,000ක් (රුපියල් කෝටි 1.1කට ආසන්න මුදලක්) උපයා ගැනීම සඳහා ප්‍රචාරණ වැඩසටහනක් ආරම්භ කළේය.

ඒ සඳහා ‘ෆේස්බුක් පෝස්ට්’ නිර්මාණය කළ අතර ෆේස්බුක් සහ ට්විටර් සමාජ ජාලවල එය 900 වතාවකට වැඩි ව්‍යාප්ත/එකිනෙකා අතර බෙදාහැර (ව්‍යාප්ත) වී තිබිණි. 200,000කට වැඩි පිරිසක් ට්විටර් සමාජ ජාල වෙබ් අඩවිය ඔස්සේ අදාළ විඩියෝව නරඹා තිබිණි. පැය 12ක් ඇතුළත පවුම් 100,000ක මුදලක් (ආසන්න වශයෙන් රුපියල් කෝටි 2.3කට ආසන්න මුදලක්) උපයා ගැනීමට හැකි වූ බව එම සංවිධානය පසුව සඳහන් කළේය.

හර්ෂණ තුෂාර සිල්වා

(බී.බී.සී. හි පළ වූ ලිපියක් ඇසුරිනි)