ජේආර්ගේ මුනුපුරු ප්‍රදීප් ජයවර්ධන කියන කතාව

 

 

 

  • ආච්චිගෙ මව්පියො මධු සමයට ඉතාලියේ එලීන් කියන ප්‍රදේශයේ සංචාරය කළ නිසා අාච්චිට එලීනා කියල නම දාල තියෙන්නෙ
  • සීයා ජනාධිපති කාලෙ ගොඩනැගිල්ල අලුතෙන් හදන්න ගියාම වෙළෙන්දො උසාවි ගියා
  • කල්‍යාණි මහල් ගොඩනැගිල්ල කිසිම දේශපාලන වැඩකට යොදා ගත්තේ නෑ
  • එලීනා ජයවර්ධනගෙ පියාට අයත් ඉඩම් කොච්චරද කියල අදටත් හරියට හොයාගෙන නෑ

හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා​ගේ බිරිඳ වූ එලීනා රූපසිංහ ජයවර්ධන මහත්මිය ඉඩම් හිමි වැවිලිකරුවකුගේ එකම දියණිය වූවාය. ඇය ඉපදුණේ ඉඩකඩම් දහස් ගණනක හිමිකාරිය ලෙසය. විවාහයෙන් පසු එම ඉඩකඩම් පාලනය කිරීමේ වගකීම ජේ.ආර්ට පැවරුණි.   


කොළඹ කොටු​වේ බෝධිය අසල පිහිටි කල්‍යාණි මහල් ගොඩනැගිල්ලද එලීනා රූපසිංහ මහත්මියට අයත් දේපොළක් විය. ජනපතිව සිටි සමයේ එම ගොඩනැගිල්ල අලුත්වැඩියා කරන්නට ගිය ජේ.ආර්ට ගොඩනැගිල්ලේ හිමිකරු ලෙස උසාවි යෑමට ද සිදුවිය.   

 

මේ කල්‍යාණි මහල් ගොඩනැගිල්ල වටා ඇති කතාන්දරයයි.   


ඉතා දිගු ඉතිහාසයක්, ඉතා දිගු පරම්පරාවක්, ඉතා වංශවත්භාවයක් මෙන්ම ඉතා ගැඹුරු ප්‍රතාපවත් බවක් හිමි පිටකොටුව කල්‍යාණි මහල් ගොඩනැගිල්ල ලංකා ඉතිහාසයේ විවිධ පැතිකඩවල් කිහිපයක් නිර්මාණය කළ ආර්ථික ගොඩනැගිල්ලකි.   


එම අද්විතීය නිර්මාණයට හිමිකම් කියන ජයවර්ධන සහ රූපසිංහ පවුල් යුගලයේ වත්මන් පුරුකක් වෙන ප්‍රදීප් ජයවර්ධනයන් මූලික වී කරන මෙම හෙළිදරව්ව පිළිබඳ මතකය දිගහැරියේ මෙසේය.   


ප්‍රදීප් ජයවර්ධන යනු හිටපු ජනපති දිවංගත ජේ.ආර්. ජයවර්ධනයන්ගේ මුනුපුරකු මෙන්ම, ජේ.ආර්ගේ පුත්‍රයකු වන රවි ජයවර්ධනයන්ගේ පුත්‍රයෙකි.   


‘‘මේ මගේ ආච්චිගේ ඉඩම. ඒ කියන්නේ එලීනා ජයවර්ධනගෙ ඉඩම. අයිතිය. ආච්චිට ඉඩම ලැබුණෙ එයාගෙ තාත්තගෙන්. ඒ තාත්තට මේ ඉඩම ලැබුණෙ එයාගෙ තාත්තගෙන්. ඒ තාත්තට මේ ඉඩම ලැබුණෙ එයාගෙත් තාත්තගෙන්. මේ තාත්තලගෙ කතාව ටිකක් දිගයි. ඒ දිග කතාවෙදි ඉඩම ලැබුණෙ දිගටම තාත්තගෙන් තාත්තට. එහෙම ආපු ඉඩම අන්තිමට ලැබුණෙ දුවෙකුට. ඒ මගේ ආච්චිට. ඒ එලීනා ආච්චි. එලීනා ආච්චිගෙ තාත්තා ජී.එල්. රූපසිංහ.   


එලීනා ආච්චිගෙ තාත්තා ඉඩම් හිමියෙක්. වෘත්තිය වුණේ වැවිලි කර්මාන්තය. එයාට ඉඩම් තිබුණා විශාල ප්‍රමාණයක්. ඒක කොච්චරද කිව්වොත් තවමත් තියෙනවා හොයාගත්තෙ නැති ඉඩම් විශාල ප්‍රමාණයක්. ඒ අතරින් මම දන්න විදියට තිබුණෙ මෙම ඉඩම්.   


 

මාදම්පේ තිබුණා අක්කර පන්සීයක පොල් වත්තක්. මුන්නේස්වරමේ තිබුණා අක්කර පනහක කුඹුරු ඉඩම්. ඊට අමතරව තිබුණා හැම හන්දියකම ඉඩම්. ඒ කොළඹ අවට. ඒ අතරින් ගම්පහ හන්දිය, පිළියන්දල හන්දිය, පිටකොටුව හන්දිය, කොටුව, දෙහිවල, නැදිමාල, සතුන් වත්තේ ඉඩම, සතුන් වත්ත ඉදිරිපිට පිට්ටනිය, දෙහිවල රූපසිංහ මාවත ඒ ඉඩම්වලින් ටිකක්.   


මේ ඉඩම් සියල්ල එතුමාට අයිති වුණේ අවුරුදු පහළොව වයසෙදි. ඒ එතුමාගෙ අම්මයි, තාත්තයි නැතිවුණු හින්දා. ඒ වෙනකොට එතුමා බාලවයස්කරුවෙක්. ඉඩම්වල අයිතිය තිබුණත් වයස සම්පූර්ණ නොවුණු නිසා ඒ ඉඩම් ම​ගේ විශ්වාසය අනුව පැවැතුණේ මහාභාරකාර දෙපාර්තමේන්තුව යටතේ. මේ ඉඩම් නැවත ලබාගන්න එතුමාට සිදුවුණා උසාවි යන්න. උසාවියෙදි එතුමා ඔප්පු කරලා තිබුණා බාලවයස් වුණත් පුළුවන් කියලා මේ ඉඩම් බලාගන්න. ඊට පස්සෙයි උසාවියෙන් හිමිකම ලැබුණෙ. බාරගන්නකොටම තිබුණා මේ ඉඩම්වල නීතිමය ප්‍රශ්න. ඒ අතරෙ අනවසර පදිංචිවීම්. එතනදි එතුමා කළා හරි අපූරු දෙයක්. ඒ සියලුම නීතීඥවරුන් සල්ලිවලට ගැනීම. එහෙම කරලා එතුමා දිනුවා ඒ නඩුවෙන්. ඊට පස්සෙ එතුමා ගියා එංගලන්තෙට. ඒ පදිංචියට. පදිංචි වෙලා හිටිය කාලය අවුරුදු හතක්.   


 

එංගලන්තෙන් ලංකාවට ආවෙ ඊට පස්සෙ. ඒ ඇවිල්ලා කසාද බැන්දා. ඒ බැන්දෙ එලීනා ආච්චිගෙ අම්මව. ඒ නැන්සි මාග්‍රට් සූරියබණ්ඩාර. මේ සූරියබණ්ඩාර පෙළපත හිටියෙ කළුතර. ඒ නීතීඥ පවුලක්. මේ කසාදෙන් පස්සෙ දෙන්නම යනවා ආපහු යුරෝපයට මධුසමය ගතකරන්න. එහේදි කළේ සංචාරය කිරීම. ඒ නැවෙන්. ඒ අතරේ මේ දෙන්නා පදිංචිවෙලා හිටියා ටික කාලයක් ඉතාලියේ. ඒ ඉතාලියේ එලීන් කියන ප්‍රදේශයේ. ඒක ලස්සන පළාතක්. පළාතට වශීවුණු තරම කිව්වොත් දෙන්නා කතාවෙලා තියෙනවා පුතෙක් ලැබුණොත් එලීන් කියලා, දුවෙක් ලැබුණොත් එලීනා කියලා නම දාමු කියලා. ඒ අනුව තමයි මගේ ආච්චිට එලීනා කියන නම දාලා තියෙන්නේ. එලීනා ආච්චි පවුලේ එකම දරුවා. ඒ හින්දා තාත්තගෙන් පස්සෙ මේ හැම ඉඩමකම අයිතිය ලැබුණෙ මගේ එලීනා ආච්චිට. ඒ එක ඉඩමක් තමයි මේ කල්‍යාණි මහල.   


ඉඩම්වල අයිතිය ලැබුණට එලීනා ආච්චිටත්, ආච්චිගෙ අම්මටත් පුළුවන්කමක් තිබුණෙ නෑ මේ තරම් විශාල ඉඩම් ගොඩක් බලාගන්න. ඒ හින්දා මේ ඉඩම් බලාගත්තෙ මහාභාරකාරතුමා. එලීනා ආච්චිගෙ තාත්තා නැතිවෙනකොට රත්තරන් පවුමෙ කාසි දෙසීයක් තිබිලා තියෙනවා සේප්පුවේ. ඊට පස්සෙ මහාභාරකාරතුමාගෙ ඉල්ලීමකට ඒ පවුම් දෙසීයම මුදල්වලට හරවලා තැන්පත් කරලා තියෙනවා බැංකුවේ. එතුමා නැතිවෙනකොට පදිංචි වෙලා ඉඳලා තියෙන්නෙ ග්‍රෙගරිස් පාරේ. ඒ ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමය ළඟ අක්කරයක ඉඩමක. ඒකෙ නම වුණේ හේවන්ස්.   


ග්‍රෙගරිස් පාරෙන් පටන් ගත්තම එලීනා ආච්චිට අයිතිවෙලා තිබුණ ඉඩම් තිබුණා වෝඩ් ප්ලේස්, බොරැල්ල, බේස්ලයින්, හෝර්ටන් ප්ලේස්, බාන්ස් ප්ලේස් සීමාවල්වලට යනකම්. අද ඔය නම් තියෙන පාරවල් ටික කපලා ඒ ඉඩම්වලින් අක්කරය ගානෙ වික්කා පස්සෙ කාලෙක. මේකට ඒ කාලෙ කිව්වෙ කුරුඳුවත්ත කියන නම. ඒ වගේම කිව්වා කූඹි කැළේ කියන නමත්. ඒ කාලෙ මේ ඉඩම්වල තිබුණෙ කුරුඳු වගාව. ඒ වගේම හරියට හිටියා කූඹි.   


 

එලීනා ආච්චිගෙ තාත්තා තමන්ට කියලා ඉතුරුකර ගත්තෙ ග්‍රෙගරිස් පාරේ අක්කරේක ඉඩමයි, වෝඩ් ප්ලේස් එකේ අක්කරේක ඉඩමයි විතරයි. එලීනා ආච්චි ජේ.ආර්. ජයවර්ධන අපේ සීයව කසාද බැන්දට පස්සෙ දෑවැද්දට හම්බවුණේ වෝඩ් ප්ලේස් එකේ ඉඩමයි ගේයි. ඊට පස්සෙයි වෝඩ් ප්ලේස් එකට පදිංචියට ආවේ ආච්චියි සීයයි.   


මේ ඉඩම් සියල්ලම ජේ.ආර්. ජයවර්ධනගෙ පාලනයට ආවා එලීනා රූපසිංහව කසාද බැන්දට පස්සෙ. ඒ වෙනකොට මේ ඉඩම්වලට ආපහු ආවා ප්‍රශ්න. ඒ බලහත්කාරයෙන් පදිංචි වීම. එතුමා ඒ ගැන කරද​ර වෙන්න ගියේ නෑ. පදිංචි මිනිස්සු එළවන්න ගියෙත් නෑ. ඉඩම්වල පදිංචි වෙලා ඉන්න අය ඇවිල්ලා තමන්ගෙ දුකයි, ප්‍රශ්නයි කිව්වහම ඔප්පු හදලා ඒ ඉඩම් ලියලා දුන්නා. ඒ හැම එකක්ම කළේ නොමිලේ. ඒ ඔප්පුවලට අත්සන් කළේ එලීනා ආච්චි. අදටත් තාමත් තියෙනවා ඔප්පු නොලියපු අයිතිය තියෙන ඉඩම්.   


මේ ඉඩම්වලට දාලා තිබුණා එලීනා ආච්චිගෙ තාත්තා ෆිඩේ කමිෂන් කියලා නීති පද්ධතියක්. ඒකෙන් කිව්වෙ පිරිමි දරුවන්ට පමණක් මෙම ඉඩම් විකිණීමේ අයිතිය හිමියි කියලයි. මේ නීති ප්‍රශ්නය බලපෑවා මගේ සීයටත්. ඒ සීයට මෙම ඉඩම්වල කිසිම ව්‍යාපාර කටයුත්තක් අලුතෙන් කිරීමට නොහැකිවීමෙන්. මගේ තාත්තා රවි ජයවර්ධන කියපු දෙයක් වුණේ පොඩිකාලෙ ඉඳලම ඉඩම් ඔප්පුවලට අත්සන් කළා කියලා. මේ ඉඩම්වල හොඳ ආදායමක් තිබුණත් අන්තිමට ​ජේ.ආර්. සීයා දේශපාලනයට ආවාට පස්සෙ මේ ඉඩම් විකුණන්න සිද්ධ වුණා දේශපාලන වියදම්වලට. ඒ වගේම හැත්තෑදෙකේ ඉඩම් පනතෙන් අන්තිමට ඉතුරුවුණේ අක්කර සීයක් විතරයි. ඒ ජේ.ආර්. සීයටයි, එලිනා ආච්චිටයි අක්කර පනහකුයි, මගේ තාත්තට අක්කර පනහකුයි විතරයි. මේ කතා කරන කල්‍යාණි මහල් ගොඩනැගිල්ලත් ඒ වගේ ඉතුරු වෙච්ච ඉඩමක්.   


මේ කල්‍යාණි මහල් ගොඩනැගිල්ලෙ තිබුණෙ කඩ සාප්පු කිහිපයක්. එළියෙ උඩින්ම කොටලා තිබුණෙ කල්‍යාණි මහල් කියන නම. තනි සිංහල අකුරුවලින්. මේ ගොඩනැගිල්ලට කල්‍යාණි මහල් කියන නම දැම්මෙ ඇයි කියලා කියන්න දන්නෙ නැහැ අදටත්. සමහරවිට ඒ නමත් එක්ක මොකක්හරි සම්බන්ධයක් තියෙන්නත් ඇති.   


මේ කල්‍යාණි මහල් වැඩිපුරම ප්‍රසිද්ධ වුණේ ලීලා ස්ටෝර්ස් නමින්. ඒ, ඒ නමින් ප්‍රසිද්ධ කඩයක් තිබුණු නිසා. ඒ කාලෙ මෙතන තිබුණෙ මේ ගොඩනැගිල්ල නෙවෙයි. මීට වඩා වෙනස් එකක්. මට කියලා තියෙන විදියට බිම් මහල විතරයි තිබිලා තියෙන්නෙ.   


අසූව ගණන්වල තමයි මේ පරණ ගොඩනැගිල්ල වෙනුවට අලුත් ගොඩනැගිල්ලක් හදන්න සීයා තීරණය කළේ. මේ කල්‍යාණි මහල් ගොඩනැගිල්ලෙ බිම් ප්‍රමාණය පර්චස් ගණනක්. ඉතා කුඩා බිම් කොටසක්. ගොඩනැගිල්ල කඩලා අලුතෙන් හදන එකට විරුද්ධව හිටපු වෙළෙන්දො නීති පියවර ගත්තා. ඒ උසාවියට යාම. උසාවි ගිහිල්ලා ඉල්ලුවෙ හදන අලුත් ගොඩනැගිල්ලෙම කඩකාමර ලබාදෙන්න කියලා. එතකොට මගේ සීයා රටේ ජනාධිපති. ඒ වුණාට සීයා හිටපු වෙළෙන්දන්ගෙ කීමට කන්දුන්නා. කඩකාමර ඔවුන්ටම දුන්නා.   
අලුතෙන් හදපු කල්‍යාණි මහල් ගොඩනැගිල්ල ලියාපදිංචි කළා ආයතනයක් විදියට. ඒ කල්‍යාණි මහල් පෞද්ගලික සමාගම නමින්. ඒ ආයතනයෙ කොටස් මගෙ එලීනා ආච්චිටත්, මගේ පියා රවි ජයවර්ධනටත්, මටත්, මගේ මල්ලිලා දෙන්නටයි සම කොටස් විදියට බෙදලා දුන්නා. ජේ.ආර්. සීයා කොටස් තියාගත්තෙ නැහැ. ඊට පස්සෙ එලීනා ආච්චි නැතිවුණා. මගේ පියාත් නැතිවුණා. මගේ කොටස් මම මගේ මල්ලිලාට පැවරුවා. අද වැඩිම කොටස් තියෙන්නේ මගේ දෙවෙනි මල්ලිට. ප්‍රමාණය සියයට හැටක්. අනිත් මල්ලිට තියෙන්නේ සියයට තිහක්. දෙවෙනි මල්ලි රුක්ෂන් ජයවර්ධන. අනිත් මල්ලි අම්රික් ජයවර්ධන.   


කල්‍යාණි මහල් පොදු අයිතියට දුන්නොත් ප්‍රශ්න ගොඩයි. ඒ හින්දා මේක සංස්ථාපිත කළා කියලයි මට කියලා තියෙන්නේ. ආයතනයක් වුණාම පාලනයට ලේසියි. වෙනම පාලක මණ්ඩලයක් දාන්න පුළුවන්. ඒ තමයි නියමිත කාර්ය පටිපාටිය. අදටත් කල්‍යාණි මහල් තිබුණු ආකාරයටම පවතින්නෙ ඒ හින්දයි.   


කල්‍යාණි මහල් තට්ටු හතරක ගොඩනැගිල්ලක්. මේ ​ගොඩනැගිල්ලෙ බිම් මහල තමයි බිස්නස් කරන්න සුදුසුම ස්ථානය. අනික් මහලවල් තුන සුදුසු කාර්යාලවලට. අද මේ ගොඩනැගිල්ලෙ නීත්‍යනුකූල වෙළෙඳාම් වර්ග කීපයක්ම කෙරෙනවා. අලුතෙන් හැදුවට පස්සෙ හිටපු පරණ වෙළෙන්දො වගේම, අලුත් වෙළෙන්දොත් ආවා.   


මේ කල්‍යාණි මහල් හැදුවෙ එකම එක අරමුණක් වෙනුවෙන්. ඒ සම්පූර්ණයෙන්ම ආර්ථික ප්‍රතිලාභ අරමුණු කරගෙන. ඒ ඇරෙන්න මේ ගොඩනැගිල්ල සීයගෙ හරි, වෙන දේශපාලන පක්ෂයක හරි කිසිම වැඩකට, අරමුණකට යොදාගත්තෙ නෑ. යොදාගන්න දුන්නෙත් නෑ. මම මේක පාලනය කළා අසූහතේ ඉඳලා අවුරුදු පහළොවක් විතර වෙනකම්. ඊට පස්සෙ මමත් අයින් වුණා.   


මම මේක බාරගන්නකොට ඉතාම නරක තත්ත්වෙක තිබුණෙ. මම ගත්තෙ මහාභාරකාර දෙපාර්තමේන්තුවෙ පාලනය යටතේ තිබිලා. එතනදි කුලී ගෙවලා තිබුණෙ නැහැ. නඩත්තු කටයුතු කරලා තිබුණෙ නෑ. මම බාරගෙන හැමෝම එක්ක කතාකරලා තිබුණු හැම ප්‍රශ්නයක්ම විසඳලා දැම්මා. හොඳ තත්ත්වෙකට ගෙනල්ලා මම ඉවත්වෙලා බාරදුන්නා.   


එක කාලෙක මගේ පියාට, මල්ලිලාට ඕනෑවුණා මේක විකුණන්න. ඒකට හේතුව විදියට මම දකින්නෙ ඉක්මනටම, එකවරටම ලොකු මුදලක් අතට ගැනීම වෙන්න පුළුවන්. ඒ වුණාට ඒකත් හරිගියේ නැහැ. ඒකට හේතුව වුණේ අපේ අයිතිය තිබුණට, පදිංචි අයගෙ විරුද්ධත්වය. ඒ කියන්නෙ කුලී පදනමට හිටිය අය. ඒ අයත් බලවත් නීතිය ළඟදි. හැබැයි පහළ කඩ කිහිපයක් වික්කා. ඒ වුණාට සම්පූර්ණ ගොඩනැගිල්ලම විකුණන්න බැරිවුණා. දැන්නම් නඩත්තුව හරි නැහැ. ඉදිරියට මෙහෙම ගියොත් ප්‍රශ්නයක් වෙනවා.   
දැන් කොළඹ අලුත් වෙනස්කම් කිහිපයක් වෙනවා. මේ කොළඹ හදවත. ඉතාම වටිනා ස්ථානයක්. ඒ ගැන හිතලා කවුරුහරි මේකට මැදිහත් වෙනවනම් හොඳයි. මේක හිතන්න ඕන බිස්නස් එකක් විදිහට. ලාබ ලබන ව්‍යාපාරයක් විදිහට. මේ තැන ​​හොඳ ආර්ථික මධ්‍යස්ථානයක්. මම දකින විදිහට මෙතනට සුදුසුම බිස්නස් එක වෙන්නෙ තාවකාලික නවාතැන්පලක් විදිහට කාමර කුලියට දීම වගේ දෙයක්. ඒ ඇත්තටම නවාතැන් පහසුකම් අවශ්‍ය අයට.   


කල්‍යාණි මහල් තියෙන්නෙ ලංකාවෙ ඉතාමත් පැරණි ආර්ථිකයට සම්බන්ධ වුණු ස්ථානයක. ඒ පිටකොටුව. මෙතන ඉතිහාසය අවුරුදු තුන්හාර සීයක් ඉක්මවන තැනක්. කොටුවෙන් පිට වෙ​ෙළඳාම් කරපු තැනක්. මේ කල්‍යාණි මහල් කියන නම එලීනා ආච්චිගේ තාත්තා දමපු නමක් වෙන්න පුළුවන්.   


කල්‍යාණි මහල් නව ගොඩනැගිල්ලෙ වෙ​ෙළඳාම් කටයුතු කළ පිටකොටුවෙ නවගිරි ​ෆ්‍රෙෂ් ෆෘට්ස්හි අධිපති පී. නවරත්න සිය පැරණි මතකය අවදිකළේ මෙලෙසිනි.   
1987 දී තමයි මම කල්‍යාණි මහල් ගොඩනැගිල්ලට ආවේ. කල්‍යාණි මහල් එකට එන්න ඉස්සෙල්ලා මම පිටකොටුව බෝධිය ලඟ අන්නාසි වෙ​ෙළඳාම් කළා. තව කළා කැන්ටින් එකක්. මට මතකයි අසූතුනේදී තිබුණේ මේ ගොඩනැගිල්ල නෙවෙයි. වෙන ගොඩනැගිල්ලක්. ඒකෙ තිබුණා හොඳ ප්‍රසිද්ධ කඩ කිහිපයක්. ඒවායින් කිහිපයක් වුණේ ලීලා ස්ටෝර්ස්, ටී.ජේ. පීරිස්, සුසුපියා, සිසිල, බොම්බෙ ස්වීට් කියන කඩ. ඒ සමහරක් කඩවල්වල තිබුණා අහස්කූරු, රතිඤ්ඤා තොග ගණනේ ගබඩා කරලා තිබුණා. මෙන්න මේ එක කඩේකට ගිනි ඇවිළුණා අසූතුනේදී. එතෙන්දි මුළු ගොඩනැගිල්ලම දෙදරලා ගිනි ගත්තා. එතනදි ගොඩනැගිල්ල අබලන් වුණා.   


මේ කල්‍යාණි මහල් පිහිටලා තියෙන්නෙ ඉතා බලවත් තැනක. ඒ පිටකොටුව බෝධිය ළඟ. තව බෝධිරාජ මාවත, ඕල්කට් මාවත, හතරවෙනි හරස් වීදිය වටේටම තියෙනවා. පිහිටලා තියෙන්නෙ ඔක්කොම පාරවල්වල මැදට වෙන්න.   

 


අබලන් වුණු ගොඩනැගිල්ල වෙනුවට අලුත් ගොඩනැගිල්ලක් හැදුවා. ගිනිගන්න කොට තිබුණු ගොඩනැගිල්ලත් තට්ටු තුනක් විතර එකක්. ගොඩනැගිල්ල හදලා ඉවරවෙලා පත්තරෙන් ඉල්ලීමක් කළා දැන්වීමක් විදියට. ඒක කළේ මහාභාරකාර මණ්ඩලය හරහා. මමත් කඩකාමරයක් ඉල්ලුවා. ඒ අනුව තමයි මට කඩකාමරයක් ලැබුණෙ. ඒකත් වැඩිම ඉල්ලුමකට. ඒ කාලෙ මට මතක විදිහට ලක්‍ෂ දහයකට වැඩියි තැන්පතු මුදල. ගත්තට පස්සෙ මාස්පතා කුලියක් දෙන්නත් ඕනෑ. මට මතක විදිහට මාසෙක කුලිය රුපියල් පහළොස්දාහයි. ඉතිං, අසූහතේ ඉඳන් අද වෙනකම් අපි කළ්‍යාණි මහල් ගොඩනැගිල්ලෙ කරදරයක් නැතුව කඩ කරනවා.   


කඩ ගන්නකොට අපි එකඟවුණු එක කොන්දේසියක් වුණේ අවුරුද්දෙන් අවුරුද්ද කුලිය වැඩිකරන්න පුළුවන් කියන කාරණය. එක අවස්ථාවකදි මහාභාරකාර දෙපාර්තමේන්තුවෙන් කුලිය වැඩිකළා. ඒක ගෙවාගන්න අපිට අමාරුවුණා. අපි ගොඩනැගිල්ලෙ අයිතිකරු හිටපු ජනාධිපති ජේ.ආර් ව හමුවුණා. අපේ දුක්ගැනවිල්ල අහපු ජේ.ආර්. මහත්තයා අපිට කිව්වා වැඩිකරපු කුලිය ගෙවන්න එපා කියලා. ඒ වගේම භාරකාරතුමාට කියලා අපිට ඒ සහනයත් ලබාදුන්නා. එදා ජේ.ආර්. මහත්තයා කිව්වෙ වැඩිකරපු කුලියෙන් සත පහක්වත් ගෙවන්න එපා කියලා.   


ඊට පස්සෙ මේකෙ පාලනය බාරගත්ත ප්‍රදීප් ජයවර්ධන මහත්මයා. එතනදි ​ජේ.ආර්. මහත්තයගෙ උපදෙසක් වුණේ ඉන්න කට්ටිය එළවන්න එපා. ඒ අයට කැමතිනම් මේ කඩකාමර මිලයට ගන්න පුළුවන් විදියෙ වැඩපිළිවෙළක් හදන්න කියලා. ප්‍රදීප් මහත්තයා ඒකත් අපිට හදලා දුන්නා. දැන් අපි කඩ හිමියො. කලින් හිටියෙ කුලීකාරයො විදියට. අපි හිටියෙ පහත මාලයෙ. ඒ කාලයෙම තමයි දොන් පීරිස් සිගරට් ඒජන්සිය තිබුණෙත්. අපි ඒ කාලෙ තරුණයි.   
කල්‍යාණි මහල් කියන්නෙ හොඳම මහත්තයෙකුටයි නෝනා කෙනෙකුටයි අයිති හදවතක් වගේ තැනක්. කල්‍යාණි මහල් කිව්වොත් නොදන්නා කෙනෙක් නෑ. ඒ තරමටම ප්‍රසිද්ධයි. මේක හොඳ අතීතයක්. අතීතය වර්තමානයට ඉතුරු කරපු සිහිවටනයක්. බිස්නස්වලට අතදුන්නු ​ගොඩනැගිල්ලක්.   

 

 

 

සටහන - අරුණඩේල් විජේරත්න
ඡායාරූප - ප්‍රදීප් ජයවර්ධන