පුරාවිද්‍යා පශ්චාත් උපාධි අධ්‍යයන ආයතනයේ ආචාර්ය රාජ් සෝමදේව මහතාට මෙම වසරට අදාළව කැණීම් බලපත්‍ර ලබා නොදීම සම්බන්ධව මේ වනවිට විවිධ කතා සමාජයේ පැතිර තිබේ.   


පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරන ආකාරයට 2006 - 2018 වර්ෂයන් තුළ පුරාවිද්‍යා කැණීම් බලපත්‍ර 143ක් 23 දෙනෙකුට නිකුත් කර තිබේ. 2018 දී 30 දෙනෙකුට ද 2017 දී 35 දෙනෙකුට ද බලපත්‍ර දී ඇත. මේ වසරේ දී බලපත්‍ර නොදී අත්හිටවූ පිරිස 23 දෙනෙකි. මේ අතරට ආචාර්ය රාජ් සෝමදේව මහතා ද අයත් ය.   


මේ කැණීම් බලපත්‍ර ලබා නොදීම සම්බන්ධව සමාජ මාධ්‍යජාලවල මෙන්ම සමාජයේ ද පැතිර ඇති කතා බහුතරයක් පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට හා ආචාර්ය ශිරාන් දැරණියගල මහතාට ​ෙචා්දනා කරන කතාවන් ය.   
ඒ හැර තවත් පිරිසක් පවසන ආකාරයට දේශපාලනික හේතුවක් මෙයට බලපා ඇත. තවත් අය පවසනුයේ පවතින ආණ්ඩුවට හිතවාදී පුරාවිද්‍යා ක්ෂේත්‍රයට සම්බන්ධ විද්වත් පිරිසක් හා ආචාර්ය සෝමදේව මහතා අතර පවතින ගැටලුවක් නිසා මෙසේ කැණීම් බලපත් නොදී ඇති බවයි. ආචාර්ය රාජ් සෝමදේව මහතා ඉකුත් කාලයේ කළ ආන්දෝලනාත්මක කැණීම් සහ ආන්දෝලනාත්මක ප්‍රකාශ නිසා මෙසේ බලපත්‍ර නොදී ඇති බවට තවත් කතාවකි.   


ඒ අතරින් කියැවෙන තවත් කාරණයක් වන්නේ දේශීයව කැණීම් කරන පුරාවිද්‍යාඥයන් මෙසේ අඩපණ කර විදේශීය කැණීම් කරන පුරාවිද්‍යාඥයින් පිරිසක් ලබන වසරේ දී ගෙන්වා ගැනීමේ පූර්ව සූදානමකට කැසපොට කැවීමක් මෙහිදී සිදුව ඇති බවකි. ඒ හැර පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා හා ආචාර්ය සෝමදේව මහතා අතර කලක පටන් ඇති පෞද්ගලික කෝන්තරයක් මෙයට බලපා ඇතැයි ද තවත් කතාවක් පැතිර තිබේ.   


මෙකී සියලු කටකතාවල සත්‍යාසත්‍යතාව දැන ගැනීමට අදාළ පාර්ශ්ව කිහිපයකට ඇමතුවෙමු. මේ ඔවුන් එහිදී පළ කළ අදහස් ය.  


ආචාර්ය රාජ් සෝමදේව මහතා  


ආචාර්යතුමනි, මේ වසරට අදාළ කැණීම් බලපත්‍රය සම්බන්ධව ඇතිවෙලා තියෙන කසුකුසුව මොකක් ද?  


මම පෙබරවාරි මාසයේදීයි බලපත්‍රය ඉල්ලලා හිටියේ. සෑම වර්ෂයකම මම කැණීම් දෙකක් කරනවා. ඒවා පර් යේෂණාත්මක කැණීම්. නිශ්චිත ගැටලුවක් විසඳීම සඳහා කරන කැණීම් සඳහා තමයි අවසර ඉල්ලුවේ.  
මෙවර මම බලපත්‍රය ඉල්ලුවාම පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල්තුමා මට දැනුම් දුන්නා කැණීම් බලපත්‍ර දීම අත්හිටුවල තියෙනවා. කැණීම් වාර්තා හා පුරාවස්තු භාර දෙන්න කියලා.   


ඉන්පසුව ඒ ලිපිය ලැබී දින කිහිපයකින් මම අධ්‍යක්‍ෂ ජනරාල්තුමා හමු වී දැනුම් දුන්නා ඒ සතියේ බ්‍රහස්පතින්දා මම පුරාවස්තු භාර දෙනවා ඒ සඳහා මට නිලධාරියෙක් දෙන්න කියලා. එතුමා මට දැනුම් දුන් පරිදි පහළ කැණීම් අංශයේ නිලධාරියකුව මම මුණ ගැසුණා. ඒ මහතා හමුවන්න ගියාම ඔහු මට දැනුම් දුන්නා මේ අවස්ථාවේ පුරාවස්තු අවශ්‍ය නැහැ කැණීම් වාර්තා ටික ලබා දෙන්න කියලා. අද හවසම දෙන්න කියලත් මට ඔහු කිව්වා.   
ඔබතුමා එදිනම ඒවා ලබා දුන්නාද?   


එදින සවසම මගේ සියලුම වාර්තා ලබා දුන්නා. සාමාන්‍යයෙන් මම කැණීමක් කළාම එයට අදාළ වාර්තා කැණීමක් කරල වසර දෙකක් අැතුළත මම ප්‍රකාශයට පත් කරනවා. වසර දෙකක් වැනි කාලයක් ගතවීම ගැන ඔබට දැන් ප්‍රශ්නයක් මතු වෙන්න අැති. නමුත් පුරාවිද්‍යා පර්යේෂණවල දී කාලයක් ගතවෙනවා. උදාහරණයක් ලෙස ආචාර්ය ශිරාන් දැරණියගල මහතා 1983 දී පමණ මාතොට කැණීමේ වාර්තාව එළි දැක්වූයේ 2017 දී. වසර 33 කට පසුව පුරාවස්තු වෙන් කිරීම, වර්ගීකරණය, කාල නිර්ණය, මුදල් සොයා ගැනීම, වාර්තාවල ප්‍රමාදයන් ඇතිවීම ආදී විවිධ ප්‍රශ්න තියෙනවා කැණීම් වාර්තාවක් සකස් කිරීමේදී.   


සාමාන්‍යයෙන් මම කැණීමක් කරද්දී අවශ්‍ය මුදල් ප්‍රතිපාදන හොයා ගෙනයි මම කැණීම් කරන්නේ. ඇමෙරිකානු විද්‍යාගාරවල පරීක්‍ෂණයන් පවා දින 14න් කළ යුතු මට්ටමට මම ඒවා හදාගන තියෙන්නේ.   


මම 1999 වර්ෂයේ දී ආචාර්ය උපාධියට ලියාපදිංචි වුණේ ස්වීඩන් විශ්වවිද්‍යාලයකට. ඒ වෙද්දී මම කැණීම් බලපත්‍ර 09ක් ලබාගෙන තිබුණා. ඒ වාර්තා 09ම එක පොතකට අරන් ඒක මම ස්වීඩනයේ උත්සලා විශ්වවිද්‍යාලයේ ප්‍රකාශයට පත් කළා. ඒක ඒ විශ්වවිද්‍යාලයේ ප්‍රකාශනයක් ලෙසත් ප්‍රකාශයට පත් කරලා තිබුණා. ඒ ප්‍රකාශනයත් මම මේ සමඟම ඉදිරිපත් කළා.   


මගේ උපාධි නිබන්ධනය ඇතුළේ වෙනමම උපග්‍රන්ථවල මේ සියලුම කැණීම්වල වාර්තා ඇතුළත් වුණා. හමුවුණු පුරාවස්තු, ස්ථර තිබුණේ කොහොමද? ඒවගේ ඡායාරූප කො​ෙහාමද? ඒවා විශ්ලේෂණය කළේ කොහොමද? විශ්ලේෂණය ලබාගත් ආකාරය ගැන පවා සඳහන් කරනවා.  


ඔබ ඒ නිබන්ධන හා වාර්තා ලබාදුන් පසුවත් කැණීම් බලත්‍ර ලබාදීම ප්‍රතික්ෂේප වුණා නේද?   


මේවා ඉදිරිපත් කළාම අධ්‍යක්‍ෂ ජනරාල්තුමා කිව්වා එකම පොතක් ලෙස වාර්තා 09ක් තියෙනවා. මේවා වෙන් කර ගන්න බැහැ ආදී නොයෙක් නොයෙක් දේවල් තිබුණා. එයින් පසුව ඔහු අමුතු දෙයක් ලියල එවනවා. ඒවා එයා බාර ගන්නෙත් නැහැලු, ප්‍රකාශයට පත් කළ ලිපි ලේඛන ප්‍රකාශයට පත් කළ වාර්තා හා නිබන්ධන කැණීම් වාර්තා හැටියට භාර ගන්නේ නැහැ කියල එයා ලියලම එවල තියෙනවා.   


එතකොට සාමාන්‍ය දැනුම තියෙන කෙනෙකුට වුණත් තේරෙනවනේ මෙතන තියෙන ගැටලුව. පො​ෙළාව කියන්නේ මහජනයට අයිති දේපළක්. අපි විද්වතුන් හැටියට අපි බැඳිල ඉන්නවා ඒ දැනුම හැකි ඉක්මනින් මහජනයාට ලබා දීමට. එතකොට මම කැමතියි ඒ මොහොතෙම කැණීම් පිළිබඳ විස්තර මහජනයට ලබාදීමටත්.  


ඒ විතරක් නොවේ මම ඒවා හැකි ඉක්මනින් ප්‍රකාශයට පත් කරන්නත් කටයුතු යොදනවා.   


ඉංග්‍රීසි භාෂාවෙන් ජාත්‍යන්තරයටත් සිංහල භාෂාවෙන් දේශීය පාඨකයාටත් ඒවා ​​යොමු කරනවා. මේ ළඟදී මම ආදි ඉතිහාසය කියා සිංහලෙන් පොතක් කළා, පසුගිය අවුරුදු 09 ට මම කළ පුරාවිද්‍යා කැණීම් පර් යේෂණ පිළිබඳව. ඒකේ මුද්‍රණ ද්වාර 04ක් මේ වනවිට එළිදක්වල ඉවරයි. අපි මේවා ඔක්​ෙකාම සමාජගත කරල තියෙන්නේ විද්වතුන් හැටියට අපේ සමාජ වගකීම ඉටු වෙන්න ඕනෑ නිසයි.  


ඉන්පසුව සිදුවුණේ මොකක්ද?   


මේ සියලු මුද්‍රණ වාර්තා භාර දුන්නා. ඉන්පසුව පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල්තුමා ආචාර්ය ශිරාන් දැරණියගල මහතාට ​​​​​යොමු කළ ලිපියක පිටපතක් ද සහිතව නැවත මට ලියල එවනවා ‘‘ආචාර්ය රාජ් ​ෙසා්මදේවගේ වාර්තා කියවීමට තරම් ප්‍රමාණවත් පුද්ගලයෝ දෙපාර්තමේන්තුවේ නැහැ. ඒනිසා ඔබතුමාට මේ වාර්තා යොමු කරන්නේ​ ඒවායේ හොඳ නරක විමසීමට කියා එහි සඳහන් වෙලා තිබුණා. මේවා සුදුසු වාර්තා ද කියා නිගමනය කරන්න කියලා දැනුම් දී තිබුණේ.   


ඒවාගෙන් සමහර පොත්වලට ජාත්‍යන්තර ISBN අංකයත් ලැබී ප්‍රකාශයට පත් කළ ඒවා. ඇතැම් ඒවා විශ්වවිද්‍යාලවලින් ප්‍රකාශයට පත් කළ ඒවා.  


දැරණියගල මහතා පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට එවා තිබූ ලිපියේ යම් යම් අඩුපාඩු පවතින බව දැනුම් දී තියෙනවා. ඒ අඩු පාඩු එතුමගෙ දෘෂ්ටියෙන් තියෙන අඩු පාඩු මිසක් වාර්තාවල අඩු පාඩු නොවේ. මේ පර් යේෂණ ව්‍යාපෘති ඉතාම වැදගත් ව්‍යාපෘති. මේවාට අවසර ලබා දිය යුතුයි කියලත් එතුමා ලියලා තියෙනවා. ඒත් ඒ ලිපිය මට ලැබෙන්නේ නැහැ.   


දැරණියගල මහතාගේ නිර්දේශයන්වල අඩංගු කාරණා කිහිපයක් උපුටල දක්වල පමණක් මට ලියුමක් එවා තිබුණා. ඒක දැනුම් දුන්නම මම නිහඬ වුණා.  

 

 

සටහන - පුෂ්පා වීරසේකර  

 


ජාත්‍යන්තර ක්‍රමවේදයක් තියෙනවා

පුරාවිද්‍යා කැණීම් කිරීමක දී බලය තියෙන්නේ පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල්ට. මධ්‍යම සංස්කෘතික අරමුදල, විශ්වවිද්‍යාලවල සිටින සියලු ප්‍රවීණයන් බලපත්‍ර ඇතිවයි කැණීම් කරන්නේ. කැණීම් කරල විද්‍යාත්මක වාර්තා භාරදිය යුතුයි. ඒකට ජාත්‍යන්තර පිළිගත් ක්‍රමවේදයක් තියෙනවා.   


හැබැයි වාර්තා භාරදීමට නිශ්චිත කාලයක් නම් නැහැ. ස්ථානය හැටියට ඒක වෙනස් වෙනවා. කැණීම් අධීක්‍ෂණය කරන කෙනාගේ වගකීම තමයි කැණීම් වාර්තාව ලබාදීම. වාර්තාවක් ලිවීමේ දී ඒකේ අදියර ගණනාවක් තියෙනවා. පස් තට්ටු විශ්ලේෂණය, පුරාවස්තු විශ්ලේෂණය ආදී බොහෝ කාර්යයන් මෙයට අයත්. මේවට වි​ෙශ්ෂඥයෝ ගණනාවක් සම්බන්ධ වෙනවා. ඒ වගේම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට පුරාවස්තු දෙන්නත් ඕනා. නැත්නම් අධීක්‍ෂණ කටයුතු වෙනුවෙන් තමන් ළඟ තබාගන්න පුළුවන්. ඒත් ඒ පුරාවස්තු පෙන්වන්න ඕනා. මේ පුරාවස්තුවල නීතිමය අයිතිය තියෙන්නේ පුරාවිද්‍යා කොමසාරිස්ටයි.   


බලත්‍ර අහිමි කණ්ඩායම් අතර කැණීම් කර වාර්තා නුදුන් අය වගේම, වාර්තා ලබාදුන් ඇතැම් අයගේ වාර්තාවල ප්‍රමිතිය මදි. ඔන්න ඔයවගේ ප්‍රශ්න තියෙනවා.

 

 

මධ්‍යම සංස්කෘතික අරමුදලේ දකුණු පළාත් ව්‍යාපෘති අධ්‍යක්‍ෂ, හිටපු කැණීම් අංශයේ අධ්‍යක්‍ෂ 
මහාචාර්ය නිමල් පෙරේරා  

 


 

වාර්තාවක් භාරදෙනවා

රාජ් සෝමදේව මහතාගේ වාර්තා බලල වාර්තාවක් පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල්තුමාට අප භාර දෙනවා. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ රෙගුලාසි අනුව ව්‍යාපෘති කැණීමක් සම්පූර්ණ වෙන්නේ අවසන් වාර්තාවක් ලබා දුන්නායින් පස්සෙයි. සාමාන්‍යයෙන් අලුත් කැණීමකට අලුත් බලපත්‍රයක් වාර්තා ලබා දෙනකම් නිකුත් කරන්නේ නැහැ. ඒවා අනුගමනය කරන්න ඕනා. හරියට වාර්තා දෙනව නම් කාටවත් ප්‍රශ්නයක් වන්නේ නැහැ. ප්‍රමිතියකට නැතිව දුන්නොත් ඒ ගැන නම් ප්‍රශ්න තියෙනවා.   


කැණීමක් කියන්නේ විනාශකාරී ක්‍රියාවක්නේ. ඒ නිසා ඒ ගැන හරියට වාර්තා වෙන්න ඕනා. ලැබෙන සියල්ල වාර්තා වෙන්න ඕනා. ආයේ ලැබෙන්නේ නැහැනේ. ජාත්‍යන්තර මට්ටමේ පිළිත් ක්‍රමවේදයකටයි කැණීම් සිදු කළ යුත්තෙත්. ඒ සම්බන්ධ වාර්තා ලබාදිය යුත්තෙත් කැණීම් සම්බන්ධ නිබන්ධනයක් හෝ පොතක් ​නොවෙයි. වාර්තාවක් පමණයි අපි බලාපොරොත්තු වන්නේ. බොරුවට වළවල් හාරලා ප්‍රමිතියකට නැති වාර්තා ඉදිරිපත් කළොත් අපේ ජාතියටත්, රටටත් මදිකමක්, පාඩුවක්, අපරාධයක් වෙන්නේ. මෙතන කිසිම පුද්ගලික​ කෝන්තර පිරිමැසීමක් නැහැ.   


සමාජ මාධ්‍ය ජාලවල, කරපු චෝදනා අපහාස ගැන මම නම් සලකන්නෙත් නැහැ ගණන් ගන්නෙත් නැහැ. අපි වැඩේ හරියට කරනවා නම් එච්චරයි ඕනේ.

 

 

 පුරාවිද්‍යා කැණීම් අංශය භාර උපදේශක 
ආචාර්ය ශිරාන් දැරණියගල