මේ හිසට සෙවණක් නැති අය වෙනුවෙන් නිවාස දහස් ගණනින් හැදෙන රටකි. දැඩි රක්ෂිතයන් පවා ආක්‍රමණය කර පාක්ෂිකයන්ට බෙදාදෙන රටකි. ඇති හැකි අයටත් සමෘද්ධිය දෙන රටකි. 
මහත්වරුනි, නෝනා මහත්වරුනි, 


අප කියන්නේ එවන් රටක හිසට සෙවණක් කුසට අහරක් හිතට නිවනක් පමණක් නොව මේ මහ පොළොවේ බිම් අඟලක් හෝ නොමැති අසරණ පවුලක කතාවය. 


බදුල්ල දිස්ත්‍රික්කයේ සොරණාතොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කොලොම්ගහමඩිත්ත රජයේ රක්ෂිතයක් තුළ කටුමැටි ගසා පොලිතින්වලින් සෙවිලිකර ගත් කුඩා පැල්පතේ කඳුළු බොමින් ජීවත් ​ෙවන පවුලක් ගැනය. 


නිවෙස් හිමියා චමින්ද කළුආරච්චි නමැත්තෙකි. වයස අවුරුදු 35කි. බිරිඳ ඩී.එම්. චන්ද්‍රාවතීගේ වයස අවුරුදු 29කි. 


ඔවුනට දරුවන් සිවු දෙනෙකි. 


වැඩිමහල් දියණිය සොරණාතොට විදුහලේ 9 වැනි ශ්‍රේණියේ ශිෂ්‍යාවකි. දෙවැනි පුතා 6 වන ශ්‍රේණියේ ද තුන් වැනි පුතා 4 වැනි ශ්‍රේණියේ ද 4 හැවිරිදි බඩපිස්සී පෙරපාසලක ඉගෙනුම ලබන්නීය. 


මහ පාරේ සිට පහළ බැලූවිට දිස්වූයේ පොලිතින්වලින් ආවරණය කළ පැල්පතය. 


ඉතා කුඩා මෙම පැල්පතේ 6 දෙනෙක් ජීවත්​ෙවන්නේ කෙසේදැයි සිතා ගැනීමට පවා නොහැකි විය. ඒ කුඩා නිවසේ මැටි බිත්තියේ කොණක බුදුපිළිමයකි. ඊට පහළින් දේවරූප සමූහයකි. චන්ද්‍රාවතී පොල්තෙල් පහන දල්වා වන්දනාමාන කරන අයුරු පැල්පතට ඇති එකම දොරෙන් බලා සිටියෙමි. 


ඇය බුදුන් වැඳ දෙවියන් පුදා ප්‍රාර්ථනා කරන්නේ මේ පව්කාර සසරෙන් ඉක්මනින් එතෙර කරන්න නේදැයි මට සිතිණ. මා දුටු ඇය මා දෙසට හැරුණාය. එන්න සර්.... 
මම හිස පහත් කරගෙන පැල්පතට ගොඩ වුණෙමි. 


දොරකොඩ ළඟම ළිපය. ළිපේ ගිනිදැල් නැත. ඒ අසලම වූ පිඟානක මයියොක්කා කොළ මැල්ලුමකි. 


දරුවන් නිදිකරවන ඇඳන් දෙක මැද කුඩා රාක්කයකි. දරුවන්ගේ පොත් පත් ය. එතැනම එල්ලූ දරුවන්ගේ නිල ඇඳුම් ය. ඊට පහළින් දරුවන්ගේ පාසල් පාවහන් ය. 


වාඩි වෙන්න සර්... අබලන් වූ ප්ලාස්ටික් පුටුවක් මා වෙත පිළිගැන්වූවාය. 


මම ඇයට සවන් දුනිමි. 


‘‘අපිට අපේ කියල බිම් අඟලක්වත් නැහැ මහත්තයෝ. මේක වන සංරක්ෂණේට අයිති ඉඩමක්. කරන්නම දෙයක් නැති නිසා පැල අටවා ගත්තා. 


අවුරුදු 10 ක් විතර මේ පැලේ ජීවත් වෙනවා. දැන් මගේ ළමයි ලොකු මහත් වෙනකොට හරිම ප්‍රශ්න. ලොකු දුවට ඇඳුමක්වත් මාරු කරගන්න ආවරණයක් නැහැ. 


මහත්තයා රැකියාවට කළේ ගස් කැපීම. දවසක් ගහක් කපනකොට කපපු ගසේ කොටසක් පාත්වෙලා කකුලක් හිරවෙලා මහත්තයා සදාකාලික රෝගියෙක් වුණා. මහන්සිවෙලා වැඩ කරන්න එපා කියල දොස්තර මහත්තුරු කිව්වත් එයා කීයක් හරි හොයාගෙන යනවා. 


දරුවන්ට මොනව හරි කන්න දෙන්න ඕනැ නිසා අල ටිකක් කොළ ටිකක් තම්බල දරුවන්ට කන්න දෙනවා. සමහර දාට අපි දෙන්නා බඩගින්නේ ඉන්නවා යැයි ඇය පවසද්දී දෑසින් වැටුන කඳුළු දෑත දිගේ ගලාවිත් මැටි පොළොවට වැටී විසිරී ගිය අයුරු දුටු මගේ දෙනෙත් මටත් පාලනය කරගත නොහැකිව කඳුළින් පිරීගියේය.

 
පාසල් ගිය දරු සිවුදෙනා ගෙට ගොඩවූයේ අම්මේ බඩ ගිනියි කියා ගෙනය. පොඩ්ඩක් ඉන්න පුතේ කියා චන්ද්‍රාවතී යළි කතා කළාය. 


මගේ දරුවෝ දෙන්නෙක් උපදිනකොටම මැරුණා. 


එතැන් සිට මාත් රෝගියෙක්. කුලියක්වත් කරන්න බැහැ පපුව රිදෙනවා. 


අපේ මේ දුක කියල සමෘද්ධිය ඉල්ලුවත් එ්ක ලැබුණෙත් නැහැ. 


මේ ළමයි ඉස්කෝලෙ යවන බස් ගාස්තුවවත් සොයාගන්න බැහැ. 


ඇය යළිත් කඳුළු බොද්දී සැමියා ගෙට ගොඩ විය. කීයක් හරි හොයාගන්න කුලියක් කරන්න ගියා මහත්තයෝ. එත් වැඩකරන්න බැහැ ඇඟ පණ නැහැ. බඩ රිදෙනවා. රුපියල් සීයක් ඉල්ලාගෙන මම ආවා ඔහු කීවේය. 


දරුවෝ පාසල් ඇඳුම් ගලවා වෙනත් ඇඳුම් ඇඳ කොළමැල්ලුමෙන් සප්පායම් වී පොත පත රැගෙන පාඩම් කරන්නට පටන් ගත්හ. 


වෙන ළමයි ඇඳල ඉවත දමන ඇඳුම් පැලඳුම් හරි මගේ දරුවන්ට ලැබෙනවා නම් ලොකු දෙයක්. චන්ද්‍රාවතී යළි මැසිවිලි නැඟුවාය. 


අහස අඳුරු විය. පොද වැස්සක් පටන් ගත්තේය. 


පොද වැස්ස සැණින් මහ වැස්සක් විය. 


ඉටිරෙදි කඩතොලු රූරා වැටෙන දිය බිඳු පැල්පත තුළට වැටුණේය. 


දරුවන් පාසලේ දී දුන් ගෙදර වැඩ කිරීමට පොත පත අතට ගත්ත ද රූරා වැටෙන දිය බිඳු බාධා කළේය. 


බුදු පිළිමය රැකගැනීමට කළේ යුද්ධයකි. 


මහ වැස්ස බාහිර ලෝකට පෙනුණ ද මේ පැල්පත තුළින් ගලා යන කඳුළු වැස්ස කාටනම් පෙනේද? 


උපකාර කළ හැකි නම් බැංකු ගිණුමක් ඇත. 

 


මහජන බැංකුව බදුල්ල මුතියංගන ශාඛාව 
වනිතා වාසනා ගිණුම (ඩී. එම්. චන්ද්‍රාවතී) 
ගිණුම් අංකය 269 -2002-4003-31194. 


දුරකථනයක් නොමැත.


(මේ පවුල ගැන තොරතුර ලබාදුන් බදුල්ල කාන්තා සංවර්ධන පදනමේ සභාපති චන්ද්‍රා වෙලගෙදර මහත්මියට ස්තුතියි)

 

 

 

සටහන හා ඡායාරූප : 
බදුල්ලේ 
පාලිත ආරියවංශ