ඇඟ බද්ද, බලු බද්ද සහ මරාල බද්ද පිළිබඳ මේ රටේ ජීවත්වන වැඩිහිටියන්ට තාමත් මතකය. වසර 133ක් ඉංග්‍රීසි අධිරාජ්‍යයට යටත්ව සිටි ශ්‍රී ලාංකික ජනතාව තළා පෙළා දමන්නට සුදු අධිරාජ්‍යවාදීන් බදු ගැසූ හැටි අපි දනිමු.   


සිංහල රජ කාලේ පවා බදු අයකරගත් බව ද අප පිළිගත යුතුව ඇත. අදටත් රට කරවන පාලකයින් රට කරවන්නට අවශ්‍ය මසුරන් ටික එකතු කර ගන්නේ ජනතාව මත පටවන බදුබර පතිත කරවමිනි.  


ඇත්තටම බදු නොගසා රටක් පාලනය කළ නොහැකිද? මේ සිතුවිල්ල යමෙක් තුළ පහළවීම පිළිබඳව පුදුම විය යුතු නැත. හේතුව පාලකයින් ජනතාව මත පනවන බදු බර දරාගත නොහැකි තරම් බරවැඩිවී ඇති බැවිනි.  
ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආදායමෙන් සියයට 91ක්ම සෘජු හා වක්‍ර බදුය. මෙම බදුවලින් සියයට 83ක් වක්‍ර බදුය.  


ආර්ථික විද්‍යා මූලධර්මවලට අනුව රටක බදු අයකර ගැනීමේ වරදක් නැත. රටක ඉහළම ආදායම් උපයන පිරිසගෙන් බදු අයකර පහළ ආදායම් ලබන අය වෙනුවෙන් සුබසාධනය සඳහා එම මුදල් යෙදවිය යුතුය.  
ඉදිරි වසර සඳහා ඉදිරිපත් කරන අයවැය ලේඛනයට අනුව අයවැය පරතරය රුපියල් බිලියන 644 යැයි සඳහන්වී ඇත. මෙම අයවැය පරතරය පියවා ගැනීම සඳහා සෘජු හා වක්‍ර බදු අයකර ගැනීම හැර රජයට වෙන කිසිදු විකල්පයක් නැත. ඒ කියන්නේ දැනට ජනතා හිස මත පතිතකර ඇති බදුබර මෙවර අයවැය ලේඛනයෙන් පසු තවත් වැඩිවීමේ අනතුරකි.  


රටක පාලකයින් බදු අයකර ගැනීමේදී වඩාත් සලකා බැලිය යුතුව ඇත්තේ බදු ගෙවීමට හැකි අයගෙන් මෙම බදු අයකර ගැනීමය. එහෙත් අපේ රටේ දැනට බදුබර වැඩි වශයෙන් පතිත කර ඇත්තේ රටේ අඩු ආදායම්ලාභී හා මධ්‍යම පාන්තික ජනතාව මතය.  


සෘජු බදු අයකර ගැනී​ෙම් දී ඉහළ ආදායම්ලාභීන්ගෙන් බදු අයකරගත හැකිය. එහෙත් අපේ රටේ මේ වනවිට එලෙස සෘජු බදුලෙස අය කරගනු ලබන්නේ මුළු බදු ආදායමෙන් සියයට 8කි. මුදල් ඇමැති මංගල සමරවීර මහතා මේ තත්ත්වය අවබෝධ කරගෙන දේශීය ආදායම් නව බදු පනතක් ගෙන ආවද අපේ රටේ ඉහළ ආදායම් ලබන සුළුතරය එම සෘජු බදුබර ද උපක්‍රමශිලීව වක්‍ර බදු ලෙස කරකවා පොදු පාරිභෝගිකයින්ගේ හිස මතට පතිත කරවන බව ආර්ථික විශේෂඥයින්ගේ දැක්මය.  


ශ්‍රී ලංකාව වූ කලී ආදායම් විෂමතාව අතින් නොම්මර එකට සැලකිය හැකි රටකි.  


කොළඹ පාරිභෝගික මිල දර්ශකය ගත්තද, පුද්ගලයකුගේ වාර්ෂික ඒක පුද්ගල ආදායම ගත්තද එම ගණනය කිරීමේ ආර්ථික විද්‍යාවේ මූලධර්මවලට අනුව නිවැරදි වූවද ප්‍රායෝගික හා සැබෑ තත්ත්වය එය නොවන බව ද ආර්ථික විශේෂඥයින් පෙන්වා දෙන දෙයකි.  


මෙරට ඇතැම් අය දිනකට රුපියල් 50,000, 100,000 ආදායමක් උපයන විට දිනකට රුපියල් 1000 පමණ ආදායමකට හිමිකම් කියන අයද්‍ සිටිති. ඇතැම්විට ඊටත් වඩා දෛනික ආදායමකට හිමිකම් කියන අය සිටිති. නමුත් ඒක පුද්ගල වාර්ෂික ආදායම ලෙස ගණනය කිරීමේදී පුද්ගලයකුගේ වාර්ෂික ආදායම ලෙස ලොකු ආදායමක් සඳහන් වූවද සැබෑ තත්ත්වය එය නොවන බව ආර්ථික විශේෂඥයින් පෙන්වා දෙන කාරණයකි.  
එනිසා මෙම බදු ප්‍රතිපත්තිය පිළිබඳව යළිත් සලකා බැලීම ඉතා වැදගත්ය. ඉහළ ආදායම්ලාභීන්ගෙන් වැඩි වශයෙන් බදු අය කර අඩුම ආදායම්ලාභීන්ට බදු සහන සැලසීම වැදගත් බව ද ආර්ථික විශේෂඥයින් පෙන්වා දෙන කාරණයකි.  


ඇත්තටම ශ්‍රී ලංකාවට සිදුවී ඇත්තේ කුමක්ද?  


ශ්‍රී ලංකාව තුළ තිබූ දේශීය කර්මාන්ත, කෘෂිකර්මාන්ත ආදිය බිමට සමතලාවී ගොසිනි. එදා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය හඳුන්වාදුන් ආර්ථික ප්‍රතිපත්තිය මේ දක්වා ගලාගෙන ගියේ නම් ශ්‍රී ලංකාව අද සුරපුරයක් වී හමාර යැයි කොයි කවුරුත් පිළිගන්නා දෙයකි.  


නමුත් 1977 බලයට පත් අය රටට හඳුන්වාදුන් විවෘත ආර්ථිකය නිසා විදෙස් නිෂ්‍පාදන සුනාමිය ලෙස රටට ගලාගෙන ඒම නිසා දේශීය කර්මාන්ත පමණක් නොව කෘෂිකර්මාන්තය ද බිමටම සමතලා වී ගියේ රට මහා ණය උගුලකද පටලවා දමමිනි. මේ වනවිට ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල් 170ටත් වඩා අවප්‍රමාණයවී ඇත.  


මෙලෙස තවදුරටත් රටට ඉදිරියට යා හැකිද? නැද්ද? නොව වඩාත් වැදගත් නිවැරදි ආර්ථික ගමනක් ඇරඹීම යැයි ආර්ථික විශේෂඥයින් පෙන්වා දෙන කාරණයකි.  


මේ වනවිට අල්පෙනිත්ත පමණක් නොව සරුංගලයක් පිටරටින් ගෙන එන්නට පටන්ගෙන ඇත. එපමණක්ද, වෙසක් කූඩුවත් පිටරටින් එන්නට පටන්ගෙන හමාරය.  


මෙරට බදු ප්‍රතිපත්තිය වෙනස්වීමට සමගාමීව ජනතා ආකල්පද වහාම අලුත් කළ යුතුව ඇත. වක්‍ර බදු නිසා තැළෙන්නේ අඩු ආදායම්ලාභීන්ය. රටේ මුළු ජනගහනයෙන් ඉහළ ආදායම් ලබන පිරිස මුළු ජනගහනයෙන් සියයට දහයටත් අඩුය.  


ඔවුන් මුළු ජාතික ආදායමෙන් සියයට 70කට පමණ හිමිකම් කියද්දී සෙසු අඩු ආදායම්ලාභීන්ට හිමිවී ඇත්තේ සියයට තිහකි. ආදායම් බෙදීයෑමේ විෂමතාව පිළිබඳ දත්ත ගැන තර්ක මතුවූව ද මෙම තත්ත්වය ප්‍රායෝගිකව ගත් කල සාධාරණය.  


2017 වසරේ දී බදු අාදායම් ප්‍රතිපත්තිය සංශෝධනය කළ පසු දළ දේශීය නිෂ්‍පාදනයේ ප්‍රතිශතයක් ලෙස 2016 වසරට සාපේක්ෂව 2017 වසරේ සියයට 12.3 සිට සියයට 12.6 දක්වා බදු ආදායම වැඩි වූ බව මහ බැංකු වාර්තාවේ සඳහන් කර ඇත. එහෙත් බදු නොවන ආදායම අඩු වූ නිසා 2016 වසරට සාපේක්ෂව දළදේශීය නිෂ්‍පාදනයෙන් ප්‍රතිශතයක් ලෙස මුළු ආදායම සියයට 14.2 සිට 2017 වසරේ සියයට 13.8ක් ලෙස අඩු වූ බව ද එම වාර්තාවේ සඳහන්ය.  


මේ වනවිට ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණයවීම, ලබාගත් විදේශ ණය හා පොලී ආපසු ගෙවීම ආදී කාරණා නිසා ආනයනය අඩුකර අපනයන වැඩි කිරීමට රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇත.  
ආනයනය සීමා කිරීම ඉතා කාලෝචිත එකකි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 225 දෙනාටත් රාජ්‍ය අංශයේ සේවකයින් 18,000කටත් ලබාදුන් තීරුබදු රහිත වාහන බලපත්‍රය මාස හයකට නැවතීම ඉන් එක් කාරණයකි. නමුත් ආර්ථික විශේෂඥයින් කියන්නේ මෙම වාහන ගෙන්වීම නතර කිරීමට වැය වූයේ මුළු ආනයන වියදමින් සියයට 4.4ක් පමණක් බවය.  


එ් බැව් හිටපු ඇමැති බන්දුල ගුණවර්ධන මහතා ද කියා තිබිණි. රුපියල් 2500කින් මසක් ජීවත් වන්නට පුළුවන් යැයි බන්දුල ගුණවර්ධන හිටපු ඇමැතිවරයා වරක් කීවද මසකට රුපියල් 50,000, 60,000ක් නොව රුපියල් ලක්ෂයක් මදි තැනට බඩු මිල ඉහළ යෑම පිළිබඳ මේ කොයි කවුරුත් වගවිය යුතු බව ද කිව යුතුය.  


අපනයන ඉහළ නැංවීමට කතා කිරීම විහිළුවකි. දේශීය කර්මාන්ත බිමට සමතලා වූ කලක, හාල්, පොල්, ධාන්‍ය ටික පිටරටින්ම එනතුරු බලා සිටින කලක අපනයන ආදායම වැඩි කිරීමට කතා කිරීම විකාරයක් යැයි ද ආර්ථික විශේෂඥයින් කියන දෙයකි. අපට වැඩිම විදේශ විනිමයක් ලැබෙන්නේ මැදපෙරදිග සේවය කරන ගෘහසේවිකාවන්ට පින්සිදු වන්නටය. මෙරට ඇඟලුම් කම්හල්වල වැඩ කරන කාන්තාවන්ට පින්සිදු වන්නටය. තේ, පොල්, රබර්, කුළු බඩු පිටරට යවා විදේශ විනිමය ඉපැයූ රටක් පොල් ටික පිටරටින් ගෙනෙන තැනට ඇද වැටී හමාරය. වෙසක් කූඩුවත්, සරුංගලයත් චීනෙන් ගෙන එන කලක තව මොන කතාද?  


හෙට අනිද්දාට නිදහස් වෙළෙඳ ගිවිසුම් හරහා තව බොහෝ දේ මෙරට වෙළෙඳපොළට එනු ඇත. පොදු ප්‍රවාහනය වෙනුවට යතුරු පැදිද, ත්‍රීරෝද රථයද, මෝටර් රථ ද ගෙන්වා ජනතාව ඊට හුරු පුරුදු කළ පව රටත්, රටේ ආර්ථිකයත් කම්බස්කර ඇත.  


පොදු ප්‍රවාහනය වෙනුවට ගෙන්වූ මෙම වාහන සඳහා වැය වූ මුදල් පමණක් නොව ඉන්ධන සඳහා ද අති විශාල මුදල් කන්දරාවක් පිටරටට ඇදී යයි. රටේ මුළු ජනගහනය කෝටි දෙකක් වූවද ජංගම දුරකථන ඊට වඩා දෙගුණයක් ඇතැයි සඳහන්වී තිබීමෙන්ම රටට සිදුවී ඇති හෙනය තේරුම් ගත හැකිය.  


බදුබර වැඩි වන්නේ මේ විකාර සංස්කෘතික විනාශය ද නිසාය. සියරට දේ සිරිසැපදේ කීවේ එදාය. යළිත් ජන මනස එදෙසට යොමු කරනවා හැර මේ ණය උගුලෙන් හා බදු බරින් ජනතාව බේරාගත නොහැකි බව ආර්ථික විශේෂඥයින් පෙන්වා දෙන තවත් කාරණයකි.  


තිස්වසරක කුරිරු යුද්ධය රට විනාශ කර දැමීය. ප්‍රභාකරන් හා එල්ටීටීඊය පරාජය කළ නොහැකි බවට මතයක් නිර්මාණයවී තිබිණි. එහෙත් රණවිරුවාට නිසි ගෞරවය දී යුද්ධය අවසන් කරන තැනට ජනමනස නිර්මාණය කළ හැටි මතකය.  


බදු නොගසා රටක් පවත්වාගෙන යා නොහැකිය. එහෙත් බදු ප්‍රතිපත්තිය පතිත විය යුත්තේ බදු ගෙවිය හැකි ඉහළ ආදායම්ලාභීන්ගේ කර මතය. අඩු ආදායම්ලාභීන් හා බදුබර ගෙවිය නොහැකි ජනතාව මත අධික බදුබර පටවා රටකට යා හැකි දුර කොපමණද? එනිසා ආ මගක් යායුතු මගක් නිසි පරිදි හඳුනාගත යුතුය.  


ආනයනය සීමා කිරීම අපනයන වැඩිකිරීම පමණක් නොව දේශීය කර්මාන්තත්, කෘෂිකර්මාන්තයත් යළි ඉහළටම ගත යුතුය. නව ලිබරල්වාදී ආර්ථික ප්‍රතිපත්තිය වේවා විවෘත ආර්ථිකයට මානුෂික මුහුණුවරක් දීම හෝ වේවා මේ කොයි ආර්ථික ප්‍රතිපත්තියත් රටට හිතකර විය යුතුය. ඉන් ජනතා ජීවන තත්ත්වය නගා සිටුවිය යුතුය.  


එහෙව් ආර්ථිකයකදී ජනතා කරමත හෙළන බදුබර හිසමත වැටෙනතුරු පිහිටවූවක් සේ විය යුතුය. කෙස් පැලෙන ආර්ථික විද්‍යාවේ මූලධර්ම කවරක් වූවද මැරි මැරී ජීවත්වන මිනිසා සතුටින් ජීවත් වන්නේ එවැනි දිනකය.  

 

 

ශිරාන් රණසිංහ