නූතන අජාසත්තලා අදත් මේ සමාජයේ හිඟ නැත. එහෙත් ඔවුන් ගැන තොරතුරු සැඟවී ඇත. අපරාධ වැළලී ඇත. අජාසත්තට පියාණන්ගේ පිය සෙනෙහස දැනුණේ ඔහු පියෙකු වූ පසුවය. දරුවෙකු වෙනුවෙන් පියෙකු තුළ උපදින ආදරය අසිපතකින් කපා හෙළන්නට නුපුළුවන් බව කිව යුතුය.   
මේ ලියන්නෙත් පියෙකු පිළිබඳ කතාවකි. ඔහු කවුරුන්ද යන්න වටහා ගැනීම නම් ඔබට බාරකර කතාව දිගහරින්නෙමි.   
මේ කතාවේ ඉතිහාසය අඩ සියවසකට වැඩිය. එහෙත් එහි නටඹුන් අදත් ඉතිරිව ඇත. අප කතානායකයා වෙන්නේ රාජසිංහ වලව්වේ රාජසිංහ හාමු මහතායි. පුතුන් දෙදෙනෙකු හා දියණියක් ඔහුට දාව මෙලොව එළිය දකියි. බිරිඳත් රාජකීය පවුලකට නෑකම් කියන්නියකි.   
රාජහාමු දරුවන්ට ඉහළ අධ්‍යාපනයක් ලබාදෙයි. එහි ප්‍රතිඵලයක් ලෙස දරුවන් තිදෙනාම ගුරු තනතුරු ලබති. වැඩිමලා සුනිමල් මේ කතාවේ උප ප්‍රධාන චරිතයකි. ගම්මුන් ඔහු හඳුන්වන්නේ නූතන වෙස්සන්තර ලෙසිනි. සුනිමල් ජීවත්වෙන්නේ බිම් මට්ටමිනි. කුලමල පෙළපත ඔහුට අවශ්‍ය නැත. සලකන්නේ මිනිස්කමටයි. බැහැර කරන්නේ, සටන්වදින්නේ අසාධාරණයටයි. ඒනිසාම සුනිමල් මල්ගොල්ල ගම්මානයේ ජනප්‍රිය චරිතයක් බවට පත්වේ.   
ඔහුගේ ගුණයහපත්කම නිසාම ගැමි යුවතියක් වූ කුමාරි සුනිමල්ගේ ආදරය පතයි. ඇය දුගී වුවත් අදහස්වලින් පොහොසත් බව ඔහු තේරුම් ගනියි. ගම්මුන් ඔවුන්ගේ ආදරයට ආසිරි පතයි. එහෙත් රාජසිංහ මේ ආදර සම්බන්ධයට අකුල් හෙළන්නේ ඇගේ දුගී බව නිසයි. සොහොයුරු අමල් පියාට රහසේ ඔවුනට උදව් කරයි. මේ නිසාම රාජසිංහ සුනිමල් පිළිබඳව පසුවන්නේ දැඩි වෛරයකිනි.   
ඉහළ තැන්වලින් පියා ගෙනා මංගල යෝජනාවන්ට සුනිමල් විරෝධ පායි. නැගණිය පියුමිකාද පියා වෙනුවෙන් ඉදිරිපත් වූවාය. එහෙත් සිදුවූයේ අයියා සහ නංගී අතර අසමගියක් ගොඩනැගීමය. සම්බන්ධයට රුකුල් දුන් සුනිමල්ගේ මිතුරන්ගෙන් ද පියා පළිගත්තේය. අනිසි ප්‍රතිඵලය වූයේ ඔවුන් සුනිමල්ගේ ඇසුරින් ඈත්වීමය. අමල් වලව්වෙන් පිටවී යන්නේ ප්‍රශ්නයට තාවකාලික විසඳුමක් ලබාදෙමිනි. මේ අතර පියපුතු ගැටුම උත්සන්න වේ.   
“අනේ, සුනිමල් ඔයා මාව අමතක කරන්න. නැත්නම් හාමු මහත්තයා අපි දෙන්නව මරලා දායි” කුමාරිගේ දෑස්වල රැඳී තිබුණේ විරහ වේදනාවයි. ඔහු ඇය සනසන්නට නොගත් වෑයමක් නැත.
“මංතීරණයක් ගන්නවා. පොඩ්ඩක් ඉවසන් ඉන්න” සුනිමල් ඇයගෙන් සමුගත්තේ හදවත තුළ ගුලිකරගත් වේදනාව සඟවාගෙනය.   
“සුනිමල් අයියේ ඔයා ඔය වලව්වේ ඉන්න එපා.”   
සුනිමල්ගේ කලන මිතුරු සරත් ඔහුට අනතුරු ඇඟවීමක් කළේය.   
“ඇයි උඹ එහෙම කියන්නේ. මට ඒක ප්‍රශ්නයක්.”   
“අයියා මට වඩා උගතෙක්. ඒවුණාට මං කියන එකත් ටිකක් අහන්න. ඔයාට කවුරු හරි කරදරයක් කළොත් අපි උන් මරාගෙන මැරෙනවා.”   
සරත් එසේ පවසන විට ඔහු ඉනේ සඟවාගෙන සිටි කිනිස්සක් අහම්බෙන් සුනිමල්ගේ නෙත ගැටුනි.   
“මේ සරත් එකක් කියන්නම්, නැති ප්‍රශ්න ඇතිකර ගන්න එපා.”   
ඔහු පැවසුවේ මිතුරා පිළිබඳ හදේ උපන් සෙනෙහසිනි.   
​ෙම් වගේ මිත්‍රයෝ ආශ්‍රය කරන්න ලැබුණ එකත් වාසනාවක්. සුනිමල්ගේ යටි සිත මොරදුනි. ඔහු සිත සන්සුන් කරගැනීමට අසීරු වෑයමක නිරත වුණි.   
සිතේ උපන් කළකිරීම, වේදනාව, කෝපය පහකර ගැනීමට රාජසිංහ මත්පැන්වල ආධාරය පැතුවේය. ඔහුගේ ප්‍රභූ මිතුරන් ඇවිලෙන ගින්නට පිදුරු දැමූහ. දිනක් වලව්වට අගනුවරින් විශේෂ වූ පුද්ගලයෙකු පැමිණියේය. මේ පැමිණීම ගැන ගමේ ​ෙනායෙක් කටකතා පැතිරී ගියේ එය සැකකටයුතු ක්‍රියාදාමයක මුලපිරීමක් බවට සාධක සපයමිනි.   
“කවුද අර වලව්වට ආපු මිනිහා”   
“කවුරුවත් හරි විස්තරයක් දන්නේ නෑ.”   
“මං මිනිහා ආපහු යනවා දැකලා හැංඟුනා. හැබැයි ඒ ගමන ගැන මට පොඩි සැකයක් තියෙනවා.”   
ඒ ගම්මුන් අතර ඇතිවුණු සංවාදයකි. කාලය සෙමෙන් ගලායයි. පවතින්නේ මූසල දිගු නිහැඬියාවකි. ගෙවීගිය කාලය තුළ කිසිදු වැදගත් පුවතක් අසන්නට නොලැබුණි. එහෙත් ගම කලඹමින් නව පුවතක් සවන් වැකුනි.   
“සුනිමල් මහත්තයයි කුමාරියි කසාද බැඳලා”.   
එය කාටත් සුභාරංචියකි. එහෙත් රාජසිංහ වලව්වට මේ සිදුවීම බෝම්බ පිපිරීමක් මෙන් දරුණු විය. හාමු තුවක්කුව මානමින් සුනිමල් සෙවීමේ මෙහෙයුමක් දියත් කළේය. එහෙත් එය අසාර්ථක විය. සිද්ධිය යටපත් වූ පසු සුනිමල් කුමාරි හා එක්ව නව නිවසක් තැනීමට මුල්ගල තැබීය. එහෙත් පසුදාම එම මුල්ගල අතුරුදහන් වී තිබුණි. කුමන්ත්‍රණකරු කවුද යන්න ගම්මුන්ට පැනයක් නොවුණි. මේ අතර වාරයේ සුනිමල්ගේ සොයුරු අමල් මල්ගොල්ල ගම්මානයට පැමිණෙයි.   
“දෙන්නම යමු වලව්වට. කිසිම ප්‍රශ්නයක් වෙන්න මං ඉඩ තියන්නේ නෑ.” අමල් දැඩි අධිෂ්ඨානයෙන් යුතුව තම එකම සොහොයුරාට ආරාධනාවක් කළේය.   
“එක අතකට මං මොකටද බයවෙන්නේ. ඒක මගේ මහ වලව්වනේ.”   
අමල්ගේ ආරාධනාවෙන් සුනිමල් නැවත වලව්වේ පදිංචියට ගියේය. එහෙත් කුමාරි කැඳවාගෙන ඒමට බියවූයේ ඇයට අනතුරක් සිදුවේදෝ යන සැකය මතුවූ නිසාය. අමල් සැමවිටම වලව්ව තුළ සුනිමල්ට ආරක්ෂාව සපයනවා. ඒ නිසා සුනිමල්ගේ සිතට කිසියම් සහනයක් ලැබෙනවා.   
ඔන්න දැන් කතාවේ තාත්විකම කොටස රඟදැක්වෙනවා. සතුරෙකු මෙන් සිටි හාමු පුතා ළඟට එනවා.   
“වෙන්න තියෙන දේ සිද්ධවුණා. දැන් කරන්න දෙයක් නෑ. මං හිත හදාගත්තා.”   
පියාගේ ඒ වදන් වැල්වලින් සුනිමල් පුදුමයට පත්වෙනවා. අදහන්නත් බැහැ. මේක බොරු රංගනයක්ද? ඔහුට එහෙම හිතෙනවා.   
“පුදුම වෙන්න එපා. මාව විශ්වාස කරන්න. දුවට එන්න කියන්න. එහෙම කියලා හාමු පිටවෙනවා.”
 සුනිමල් දිගු කල්පනාවකට වැටෙනවා. ඔහු තීරණයක් ගන්නවා කුමාරි හමුවෙන්න.   
“අනේ සුනිමල් මට බයයි. අනික ඔය වලව් අපිට පුරුදු නැහැ. අපි ඉක්මනින්ම අපේ ගේ හදාගෙන ඒකේ පදිංචි වෙමු. සතුට තියෙන්නේ වලව්වේ නෙමෙයි පැල්පතේ. නියම සතුට සල්ලිවලට ගන්න බැරි බව මං විතරක් නෙවෙයි ඔයත් දන්නවා.”   
සුනිමල් කුමාරිගේ ඉදිරි සැලසුමට අනුමැතිය දීලා ආපසු වලව්වට එනවා.   
“මොකද තනියම. කුමාරි එන්න බැහැ කිව්වද.”  
පියාගේ ඇමතුමට ඔහු නිරුත්තර වෙනවා.   
“මොනවා කරන්නද පවට පින්දෙන්න බැහැනේ.” හාමු අමනාපයෙන් පිටවෙනවා. ඒ අතර අසුබ පුවතක් ආරංචි වෙනවා. හාමු තමුන්ගේ සියලුම දේපොල දරුවන්ට ලියලා. හැබැයි ලොකු පුතාට ලුණු කැටයක දෙයක් නැහැ. සුනිමල් ඒ තීරණයට එරෙහි වෙන්නේ නෑ. පරාජය බාරගන්නවා.   
එදා අඳුරු මූසල රාත්‍රියක්. වලව්වට උඩින් උලමෙකු කෑගසමින් ඉගිල්ලිලා යනවා. නිහැඬියාව රජවෙනවා. අනතුරක සේයාවක් දැනෙනවා. අඳුරු මිනිස් ඡායාවක් වලව්ව දෙසට ඇදෙනවා.   
ඩිසුම්! පරිසරයම දෙදරවමින් වෙඩි හඬක් වලව්ව දෙසින් ඇසෙනවා. වියරු වැටුණු ගැමියන් වලව්ව වටලනවා. සුනිමල්ගේ ලේ ගලන සිරුර බදාගෙන හාමු වැලපෙනවා. කට්ටිය තුෂ්නිම්භූතවෙලා බලා ඉන්නවා. සුනිමල් වෙනුවෙන් මුළු මල්ගොල්ල ගම්මානය එදා වැළපුනා. කඳුළු නොහෙළු දෑසක් නැතිතරම්.   
සුනිමල්ගේ මරණය වෙනුවෙන් එක් පුද්ගලයෙක් අත්අඩංගුවට පත්වුණා. එහෙත් ඇසින් දුටුව සාක්ෂි නොමැති නිසා ඔහු නිදහස ලැබුවා. වසරක් ගතවද්දී වලව්වේ මැතිණිය හැර අන් සියලුම දෙනාම වලව්ව හැරගියා. පුවත්පතක පළවූ දැන්වීමක් අනුව තරුණයෙක් වලව්වේ සේවයට පැමිණියා. ඔහු රංජිත්. ඉක්මනින්ම මැතිණියගේ සිත් දිනාගත්තා. ඇයගේ පෞද්ගලික තොරතුරු පවසන්නට තරම් දෙදෙනාගේ බැඳීම දැඩිවුණා.   
“නෝනාහාමු, මං එක දෙයක් අහන්න මට ඇත්තම කියනවද. මං නෝනගේ පුතෙක් කියලා හිතන්නකෝ.”
රංජිත් දිහා ඇය සැකයෙන් බැලුවා.   
“හරි මොනවද දැනගන්න ඕනේ.” නෝන හාමු ඇහැව්වා.   
“හාමු මහත්තයා මැරුවේ කවුද?”
 රංජිත්ගේ ප්‍රශ්නයෙන් ඇය බියපත්වූ බවක් පෙනුනා.   
“මං කොහොමද දන්නේ. දන්නවනම් පොලිසියට අල්ලල දෙනවනේ.” ඇය බිය මැඩගෙන වචන එකිනෙක ගලපමින් කතා කළා.   
“නෝනා හාමුව කවුරු හරි බයකෙරුවා නේද කියන්න එපා කියලා.” රංජිත් උස්වූ හඬකින් කිව්වා.   
“මේ... මේ.. මාව... බය.. බය...”  
“ඇයි ගොත ගහන්නේ. මොකද බයවෙලා.”  
රංජිත් ඇසුවේ දැඩි අවධානයෙන්. ඔහුගේ තියුණු ඇස්වල බැල්ම විඳගන්නට නොහැකිව ඇය දෑස් වසාගත්තා.  
අවසන් කොටස ලබන සතියට.  
සත්‍ය සිද්ධියක් ඇසුරෙනි.  
නම්ගම් මනඃකල්පිතයි.  

 

 

තිස්ස ඩයස්