(කාංචන කුමාර ආරියදාස)

මව දරුවන් තිදෙනකු අතහැර යාමත් සමඟ තම මලනුවන් සහ නැගණිය රැකබලාගෙන නිවසේ සියලු වැඩ සිදුකර අධ්‍යාපන කටයුතුවල නිරතවීමට සිදුව ඇති අට ශ්‍රේණියේ ඉගෙනුම ලබන ආදර්ශමත් 13 වියැති දියණියකගේ  දුක්බර පුවතක් දඹුල්ල වෑවල වැව අරුණෝදයගම  ප්‍රදේශයෙන් වාර්තා වේ.

වසන්ත රත්නායක (38) මහතා දියණියන් දෙදෙනා සහ පුතකු රැකබලාගෙන  දැඩි ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ ජීවත් වෙති.

ඔහුගේ බිරිඳ මීට වසර දෙකකට පමණ ඉහත දී   නිවසින් පිටව ගොස් ඇත්තේ වෙනත් විවාහයක් කරගැනීම සඳහා බව වසන්ත රත්නායක මහතා පැවැසීය. එදා සිට මේ දක්වා දියණියන් දෙදෙනාත් පුතාත්  අපහසුතා මධ්‍යයේ රැකබලා ගත් බව ඔහු පවසයි.

හංසිකා  ප්‍රියදර්ශණී (13) දියණිය තවමත් 8 වැනි වසරේ ඉගෙනුම ලබන්නීය. මලීෂ දිල්ශාන් මෙවර පළමු වසරට ඇතුළත්කොට පාසල් යන කුඩා දරුවෙකි. ඉමාසි කාවින්දි තවමත් තුන් හැවිරිදිය. එම  කුඩා දියණිය අම්මා යනුවෙන් ආමන්ත්‍රණය කරනු ලබන්නේ වසන්ත රත්නායක පියාටය. 

කටුමැටි ගැසූ ඉතා කුඩා නිවෙසක මෙම පවුල ජීවත්වෙන අතර කුලී වැඩක් කරන  පියාට   ගෙදර ඉවුම් පිහුම් හා දරුවන් දෙදෙනාගේ වැඩට විශාල වශයෙන් උදව් කරනු ලබන්නේ අටවැනි වසරේ ඉගෙන ගන්නා තම වැඩිමහල් දියණිය හංසිකා  ප්‍රියදර්ශනී බව වසන්ත රත්නායක හැඬු කඳුළෙන් පැවැසීය.

දරුවන්ගේ වැඩ කටයුතු නිසා දිනපතා කුලී වැඩට යෑමට තමන්ට නොහැකිවීම නිසා එක වේලක් දිනකට ආහාර ගෙන දරුවන් ජීවත් කරවන බව වසන්ත රත්නායක අප සමග පැවැසීය.

වැඩිමහල් දියණිය කියා සිටියේ තමන් නිවෙසේ වැඩ කටයුතු සිදුකර ආහාර පිස සිය මලනුවන් සහ නැගණියට  කවා පොවා හැන්දෑවේ  තම නිවෙස ආසන්නයේ වැඩිහිටි කාන්තාවක් සිටින නිවෙසකට ගොස් රැය පහන් කරන බවය. තම මල්ලි සහ නංගි පියා සමග මෙම පැලේ රාත්‍රිය ගත කරන බව ද ඇය පැවසුවාය.

හංසිකා ප්‍රියදර්ශනී අප සමඟ සිය ජීවන කතාව මෙසේ කීවාය.

   "අපේ අම්මා අපිව දාල යනකොට නංගි ගොඩක් චූටියි. තාත්තා ගොඩාක් දුක් වින්දා නංගිවයි අපිව හදන්න. එයාට වැඩකට යන්නවත් විදිහක් නැතුව හිටියේ. එක දවසක් වැඩට ගියොත් සතියක් විතර ඒකෙන් හාල් ගෙනල්ලා දවසට එක වේලක් කාලා අපි ජීවත් වුණේ. තාත්තට වැඩට යන්න ඕන නිසා නංගිගේ මල්ලිගෙයි ගෙදර වැඩ කරන්න මම පුරුදු වුණා. ඒ වැඩ ඉවර කරල තමයි මම ඉස්කෝලේ යන්නේ."

 "තාත්තට වැඩක් තිබ්බෙ නැති දවස්වලට මම ඉස්කෝලේ යන්නේ නෑ. කාල යන්න දෙයක් නැති නිසා නංගිලාත්  එක්ක අහළ පහළ ගෙදරකට ගිහිල්ලා මොනවා හරි කනවා. නංගිටයි මල්ලිටයි අසනීපයක් වුණ දවසට ඉස්කෝලේ යන්නෙත් නෑ. ගේ ඇතුළෙ අපිට තනියම ඉන්න බැරි නිසා අපි දවල්ට අහළ පහළ ගෙදරකට ගිහිල්ලා ඉන්නවා. "

"කොහොම හරි අපිට දොර වහගෙන ඉන්න පුළුවන් එක කාමරයක්වත් තිබ්බොත් හොඳයි. තාත්තායි නංගියි මල්ලියි පැදුරක් දාගෙන මේ ගෙදර බිම නිදා ගන්නවා. මම රෑ වෙනකොට ළඟ ගෙදරකට යනව නිදාගන්න ආපහු උදේ ඇවිල්ල නංගිලා මල්ලිලා හෝදලා ඉස්කෝලෙ යවනවා."

"තාත්තා ඒ වැඩ කරන්න ගත්තොත් අපිට කන්න නැති වෙනවා ඒ නිසා තාත්තට මං කියනවා වැඩකට යන්න කියලා”

 අපිට කොහොම හරි පොඩියට හරි නිවෙසක් හදල දුන්නොත් දොරවල් වහගෙන නංගිටයි මල්ලිටයි මටයි ගෙදර ඉන්න පුළුවන් මේ සැරේ වැස්සොත් ගේත් කඩන් වැටෙනවා"

දරු තිදෙනා සමග දුෂ්කර ජීවිතයක් ගත කරන වසන්ත රත්නායක මහතා මෙසේ පැවැසීය.

 "අපේ නෝනා ගියාට පස්සේ මම ගොඩක් අමාරුවෙන් තමයි දරුවො තුන්දෙනා හදන්නේ. හැමතිස්සෙම වගේ චූටි දුවට අසනීප වෙනවා. සති ගණන් ඉස්පිරිතාලවල ඉන්නවා. එතකොට ලොකු දුවයි පුතයි කොහෙහරි තැනක නවත්තලා තමයි යන්නේ. ඒ දවස්වලට වැඩක් පළක් කරන්න විදිහක් නෑ. එයාව ඉස්පිරිතාලේ තියන් ඉන්න වෙනවා. හරියට දරුවන්ට කන්න බොන්න අඳින්න දෙන්න විදිහක් නෑ. වැඩක් පලක් කරගන්නවත් හරියට නෑ."

   " ගහක් යට හරි ඉන්න පුළුවන් ඒත් දරුවෝ බඩගින්නේ අඬනකොට ඉවසන්න බෑ. මේ ගෑනු ළමයි දෙන්නෙක් ඉන්න නිසා පොඩිවට හරි කාමරයක් හදාගන්න තමයි මගේ බලාපොරොත්තුව. හිඟා කාල හරි මම මේ තුන් දෙනා ලොකු කරගන්නවා. එකම බලාපොරොත්තුව දරුවෝ තුන් දෙනාට උගන්න ගන්න එක. වෙන ලොකු බලපොරොත්තු නෑ."

මගේ බාල දුව මට අම්මා කියලා කතා කරනකොට ලොකු දුකක් වගේම තරහකුත් එනවා. මොකද එයාගේ අම්මා කළ පහත් වැඩේ නිසා මේ දරුවෝ කොපමණ අසරණ වෙලාද කියලා. එයා ගමේම හිටිය පිරිමි ළමයෙක් එක්ක ගියා. අඩුම තරමේ මම එයාට පාරක් ගහලවත් නැහැ. සල්ලි නැති එක තමා තිබුණේ. ඒත් මම අද හිටියටත් වඩා පහළ වැටිලා දරුවන් තුන් දෙනා එක්ක දුක් විඳිනවා. අපට දුක උරුමකරලා දීපු කෙනා සැප විදිනවා. මොනවා කරන්නද පෙර කරපු කරුම වෙන්න ඇති ."

ඔවුන්ගේ ලිපිනය වසන්ත රත්නායක අංක 148 අරුණෝදය ගම හුඹසගමුව වෑවලවැව, දඹුල්ල. දුරකථන අංකය 072 344 5264 ඔස්සේ සම්බන්ධ කර ගත හැකිය