(අංජුල මහික වීරරත්න)

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන්හි නියාමන පාලනය ශක්තිමත් කිරීම පිණිස ජාතික නියාමන ප්‍රතිසංස්කරණ කවුන්සිලය පිහිටුවීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

පෞද්ගලික අංශයේ වර්ධනය හැඩගැස්වීමේදී, ආයෝජන තීරණ වලට බලපෑම් කිරීමේදී මෙන්ම සමස්ත ව්‍යාපාර තරඟකාරිත්වය වැඩි දියුණු කිරීමේදී ශ්‍රී ලංකාවේ නියාමන පරිසරය තීරණාත්මක කාර්ය භාරයක් ඉටු කරනු ලබයි.

 මෙරට ආර්ථිකයේ මූලිකාංග ශක්තිමත් වුවද, පවතින නියාමන සීමාවන් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායයන් කෙරෙහි අසමාන ලෙස බලපාන අතර, ආයෝජන ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාවේ ආකර්ෂණීය බව කෙරෙහි ද අහිතකර බලපෑම් ඇති කරනු ලබන බව නිරීක්ෂණය කර තිබේ. 

එකී කරුණු සැලකිල්ලට ගෙන, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය විසින් ආසියානු සංවර්ධන බැංකුවේ ද සහාය ඇතිව ශ්‍රී ලංකාවේ නියාමන රාමුව පිළිබඳ සවිස්තරාත්මක ඇගයීමක් සිදු කර ඇති අතර, අදාළ පාර්ශ්ව කරුවන් ද මඟ පුළුල්ව පවත්වන ලද සාකච්ඡාවලින් අනතුරුව ජාතික නියාමන ප්‍රතිසංස්කරණ ක්‍රියාකාරී සැලැස්ම සහ එහි ක්‍රියාකාරී යාන්ත්‍රණය සකස් කරනු ලැබ ඇත. 

එම ක්‍රියාකාරී සැලැස්ම මඟින් ප්‍රායෝගික සහ ක්‍රියාකාරී නිර්දේශයන් ගණනාවක් ඉදිරිපත් කර ඇති අතර, එකී නිර්දේශ කෙටිකාලීන, මධ්‍ය කාලීන සහ දිගුකාලීන කාලසීමා ඔස්සේ ප්‍රමුඛගත කිරීම හා අනු පිළිවෙලගත කිරීම සිදු කර තිබේ. එමෙන්ම, එම ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාත්මක කිරීම, මෙහෙයවීම සහ අධීක්ෂණය සඳහා මධ්‍යම ආයතනික යාන්ත්‍රණය ලෙස ජාතික නියාමන ප්‍රතිසංස්කරණ කවුන්සිලයක් පිහිටුවීමට යෝජනා කරනු ලැබ ඇත.

ඒ අනුව ජනාධිපතිවරයාගේ  සභාපතිත්වයෙන් යුතුව එම කවුන්සිලය පිහිටු වීමටත්, එහි ලේකම් කාර්යාලය ලෙස සිය අමාත්‍යාංශය නම් කිරීමටත් කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.