සමරසිංහ ආරච්චිගේ මධූෂ් ලක්ෂිත වශයෙන් නොව මාකඳුරේ මධූෂ් වශයෙන් රටම දැන සිටි මහා පරිමාණ කුඩු ජාවාරම්කරුවකු සහ මිනීමරු සංවිධානාත්මක අපරාධකරු 20 වැනිදාට එළිවෙන පාන්දර වෙඩි කා මියගිය බවට වාර්තා පළවෙද්දී තිගැස්සුණේ පාතාලයන්ම පමණක් දැයි අපි නොදනිමු. එහෙත් මධූෂ්ගේ ඝාතනය රටේම ප්‍රධාන සිරස්තලයක් බවට ක්ෂණයකින් පත්වූයේ ඔහුගේ පැටිකිරියේ තරම හේතුවෙනි. හිරේ විලංගුවේ වැටීමට පෙර රටම හොල්ලාගෙන සිටි අපරාධකරුවකු වශයෙන් ජීවත් වූ මධූෂ් අවසානයේ වෙඩි ප්‍රහාරයකින්ම මියයාම ගැන එක් අතකින් පුදුම විය යුතු නැත. ඔහු ගෙවූ ජීවිතයට අනුව එහි අවසානය ඊට වඩා වෙනස් වන්නේ නම් ඒ ස්ථානය පමණි.

මාකඳුරේ මධූෂ් වැනි පාතාලයන් බිහිවීමට රටේ පවතින සමාජ ක්‍රමය හේතු වන බවට සමහරු චෝදනා කරති. ඔහු දකුණේ මාතර දිස්ත්‍රික්කයේ හක්මන ආසනයේ ගම් පියසක ගැටවර වියේ දී කරත්තයකින් දර විකුණා ජීවිතය ගැටගසාගත් දිළිඳු තරුණයකුව සිටි බවත් පසුව දරවලට අමතරව කරවල විකුණා ජීවත් වෙමින් සිටිය දී තමන් පදිංචිව සිටි වත්තෙන් බලහත්කාරයෙන් එළවා දැමීම හරහා පාතාලයට විසි වූ බවත් සමහර පාර්ශ්ව කියති.

එහෙත් පසු කාලයක ඔහුගේ ක්‍රියා කලාපය විමසා බලද්දී අපට තේරුම් යන්නේ මධූෂ් යනු මුල සිටම අපරාධකාරී මනසකින් හැදුණු වැඩුණු පුද්ගලයකු බවත් ගමෙන් එළවූ සිද්ධිය තම අපරාධකාරී ජීවිතයට ඇරඹුමක් ලබා ගැනීම සඳහා ඔහු ප්‍රයෝජනයට ගත් බවත්ය. පසු කාලයක දී ඔහුගෙන් විවිධ වරප්‍රසාද ලබාගත් පුද්ගල පිරිස් එම ගම හා අවට සිටි බව ද සඳහන් වෙයි. එහෙත් ඒ සියලු‍ වත්පොහොසත්කම් මේ මධූෂ් විසින් උරුම කරගන්නා ලද්දේ මෙරට විශාලම කුඩු ජාලය මෙහෙයවීම ඇතුළු විවිධ සංවිධානාත්මක අපරාධ හරහා බවත් කුඩුත්, චණ්ඩිකමත්, මුදල් බලයත් අතැතිව සිටි කාලයේ ඔහුගේ අණට උඩින් කාක්කකුට හෝ පියෑඹීමට ඉඩක් නොතැබූ බවත් පැවසෙයි. අඩුම තරමින් ඔහුගේ ‘අනුමැතියකින්’ තොරව ප්‍රයිවෙට් බස් එකක් පාරට දැමීමට පවා ඉඩ නොතිබූ බවත් කියති. එය ඔහුගේ චරිත ස්වභාවය පෙන්නුම් කරන එක් අවස්ථාවක් පමණි.

මධූෂ්ලා වැනි අපරාධකරුවන් රටට බිහිවන්නේ ඔවුන්ගේ උවමනාවට පමණක් නොවන බව මෙහිදී පෙන්වා දිය යුතුය. මෙවැනි හාදයන් චණ්ඩින් බවට පත්වූ විට පළාතේ දේශපාලනඥයන්ගේ සුරතලු‍න් බවට පත්වීමට ගතවන්නේ සුළු කාලයක් පමණි. බලයේ සිටින පක්ෂයේ දේශපාලනඥයන්ගේ සියලු‍ ජඩ වැඩවලට උර දෙන මෙවැනි අපරාධකාරයන් මෙල්ල කිරීමට ඉන්පසුව පළාතේ පොලීසියට ද හැකි වන්නේ නැත. කුඩු ජාවාරම්, කොන්ත්‍රාත් මිනීමැරුම්, ස්ත්‍රී දූෂණ, මහා පරිමාණ කප්පම් ගැනීම මේ සියලු‍ අපරාධ ඉන්පසුව දම්වැලක් සේ එකට ඇමිනෙමින් මධූෂ්ලාගේ සාක්කු සල්ලිවලින් පිරවීම සිදුවෙයි. ගෝලබාලයෝ ද හතර වටේම බිහි වෙති. ඔවුන්ගෙන් ද පළාතට හිරිහැර පැමිණියත් පොලීසියත් නිහඬ වෙයි. මේ ක්‍රමයට තිත තබන තාක් මධූෂ්ලා වැනි අපරාධකාරයන් බිහිවීම නවතින්නේ නැත.

මේ වසරේ මාර්තු මාසය මුල දී කොරෝනා ව්‍යාප්තිය මගින් රටේ මාධ්‍යවල අවධානය ‘හයිජැක්’ නොකළා නම් මාකඳුරේ මධූෂ් ගැන තවත් නොයෙක් කතා මැවෙන්නට ඉඩ තිබිණි. ඔහු ඩුබායි රටේ රජකු මෙන් ජීවත් වූ හැටි, ඔහු හමුවීමට එරටට ගිය විවිධ තරාතිරමේ කට්ටිය පිළිබඳ බොහෝ තොරතුරු ඒ කාලයේ මාධ්‍ය ඔස්සේ පළවිය. එහෙත් අවසානයේ ඩුබායි රටින් පිටුවහල් කරනු ලැබ කටුනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට පත් නොවන්නට මාලිගාවත්ත, ඇපල් වත්ත, ලක්සෙත මහල් නිවාසයේ දී මධූෂ් වෙඩි කා මියැදෙන්නේ නැත. සිරගතව සිටිය දී පවා මධූෂ්ගේ නමට බිය වූ පිරිසක් ද මෙරට සිටි බවත් රට වටෙන්ම කුඩු තොග පිටින් අසුවීමේ දී ඒ පිරිස තව තවත් බියට පත්වූ බවත් සමහරු කියති. මධූෂ්ගේ මරණය ඔහුගේ ගම් ප්‍රදේශය පමණක් නොව පාතාලයේ විවිධ අපරාධවලට සම්බන්ධ වූ එවැනි පිරිස් අතර ද ප්‍රබල කම්පනයක් ඇති කර තිබෙන්නේ ඒ හේතුවෙන් විය හැකිය. සිදුවිය යුත්තේ මධූෂ්ලා ඉදිරියේ දී හෝ බිහිවීම වළක්වා ගැනීමය.

මධූෂ්ගේ සැබෑ ජීවිතය අළලා චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමට වුවද කෙනකු තුළ පෙළඹවීමක් ඇති වන තරමට ඔහුගේ අපරාධ ජීවිතය මෙරට තුළ හොල්මන් කර තිබිණි. එවැනි චිත්‍රපටයක් නිපදවන්නේ නම් ඔහුගේ චරිතය වීරයකු ලෙස හුවා දැක්වීමෙන් වැළකිය යුතු බවට කතා දෙකක් නැත. බොහොමයක් අපරාධකාරයන් පසු කාලයක දී කියන්නේ තමන් මේ අපරාධ ලෝකයට තල්ලු‍ කරනු ලැබුවේ සමාජ අසාධාරණය විසින් බවය. එය පට්ටපල් බොරුවකි. සමාජ අසාධාරණයට අනුව මිනිසුන් අපරාධකරුවන් වන්නේ නම් මෙරට මේ වනවිට ලක්ෂ ගණන් අපරාධකාරයන් බිහි වී සිටිය යුතුය. අපරාධකාරී මනසක් ඇති පුද්ගලයකුට එම මනස අවුළුවා ගැනීමට අවශ්‍ය වන්නේ එක් පුළිඟු‍වක් පමණි. ඒ පුළිඟු‍ව ඇතැම් විට දේශපාලනඥයකු වීමට නම් හොඳටම ඉඩ තිබෙන බව ද පැවසිය යුතුය. මධූෂ්ලා බිහිවීම වළක්වා ගැනීමට නම් අපරාධකරුවන්ට රැකවරණය සලස්වන දේශපාලන රාමුව කඩාබිඳ දැමීම අවශ්‍යම සාධකයයි.

(***)