නවසිය අසුවේ දී (1980) ආරම්භ කළ එල්.ඕ.එල්.සී. සමාගමට දැන් වයස අවුරුදු 41 කි. මෑත අවුරුදු 15ක දී පමණ ශීඝ්‍ර වර්ධනයකට හිමිකම් කියන ඒ සමාගම ජනතාව දැනගෙන සිටියේ කල්බදු හෙවත් ලීසිං සමාගමක් ලෙසය. 

2009දී යුද්ධය නිමවීමත් සමග සංචාරක කර්මාන්තයට ද පිවිසෙන එල්.ඕ.එල්.සී. සමාගම ආරම්භයේ දී හෝටල් පහක හිමිකරුවෙක් වෙයි. කොරෝනා උවදුර මැදත් මීට මාස තුනකට පමණ පෙර තවත් හෝටල් කීපයක් මිල දී ඒ සමාගම ඉදිරියට තැබූ පය පෙරටම තබමින් රටේ ආර්ථික වර්ධනයට දායක වෙයි.

අද ඒ සමාගම් සමූහයේම කළමනාකාර අධ්‍යක්ෂ හා ප්‍රධාන විධායක නිලධාරී තනතුර දරන්නේ කපිල ජයවර්ධන මහතාය. බැංකුකරුවකු ලෙස වෘත්තීය ජීවිතය ආරම්භ කරන ඒ මහතා සිටි බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී ලෙස පුරා අවුරුදු 10ක් සේවය කළේය. 2007 දි එල්.ඕ.එල්.සී. සමාගම් සමුහයේ කළමනාකාර අධ්‍යක්ෂ ලෙස පැමිණෙන ඒ මහතා අද එහි ප්‍රධාන විධායක නිලධාරියාද වෙයි. සෙලාන් බැංකුවේ උප සභාපතිවරයකුද  වන ඒ මහතා රටේ ආර්ථික වර්ධනයට කළ යුතු පිළියම් ගැන මෙසේ කරුණු දක්වයි.

ආයතන හා නායකයන් වන කිසිවකුට කෙටි කාලීනව සිතිය නොහැකිය. නොයුතුය ආයතනයක් සිතිය යුත්තේ දිගු කාලයක් ගැනය. අවුරුදු 100ක් පමණ ඉදිරිය ගැන සිතා සැලසුම් කළ යුතුය. ඕනෑම පුද්ගලයෙක් ව්‍යාපාරයක් පටන් ගන්නේ අවුරුදු හත අටකින් වසා දැමීමට නොව චිරාත් කාලීන පැවැත්මක් ගැන සිතමිනි. 

ආරම්භයේ දී එක් ක්ෂේත්‍රයක් මූලික කරගෙන ව්‍යාපාර කරගෙන ගියත් කල්ගතවන විට වෙනත් ක්ෂේත්‍රවලට යොමුවිය යුතුය. අපේ සමාගම කටයුතු කළේ එලෙසට ආරම්භයේ දී අපේ සමාගමේ පිරිවැටුමෙන් හෙවත් ආදායමෙන් සියයට 80ක් පමණම ලැබුණේ කල්බදු වලිනි. එහෙත් දැන් කල්බදුවලින් අප ලබාගන්නා ආදායම සියයට දහයකටත් අඩුය. ඒ අප වෙනත් වෙනත් ක්ෂේත්‍රවලට ගමන් කිරීම හේතුවෙනි.

සමාගමකට පෞද්ගලිකව අරමුණු තිබෙන බව සත්‍යයකි. එහෙත් ඉන් සෙත සැලසෙන්නේ සමූහයකටය හෙවත් සමස්ත සමාජයටය. සරලව කිවහොත් රටටය. අපේ රටේ ඇතැම් සමාගම් රට ඇතුළට පමණක් සීමා නොවී පිටරටවලට ද යන්නේ ඒ පොදු අරමුණු හා පොදු යහපත ද සලකාය. එල්.ඕ.එල්.සී. සමාගම පිට රටවලට ගියේ ද ඒ අරමුණෙනි. කාම්බෝජය, මියන්මාරය, පකිස්තානය, පිලිපීනය, ඉන්දුනීසියාව, ඊජිප්තුව, වැනි රටවල් 10ක අපේ සමාගම දැන් ක්‍රියාත්මක වෙයි. 2021 අවසන් වෙද්දී එය රටවල් 20 ක් දක්වා පුළුල් කිරීම අපේ අරමුණයි. අප එසේ කරන්නේ හුදෙක් පෞද්ගලික අරමුණු සහතිකවම නොවේ. රටක් හැටියට අපේ රටේ නාමය ලෝකයේ අනෙක් රටවල් අතර ඉහළ තැනක තැබීමේ අරමුණනි. 

අද අප සිටින තත්ත්වය අනුව ලංකාවේ තිබෙන එකම දේශීය බහුජාතික සමාගම අපේ සමාගමය. අප යන මේ මාවතේ මේ අනෙක් ව්‍යාපාරද ගමන් කළ යුතුය. ඒ පොදුවේ රටේ ආර්ථික සංවර්ධනය සඳහාය. එසේ නොකර අද අපේ රට මුහුණ දී සිටින විදේශ විනිමය අර්බුදයෙන් ගොඩ ඒමට නොහැකිය. එල්.ඕ.එල්.සී. සමාගම් සමුහයේ ආදායම්වලින් සියයට 80 ක් පමණම ලැබෙන්නේ පිටරටවලිනි. රටේ වෙනත් සමාගම් ද ඒ තත්ත්වයට පත්වනු දැකීම අපේ අරමුණයි.

අප කවුරුත් දැනගත යුතු තවත් කාරණයක් වන්නේ ආයතනයක් විශාල වූ පමණට සාර්ථක නොවන බවයි. හොඳම උදාහරණය ටයිටැනික් නැවය. ඒ නැවේ විශාලත්වය අනුව කවුරුත් කිව්වේ එය මුහුදේ නොගිලෙන බවය. එහෙත් ඒ නැව ගිලුණේ ක්‍රියාත්වයේ පැවැති විශාල අඩුපාඩුකම් නිසාය. ඒ විශාල නැව හැරවීම සඳහා යොදා තිබුණේ ඉතා කුඩා රඩරයකි. අයිස් කන්ද දුටු වහාම නැව හරවා ගැනීමට නොහැකි වූයේ එහෙයිනි. එය ඒ නැවේ කපිතාන්ගේ දුර්වලතාවක් නොවේ. එය ඒ නැව නිර්මාණය කිරීමේ දී පැවැති දුර්වලතාවකි. ඒ කාරණය ආයතනයකට ද අදාළය. සමාගම හෝ ව්‍යාපාරය ඉතා විශාල වුවද ඉතා ඉක්මනින් දිශාව වෙනස් කිරීමට හැකි විය යුතුය. තීරණ ගැනීමේ ඉක්මන්කම ඉතාමත් වැදගත්ය. එය රටක පැවැත්මට ද අදාළය. අත්‍යවශ්‍යය. ඇතැම් නිවැරදි තීරණ ජනප්‍රිය නොවිය හැකිය. ජනප්‍රිය නොවුණත් නිවැරදි නම් ඒ තීරණය ගත යුතුය. එසේ කළ යුත්තේ පැවැත්ම හා දියුණුව සඳහාය. පුද්ගලයකුට ආයතනයකට සමාගමකට සේම රටකට ද එය අදාළය.

අද අපේ රට සේම සමස්ත ලෝකයම සිටින්නේ කොරෝනා වසංගතයට ​ගොදුරුවීය. 1918 හා 19 දී ලෝකයේ ඉතා විශාල ව්‍යසනයක් ඇතිවිය. ඒද මෙවැනි වසංගතයක් නිසාය. මිලියන ගණනක් මිනිස්සු මරණයට පත් වූහ. එකල ලෝක ජනගහනය දැනට වඩා ඉතා කුඩාය. ඒ කුඩා ප්‍රමාණයෙන් මිලියන ගණනක් මරණයට පත්වීම ලෝක ආර්ථිකයට විශාල බලපෑමකි. එහෙත් 1920 සිට 23 දක්වා කාලය දෙස බැලුවහොත් ඒ ශත වර්ෂයේ දී ලෝක ආර්ථිකයේ ශීඝ්‍රතම වර්ධනය වූයේ ඒ අවුරුදු කීපයේදීය. එනම් 1920 සිට 23 අතර කාලයේදීය. ඒ තොරතුරු අප හොඳින් අධ්‍යයනය කළ යුතුය. දෙවැනි ලෝක යුද්ධය තවත් උදාහරණයකි. 1941 දී පමණ ආරම්භ වූ එය 1947 දී පමණ නිමාවිය. අනතුරුව එළඹි 1950 දශකයේ දී නිමාවිය. අනතුරුව එළඹි 1950 දශකයේ දී ලෝක ආර්ථිකයේ විශාල වර්ධනයක් සිදු විය. එලෙස ලෝක ආර්ථිකය විශාල ලෙස කඩා වැටුණු සෑම අවස්ථාවකදීම විශාල වර්ධනයක් සිදුවී තිබේ. එන්නත නිසා මේ වසර අවසන් වෙද්දී කොරෝනා උවදුර ද නිමාවනු ඇතැයි යන්න මගේ තක්සේරුවයි. 2021 අවසන් කාර්තුවේ සිට ලෝක ආර්ථිකයේ විශාල උද්දීපනයක් සිදුවන බව වගේ පුරෝකථනයයි. එය ලංකාවට ද බලපායි. 

ලෝක ආර්ථිකයේ සිදුවන නැග්ම ලංකාවට බලපාන ක්‍රම කීපයකි. ඉන් පළමුවැන්න සංචාරක කර්මාන්තයයි. මිනිස්සු යළිත් සංචාරය කිරීමට පෙළඹෙති. දැන් සමස්ත ලෝක ජනතාවම සිටින්නේ දැඩි පීඩනයකය. නිවසින් ගමෙන් රටෙන් පිටව යාමට නොහැකිව කොටුවී සිටින ජනයා කොරෝනා මර්දනයත් සමග යළි නිදහසේ සංචරණයට පෙළඹෙති. පිට රටවලට යෑමට නොහැකිව පිස්සු වැටී සිටින්නෝ අද අපේ සමාගම් සමූහයේද සිටිති. දියුණු වෙමින් පවතින රටක මිනිස්සුන්ට එය එතරම් ප්‍රශ්නයක් නම් දියුණු රටවල මිනිස්සුන්ට සංචාරය කිරීමට තිබූ නිදහස අහිමිවීම කොතරම් බරපතළ ප්‍රශ්නයක් විය හැකිද? ඒ නිසා ලෝක සංචාරක කර්මාන්තයේ විශාල පිබිදීමක් ඇතිවෙයි. එහි වාසිය ලංකාවට අනිවාර්යයෙන්ම ලැබෙයි. සංචාරයට සුදුසුම හා හොඳම රටක් ලෙස ලංකාව යළිත් කීර්තිනාමයක් දිනාගෙන තිබේ. එලෙසම ලංකාව ලෝකයේ පවතින දෙවැනි හොඳම දූපතය. අප මේ මෑතක දී වෙනත් හෝටල් හතරක අයිතිය මිලදී ගත්තේ ඒ පෙර නිමිති මතය. මේ 2021 වසරේ අවසන් කාර්තුවේ දී ලෝක සංචාරක කර්මාන්තයෙහි විශාල වර්ධනයක් වන බව අපේ තක්සේරුවයි. නිගමනයයි. ඊට දැන් සිටම සූදානම් වීම රටක් ලෙස අපේ වගකීමකි.

කොරෝනා වසංගතය නිසා පිටරටවල සේවය කළ ලාංකිකයන්ට ද ලොකු පීඩනයක් ඇතිවිය. බොහෝ රටවල සේවය කළ අයගේ වැටුප් කප්පාදු කෙරිණි. බොහෝ රටවල ගිවිසුම්ගත සේවා කාලය නිමවූ පසු අපේ ශ්‍රමිකයෝ යළි මෙරටට එවූහ. තවත් බොහෝ රටවල් ගිවිසුම් ගතවී සිටියදී නොපැමිණෙන්නැයි යැයි දැන්වීය. ඉදිරියේදී ඒ තත්ත්වය ලිහිල් වෙයි. අපේ ජනතාවට යළිත් පිටරටවලට ගොස් සේවය කිරීමට අවස්ථාව උදාවෙයි. ලැබුණු රැකියාවලට නොගිය පිරිස්වලට ද යළිත් රට රැකියාවලට දොරවල් විවරවෙයි. ඒ සඳහා දැන් සිටම සූදානම් විය යුතුය.


අනෙක් කාරණය අපනයනයට බොහෝ රටවල් ආනයන නැවැත්වූයේ ඒ භාණ්‍ඩ මගින්​ වයිරස් පැතිර යා හැකිය යන සැකයෙනි. එසේම සෑම රටකම පාහේ කොරෝනා සමයේ ඇතිවූයේ ආර්ථිකයේ කඩා වැටීමකි. ඒ නිසාද බොහෝ රටවල් ආනයන නැවැත්විය. 

විශේෂයෙන්ම ඇඟලුම් කර්මාන්තයට මෙය බරපතළ ලෙස බලපෑවේය. ගෙවල්වලට කොටුවී සිටින මිනිසුන්ගේ ඇඳුම් පැළඳුම්වල අවශ්‍යතාව සීමිතය. ඒවා වැඩි වැඩියෙන් අවශ්‍ය වන්නේ ගෙවල්වලින් එළියට යන්නේ නම් පමණකි. මේ තත්ත්වය ඇඟලුම් කර්මාන්තයට සෘජුව බලපෑවේය. එහෙත් මේ අවුරුද්දේ අවසන්ව කාර්තුවේ සිට ඇඟලුම් අපනයනය ද යළි පණ ගසන බව මගේ තක්සේරුවයි.

අනෙක් කාරණය ආනයන තහනමයි. ලංකාවට වාහන ගෙන්වීම දැන් සම්පූර්ණයෙන්ම නවතා තිබේ. ඇතැම් යන්ත්‍ර සූත්‍ර ගෙන්වීම ද දැනට තහනම්ය. රටින් ගෙන්විය හැක්කේ අත්‍යවශ්‍ය දේවල් පමණකි. මේ ආනයන තහනම ද ආර්ථිකයේ හැකිලීමකට හේතුවී තිබේ. එහෙත් 2021 අවසන් කාර්තුවේ ලෝක ආර්ථීකය යළි පණ ගැන්වී 2022 මැද භාගය පමණ වන විට යළි ලංකාවට විදේශ විනිමය ලැබෙන විට දැනට පවතින ආනයන සීමා අනිවාර්යයෙන් ලිහිල් වෙයි. එවිට අපේ කර්මාන්තවල රෝද යළි කරකැවෙන්නට පටන් ගනියි. දැනට ඇතැම් කර්මාන්ත ක්‍රියාත්මක නොවන්නේ ආනයන තහනම නිසාය. මේ නිසා මෝටර් රථ කර්මාන්තය සම්පූර්ණයෙන්ම කඩා වැටී තිබේ. එහෙත් 2022 දී මේ සියල්ල යළි පණ ලබා මහා දියුණුවක් ලබන බව මගේ විශ්වාසයයි. ව්‍යාපාර යළි ප්‍රාණවත් වීමෙන් සමාගම් පණ ගසන අතර අවසානයේ ඒ ප්‍රතිඵලය මත වර්ධනය වන්නේ රටේ ජාතික ආර්ථිකයයි. ඒ නිසා අසුබවාදී ලෙසම අප කල්පනා නොකළ යුතුය. කන්දක් නැග්ගොත් ඊළඟට හමුවන්නේ පල්ලමකි. ඒ න්‍යාය රටක ආර්ථිකයට ද අදාළය.

මා යළිත් කියන්නේ අපේ රටේ සෑම ව්‍යාපාරයක්ම විවිධාංගීකරණය විය යුතු බවය. වෙනත් වෙනත් ක්ෂේත්‍රවලට යොමු විය යුතු බවය. ලීසිං සමාගමක් ලෙස ව්‍යාපාර ආරම්භ කළ එල්.ඕ.එල්.සී. සමාගම් සමූහයේ සමස්ත ආදායම දැන් තීරණය වන්නේ ලීසිං මත නොවේ. එමගින් දැන් අප ලබන ආදායම සියයට දහයකටත් වඩා අඩුය. අපි දැන් බැංකු රක්ෂණ හා හෝටල් වැනි සේවා අංශවල පමණක් නොව නිෂ්පාදන කර්මාන්තවලට ද පිවිසි සිටිමු. ලංකාවේ පාවිච්චි කරන වාහන බැටරිවලින් සියයට 65 ක් නිපදවන්නේ අපේ සමාගම්වලිනි. එක්සයිඩ් හා ලූකස් බැටරි ඒ සඳහා නිදසුන්ය. ඒවා නිපදවන බ්‍රවුන්ස් සමාගම ද එල්.ඕ.එල්.සී සමාගම් සමූහයට අනුබද්ධ සමාගමකි. බ්‍රවුන්ස් සමාගමේ කොටස්වලින් සියයට 80ක් හිමි අපටය. මතුරට ප්ලාන්ටේෂන් ද දැන් හිමි අපටය. 

ලංකාවේ ස්වභාවික සම්පතක් වූ කළු මිනිරන්වලින් වටිනාකම එකතු කළ භාණ්ඩ නිපදවන එකම සමාගම ද අපය. කළු මිනිරන් උපයෝගී කර ගෙන අප නිපදවන ග්‍රැෆීන් වාහන බැටරිවලට යොදන අතර ඒනිසා ඒ බැටරිවල ආයුකාලය හතර පස් ගුණයකින් වැඩිකිරීමට අපට හැකිවී තිබේ. ඉදිරියට එන්නේ බැටරි නැතිව ජීවත්විය නොහැකි යුගයකි. දැන් අපි ඒ ක්ෂේත්‍රයේ ව්‍යාපාරවල ද නියැළෙමු. 

මා මේ උදාහරණ සඳහන් කළේ අපේ පුරාජේරුව කියා පෑමට නොව දියුණුව පතන සමාගමක් හෝ ව්‍යාපාරයක් කටයුතු කළ යුත්තේ කෙසේ දැයි කියා පෑමටය.
රජය ද අපට කියන්නේ අපනයනයට හැකි තරම් යොමුවිය යුතු බවය. ඒ අනුව අප නිපදවන බැටරි ඇමෙරිකාව කැනඩාව වැනි රටවලට අපනයනය කිරීමට ද දැන් අපි සූදානම් වෙමින් සිටිමු. අප ඊට යොමුවන්නේ හුදෙක් අපේ යහපත සඳහාම නොවේ. අද අපේ රට මුහුණ දී සිටින බරපතළම අර්බුදය විදේශ විනිමය හිඟයයි. රටට අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා ආනයනය කිරීමටත් ණය වාරික හා ණය පොලී ගෙවීමට ද විදේශ විනිමය අත්‍යවශ්‍යය. දැන් අපේ රටේ අවුරුද්දක ආනයන වියදම අැමෙරිකානු ඩොලර් බිලියන 21 කි. එහෙත් අපනයන ආදායම අැමෙරිකානු ඩොලර් බිලියන 10 කි. ඒ අනුව ආනයන වියදම හා අපනයන ආදායම අතර පවතින පරතරය ඇ​මෙරිකානු ඩොලර් බිලියන 10 කි. රට දිගින් දිගට ණය වන්නේ මේ කාරණය ද හේතු කරගෙනය. එහෙයින් විදේශ විනිමය උපයා ගැනීමට රටක් හැටියට අප අපනයනයට වැඩි වැඩියෙන් යොමු විය යුතුය.

එසේම සංචාරක කර්මාන්තය හැකිතරම් ප්‍රවර්ධනය කළ යුතුය. මාලදිවයිනට අවුරුද්දකට සංචාරකයෝ මිලියන හතරහමාරක් පැමිණෙති. මාල දිවයිනේ තිබෙන්නේ මුහුද හා වෙරළ පමණකි. ලංකාවේ ඊට අමතරව කොච්චර දේවල් තිබේද? අපේ රටේ ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක නටබුන් තිබේ. විවිධත්වයකින් යුතු දේශගුණය අපට තිබෙන තවත් සම්පතකි. ස්වාභාවික උද්‍යාන හා වන සත්ව උද්‍යාන තවත් සම්පත් දෙකකි. ඇත්තෙන්ම අපට නැති දෙයක් නැත. අපේ රට වගේ දහ ගුණයක් විශාල රටක තියෙන බොහෝ සම්පත් අපේ මේ පුංචි රටේ පවතී.

එහෙත් අප ඒ සම්පත්වලින් තවමත් නිසි ප්‍රයෝජන ගෙන නැත. දැනට අපේ රටට අවුරුද්දකට පැමිණෙන්නේ සංචාරකයන් ලක්ෂ 25 ක් තරම් පිරිසකි. එය ලක්ෂ 100 ක් දක්වා ඉහළ නැංවිය හැකි බව මගේ විශ්වාසයයි. මගේ තක්සේරුව සංචාරක කර්මාන්තයෙන් අපට ඉහළ ආදායම් උපයා ගත හැකි බවයි. ලංකාව සංචාරය කළ යුතුම රටක් ලෙස ලෝකයේ ජනප්‍රිය වී සිටින නිසා සහ නිර්දේශ වී තිබෙන නිසා අප ඉන් උපරිම ප්‍රයෝජන ගත යුතුය.

මීට අවුරුදු දහයකට පමණ පෙර ලංකාවට පැමිණි සංචාරකයන් වියදම් කළේ ඩොලර් දහයකි. එහෙත් දැන් එය වෙනස් වී තිබේ. එහි වාසිය ගැනීමට අප වෙහෙසිය යුතුය. රජයට මේ සියල්ල කළ නොහැකිය. රටේ ආර්ථික සංවර්ධනයේ යාන්ත්‍රණය පෞද්ගලික අංශය බව රජය ද කියයි. එසේ නම් ඉන් ප්‍රයෝජන ගැනීම පෞද්ගලික අංශයේ වගකීමයි. යුතුකමයි. රජය කළ යුත්තේ පහසුකම් සැලසීමයි. කර්මාන්තවල දියුණුවට හරස් වන බාධක ඉවත් කිරීමය. නීති සංශෝධනය කිරීම් හා රාජ්‍ය යාන්ත්‍රණය විශේෂයෙන් නිලධාරී තන්ත්‍රය කාර්යක්ෂම කිරීමය. සියල්ල එසේ වුවහොත් රටේ දියුණුව සිහිනයක් නොවනු නිසැකය.


සටහන - ගුණසිංහ හේරත්