වැනසූ ගින්නේ පශ්චාත් පරීක්ෂණයක්

ගිනි ගෙන දැවෙන නෙ​ාත්‍රදාම් කැතීඩ්‍රලය

 

 

අප්‍රේල් මස පහළොස්වැනිදා පස්වරු හයයි පනහට පමණ ඇතිවූ හදිසි ගින්නකින් පැරිසියේ නොත්‍ර දාම් කැතෙඩ්‍රාලයට තදබල හානි පැමිණුනි. ගොතික් කලාවේ මුදුන් මල්කඩක් බඳු වූ මෙම දේවස්ථානයට ශතක නවයක පමණ ඉතිහාසයක් ඇති අතර, එය ලෝක උරුමයට අයත් වූවකි. මෙම කැතෙඩ්‍රාලය නැරඹීම සඳහා වසරකට සංචාරකයෝ මිලියන දොළහක් පමණ පැමිණුනහ. පසුගිය පහළොස් වැනිදා සවස හයයි පනහට ඇරඹුණු ගින්න කෙතරම් වේගයෙන් පැතිර ගියා ද යත්, සවස හතයි පනස්එක වෙන විට එහි අහසට එසවී තිබුණු මීටර් හැත්තෑවක් උස මුදුන් කුළුණ පවා පිළිස්සී කඩා වැටුණි.   


කැතෙඩ්‍රාලයේ සංරක්ෂණ කටයුතු හේතුවෙන් එහි පියස්ස මත වූ ප්‍රතිමා දහසයක් ඊට දින හතරකට පෙර ඉවත්කර තිබුණි. ගින්නේ උපත පිළිබඳව මෙතෙක් නිෂ්චිත කාරණයක් හෙළිවී නැත. විදුලි කාන්දුවකින් ගින්න බිහිවූවා දැයි යන්න මේ ලිපිය ලියන මොහොත දක්වා අඩමාන සැකයක් පමණි. ගින්නට හේතුව ගින්න විසින් ම විනාශ කර දමා ඇත්නම්, අවිනිෂ්චිත නිගමන මිස නිසි පිළිතුරක් කිසිදා නොලැබෙනු ඇත.   


නොත්‍ර දාම් කැතෙඩ්‍රාලයේ ගිනි අනතුර වාර්තාවී විනාඩි දහයක් තුළ ප්‍රථම ගිනි නිවන හමුදා කණ්ඩය පැමිණෙන විටත් ගින්න හීලෑ කරගත නොහැකි තරමට පැතිර තිබුණි. ගින්න මෙලෙස වේගයෙන් පැතිර ගියේ කෙලෙස ද? ගිනි නිවන හමුදා භටයන් හාරසීයක පමණ පිරිසකට පැය ගණනක් යන තුරු ගින්න මෙල්ල කරගත නොහැකි වූයේ ඇයි? ගින්න සජීවීව නරඹමින් සිටි ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඒ මොහොතේම ට්විට් කර තිබුණු පරිදි ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවන ගුවන්යානා (CANADAIR) භාවිතා නොකළේ මන්ද යන්න ද, නොත්‍ර දාම් කැතෙඩ්‍රාල ගින්නේ පෂ්චාත් විමසුමට ලක්වී ඇති කාරණා ය.   


යුරෝපයේ මධ්‍යතනික යුගයේ කැතෙඩ්‍රාල බැසිලිකා පල්ලි සහ වෙනත් ඓතිහාසික ගොඩනැගිලි තුළ නිමාව, සැරසිලි පමණක් නොව ඇතැම් ප්‍රතිමා පවා නිර්මාණය කර ඇත්තේ (වෙස්මුහුණු කැපීම සඳහා ලංකාවේ භාවිතා කරනු ලබන කදුරු ලීය වැනි) බර සැහැල්ලු, එහෙත් ශක්තිමත් දැවයෙනි. මෙහිදී ඕක් ලීය බහුල වශයෙන් යොදාගෙන ඇත.
1860 දී නොත්‍ර දාමයට කරන ලද ප්‍රතිසංස්කරණයේ දී එයට එක් කළ මුදුන් කුළුණ මුළුමනින් ම නිමවා තිබුණේ දැවයෙන් ය. එය මීටර් හතළිස්පහක් උස (බිම් මට්ටමේ සිට උස මීටර් 96 ක්) වූ අතර, බර ටොන් හත්සිය පනහකි. කැතෙඩ්‍රාලයේ පියස්ස 1326 කරන ලද ආකාරයෙන් දැවයෙන් ම මේ දක්වා ම තිබුණි. මේ පියස්ස සඳහා ඕක් ගස් 1300ක ලෑලි භාවිතා කරන්නට ඇතැයි ගණනය කර ඇත. එය අක්කර විසිඑකක ඕක් වනාන්තරයක ලී ය. නොත්‍ර දාමයේ ගින්න ක්ෂණයකින් පැතිර යාමට සහ එය අහස උසට ගිනිදලු විහිදෙන අග්නි ජාලාවක් බවට පත්වීමට හේතුවී තිබුණේ මේ විශාල දැව තොගයට ගිනි ඇවිලීමය.   


නොත්‍ර දාම් ගින්න නිවාදැමීම සඳහා ගිනි නිවන භටයින් හාරසීයක පමණ පිරිසකට ගතවූ කාලය පිළිබඳව ඇතැමෙකු තුළ එතරම් සතුටක් නැත. කැතෙඩ්‍රාලයේ කුළුණුවල උස මීටර් හැත්තෑවක් වෙන අතර, ගිනි නිවන හමුදා හිණිමංවල උපරිම උස ඉන් අඩක් පමණ වූ බවට ඇතැමෙකු චෝදනා කර ඇත. ජීවිත අනතුරු අවම කරගනිමින් ගින්න මැඩපැවැත්වීමට අමතරව, කලා කෞතුකාගාරයක් බඳු ස්ථානයක කිසියම් කාරණයක් සඳහා මහා පරිමාණයෙන් ජලය භාවිතා කිරීමේ දී පාළු ගෙදර වළං බිඳින්නාක් මෙන් එය කළ නොහැකි ය. ඒ සඳහා විනයානුකූල ක්‍රමවේදයක් ඇත. මධ්‍යතන යුගයේ කැතෙඩ්‍රාල බැසිලිකා පල්ලි තුළ ඇති බිතුසිතුවම් සහ මොසැයික් මෝස්තරවල ප්‍රධාන සතුරා ජලයයි. ගිනි නිවන හමුදා ජල ප්‍රහාරවලින් බිතුසිතුවම්වලට අලාභහානි හෝ සහමුලින්ම විනාශවී යාම ද සිදුවිය හැකි ය. එබැවින් ගිනි නිවන හමුදාව වුවද හිතුමතයේ ජල ප්‍රහාර එල්ලකිරීම, මෙම ක්ෂේත්‍රයේ සදාචාරාත්මක නොවේ.   


මොසැයික් මෝස්තරවල වර්ණ තහඩු අලවා ඇත්තේ මැලියම් වර්ගයකිනි. තද ජල ප්‍රවාහයකට මෙම මැලියම් ඔරොත්තු දෙන්නේ නැත. මොසැයික් තහඩු ගැලවී යාමේ අනතුර එතැන ඇත.   


ගින්න නිසා අධි තාපයට අනාවරණය වී ඇති වර්ණ වීදුරු මෝස්තර ජලය වැටීමෙන් සුන්නද්ධූලි වී යාමේ අවදානමක් තිබුණි. මේ සියල්ල සලකා බලා ගින්න මැඩ පවත්වන අතරම, ගින්නට වඩා වැඩි වෙනත් විනාශයක් කිරීමෙන් වැළකී සිටීමට ද මෙම ආපදා මැදහත්වීම්වල දී වගබලාගත යුතුය. කෙසේ වුවද ගිනි නිවන හමුදා ජලයෙන් නොත්‍ර දාමයට සිදුවූ හානි දැනටමත් විද්‍යාමානය.   


නොත්‍ර දාම් ගින්න නිවීම සඳහා ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කිවූ පරිදි ගිනි නිවන ගුවන් යානා (Candair) භාවිතය, තත්ත්වය තවත් විනාශකාරී කිරීමට ප්‍රමාණවත්ව තිබුණි. පළමුව කිව යුත්තේ ගින්න හේතුවෙන් ප්‍රදේශය කළු දුමාරයකින් වැසී තිබුණු බැවින් ගුවනේ සිට ඉලක්කයකට ජලය හෙළීමට හැකියාවක් ඒ මොහොතේ එතැන තිබුණේ නැති බවය. ලැව් ගින්නක් නිවීමට නම් ජල ප්‍රහාරක ගුවන්යානා භාවිතා කිරීම සුදුසුම ක්‍රමයයි. එහෙත් දැවැන්ත නගරයක් මධ්‍යයේ ගොඩනැගිල්ලක ගින්නක් නිවීම සඳහා ජල ප්‍රහාරක ගුවන්යානා භාවිතය සාර්ථක විසඳුමක් නොවේ. මෙම ගුවන් යානයකින් ඉහළ අහසේ සිට තෝරාගත් ඉලක්කයකට ටොන් හයක ජලකඳක් මුදාහැරේ. ගින්න නිවෙන තුරු වරකට ටොන් හයක ජලකඳ බැගින් නොත්‍ර දාම් කැතෙඩ්‍රාලය වෙත හෙළී නම්, සිදුවිය හැකිව තිබූ විනාශයේ තත්ත්වය තේරුම් ගැනීමට පවා අපහසුය.   
ගිනි අනතුරු සංඥා නිසි වේලාවට ක්‍රියාත්මක නොවීම පිළිබඳව ද ප්‍රශ්නයක් නැතුවාම නොවේ. ඒවාට පිළිතුරු සැපයිය හැකි නම්, ඒ සඳහා තවත් කාලයක් ගතවෙනු ඇත. නොත්‍ර දාමය තව වසර පහක් යාමට පෙර නැවත ගොඩනගන බව ප්‍රංශ ජනාධිපති මැක්රොන් පවසා ඇත. අවශ්‍ය මුල්‍යමය ප්‍රතිපාදන ඇතොත් එම කාලය තුළ එම කාර්යය සම්පූර්ණ කිරීමේ අපහසුතාවයක් නැත. නොත්‍ර දාමය ප්‍රතිසංස්කරණය සඳහා දායක වීමට දැනටමත් දානපතීන් ද අනුග්‍රාහකයෝ ද ඉදිරිපත්ව සිටිති. අනතුරට පත් ස්ථානය ලෝක උරුමයට අයත් බැවින් යුනෙස්කෝව ද මෙම කාර්යයේ දී අත්වැල් බැඳගනු ඇත. දියුණු රටවල ඓතිහාසික ස්ථාන අඟලෙන් අඟල ඡායාරූප හෝ වීඩියෝපටි හෝ ගතකර සුරැකිව තබා ඇත. කිසියම් විපතක දී එම ස්ථාන යළි ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩකටයුතුවල දී මේවා ගුරුකොට ගනු ලැබේ. එබැවින් නොත්‍ර දාමය යළි පෙර පරිද්දෙන්ම ගොඩනැගීම අපහසු නැත. දැන් කැතෙඩ්‍රාලය ඇත්තේ පියස්සකින් තොරව ය. එබැවින් මුලින් ම කළ යුතු වෙන්නේ ගින්නෙන් විනාශ නොවී රැකුණු සියල්ල මතු දිනවල ප්‍රතිසංස්කරණය කෙරෙන තුරු, වර්ෂාවෙන් සහ තද සූර්ය කිරණෙන් ඒවා ආරක්ෂාකර ගැනීම ය.   


ශතවර්ෂ කීපයකට පෙර පල්ලි පන්සල් සැරසීම සඳහා දැවයෙන් කර රං ආලේප කර ඇති කැටයම් සහ ප්‍රතිමා නිර්මාණය කිරීම සඳහා දැව කඳන් කැපීමට නියන සහ මිටිය යොදා ගත්ත ද, අද මෙම සැරසිලි සඳහා බොහෝවිට දැව යොදාගන්නේ නැත. අද මේවා කෙරෙන්නේ රිජිෆෝම් හෝ කඩදාසි පල්පය යොදාගනිමින් යාන්ත්‍රිකව ය. එදා එක කැටයමක් කිරීමට ගතවූ කාලය තුළ කැටයම් සිය ගණනක් වුවද යන්ත්‍රානුසාරයෙන් නිෂ්පාදනය කළ හැකි තාක්ෂණයක් අද ඇත. එක දක්ෂ කලා ඉංජිනේරුවෙකුගේ අධීක්ෂණය යටතේ ආයතන රාශියක් අතර බෙදී යන නූතන සංරක්ෂණ ක්‍රමවේදයන්ට අනුව, කාලය ගතවෙන්නේ මුල්ම ප්‍රතිසංස්කරණ සැලසුම් සකස් කිරීම සඳහා පමණි. ඉතිරි සියල්ල වේගවත් ය. කරුණු කෙසේ සිදුවුවද එදා නොත්‍ර දාමය යළි කිසිදා අපට දකින්නට ලැබෙන්නේ නැත.   

 

 


යටියන   
ක්ලැරන්ස් කොස්තා.   
ෂෙසානෝ, රෝමය, ඉතාලිය.