මැදපෙරදිග කලාපය හැම විටම ගිනි ගහන තාපයෙන් යුතුව උණුසුම් වන පෙදෙසකි. ඒ අතරට නොයෙක්  විට හමා එන වැලි කුණාටුය. මෙම කුණාටුවකට අසුවුවහොත් මිනිසෙකු වුවත් ගසාගෙන යතැයි කීවොත් එය අසත්‍යයක් විය හැකිය. එහෙත් එපමණටම එම සුළඟ ප්‍රචණ්ඩය. එවැනි අත්දැකීමක් මට ඇත. ඕමාන් රටේ ෆහුඞ් තෙල් නිධි කලාපයේ ඇවිදිමින් සිටි අවස්ථාවකදී මම එවැනි වැලි සුළඟකට මුහුණ දුන්නෙමි. එහිදී මා ගසාගෙන යාමෙන් වැළකීමට කාන්තාරය මැද වාඩි වී අසල තිබුණු කටුගසක් බදාගත්තෙමි. මෙම දේශගුණික තත්ත්වය මෙන්ම මැදපෙරදිග දේශපාලනයද අත්‍යන්තයෙන්ම පොළව මැද පැහෙමින් ගිනියම් වන  අග්නි භූදරයක් මෙනි. ඊශ්‍රායලය සහ වත්මන් පලස්තීනය පවතින කලාපයේ ස්වභාවය නිරන්තරයෙන්ම එබඳුය.


ජාත්‍යන්තර අර්බුදයක් ලෙස දශක ගණනාවක් තිස්සේ ගිනියම් වෙමින් පවත්නා ජෙරුසලම පිළිබඳ ගැටලුව නැවතත් ලෝක අවධානයට යොමු වූවේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ජෙරුසලම ඊශ්‍රායලයේ අගනුවර ලෙස පිළිගන්නා බව ප්‍රකාශ කිරීමත් සමගය. එම ප්‍රකාශය ජාත්‍යන්තර තලයේ මහත් විවාදයකට මෙන්ම මතභේදයට ද හේතු වී තිබේ. එය එසේ වන්නේ මෙම ගැටලුවේ ඇති සංකීර්ණ බව නිසාය. වැඩි දුරදිග ගියහොත් තුන්වැනි ලෝක මහා සංග්‍රාමය ඇතිවීමට පවා හේතු පාදක විය හැකි ජෙරුසලමේ ගැටලුව නිසි පරිදි අවබෝධ කර ගැනීම ජාත්‍යන්තර සිදුවීම් ගැන උනන්දුවක් දක්වන්නෙකුට අතිශයින් වැදගත් වනු නිසැකය.
ඉතා ඈත අතීතයක සිට ඊශ්‍රායල් ජනතාව පිළිබඳ වෘත්තාන්ත ලෝකවාසී ජනතාව දැන සිටියේය. යුදෙව් ආගම අදහන්නන් වූ ඔවුහු ක්‍රිස්තු පූර්ව 1000 පමණ කාලයේදී දාවිත් රජු යටතේ එක්සත් වූ බව කියනු ලැබේ. ඔහුගේ පුත් මහා සොලමන් රජු එම රාජ්‍ය අතිශය කීර්තියට පත් කළ බවත් ඔහු ජෙරුසලමේ ප්‍රථම යුදෙව් දේවස්ථානය නිර්මාණය කළ බවත් ඉතිහාසයේ දැක්වේ. මහා සොලමන් රජු මරණයට පත්වීමෙන් පසු ඊශ්‍රායෙල් රාජ්‍යය ඊශ්‍රායෙල් සහ ජුදාව යනුවෙන් රාජධානි දෙකක් බවට පත්වූ බව කියනු ලැබේ. මෙම  ප්‍රදේශයේ අගනුවර ලෙස ජෙරුසලම සැලකිල්ලට ලක් වනුයේ බයිබලීය යුගයේ පමණ දුර ඈත අතීතයක සිටය. යුදෙව් සහ අරාබි ජනවංශයන්හි ආදිතමයා ලෙස සඳහන් වන ඒබ්‍රහම් නම් දිවැසිවරයා ජීවත්වූවේත් ඔහුගේ සොහොන ඇත්තේත් ජෙරුසලම ආසන්නයේ හෙබ්‍රෝන් නගරයේ බව කියති. ඒබ්‍රහම් යන යුදෙව් නාමය ඉස්ලාම් භක්තිකයන් විසින් ඊබ්‍රාහිම් යනුවෙන් හඳුන්වන අතර ඔහු ගෞරවයෙන් සලකනු ලබන්නෙක්ද වේ. කිතු දහමේ ආරම්භයට හේතුපාදක වූ ජේසු බිලිඳුන්ගේ උපත සිදුවූ ස්ථානයද අයත්වන්නේ ජෙරුසලමට වන නිසා ක්‍රිස්තු ලබ්ධිකයන්ටද එම නගරය පූජනීය ස්ථානයකි. යේසුස් වහන්සේ කුරුසිය මත දිවි පිදූ ගොල්ගොතා කඳු මුදුනද ජෙරුසලමට අයත් වූ නිසා එම අගය දෙගුණ තෙගුණ විය. මහා ඇලෙක්සැන්ඩර් අධිරාජයාගේ ආක්‍රමණයකට ගොදුරුවීමට ජෙරුසලමේ ජනතාවට සිදුවිය. එයට පෙර ක්‍රි.පූ.720 දී ඇසිරියන්වරු ඊශ්‍රාල රාජධානිය විනාශකොට එහි ජනයා වහලුන් ලෙස රැගෙන ගියහ. ක්‍රි.පූ. 600 දී බැබිලෝනියාවේ නෙබුයාඞ්නසර් රජු යුදෙව් රාජධානියට පහරදී ජෙරුසලම නගරය විනාශ කළ බව ඉතිහාසයේ සඳහන් වේ. ක්‍රි.පූ. 332 දී ඊශ්‍රායල්වරු මැසිඩෝනියානු ආක්‍රමණකට ගොදුරු වූ අතර ජෙරුසලම මුළුමනින්ම විනාශ වූ බව කිය වේ. ක්‍රි.පූ. 63 දී රෝමවරු ජෙරුසලම අල්ලා ගත්හ. රෝමවරුන්ගේ උපකාරයෙන් ක්‍රි.පූ. 40 දී මහා හෙරෝද් රජු යුදෙව්වන්ගේ නායකත්වයට පත්වීමෙන් පසු  නැවතත් ඔවුන් තමන්ගේ පෙර පැවති සමෘද්ධිය අත්කරගත් බව කියැවේ. ඒ ඈත අතීතයයි. 
අපි මෑත අතීතය වෙතට යොමුවෙමු. දොළොස්වන  සියවසේදී අරාබීහු පලස්තීන රාජ්‍ය අත්පත්කර ගත්හ. සල්ඩින් එහි මහා පාලකයා බවට පත්වූ බව කියනු ලැබේ. ඔහුගෙන් ලබාගත් අවසරය හේතු කොටගෙන යුදෙව්වෝ නැවතත් පලස්තීනයට පැමිණියහ. ක්‍රි.ව. 1517 දී තුර්කීන් පලස්තීනය අල්ලාගනු ලැබීමෙන් පසු එම රට තුර්කියේ යටත්විජිතයක් වූවේය. පළමුවැනි ලෝක මහා යුද්ධයේදී තුර්කිය ලැබූ මහා පරාජයෙන් පසු මෙම කලාපයම බි්‍රතාන්‍ය අධිරාජ්‍යයේ භාරකාර ප්‍රදේශ බවට පත්විය. 


මේ වනවිට ලෝකය පුරා විශේෂයෙන් යුරෝපීය රාජ්‍යවල පදිංචිව සිටි යුදෙව් ජාතිකයෝ සංවිධානය වෙමින් සිටියහ. ලෝක යුදෙව් සංවිධානය  නම්වූ එහි මූලස්ථානය පිහිටුවා තිබුණේ ස්විට්සර්ලන්තයේය. ලොව පුරා වෙසෙන ධනවත් යුදෙව්වන්ගෙන්  විශාල ලෙස ආධාර මුදල් එකතු කළ මෙම සංවිධානය, ඉතිහාසයේ ඈත සමයේ  සිටම ජෙරුසලමේ සහ අවට ප්‍රදේශවල පදිංචිව සිටිමින් ඔවුන්ගෙන් පැවතෙන්නන් වූ පලස්තීනයේ සුළු ජාතික යුදෙව්වන්ට ආධාර කිරීමට පටන් ගත්තේය. අරාබි ජාතික බහුතරය සමග නිරන්තරයෙන් ගැටෙමින් තම ගෝත්‍රය, ආගම සහ සංස්කෘතිය ආරක්‍ෂා කර ගනිමින් ජීවත් වූ ඔවුනට ලෝක යුදෙව් සංවිධානයේ ආධාර විශාල ධෛර්යයක් හා ශක්තියක් විය. බෙදා පාලනය කිරීමේ මූලධර්මය යටතේ ලෝකයේ කොතනත් ක්‍රියා කළාක් මෙන්ම බි්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීහු ද නොයෙක් ආකාරයෙන් යුදෙව්වන්ට උදව් කළහ. එනිසා ඔවුන්ට ආරක්‍ෂාව ලැබිණි. ඉන්දියාව, බුරුමය, ලංකාව, ඕස්ටේ්‍රලියාව, නවසීලන්තය, මලයාව, සිංගප්පූරුව ආදී තම විශාල යටත් විජිත දාමය වෙත යන මුහුදු සහ ගුවන් මාර්ගය ආසන්නව තමන්ට පක්‍ෂපාති බලවේගයක් ස්ථාවර කරගැනීම බි්‍රත්‍යානයේ අවශ්‍යතාව වූවේය. එය යාම්තාක් දුරට සාර්ථක විය. තුර්කිය වෙතින් බි්‍රතාන්‍යයට ජෙරුසලම (පලස්තීනය) පාලනය කිරීම සඳහා අධිකාරි බලය ලබා දුන් එවකට පැවති ජාතීන්ගේ සංගමයේ විරෝධය පවා නොතකමින් රටේ බහුතරය වූ මුස්ලිම් ප්‍රජාවට එරෙහිව යුදෙව්වන් උසිගැන්වීමට බි්‍රතාන්‍යයෝ කටයුතු කළහ.


ලෝක  යුදෙව් සංවිධානයෙන් ලැබෙන විශාල අරමුදල්වලින් ශක්තිමත් වූ ජෙරුසලමේ පදිංචිකරුවෝ අරාබිවරුන්ගේ ඉඩකඩම් වැඩි මිලට ලබාගෙන තව තවත් තම ඥාතීන් ජෙරුසලම වෙත ගෙන්වා ගත්හ. තමනට පොරොන්දුවූ දේශයක් ඇතැයි ද එය ජෙරුසලම බවද යුදෙව්වෝ ඈත යුගයේ සිට විශ්වාස කළහ. යුරෝපයේ බොහෝ රටවල සුළු ජාතියක් ලෙස විසිරී පැතිරී සිටි යුදෙව්වෝ තමන්ගේ පොරොන්දු වූ දේශය වෙත ටිකෙන් ටික  සංක්‍රමණය වීම ඇරඹූහ. ලෝක යුදෙව් සංවිධානය මෙම සංක්‍රමණිකයන්ට ඩොලර් මිලියන ගණනින් ආධාර කළ අතර ඔවුන්ට සමෘද්ධිමත් ජීවිතයකට එම ආධාර හොඳටම ප්‍රමාණවත් විය. 


පළමු ලෝක යුද්ධ සමයේ බි්‍රතාන්‍ය හමුදාවෝ පලස්තීනය ආක්‍රමණය කරමින් තුර්කියට අභියෝග කළහ. එපමණකින් නොනැවතී කලක් මුළුල්ලේ ලෝක යුදෙව් සංවිධානයේ  ප්‍රධාන ඉල්ලීම් සහ සිහිනයක්ව පැවති ලොව පුරා විසිරී සිටින රටක් නැති යුදෙව් ජනතාව පලස්තීනයේ කොටසක රාජ්‍යයක් ලබාදීමට තමන් එකඟ බව 1917.11.02 දින කියා සිටියහ. එය බැල්ෆෝර් ප්‍රකාශනය නමින් ඉතිහාසයට එක්ව තිබේ. එතෙක් හුදු වචනයකට හෝ සංකල්පයකට පමණක් සීමාවී පැවති යුදෙව්වන්ට රටක් යන ප්‍රතිපත්තිය  නිසි පරිදි යථාර්ථයක් බවට පත්විය. ඒ නව ඊශ්‍රායල් රාජ්‍යයේ ආරම්භයයි. බි්‍රතාන්‍යයන් පළමු ලෝක යුද්ධයේ විනාශයෙන් හෙම්බත්ව බංකොළොත් බවට ආසන්න වෙමින් තිබියදී ධනවත් ව්‍යාපාරික ප්‍රජාවක්වූ යුරෝපීය සහ ඇමෙරිකානු යුදෙව්වන්ගෙන් ආර්ථික වාසි ලබාගැනීම සඳහා මෙවැනි පියවරක් ගත් බව කියනු ලැබේ. මෙම තීරණයට පලස්තීනයේ අරාබි මුස්ලිම්වරුන් පමණක් නොව කිතුනුවන්ද විරුද්ධවූ බව කියනු ලැබේ. ලක්‍ෂ ගණන් අරාබීන් සමග මිශ්‍රව යුදෙව් ජාතිකයන් වෙසෙන බිම් ප්‍රදේශයක් මෙසේ යුදෙව්වන්ට වෙනම රටක් වශයෙන් ප්‍රදානය කිරීම නිසා එම ප්‍රදේශවාසී මුස්ලිම් ජනයාට එම පෙදෙස්වලින් ඉවත්වීමට සිදුවිය. ඔවුහු තම මව්බිමේම අනාථයන් බවට පත්වූහ. ලක්‍ෂ ගණනක් වූ මෙම පිරිස සිරියාව, ලෙබනනය, ජෝර්දානය ආදී අවට රටවල අනාථ කඳවුරුවලට ගාල් වූහ. මැදපෙරදිග කලාපයේ ත්‍රස්තවාදයේ ආරම්භය සිදුවීමට මුල් වූයේ මෙසේ පිටරටවල අනාථ කඳවුරුවලට කොටු වූ අරාබි අනාථයන් නිසා බව පිළිගත් සත්‍යයකි. ජාතීන්ගේ සංගමයෙන් ලද අධිකාරි බලපත්‍රයේ කාලය 1948 මැයි දහ හතර වැනිදා අවසාන විය. එනිසා බි්‍රතාන්‍යයෝ පලස්තීනයෙන් පිටව ගියහ. එදිනම යදෙව්වෝ ඊශ්‍රායල් රාජ්‍යය ප්‍රකාශයට පත් කළහ. ශතවර්ෂ ගණනාවක් යුදෙව් ජනයා සිහිනයක් ලෙසින් අපේක්‍ෂා කළ ‘දාවිත් නිරිඳුන්ගේ රාජ්‍යය’ ඔවුනට ලැබුණි. මෙම ඊශ්‍රායෙල් ස්වාධීනතා ප්‍රකාශනය නිකුත් වූ වහාම ඒ වටා පැවති අරාබි රාජ්‍ය පද්ධතිය ඉමහත් කෝපයට පත්විය. පසුදිනම එනම් 1948 මැයි පහළොස් වැනිදා සිරියාව, ඊජිප්තුව, ලෙබනනය, ජෝර්දානය සහ ඉරාකය යන රටවල ඒකාබද්ධ හමුදාවෝ ඊශ්‍රායලයට  විරුද්ධව යුද ප්‍රකාශ කළහ.

 

 


මතු සම්බන්ධයි.

සෝමසිරි වික්‍රමසිංහ