දේශපාලන ප්‍රතිසංස්කරණ සිදුවන්නේ යම්කිසි අරමුණක් ඉටුකර ගැනීමටය. එහෙත් එම ප්‍රතිසංස්කරණ අරමුණු ඒ ආකාරයෙන්ම ඉටු නොවීමට ද ඉඩ තිබේ. මක්නිසාද යත් දේශපාලනය වැඩ කරන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පිටින් නිසාය. අනෙක් අතට සෑම දේශපාලන ප්‍රතිසංස්කරණයක්ම එම දේශපාලන ප්‍රතිසංස්කරණය කෙරෙන යුගයට සාපේක්ෂය. ව්‍යවස්ථාවක් යනු කිසියම් ආකාරයකට දේශපාලනය ආකෘතිගත කිරීමකි. එම ආකෘතිය තුළ යම්දුරකට ගමන් කරන දේශපාලනය පුපුරායාමක් සමඟ නැවත මතුවිය හැකිය. ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය යනු පද්ධතියකි. හරියට ගංඟාවක් වැනිය. වංගු ගැසි ගැසී හෝ එය යන්නේ ඉදිරියටය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ගැන මතුව ඇති දේශපාලන විවාදය ගැන අපට අවධානය යොමුකිරීමට සිදුවන්නේ ද මේ යථාර්ථ මත පිහිටාය. එක් පුද්ගලයකු අත ඇති බලය ආයතන සමූහයක් අතරේ බෙදී යා යුතුය යන්න 2015 දී බහුතරයකගේ කැමැත්ත විය. එහෙත් දේශපාලනයේ උදාවන තත්ත්ව සමඟ එය සිය දේශපාලන ව්‍යාපෘතිවලට අවාසිසහගත වන විට යම් යම් පිරිස් බලය බෙදාගැනීම නැවත සාකච්ඡාවට ලක්කරති. එහි ඇත්තේ දැන් තිබෙන බල තුලනය අනුව එය යළි සකස් කරගනිමු යන යෝජනාවයි. මේ තත්ත්වය මා නම් දකින්නේ කලබල විය යුතු තත්ත්වයක් හැටියට නොවේ. දේශපාලනයේ සිදුවිය යුතු අත්‍යවශ්‍ය සංවාදයක් හැටියටය. 

2015 සමඟ ඇති වූ බල හුවමාරුවට පුළුල් බලවේග රැසක් සහභාගී විය. එක් පැත්තකින් ආණ්ඩු පක්ෂය හා විපක්ෂය අතර සන්ධානයක් තිබුණේය. අනෙත් පැත්තෙන් ආණ්ඩුව හා සිවිල් සමාජය අතර සන්ධානයක් තිබුණේය. විශේෂයෙන්ම උතුරේ ජනතා ඡන්දයෙන් පැමිණි දෙමළ ජාතික සන්ධානයත් මුස්ලිම් කොංග්‍රසයත් වතුකරයේ එකමුතුවත් දකුණේ කැරැලි දෙකක් මෙහෙය වූ ධාරාවේ වත්මන් ප්‍රකාශනය වූ ජනතා විමුක්ති පෙරමුණත් අඩු වැඩි වශයෙන් දායක වූ දේශපාලන පර්යායෙන් අලුත් වෙනසක් නිර්මාණය වුණේය. එය නම් 19 වැනි සංශෝධනයයි. පාර්ලිමේන්තු​ෙව් එවක පැවැති බල තුලනයේ සියලු පාර්ශ්වවල සහාය නොලැබුණි නම් 19 වැනි සංශෝධනය සම්මත කරගැනීමට හැකිවන්නේ නැත. ඔවුන් සියලු පාර්ශ්වවලට එකඟ විය හැකි අතරේම ජාත්‍යන්තර පිළිගැනීමට ද ලක්වන සම්මුතියක් නිර්මාණය වුණේ ඒ අනුවය. එහෙත් 18 වැනි සංශෝධනයට එවැනි තත්ත්වයක් තිබුණේ නැත. 18 ට ජාතික වශයෙන් සම්මුතියක් තිබුණේ නැත. ජාත්‍යන්තර වශයෙන් සම්භාවනාවට ලක්වුණේ ද නැත. 19 යනු ඒ අර්ථයෙන් බලද්දී ඓතිහාසික ක්‍රියාවකි. මහින්ද රාජපක්ෂ මහතාගේ කණ්ඩායමට පවා ඊට විරුද්ධ වන්නට හැකියාවක් තිබුණේ නැත. ඒ අනුව දැන් 19 අභියෝගයට ලක්ව තිබෙන්නේ ඒ මොහොතේ අපේක්ෂා නොකළ දේශපාලන වර්ධනයක් නිසා යැයි අපට කිවහැකිය. 

එවක නිර්මාණය කරගත් සම්මුතියේ අපේක්ෂාව වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය යන බලවේග දෙකේ එකතුවෙන් ආණ්ඩුවක් හදන්නටත් ඒ ජාතික ආණ්ඩුවේ සංක්‍රමණීය වැඩපිළිවෙළට දෙමළ ජාතික සන්ධානය හා ජනතා විමුක්ති පෙරමුණෙන් කොන්දේසිසහගත සහයෝගයක් ලබාගැනීමත් ඒ කාලයේ සිදුවිය. එහෙත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමස්තයක් වශයෙන් ඊට ගොනුකර ගැනීමට පසුකාලීනව එහි නායකත්වය අපොහොසත් විය. එය හොඳින්ම ප්‍රකාශ වූ තැනක් හැටියට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව හැඳින්විය හැකිය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ඇත්තටම සිදුවන්නේ කුමක්ද? මේ සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ගමන්මඟ ගැන තරමක් හෝ විමසීම අත්‍යවශ්‍යය. ජනාධිපතිවරයා පැවැසුවේ විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය ද අභිබවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ගමන් කරමින් සිටින බවයි. එසේ කීමට හේතුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවෙන් අලුත් බල කේන්ද්‍රයක් නිර්මාණය වීමයි. කරුණ නම් බොහෝ දෙනෙකු එය නොදැකීමයි. සැබැවින්ම 2015 බල හුවමාරුවට දායක වූ දේශපාලන බලවේග එහි නියෝජනය වේ. 

එහි ආරම්භක සංයුතිය බැලුවොත් අගමැතිවරයා එ.ජා.පයේය. කතානායකවරයා ද එ.ජා.පයේය. විපක්ෂ නායකයා පත්වුණේ දෙමළ ජාතික සන්ධානයෙනි. ජනාධිපතිවරයා තම නියෝජිතයා හැටියට පත්කළේ චම්පික රණවක මහතාවය. අගමැතිවරයාගේ හා විපක්ෂ නායකවරයාගේ එකඟත්වයෙන් පත්කළ නියෝජිතයන් පස් දෙනාගෙන් දෙදෙනෙක් මන්ත්‍රීවරුය. එයින් එක් අයකු වූයේ එ.ජා.ප යේ විජයදාස රාජපක්ෂ මහතාය. අනෙකා එ.ජ.නි.ස යේ ජෝන් සෙනෙවිරත්න මහතාය. ජෝන් සෙනෙවිරත්න මහතා එවක කටයුතු කළේ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා සමඟය. අනෙක් තිදෙනා පත්වූයේ සිවිල් සමාජයෙනි. සර්වෝදය ව්‍යාපාරයේ නායක ඒ.ටී. ආරියරත්න, නීතිඥ සංගමයේ හිටපු සභාපතිවරයකු වන ෂිබ්ලි අසීස් මහතා හා කොළඹ සිවිල් සමාජය නියෝජනය කළ රාධිකා කුමාරස්වාමි මහත්මිය ඔවුහුය. ස්වාධීන කොමිෂන් සභාවලට සාමාජිකයන් පත්කරනු ලැබුවේ මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවෙනි. අදාළ කොමිෂන් සභාවලට යම්කිසි වාස්තවික පදනමක් මත පරීක්ෂාවට ලක්කර ස්වාධීන කොමිෂන්වලට සාමාජික නම් නිර්දේශ කෙරෙයි. එම නම්වලට අනුමැතිය දෙනු ලබන්නේ ජනාධිපතිවරයා විසිනි. 

ඉහළ තනතුරුවලට පුද්ගලයන් පත්කිරීමේදී ජනාධිපතිවරයා නිර්දේශ කළ නම්වලින් සුදුස්සන් තෝරාගෙන නම් කරනු ලැබුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසිනි. රාජ්‍ය ආයතනවල ප්‍රධාන තනතුරු වශයෙන් ගතහොත් නඩු පවරන්නා හෙවත් නීතිපති, නඩු පැවරීමට අදාළ විමර්ශන කරන පොලිස්පති, විගණකාධිපති (එවක), අධිකරණ සේවා කොමිෂන් සභාවේ සාමාජිකයන්, පාර්ලිමේන්තුවේ මහ ලේකම්, ඔම්බුඩ්ස්මන්වරයා ආදී තනතුරුවලට ජනාධිපතිවරයා පුද්ගලයන් නම් කරන අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නමැති සර්වපාක්ෂික සභාවෙන් එය සුපරීක්ෂණයට ලක්වේ. හොඳින් බැලුවොත් එහි සිටියෝ ජනාධිපතිවරයා බලයට පත්කිරීමට කැප වූ කණ්ඩායමේ නියෝජිතයෝමය. එනිසා නම් තෝරාගැනීමේදී ලොකු දෘෂ්ටිවාදී අවුලක් තිබුණේ නැත. මේ ක්‍රියාවලිය නිසා සැබැවින්ම අධිකරණ පද්ධතිය විශාල වශයෙන් ස්වාධීන වූ අතර කොමිෂන් සභා ද සැලකිය යුතු මට්ටමින් ස්වාධීන වූයේය. ප්‍රජාතන්ත්‍රවාදී වශයෙන් වූ මේ වර්ධනය විසින් ජාත්‍යන්තර තලයේ අපට ලොකු කීර්තියක් ද ලැබුණේය. අධිකරණය ස්වාධීන නැතැයි යම් විවේචනයක් තිබුණේ නම් ඒවා නැති වී මානව හිමිකම් විමර්ශනයට ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍යය යන හඬවල් පවා වියැකී යන තැනට එය හේතු විය. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව බී ශ්‍රේණියේ සිට ඒ ශ්‍රේණිය දක්වා උසස්වීමක් ද ලැබුවේය. 

මෙවැනි දේ රටකට ජයග්‍රහණ වූවත් දේශපාලන වශයෙන් නිර්මාණය වන අලුත් හවුල් සමඟ තත්ත්වය ද වෙනස් වේ. ඊට මූලිකව පාර කැපෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඒකමිතියක් නැතිවීමෙනි. මහින්ද මෛත්‍රී වශයෙන් 2015 මුල කොතරම් වෙනස්කම් තිබුණ ද 2015 අගෝස්තු මහමැතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තරග කළේ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා යටතේය. එහෙත් මහමැතිවරණයෙන් පසුව ඛණ්ඩනයක් සිදු වූ අතර ශ්‍රීලනිප පිරිසක් මහින්ද රාජපක්ෂ මහතා යටතේ ඒකාබද්ධ විපක්ෂය හැටියට සංවිධානය වූයේ එහි ප්‍රතිඵලයක් හැටියටය. මේ ඒකාබද්ධ විපක්ෂය යනු ජනාධිපතිවරයා මුල්කරගත් ශ්‍රීලනිප සම්මුතියෙන් පිට ක්‍රියා කළ පිරිසයි. ඔවුන් සැලකිය හැක්කේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලියේ ද පිටස්තරයන් බවට පත්කළ පිරිසක් හැටියටය. ඔවුන්ගේ පක්ෂ නායකයා ජනාධිපතිය. ඔවුන්ගේ පක්ෂ සාමාජිකයෝ ආණ්ඩුවේ ද සාමාජිකයෝය. එනිසා විපක්ෂනායක ධුරයට හෝ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරයට හිමිකමක් ද නැත. මේ නිසා ඔවුන් අතරෙහි යම් අසහනයක් පැවැතියේය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වැඩකරගෙන ගියේ මෙකී ශ්‍රීලනිප ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමේ හඬක් නැති තත්ත්වයේය. පළාත් පාලන මැතිවරණය කිසිදු හේතුවක් නැතිව කල්දැමීමෙන් මේ අසහනය තීව්‍ර වූයේය. 

පළාත් පාලන මැතිවරණයෙන් ඔවුන් සැලකිය යුතු ජයක් ගත් නමුත් ඉන්පසුව පළාත් සභා මැතිවරණය ද සීමා නිර්ණය පදනම් කරගෙන නැවත කල් ගියේය. මේ සිදුවීම්වලට සමාන්තරව ආණ්ඩුවේ ශ්‍රීලනිපයට වඩා බාහිර ශ්‍රීලනිප කණ්ඩායම ජනප්‍රිය වූයේය. විශේෂයෙන්ම පළාත් පාලන මැතිවරණයේදී මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ඡන්ද පංගුව 13% කට බැසීම සමඟ අලුත් බල තුලනයක් අවශ්‍ය බවට ඒකාබද්ධ විපක්ෂයෙන් හඬක් මතුවිය. එහි පළමු පසුකම්පනය හැටියට අගමැතිවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙනඒම දැක්විය හැකිය. එක්සත් ජාතික පක්ෂ නායකත්වයේ වෙනසකින් නව දේශපාලන පර්යායක් ගොඩනැගීම එමගින් අපේක්ෂා කෙරිණි. එහෙත් එය සාර්ථක වුණේ නැත. ආණ්ඩුවේ ශ්‍රීලනිප කණ්ඩායමක් ඡන්දය දීමෙන් වැළැකී සිටිද්දී සුළු පක්ෂ විශ්වාසභංගයට සහාය පළ කළේ නැත. ඡන්දය ප්‍රකාශ ශ්‍රීලනිප පිරිසට සිදුවුණේ ආණ්ඩුවෙන් එළියට යන්නටය. කෙසේ වෙතත් එයින් ඒකාබද්ධ විපක්ෂය තවත් බලවත් වූයේය. අවසාන විග්‍රහයේදී සිදුවුණේ 19 වැනි සංශෝධනය යටතේ හඬක් නැති විශාල පිරිසකින් යුත් විපක්ෂයක් නිර්මාණය වීමය. ඔක්තෝම්බර් 26 වැනිදා බලය පාවිච්චි කර ආණ්ඩුවක් හදන තත්ත්වයක් සකස් වුණේ එහෙමය. එය අසාර්ථක වුවද එහි ප්‍රතිඵලයක් වශයෙන් විපක්ෂ නායක ධුරය රාජපක්ෂ පාර්ශ්වයට ලැබීමය. 

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයන්ගේ නිල කාලය වසර තුනකි. එහි දෙවැනි ධුර කාලයට සාමාජිකයන් පත්කරද්දී වෙනස්කම් කීපයක් ද සිදුවුණේය. පළමු සභාවේ ජනපති නියෝජිතයා හැටියට කටයුතු කළ චම්පික රණවක මහතා වෙනුවට දෙවැනි වතාවේදී පත්කළේ තමන්ගේ ශ්‍රීලනිපයේ මහින්ද සමරසිංහ මහතාය. විපක්ෂ නායකවරයාගේ නියෝජිතයා හැටියට ජෝන් සෙනෙවිරත්න වෙනුවට පත්කෙරුණේ චමල් රාජපක්ෂ මහතාය. විපක්ෂ නායක ධුරය මහින්ද රාජපක්ෂ මහතාට හිමිවීම සමඟ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ශ්‍රීලනිප පිරිස තුනක් දක්වා වැඩි විය. චමල් රාජපක්ෂ මහතා සභාවෙන් ඉවත්ව ඇති අතර පුරප්පාඩුවට යම් අයකු නම් කිරීමේදී විපක්ෂ නායකවරයාට බලය තිබේ. ඒ අනුව එක්තරා ආකාරයට බල තුලනය අතරට ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම ඇතුළු වී තිබේ. අනෙක් අතට ජනාධිපතිවරයා එක්සත් ජනතා නිදහස් සන්ධානය ජාතික ආණ්ඩුවෙන් ගලවා වෙනම ආණ්ඩුවක් හදන්නට කළ උත්සාහයෙන් දේශපාලනික වශයෙන් විපක්ෂයේ අයකු බවට පත්ව තිබේ. ඒකාබද්ධ විපක්ෂයත් ජනාධිපතිවරයාත් අතර එකඟතාවෙන් බල තුලනයේ වෙනසක් වී ඇත. මේ නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සිවිල් සමාජ නියෝජනයේ ද වෙනසක් කරගත යුතුව ඇතැයි ඇතැම්විට ඔවුන් සිතනවා ඇත. මන්දයත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වත්මන් සිවිල් සමාජ නියෝජනය පත්කරනු ලැබුවේ අගමැති රනිල් වික්‍රමසිංහ හා හිටපු විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහත්වරුන් විසින් වන හෙයිනි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සම්බන්ධයෙන් මතුව ඇති දේශපාලන විවාදය යනු මේ දේශපාලන චලනයේ ප්‍රතිඵලයකි. නොඑසේව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට හෝ එහි හරයාත්මක සංකල්පයට එරෙහිව නැගෙන්නක් හැටියට එය සැලකිය නොහැකිය. නැතහොත් නැවතත් 18 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනඑන්නට උත්සාහයක් ඇතැයි මම නම් නොසිතමි. මෙහි ඇත්තේ තමන් නියෝජනය කරන බලවේගයට රජයේ ප්‍රධාන ආයතනවල හඬක් නැතැයි යන හැඟීමය. සැබැවින්ම 2015 ඇතිකළ සම්මුතිය දැන් තිබෙන්නේ දිරාපත්වීය. අවශ්‍ය අලුත් සම්මුතියකි.

ජනාධිපතිවරයා තම කතාවේදී කී වැදගත් කරුණක් වේ. එනම් පත්කළ විනිශ්චයකාරවරුන් සම්බන්ධයෙන් ප්‍රශ්නයක් නැතැයි කියාය. පත් නොකළ පිරිස් එසේ වීමට හේතුව තමාගෙන් අසද්දී තමා කියන්නේ කුමක්දැයි කියාය. එහෙත් ජනාධිපතිවරයා යෝජනා කළ නම් කපා දැමුවේය යන චෝදනාවේ ඇත්තේ වෙනත් පසුබිමකි. උදාහරණයකට ජනාධිපතිවරයා නම් තුනක් යෝජනා කළ විට අදාළ තනතුරට පත්කරන්නේ එක් අයකු වන නිසා නිසැකයෙන්ම නම් දෙකක් ඉවත් වේ. මෙහිදී අප අවධානය යොමුකළ යුත්තේ ජනාධිපතිවරයාගේ කතාවේ සංඛ්‍යා විද්‍යාව ගැන නොව එමගින් සන්නිවේදනය වන ඔහුගේ හැඟීම ගැනය. රටේ පළමු පුරවැසියා හැටියට ජනාධිපතිවරණයෙන් බලය ගෙන ඔහු පත්වෙද්දී ඊට විශාල බලයක් තිබුණේය. එහෙත් ඉන්පසුව ජනාධිපතිවරයාගේ ද එකඟතාව මත 19 වැනි සංශෝධනයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එකතු විය. ජනාධිපති ධුරයේ අත්තනෝමතික බලතල කප්පාදු කෙරුණේ එමගිනි. එහෙත් ඕනෑම දෙයක් කළ හැකිය යන සිතුවිල්ලෙන් යුතු විධායක ජනාධිපති ධුරය යනු දිගු කාලයක් තිස්සේ මෙරට ආණ්ඩුකරණයේ අමතක නොවන ලකුණකි. අත්තනෝමතික බලතල කප්පාදුව ජනපතිවරණයේදී ජනවරම ලැබීමේ පොරොන්දුව වුවද මෙකී හුරුව නිසා ජනාධිපතිවරයාට වුව තම බලය ගැන ඇතිවන්නේ වෙනස් හැඟීමකි. කෙටියෙන් කිවහොත් මේ දේශපාලන කම්පනය හටගන්නේ 2015 ජනවරමත් වත්මන් දේශපාලන බල තුලනයේ වෙනසත් නිසාය. එනිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ගැන එල්ල වන විවේචන සාධාරණ යැයි මම සිතන්නේ නැත. 

විශේෂයෙන්ම නීතියේ ආධිපත්‍යය සඳහා වූ සංක්‍රමණීය අවස්ථාවේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සිදු වූ හා සිදුකරමින් සිටින සේවය අනල්පය. එසේම සුළු ජාතින්ට හඬක් නියෝජනයක් ඇති වන පරිදි රටේ ප්‍රධාන තනතුරුවලට පත්වීම් කෙරුණේ ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව නිසාය. එහෙත් එහි විනිවිදභාවය තවත් දියුණු කිරීම සඳහා මෙසේ පැමිණි විවේචන යොදාගැනීමට අපට හැකිය. ද්වේෂසහගත ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විවේචනය කරන්නන් සිටිය ද ජනාධිපතිවරයා කියන්නේ එය තමා වැදූ දරුවා කියාය. එනිසා ජනාධිපතිවරයා විවේචනයක් ගෙනෙන්නේ එහි හිමිකාරිත්වය බාරගන්නා අතරේ බව අප අමතක කළ යුතු නැත. එනිසා මෙම සම්මුතිය තවදුරටත් පවත්වාගෙන යන්නේ නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව නමැති ආයතනය පටිපාටිගතව වැඩකරද්දී එහි විනිවිදභාවය තවදුරටත් වර්ධනය කරගන්නා ක්‍රමවේද ගැන සිතීම වටිනේය. දෙවැන්න නම් 2015 පැවැති සම්මුතිය මේ වනවිට අභියෝගයට ලක්ව ඇති බව පිළිගැනීමය. පළාත් පාලන මැතිවරණයකින් ජනාධිපතිවරණ සම්මුතිය අභියෝගයට ලක්වන්නේදැයි තර්ක කළ හැකි නමුත් දේශපාලන වශයෙන් පාර්ලිමේන්තුවේම එවැනි අභියෝගයක් පැමිණ ඇති බව යථාර්ථයයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර සමගි සන්ධානය ගොඩනැඟේද නැද්ද යන්න පැහැදිලි නැතත් එම දේශපාලන චලනය නොසලකා කටයුතු කළ නොහැකි තැනකට රටේ දේශපාලනය පැමිණ තිබේ. මෙම සාකච්ඡාව ආරම්භයේදී අවධාරණය කළ පරිදි ඒකාබද්ධ විපක්ෂය නැතහොත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නමැති දේශපාලන කණ්ඩායම යහපාලන ආණ්ඩුවේ ආරම්භක අවධියේ සිටියේ තීන්දු තීරණ ගැනීමේ ක්‍රියාවලියෙන් පිටස්තරවය. එම තත්ත්වය මේ වනවිට අහෝසිය. දැන් කළයුත්තේ පාලක කණ්ඩායම් ඒ යථාර්ථය ගැන ගැඹුරින් කල්පනා කිරීමය. 

සටහන - බිඟුන් මේනක ගමගේ